සෝලා විදුලි ඒකක සඳහා ගෙවන මුදල අඩුකිරීමේ යෝජනාව කැබිනෙට්ටුවට
සෝලා විදුලි ඒකක සඳහා ගෙවන මුදල අඩුකිරීමේ යෝජනාව කැබිනෙට්ටුවට
(25.03.2025 – 06:51 +0530 – sinhala.adaderana.lk)
පියැසි මත සවිකරන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.
විදුලි බල මණ්ඩලයේ නිර්දේශවලට අනුව අදාළ සංශෝධනයන් සිදුකිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.
ඒ අනුව ඉදිරියේ දී පියැසි මත සවිකරනු ලබන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මිල ගණන් සංශෝධනය කර ඇති අතර උත්පාදනය කරනු ලබන විදුලි ඒකක ප්‍රමාණයට අනුව එම මිල ගණන් වෙනස් කිරීමට යෝජනා කර තිබේ.
මේ වන විට විදුලි ඒකකයක් සඳහා රුපියල් 27 ක මුදලක් ගෙවනු ලබන අතර නව සංශෝධනයත් සමග එය රුපියල් 19 දක්වා අඩු කිරීමට නියමිතය.
- කිලෝවොට් 20 ට අඩු උත්පාදනය කරන සෝලා පද්ධති සඳහා ඒකකයකට රුපියල් 19 ක ගෙවීම සිදුකරන අතර
- කිලෝවොට් 20 ත් 100 ත් අතර විදුලි උත්පාදන පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 17 ක මුදලක් ද
- කිලෝවොට් 100 ත් 500 ත් අතර පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 15 ක මුදලක් ද ගෙවීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙම මිල සංශෝධනයන් දැනට ස්ථාපිත කර ඇති සෝලා පද්ධති සඳහා අදාළ නොවන අතර ‘නව සෝලා පද්ධති ස්ථාපිත කිරීමේ දී’ පමණක් මෙම සංශෝධනයන් සිදුකිරීමට නියමිතව තිබේ ෴
9 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ 59 හැවිරිදි පුද්ගලයෙකුට වසර 15 ක සිරදඬුවම්
(25.03.2025 – 11:44 +0530 – sinhala.adaderana.lk)
නව (9) හැවිරිදි බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 15 ක සිරදඬුවම් නියම කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් තීන්දුව ලබා දුන්නේය.
ඊට අමතරව විත්තිකරුට රුපියල් 75,000 ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසරක (1) ලිහිල් සිරදඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් කළේය.
ඊට අමතරව විත්තිකරු විසින් අතවරයට පත් දැරියට රුපියල් ලක්ෂ තුනක (3) වන්දියක් ගෙවිය යුතු බවට නියෝග කළ අතර එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් අමතරව වසරක (1) ලිහිල් සිරදඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.
මෙසේ දඬුවම් නියම වුණේ 59 හැවිරිදි වියේ පසු වන ජංගම එළවළු වෙළෙන්දෙකුටයි.
මෙම විත්තිකරු විසින් 2011 වසරේ 09 වන වියේ පසුවූ පාසල් දැරියකට ටොපි චොක්ලට් ලබාදී හිතවත් කමක් ඇති කරගෙන ඇය රවටා මෙම ලිංගික අතවරය සිදුකර ඇති බව නඩු විභාගයේදී අනාවරණය වුණි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ, මෙය ඉතා බරපතළ සිද්ධියක් බවය.
අතවරයට පත් දැරිය සහ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉදිරිපත් කළ සාක්ෂි අතර ගැලපීමක් දක්නට තිබෙන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ පෙන්වා දුන්නේය.
මෙවැනි සිද්ධීන් ශිෂ්ඨ සම්පන්න සමාජයක් විසින් කිසිසේත්ම අනුමත නොකරන බව සඳහන් කළ විනිසුරුවරයා ඒවා මනූෂ්‍යත්වයට නොගැලපෙන ක්‍රියාවක් බවත් සඳහන් කර සිටියේය.
පිළිකුල් සහගත මෙවැනි ක්‍රියාවන් පිළිබඳව සැහැල්ලුවෙන් කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් ඒ අනුව ඔහුට මෙම දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කර සිටියේය ෴
ඇමති බිමල් හේතු කිව්වාට ජෙට් යානා අනතුරේ වාර්තාව තවම ඇවිත් නෑ
(25.03.2025 – 13:39 +0530 – hirunews.lk/sinhala)
වාරියපොළ ජෙට් යානා අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයා පත්කළ සත් පුද්ගල කමිටු වාර්තාව මෙතෙක් ලැබී නොමැති බැවින් අනතුරට නිශ්චිත හේතුව තවමත් ප්‍රකාශ කළ නොහැකි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ පවසනවා.
ඒ, මෙම අනතුරට හේතුව පුහුණු නියමුවන් දෙදෙනාගේ (2) අත්වැරැද්දක් බවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කර ඇති පසුබිමකයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානයක් වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටුණේ පසුගිය 21 වැනිදායි.
එහි ගුවන් නියමුවන් දෙදෙනා (2) එම අවස්ථාවේ පැරෂුට් මගින් යානයෙන් ඉවත් වීම හේතුවෙන් ඔවුන්ට බරපතල තුවාල සිදුවූයේ නැහැ.
අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් සත් පුද්ගල (7) කමිටුවක් ද පත් කළ අතර යානය ගුවන්ගත වූ මොහොතේ සිට අනතුරට පත් වූ අවස්ථාව දක්වා වූ සියලු තොරතුරු අන්තර්ගත වී තිබූ SVR පද්ධතිය ද සොයාගත්තා.
මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය 23 වැනිදා සඳහන් කළේ මෙම K8 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානය කඩාවැටුණේ පුහුණු නියමුවන් දෙදෙනාගේ (2) අත්වැරදීමක් හේතුවෙන් බවයි.
කෙසේවෙතත් අප කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ පැවසුවේ මෙම අනතුර සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයා පත්කළ සත් පුද්ගල (7) කමිටු වාර්තාව මේ වන තෙක් ගුවන් හමුදාව වෙත ලැබී නොමැති බවයි.
එබැවින් අනතුරට නිශ්චිත හේතුව තවමත් ප්‍රකාශ කළ නොහැකි බව ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
කඩා වැටුණු පුහුණු ගුවන් යානය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
+
වකුගඩු ජවාරමක් ගැන තොරතුරු
(25.03.2025 – 14:08 +0530 – hirunews.lk/sinhala)
ඇතැම් රජයේ සහ පෞද්ගලික රෝහල් තුළ වකුගඩු විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවට සෞඛ්‍ය වෘත්තිය සමිති අනාවරණය කරනවා.
ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ගේද සහාය ඇතිව ලබාගන්නා වකුගඩුවක් රුපියල් ලක්ෂ 40 ක් වැනි ඉහළ මුදලකට අලෙවි කරන බවයි කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ‘වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ’ සභාපති වෛද්‍ය චමල් සංජීව කියා සිටියේ.
මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ බිඳ වැටී ඇති ස්කෑන් යන්ත්‍රය තවමත් යථා තත්ත්වයට පත් කර නොමැති බවට ‘රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය’ පවසනවා.
එම රෝහලේ තිබු ස්කෑන් යන්ත්‍ර 5 න් 3 ක ක්‍රියාකාරීත්වය බිද වැටී තිබු අතර මේ වනවිට ඉන් යන්ත්‍ර දෙකක් (2) නැවත යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
එමෙන්ම, කළුතර මහ රෝහල සඳහා මෙරටට ගෙන්වනු ලැබූ සීටී ස්කෑන් යන්ත්‍රය තවමත් රේගුවෙන් නිදහස් කර ගෙන නොමැති නිසා මේ වනවිට ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් මිලියනයකට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇති බවයි ‘රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ’ සභාපති චානක ධර්මවික්‍රම ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, මෙම කරුණු සම්බන්ධයෙන් විමසීමට ‘සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්’ වෛද්‍ය අසේල ගුණවර්ධන සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළ ද එය ව්‍යර්ථ වුයේ ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ෴
නාගලගම්වීදියේ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු අත්අඩංගුවට
(25.03.2025 – 15:33 +0530 – hirunews.lk/sinhala)
පසුගිය 17 වැනිදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට (2) යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාලව වෙඩික්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව එම සැකකරු අද (25) පෙරවරුවේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ වයස අවුරුදු 32 ක් වූ වේල්කුමාර මාවත, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු අළුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම අපරාධයට ආධාර, අනුබල දීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් තිදෙනෙකු (3) හා සැකකාරියක් (1) විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴
මහනුවර, නිත්තවෙල දේවාලයේ ප්‍රතිමාවට පලඳවා තිබූ ‘මුදල් නෝට්ටු මාලයක්’ සොරාගෙන
(25.03.2025 – 16:01 +0530 – hirunews.lk/sinhala)
මහනුවර ඵෛතිහාසික නිත්තවෙල පත්තිනි දේවාලයේ, විෂ්ණු දේව ප්‍රතිමාවට පූජාකොට පලඳවා තිබූ ‘මුදල් නෝට්ටු මාලයක්’ සොරාගෙන ගොස් ඇතැයි එහි භාරකාර මණ්ඩලය පවසනවා.
අද (25) පෙරවරුවේ මෙම ‘මුදල් නෝට්ටු මාලය’ සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
දේවාලයේ ප්‍රධාන පූසාරීවරයා විසින් අදාළ මුදල් නෝට්ටු මාලය නොමැති බව දැක තිබෙන අතර ඒ පිළිබඳව භාරකාර මණ්ඩලයටද දැනුම් දී තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වී දේවාලයෙහි CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී අද (25) උදෑසන සොරකම සිදුව තිබෙන බව හෙළිව තිබෙනවා.
ඒ අනූව එහි පැමිණි පුද්ගලයින් දෙදෙනකු (2) විසින් සොරකම සිදුකර තිබෙන බවයි අනාවරණය වූ තිබෙන්නේ.
මේ අතර සොරකම සිදුකළ පුද්ගලයන් දෙදෙනා (2) දේවාලයේ ප්‍රධාන පූසාරීවරයාගෙන් රුපියල් දෙසීයක් (200) ද ඉල්ලා ගෙන ගොස් තිබෙනවා.
ඒ අත්‍යාවශ්‍ය කරුණකට මහනුවරට යාමට අවශ්‍ය බව පවසමින්.
මේ සම්බන්ධයෙන් එම දේවාලයේ භාරකාර මණ්ඩලය කටුගස්තොට පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
කටුගස්තොට පොලිසියද වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
+
RMV දත්ත පද්ධතියට බොරු කර ගෙන්වූ සුපිරි වාහන ගැන විමර්ශනයට අල්ලස් කොමිසමට නියෝග
(25.03.2025 – 16:15 +0530 – hirunews.lk/sinhala)
‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ’ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට ලියාපදිංචි වී රේගුවට නිසි බදු මුදල් නොගෙවා මෙරටට ගෙන්වන ලද අධි සුඛෝපභෝගී වාහන 19 ක් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා රේගු භාරයට පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (25) ‘අල්ලස් කොමිසම’ට නියම කළා.
‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම’ විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මෙම නියෝගය නිකුත් කළා.
‘අල්ලස් කොමිසමේ’ නිලධාරීණිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ’ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට ලියාපදිංචි කර රේගුවට ගෙවිය යුතු නියමිත බදු වටිනාකම නොගෙවා රජයට පාඩු සිදු කරමින් මෙරටට ආනයනය කරන ලද වාහන 19 ක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙන බව පැවසුවා.
එම වාහන අත්අඩංගුවට ගෙන රේගු බාරයට පත්කොට විමර්ශන සිදු කිරීම සඳහා අවසර දෙන ලෙසත් එම නිලධාරිණිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ වාහන අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සඳහා ‘රේගු භාරයට පත් කිරීමට’ අවසර ලබා දුන්නා.
මේ ආකාරයෙන් 2015 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ වංචනික ලෙස රජයට පාඩු සිදු කරමින් මෙරටට ගෙන්වන ලද අධි සුඛෝපභෝගී වාහන 200 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන අතර ඉන් රජයට අහිමි වූ බදු වටිනාකම රුපියල් කෝටි පන්සියයකට (500) අධික බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙසේ ගෙන්වන ලද වාහන 200 අතුරින් වාහන 16 ක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ‘රේගු භාරයට පත්කොට’ වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවත් ‘අල්ලස් කොමිසම’ අධිකරණයට වාර්තා කර තිබෙනවා ෴
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අමතර සේවා දින සහ අමතර සේවා පැය සඳහා ගෙවනු ලැබූ දීමනා ක්‍රමය දිගටම
(25.03.2025 – 17:46 +0530 – hirunews.lk/sinhala)
සංශෝධනය කිරීමට යෝජනා කර තිබූ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අමතර සේවා දින සහ අමතර සේවා පැය සඳහා මෙතෙක් ගෙවනු ලැබූ දීමනා ක්‍රමය යළි පෙර පරිදිම පවත්වාගෙන යන බව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2025 නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනය කරනවා.
කෙසේ නමුත් පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් මෙම වසරේදී එයින් කොටසක් ගෙවීමට රජය යෝජනා කර ඇති අතර, ආර්ථික තත්ත්වය යහපත් වූ වහාම එම සම්පූර්ණ මුදල ගෙවීමට අදාළ චක්‍රලේඛය තුළ නීතිමය ප්‍රතිපාදන සපයා තිබෙනවා.
වසර හතළිහක (40) පමණ සිට ගෙනවු ලැබූ විස්සෙන් එකේ (1/20) දීමනාව තිහෙන් එක (1/30) බවට පත් කිරීමටත්, වෛද්‍ය වෘත්තිකයින්ට සහ පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තිකයින් සඳහා අමතර පැයකට (1) ගෙවන ලද අසූවෙන් එක (1/80) සහ එකසිය හැටෙන් එකක (1/160) දීමනා පිළිවෙළින් එකසිය විස්සෙන් එක (1/120) සහ දෙසීයෙන් එක (1/200) දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව, ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී ප්‍රකාශ කරනු ලැබුවා.
එහිදී ඊට එරෙහිව ‘පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය’, ‘අතුරුවෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ’ සහ ‘සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය’ දීප ව්‍යාප්ත එක් දින (1) සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කල අතර, සෞඛ්‍ය සේවාව තුල අඛණඩ උද්ඝෝශණ ක්‍රියාවලියක් දියත් කරනු ලැබුවා.
කෙසේ නමුත් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද, එම මුල් තීරණය වෙනස් කරමින්, වෛද්‍ය, පරිපූරක වෛද්‍ය හෙද අතුරු වෛද්‍ය ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ එම දීමනා තිබූ අකාරයයෙන්ම තහවුරු කිරීමට, අද (25) දින නිකුත් ‘රාජ්‍ය පරිපාළන චක්‍රලේඛ 10/2025’ මගින් කටයුතු කර තිබෙනවා.
තම ඉල්ලීමට රජය යහපත් ප්‍රතිචාර දක්වා ඇති බැවින්, තාවකාලිකව අත්හිටුවා තිබූ වර්ජන ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම නවතා දැමීම පිළිබඳව හෙට (26) දිනයේදී තින්දුවක් ගන්නා බව, ‘සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයයේ’ සභාපති රවී කුමුදේශ් සඳහන් කළා.
- [රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 10/2025] (pdf file)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴