හොර වීසා බලපත්‍ර භාවිතා කරමින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු සහ තැරැව්කරුවෙකු (1) අත්අඩංගුවට

හොර වීසා බලපත්‍ර භාවිතා කරමින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු සහ තැරැව්කරුවෙකු (1) අත්අඩංගුවට


හොර වීසා බලපත්‍ර භාවිතා කරමින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු සහ තැරැව්කරුවෙකු (1) අත්අඩංගුවට

(25.03.2025 – 08:12 +0530 – hirunews.lk/sinhala)

කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර භාවිතා කරමින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු සහ තැරැව්කරුවෙකු (1) කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (24) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අවුරුදු 35 ත් – 40 ත් අතර වයස්වල පසුවන කොළඹ, කළුතර, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර රජයේ සේවකයන්, ව්‍යාපාරිකයන් සහ මෑතකදී විදේශ ගත වී මෙරටට පැමිණි පුද්ගලයින් ද වනවා.

මොවුන් ඩුබායි වෙත ගොස් එතැන් සිට කැනඩාවේ ටොරොන්ටෝ වෙත යාමට සැළසුම් කර තිබූ බවයි මූලික විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් තැරැව්කරුට අමතරව තවත් තැරැව්කරුවෙකු මොවුන්ට කැනඩාව වෙත යාමට අවශ්‍ය කූඨ ලේඛන සියල්ල සකස් කර දී තිබූ අතර කැනඩාවේ ද මොවුන්ට පහසුකම් සැළසීමට තවත් තැරැව්කරුවෙකු සිටින බවට සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම මෙම ගමන සදහා එක් අයෙකු රුපියල් ලක්ෂ 45 බැගින්, මෙම තැරැව්කරුවන් වෙත ගෙවා ඇති බවද හෙලි වුණා.

+

මේ අතර යුරෝපයට පළා යාමේ අදහසින්, මෙරටට පැමිණ නීතිවිරෝධී ලෙස රැදී සිටි බංගලදේශ ජාතිකයන් 10 දෙනෙකු ද කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබනෙවා.

ඔවුන් බංගලදේශයේ සිට ඉන්දියාව වෙත ගොස් එතැන් සිට, ඉකුත් පෙබරවාරි මාසයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ එහිදී සංචාරක වීසා ලබාගෙන මෙරට රැදී සිට ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට පත්වන අවස්ථාව වනවිටත් ඔවුන්ගේ වීසා කාලය ඉක්මවා ගොස් තිබුණා.

මොවුන් අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් ෴


දඹුල්ලට එන දෙස් විදෙස් සංචාරකයන් පහසුකම් නැතිව දුෂ්කරතාවයට

(24.03.2025 – 22:07 +0530 – sinhala.adaderana.lk)

ඓතිහාසික රංගිරි දඹුලු විහාරස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්, ප්‍රමාණවත් වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැතිවීම නිසා දැඩි අපහසුතාවට පත්ව සිටී.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයක් නොලැබීම හේතුවෙන් සනීපාරාක්ෂක පහසුකම් පුළුල් කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව 2025 වසරේ ජනවාරි පළමුවැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් ගණන 641,961 කි.

2025 මාර්තු පළමුවැනිදා (01) සිට 20 වැනිදා දක්වා පමණක් 148,983 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.

මේ වසර තුළ මිලියන 03 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට ආකර්ෂණය කරගැනීම රජයේ අපේක්ෂාවයි.

එවන් සංචාරකයන් පිරිසක් මෙරටට ගෙන්වාගැනීම අපේක්ෂාව නම් සංචාරකයන් සඳහා ප්‍රමාණවත් පහසුකම් ද රට තුළ ස්ථාපිත විය යුතුයි.

නමුත් මෙරට බොහෝ සංචාරක ගමනාන්තවල දක්නට ලැබෙන්නේ එවන් තත්ත්වයක් නොවේ.

ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාර සහ විෂ්ණු දේවාලය වැඳපුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ප්‍රමාණය මේ වන විට දිනෙන් දින ඉහළ යමින් පවතී.

බොහෝ දිනවල එම සංඛ්‍යාව දෙදහස (2000) ඉක්මවන බව වාර්තා වෙයි.

නමුත් එම පරිශ්‍රය තුළ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණත් නොවීම නිසා ඔවුන් පත්වන්නේ දැඩි අපහසුතාවකටයි.

විහාරස්ථ භූමියේ එක් ස්ථානයක නව වැසිකිළියක් ඉදිකර ඇතත්, එය තවමත් පොදු භාවිතය සඳහා ලබාදී නොමැති බව වාර්තා වෙයි.

මේ පිළිබඳ සොයා බලා විසඳුම් ලබාදීම වගකිව යුතු බලධාරීන්ගේ යුතුකමක් සහ වගකීමක් නොවන්නේද?

මේ අතර රුපියල් කෝටි හැටකට (60) ආසන්න මුදලක් වැයකරමින් ඉදිකිරීම් ඇරඹූ ‘හබරණ සංචාරක තොරතුරු කේන්ද්‍රය’ බලධාරීන්ගේ නිද්‍රාශීලී පිළිවෙත් නිසා මේ වනවිට විනාශයට පත්වෙමින් තිබේ.

2017 දී ඉදිකිරීම් ඇරඹි මෙහි 2018 වන විට වැඩ අවසන් කිරීමට නියමිතව පැවතියත් අදටත් එහි පවතින්නේ මෙවන් තත්ත්වයකි.

ජනතා බදු මුදල් මෙලෙස අපතේ යාමට වගකිවයුත්තේ කවුද?

විදෙස් සංචාරකයින් මිලියන 03 ක් මෙරටට ගෙන්වාගැනීම රජයේ අපේක්ෂාව නම් මෙම අඩුපාඩු වහාම සකස්කරගනිමින් සංචාරකයන්ට පහසුකම් සැලසීම කඩිනම් කළයුතු වනු ඇත ෴


බහරේන් යන අයට එන්නතක් අනිවාර්ය කරයි

(24.03.2025 – 18:48 +0530 – sinhala.adaderana.lk)

බහරේන් රාජ්‍යයට පැමිණෙන විදේශීය ශ්‍රමිකයින්ට ‘මෙනින්ගොකොකල් රෝගය’ ඇතිවීම වැළැක්වීම සඳහා Meningococcal vaccine එන්නත්කරණය අනිවාර්ය කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව මෙය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ටද ඒ අනුව අනිවාර්ය වී ඇතැයි ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය’ පවසයි.

‘විදේශ කටයුතු අමාත්‍යාංශය, බහරේන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව බහරේන් රාජ්‍ය හා ගල්ෆ් සහයෝගිතා කවුන්සලයේ’ උපදෙස් මත ශ්‍රී ලාංකිකයින්ගේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

‘මෙනින්ගොකොකල් රෝගය’ යනු ‘නයිසීරියා මෙනින්ජිටිඩිස්’ බැක්ටීරියාව මගින් ඇතිවන ආසාදන රෝගයක් වන අතර ප්‍රතිකාර නොකළහොත් එය මරණයට පත්වීමේ අවදානමක්ද පවතී.

‘මෙනින්ජයිටිස්’ බෝවන රෝගයක් වන අතර සංවර්ධිත සහ ඌන සංවර්ධිත රටවල රෝග, මරණ සහ ආබාධිතභාවය සඳහා ‘මෙනින්ජයිටිස්’ සහ ‘මෙනින්ගොකොක්සිමියාව’ ප්‍රධාන හේතුව බවට පත්ව තිබේ.

විශේෂයෙන් සංක්‍රමණික සේවකයින් විශාල සංඛ්‍යාවක් සිටින කලාපවල, රෝගය පැතිරීම අවම කිරීම සඳහා ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ උපාය මාර්ගයේ වැදගත් කොටසක් ලෙස ‘මෙනින්ගොකොකල් එන්නත’ භාවිතා කිරීම ‘ගල්ෆ් සහයෝගිතා කවුන්සල මාර්ගෝපදේශ’ නිර්දේශ කර තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, නව එන්නත් කිරීමේ අවශ්‍යතාවය සේවකයින්ගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ විභව වසංගත වැළැක්වීම යන සමස්ත මහජන සෞඛ්‍ය ඉලක්කයට අනුකූල වනු ඇත.

දශක ගණනාවක් පුරාවටම ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින්ගේ ජනප්‍රිය රැකියා ගමනාන්තයක් ලෙස බහරේන් රාජ්‍ය හැදින්විය හැකි අතර එය වර්තමානය වන විට එය තවදුරටත් වර්ධනය වෙමින් පවතියි.

විදේශ රැකියා නියුක්ති කාර්යංශය පැවසුවේ 2024 වසරේ බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 4000 කට වැඩි පිරිසක් පිටත්ව ගොස් ඇති බවය ෴


වව්නියාවේ හදිසි මෙහෙයුමකින් සිව් දෙනෙක් (4) අත්අඩංගුවට

(25.03.2025 – 07:51 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය, සැකකටයුතු වාහන හා පුද්ගලයින් සොයමින් වවුනියාව පොලීසිය හා යුද හමුදාවද පොලිස් විශේෂ කාර්ය බලකායද වවුනියාවේ තේක්කවත්ත ඇතුලු ගම්මාන කීපයක් පුරා හදිසි සෝදීසි මෙහෙයුමක් ඊයේ (24) දියත් කර තිබුණා.

මෙම මෙහෙයුමේදී විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන එම ස්ථාන වලදීම ප්‍රශ්න කිරීමෙන් පසු සැකකටයුතු නොවූ අය නිදහස් කොට සැකකටයුතු පුද්ගලයින් 04 දෙනෙකු හා යතුරු පැදියක් (01) අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්ත්‍යාකරු සඳහන් කළේ.

දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන 04 දෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරගෙන යනු ලබන බවද සඳහන් ෴


කරාඹු නැටි මිල ඉහළට

(25.03.2025 – 08:04 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ වෙළෙඳපොළේ ‘වියළි කරාබු නැටි’ කිලෝවක මිල රුපියල් 2500 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ‘අමු කරාබු නැටි’ කිලෝවක මිල රුපියල් 800 දක්වා ඉහළ ගොස් ඇති බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මහනුවර, මාතලේ, කෑගල්ල, නුවරඑළිය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් කරාබු වගා කරනු ලබනවා. මෙරට කරාබු නැටි සදහා විදෙස් රටවලින් ද පවතින්නේ වැඩි ඉල්ලුමක් ෴


සමාගම් 22,000 කින් රුපියක් බිලියන 36 ක EPF පොල්ලක්

(25.03.2025 – 08:29 +0530 – hirunews.lk/sinhala)

සමාගම් 22,450 කට ආසන්න සංඛ්‍යාවක් ‘සේවක අර්ථ සාධක අරමුදල්’ ලෙස රුපියල් බිලියන 36 ක මුදලක් එම ගිණුමට බැරකර නොමැති බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ අනාවරණය කළා.

මේ පිළිබඳව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු එහිදී සඳහන් කළේ.

එමෙන්ම ඉදිරියේදී කම්කරු අමාත්‍යාංශය ඩිජිටල්කරණය කිරීමට බලාපොරොත්තුවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (24) පැවති උත්සවයකට එක්වෙමින් ෴


‘කළු ගාමිණි’ගේ බෑනා අත්අඩංගුවට

(25.03.2025 – 08:31 +0530 – hirunews.lk/sinhala)

ඝාතන සඳහා පාතාල කල්ලි සාමාජිකටන්ට යතුරු පැදි සැපයූ පුද්ගලයෙකු බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාතාල ක්‍රියා සිදුකර වෙඩි ප්‍රහාරයකින් මියගිය ‘කළු ගාමිණි’ නැමැත්තාගේ දියණියගේ ස්වාමිපුරුෂයා බවයි පොලිසිය කියා සිටියේ.

පසුගිය වසරේ මැයි මස 05 වනදා හොරණ – ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) කැබි රථයකින් ගමන් කරමින් සිටි මුදල් පොලියට ලබාදෙන ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබූ අතර ඒ සඳහා සැකකරුවන් පැමිණ ඇත්තේ ද මොහු විසින් යක්කල ප්‍රදේශයේ දී සොරකම් කළ යතුරු පැදියකින් බවට අනාවරණ වී තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් අදාළ ව්‍යාපාරිකයා තුවාල ලැබූ අතර යුධ හමුදාවෙන් පළාගිය ‘එස්.එෆ්. ජගත්’ නැමැත්තා විසින් එම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවටයි පසුව හෙළිවුණේ.

පාතාල සාමාජිකයින් ලබාදෙන මත්කුඩු ද, මොහු විසින් සොරා ගන්නා ලද යතුරු පැදි මගින් ප්‍රවාහනය කර තිබෙනවා.

කෙහෙල්බද්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා ගම්පහ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ සේවය කර ඇති අතර එම රැකියාවෙන් ඉවත් වී ඇත්තේ, මත්කුඩු භාවිතයට යොමු වීම හේතුවෙන්.

එසේම සැකකරු විසින් කුලි පදනම මත මිලදී ගත් මිනුවන්ගොඩ – කොටගෙදර ප්‍රදේශයේ නිවසක් වැටලූ පොලිසිය, එහි තිබූ යතුරු පැදි 3 ක් ද සොයාගෙන තිබුණා.

ඒවා කුරුණෑගල, මාරවිල, වෙන්නප්පුව ප්‍රදේශවලින් සොරකම් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මොහු එම යතුරු පැදිවලින් ගොස් රන් මාල කොල්ලකෑම් ද සිදු කර ඇති අතර එලෙස කොල්ලකෑ රන් මාල 5 ක් ද හමුවී තිබෙනවා.

එසේම මීට පෙර විවිධ ප්‍රදේශ වලින් යතුරු පැදි 20 ක් පමණ සොරගෙන ඇති බවට හෙළිවී ඇති අතර ඒ සම්බන්ධයෙන් අධිකරණ විසින් සැකකරුට එරෙහිව වරෙන්තු ද නිකුත්වී ඇති බවයි වාර්තා වන්නේ ෴


‘ප්‍රමාද වී ඇති මහපොළ’ ලබා දීමට කෙටි කාලීන පියවර

(25.03.2025 – 09:21 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදයකින් තොරව ලබා දීම සඳහා කෙටි කාලීන පියවර කිහිපයක් ගැනීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ වසරේ (2025) විශ්ව විද්‍යාල සිසුන්ගේ ප්‍රමාද වී ඇති මහපොළ ශිෂ්‍යාධාර පළමුව ලබා දීමට පියවර ගන්නා බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම මහපොළ ශිෂ්‍යාධාරලාභීන්ගේ පරිගණක දත්ත පද්ධතිය නවීකරණ කිරීම පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා.

ඊට අදාළ සාකච්ඡාවක් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ ෴


ගෝල්ෆේස් ජංගම වෙළඳසැල් වටලයි

(25.03.2025 – 09:22 +0530 – hirunews.lk/sinhala)

වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බවට පාරිභෝගිකයින් කළ පැමිණිලි මත ගාලු‍මුවදොර පිහිටි ජංගම වෙළඳසැල් ‘පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය’ විසින් ඊයේ (24) වටලනු ලැබුවා.

එහිදී වැඩි මිලට පානිය ජල බෝතල් සහ පැණි බීම බෝතල් අලෙවි කළ වෙළඳසැල් වෙත නඩු පැවරීමටයි පියවර ගනු ලැබුවේ.

එමෙන්ම ආහාර වල මිල ප්‍රදර්ශනය නොකළ වෙළඳසැල් වලට ද නඩු පවරා තිබෙනවා.

එහිදී වැටලීමට එක්වූ පාරිභෝගික අධිකායේ නිලධාරින් අදාළ වෙළදසැල් හිමියන්ට අවවාද කළා ෴


ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (27) ජල කප්පාදුවක්

(25.03.2025 – 10:44 +0530 – hirunews.lk/sinhala)

බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි බල මණ්ඩලය සතු විදුලි පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (27) ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ‘ජාතික ජාල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය’ සඳහන් කරනවා.

ඒ අනුව, අනිද්දා (27) පෙ.ව. 08:30 සිට ප.ව. 05:00 දක්වා පැය 8½ ක කාලයක් මෙසේ ජලසපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

එසේම පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක / සීදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසක මෙසේ ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා ෴


දේශබන්දුව පොලිස්පති ධුරයෙන් ඉවත් කරන්න මාලිමාවෙන් යෝජනාවක්

(25.03.2025 – 11:40 +0530 – hirunews.lk/sinhala)

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් කථානායකට බාරදීම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් අද (25) දහවල් 12:15 ට පාර්ලිමේන්තුවේ දී සිදුකෙරෙනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වීම 12:30 ට පොල්දූව මන්සන්දියේ පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම අසලදී සිදු කෙරෙන බවටයි වාර්තා වෙන්නේ.

බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නිවසින් ආහාර ලබාගැනීම සඳහා අවසර ලබාදී තිබෙනවා.

නිවසින් ආහාර ලැබා ගැනීමේ අවසරය ඊයේ (24) දින සිට ලබාදුන් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *