යළි හිස එසවූ ‘චිකුන්ගුන්යා’ ගැන සෞඛ්‍ය අංශයන්ගෙන් දැනුම්දීමක්

යළි හිස එසවූ ‘චිකුන්ගුන්යා’ ගැන සෞඛ්‍ය අංශයන්ගෙන් දැනුම්දීමක්


යළි හිස එසවූ ‘චිකුන්ගුන්යා’ ගැන සෞඛ්‍ය අංශයන්ගෙන් දැනුම්දීමක්

(24.03.2025 – 13:10 +0530 – hirunews.lk/sinhala)

‘ඉන්ෆ්ලුවෙන්සා’ රෝගී තත්ත්වයේ සහ වෛරස් උණ රෝගයක් වන ‘චිකුන්ගුන්යා’ ව්‍යාප්තියේ ඉහළ යෑමක් මේ දිනවල වාර්තාවන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

රෝග ලක්ෂණ ඇති රෝගීන් වෛද්‍ය උපදෙස් අනුව පමණක් ඖෂධ ලබා ගත යුතු බව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ පවසන්නේ, මදුරුවන් බෝවන ස්ථාන හැකි තරම් විනාශ කිරීමෙන් පමණක් ‘චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය’ සැලකිය යුතු ලෙස පාලනය කළ හැකි බවයි.

‘ඩෙංගු මදුරුවා’ මගින් ව්‍යප්ත වන ‘ඩෙංගු රෝගය’ට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන ‘චිකුන්ගුන්යා වෛරසය’ පළමු වරට සොයාගනු ලැබුවේ 1953 වසරේදීයි.

අප්‍රිකාව, අමෙරිකාව, ඉන්දියාව වැනි රටවල්වල මෙම රෝගීන් වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර වසර ගණනකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවලින් ද රෝගීන් සුලබවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

‘ඊඩ්ස් ඊජිප්ටයි’ සහ ‘ඊඩ්ස් ඇල්බොපික්ටස්’ යන මදුරුවන් දෙවර්ගයම (2) මෙම රෝගයේ වාහකයා ලෙස කටයුතු කරනවා.

එමෙන්ම, රෝගය වැළඳුණු සංචාරකයින්ගෙන්, බලපෑමට ලක්නොවූ ප්‍රදේශවලට ද මෙම රෝගය පැතිරීම සිදුවන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

බාල, මහලු ඕනෑම අයෙකුට වැළඳිය හැකි ‘චිකුන්ගුන්යා රෝගයේ’ ලක්ෂණ බොහෝ දුරට ‘ඩෙංගු රෝග ලක්ෂණ’වලට සමාන වනවා.

පළමු දින කිහිපය තුළ තද උණ සමග හිසරදය, ශරීරයේ රතු පැහැති ලප හෝ ශරීරය පුරා රතු පැහැවීම, නාසය, අත් සහ පාද අව පැහැ ගැන්වීම මෙම රෝගයේ ලක්ෂණයි.

එමෙන්ම මේ සමග ඇතිවන හන්දිපත් වේදනාව දිගු කාලයක් පැවතීමේ අවදානමක් ද පවතිනවා.

මෙම රෝගයට මේ වන තෙක් නිසි ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයාගෙන නොමැති නිසා රෝගීන්ට ලැබිය යුතු ප්‍රධානම ප්‍රතිකාරය විවේකය බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ.

ඇතැම් ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාවත් සමග මදුරුවන් බෝවීම ඉහළ යා හැකි අතර, එවැනි ස්ථාන විනාශ කර මදුරුවන් බෝවීම පාලනය කිරීමෙන් පමණක් ‘චිකුන්ගුන්යා ව්‍යප්තිය’ අවම කරගත හැකි බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

දින කිහිපයක් පවතින උණ, රාත්‍රී කාලයේ කැස්ස, ආහාර අරුචිය, ශරීර බර අඩුවීම ඇතුළු ලක්ෂණ දින කිහිපයක් පවතින්නේ නම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.

+


වසරකට මෙරටින් ක්ෂය රෝගීන් 10,000 ක්

(24.03.2025 – 14:27 +0530 – hirunews.lk/sinhala)

‘ලෝක ක්ෂය රෝග දිනය’ අද (24)ට යෙදී තිබෙනවා.

සෑම වසරකටම මෙරටින් ‘ක්ෂය රෝගීන්’ 8000 ත් 10,000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවයි මහනුවර ජාතික රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය දුෂ්මන්ත මැදගෙදර කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලොව පුරා වසරකට ‘ක්ෂය රෝගය’ හේතුවෙන් රෝගීන් මිලියන දෙකකට (2) ආසන්න සංඛ්‍යාවක් මිය යන බවයි ෴


සිය ආහාර පාර්සලය නිසා දුම්රියක් ප්‍රමාද කළ රියදුරුට වැඩ වැරදී

(24.03.2025 – 15:24 +0530 – hirunews.lk/sinhala)

සිය ආහාර පාර්සලය නියමිත වේලාවට රියැදුරු කුටියේ නොතැබූ බව පවසමින් දුම්රිය ධාවනය කිරීම ප්‍රතික්ෂේප කළ රියැදුරෙකු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස ධාවනය ප්‍රතික්ෂේප කර ඇත්තේ, කුරුණෑගල සිට කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රියක්.

සිය ආහාර පාර්සලය නියමිත වේලාවට නොලැබීමෙන් කුපිත වූ එම රියැදුරු දුම්රිය ධාවනය නොකර විවේකාගාරයේ රැඳී සිටීම හේතුවෙන් මගීන් පැය ගණනක් දැඩි අපහසුතාවයට පත්වුණා ෴


විනෝදයට පැද්ද ඔරුව නිසා දෙදෙනෙකුට (2) දිවි අහිමි වෙයි

(24.03.2025 – 15:47 +0530 – hirunews.lk/sinhala)

කළුතර කලපුවේ විනෝදයට ඔරු පදිමින් සිටී පුද්ගලයන් දෙදෙනෙකු (2) දියේගිලී මියගොස් ඇති බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කල බව කළුතර දකුණ පොලිසිය පවසනව.

මෙසේ මියගොස් ඇත්තේ, කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් උසයිර් මොහොමඩ් ඉන්සාෆ් නමැති 33 හැවිරිදි පුද්ගලයෙකු සහ මොහොමඩ් හුසයින් නමැති පුද්ගලයෙක්.

මියගොස් ඇති එක් (1) තැනැත්තකු දින දෙකකට (2) පෙර කලපුවේ ඔරු පදිමින් සිටින බව දන්වා දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවත්, ඉන්පසු තොරතුරක් නොලැබී ඇති බවටත්, අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මලසිරුරක් කළුතර කලපුවේ පාවෙමින් තිබෙන බවට ලද දුරකථන ඇමතුමක් අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, පැය තුනකට (3) පමණ පසුව අනෙක් මලසිරුරද හමුව ඇති බවත්, සඳහන්.

එමෙන්ම කළුතර හදිසි මරණ පරීක්ෂක මරණ පරීක්ෂණය සිදුකරනවා.

+


අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ ප්‍රධාන සැකකරු යලි රිමාන්ඩ්

(24.03.2025 – 17:09 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මේ මස 28 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා.

ඒ ඊට අදළා නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දීයි.

එහිදී දෙවන (2) දිනටත් හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවත්වීමට නොහැකි වූයේ අදාළ වෛද්‍යවරිය අද (24) දිනයේදීත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ෴


තාප්පයක් කඩා වැටී ඊට යටවී තරුණියක් ජීවිතක්ෂයට

(24.03.2025 – 18:00 +0530 – hirunews.lk/sinhala)

පෙම්වතා ගේ නිවසට ගොස් සිටියදී එම නිවසේ තාප්පයක් කඩා වැටීමෙන් ඊට යටවී තරුණියක මියගොස් ඇතැයි කලුතර උතුර පොලිසිය පවසනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව, මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටී ප්‍රසාදිනී ප්‍රියංගිකා නමැති 23 හැවිරිදි තරුණියක් බව‍යි පොලිසිය පවසන්නේ.

පෙම්වතාගේ අත්තම්මා හමුවීමට තමන්ට අවශ්‍ය බවට තරුණිය දුරකථන ඇමතුමක් ලබාදීමෙන් පසුවයි පෙම්වතා ඇයගේ නිවසට ගොස් ඇය කැටුව තම නිවසට ගොස් ඇත්තේ.

එහිදී තරුණයා නිවස පිටුපස එළුවන් ට කෑම දැමීමට ගොස් තිබෙනවා.

එසේ සිටියදී තරුණිය නිවස පිටුපස තාප්පය අසල රැඳී සිට තිබෙනවා.

එම අවස්ථාවේ තාප්පය තරුණිය මතට කඩාවැටී තිබෙනවා.

මියගොස් ඇති තරුණිය ගේ පෙම්වතා ආරක්ෂක අංශයක සේවය කරන අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කලුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

+


උත්සව සමයට වෙළඳපොලේ විශේෂ වැටලීම්

(24.03.2025 – 18:36 +0530 – hirunews.lk/sinhala)

‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය’ එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් එම විශේෂ වැඩසටහන අප්‍රේල් මස 25 දින දක්වාම ක්‍රියාත්මක කරන බවයි එම අදිකාරිය පවසන්නේ.

ප්‍රධාන තොග අළෙවිසැල් සහ ගබඩා පරික්ෂා කරමින් කල් ඉකුත් වූ හා දත්ත වෙනස් කළ භාණ්ඩ වෙළඳපොලට පැමිණීම වැලැක්වීමට මේ හරහා ක්‍රියා කෙරෙනවා.

එමෙන්ම උත්සව සමයේ වෙළඳපොලේදී පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අසාධාරණයන් සහ ගැටලු මඟහැරවීම සඳහා කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් දී ඇති බවයි එම අධිකාරිය පවසන්නේ.

මේ කාල සීමාවේදී ‘සුපිරි වෙළඳසැල්’ ඇතුළු ‘සිල්ලර වෙළඳසැල්’, ‘සේල්’ හා ‘ජංගම ව්‍යාපාරික කටයුතු’ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.

අත්‍යාවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇඳුම් පැළඳුම්, කල්පවතින භාණ්ඩ සහ විදුලි උපකරණවලටද මෙම කාල සීමාව තුළ වැඩි ඉල්ලුමක් පවතිනවා.

එබැවින් එවැනි වෙළඳසැල් සම්බන්ධව ද දැඩි අවධානයක් යොමු කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ ෴


දෙවුන්දර ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ‘බිල්ඩ‍ර්’ සොයා විමර්ශන

(24.03.2025 – 19:18 +0530 – hirunews.lk/sinhala)

දෙවුන්දර සිදුවූ ද්විත්ව ඝාතනය, විදේශයක සැඟව සිටින ‘දෙහිබාලේ මල්ලී’ නැමැත්තාගේ සහෝදරයා හා ‘යොමේෂ් නදීෂාන්’ නැමැති තරුණයා අතර ඇති වූ ආරවුලක් මත සිදුවූවක් බවට අනාවරණ වී තිබෙනවා.

වෙඩි තැබීමෙන් මියගිය ‘යොමේෂ් නදීෂාන්’ගේ අවසන් කටයුතු අද (24) පස්වරුවේ සිදුකෙරුණු අතර සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු වන ‘කසුන්’ හෙවත් ‘බිල්ඩර්’ නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි.

‘මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ’ වෑන් රථයිකින් පැමිණි පිරිසක්, මත්පැන් සාදයකට සහභාගී වී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු (2) ඉලක්ක කර වෙඩි තැබීම සිදු කර තිබු‍ණේ පසුගිය 21 වනදා රාත්‍රියේදීයි.

එළෙස මියගියේ 28 හැවිරිදි ‘යොමේෂ් නදීෂාන්’ හා 29 හැවිරිදි ‘පසිඳු තාරුක’ නැමති තරුණයින් දෙදෙනා (2) යි.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් (1) ඇතුළු සැකකරුවන් සිවුදෙනෙකු (4) අත්අඩංගුවට ගෙන මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරමින් පවතිනවා.

අදාළ කාන්තාව වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු බවට සැක කෙරෙන ‘කසුන්’ හෙවත් ‘බිල්ඩර්’ නැමැති පුද්ගලයාගේ බිරිඳ වනවා.

අදාළ පුද්ගලයා යුද හමුදාවෙන් පලා ගිය අයෙකු වන අතර ඔහු ‘දෙහිබාලේ මල්ලී’ නැමැත්තා ලබා දුන් රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක් මත අදාළ ඝාතන සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මිය ගිය ‘යොමේෂ් නදීශාන්’ට ‘දෙහි බාලේ මල්ලී’ නැමැත්තා දිගින් දිගටම තර්ජනාත්මක පණිවුඩ එවා ඇති අතර ඔහුගේ පියාට ද සිය පුත්‍රයාව ඝාතනය කරන බවට වන තර්ජනාත්මක පණිවුඩ ‘දෙහි බාලේ මල්ලී’ එවා තිබුණා.

(25.03.2025) :
දෙවිනුවර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 34 ක අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ ෴

+++

දෙවුන්දර මිනීමරණ දෙහි බාලගේ රට නොදන්න ඇත්ත කතාව මෙන්න – නාකොටික් පොලිසිය දෙහිබාලගේ සල්ලි වලට යට වෙලා (23.03.2025)

+


හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසකට ‘එක්සත් රාජධානියෙන්’ සම්බාධක

(24.03.2025 – 21:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ට ‘එක්සත් රාජධානියෙන්’ සම්බාධක පනවා තිබෙනවා.

අද (24) දින මෙම සම්බාධක පැනවීම සිදුකර ඇති අතර, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාවේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු හමුදාපති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘කරුණා අම්මාන්’ ඇතුළු පිරිසක් ඊට අයත්.

ඒ අනුව මෙම පිරිසට ‘එක්සත් රාජධානියේ’ සංචාරය තහනම් කිරීම, එරට වත්කම් එක් රැස් කිරීම හෝ වත්කම්ද තහනම් වනු ඇත.

සම්බාධක පනවමින් ‘එක්සත් රාජධානිය’ චෝදනා කර ඇත්තේ ආදාළ පුද්ගලයින් සිවිල් යුද්ධය අතරතුර නීති විරෝධී ඝාතන, වදහිංසා පැමිණවීම්, අපයෝජන, ලිංගික වදහිංසා සිදු කිරීම් තුළින් මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවයි.

ඒ අනුව ඔවුන්ට ‘එක්සත් රාජධානියේ’ සංචාරය කිරීම, එරට වත්කම් එක් රැස් කිරීම තහනම් වන අතර ඔවුන්ට එරට තුල වත්කම් තිබෙනම් ඒවාද තහනම් වනු ඇති.

මෙම මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මෙරට නව රජය සමග ඒකාබද්ධව කටයුතු කිරීමට සූදානම් බව ද ‘එක්සත් රාජධානිය’ දන්වා තිබෙනවා ෴


ත්‍රිකුණාමලය නියමු යාත්‍රාවේ පරීක්ෂණ ප්‍රමාද බවට පැමිණිල්ලක්

(24.03.2025 – 23:43 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය නියමු යාත්‍රාවේ පරීක්ෂණ ප්‍රමාද බවත් එමගින් රුපියල් කෝටි 26 කට අධික මුදලක් පාඩු කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව පරීක්ෂණය වහාම ආරම්භ කරන ලෙස ඉල්ලමින් අද (24) ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට’ පැමිණිල්ලක් යොමුකළා.

ඒ ‘සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත’ ප්‍රමුඛ පිරිසක් විසින් වන අතර එම පැමිණිල්ල යොමුකර තිබෙන්නේ දෙවැනි (2) වතාවටයි.

ත්‍රිකුණාමලය වරායේ භාවිතය සඳහා ජපන් ආධාර මත ලැබුණු නවීණ අධි තාක්ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික චාරිකාවක් සඳහා භාවිතා කර අනතුරකට ලක්කර තිබෙනවා.

මෙම වසරේ (2025) ජනවාරි මස 06 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඒසී/220/2025 දරණ අංකය යටතේ පළමු පැමිණිල්ල යොමුකර තිබෙනවා.

නමුත් එම පැමිණිල්ල සම්බන්ධව එම කොමිසම මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බවයි ‘සංජය මහවත්ත’ පවසන්නේ.

අනරතුරට පත්වූ නියමු යාත්‍රාව අදාළ කාර්යන් සඳහා යොදා ගැනීමට නොහැකි හෙයින් ඒ සඳහා විකල්පයක් ලෙස නැව් තල්ලු‍ කරන ‘අලියා බෝට්ටු’ පාවිච්චි කිරීම නිසා අති විශාල පාඩුවක් ‘වරාය අධිකාරියට’ සිදුවී තිබෙන බවයි ඔහු පවසන්නේ.

අදටත් එම පාඩුව සිදුවෙමින් පවතින බවත් නාවික යාත්‍රාව වෙනුවට ‘අලියා බෝට්ටුවක්’ පාවිච්චි කිරීමට මසකට අවම වශයෙන් ඩීසල් ලීටර් 2000 කට අධික ප්‍රමාණයක් වැය වන බවත් ‘සංජය මහවත්ත’ පවසනවා.

මෙම සිද්ධියෙන් පසුව අමතර ඉන්ධන සඳහා පමණක් වරාය අධිකාරිය දළ වශයෙන් රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් කෝටි තුනකට (3) ආසන්න මුදලක් වැය කර ඇති බවයි ‘සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත’ පවසන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *