‘රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය’ හෙට (17) පැය 3 ක වර්ජනයක
(16.03.2025 – 14:49 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයට නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳව විමර්ශන කර වාර්තාවක් සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ත්‍රිපුද්ගල (3) කමිටුවක් පත්කර තිබෙනවා.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයට නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර ඇතුළු ත්‍රිපුද්ගල (3) කමිටුවක් පත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ, එම වාර්තාව මෙම මස 24 වැනිදාට පෙර අමාත්‍යාංශ ලේකම්වරයාට ලබා දෙන ලෙසයි.
+
මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3 ක කාලයක් සේවාවලින් ඉවත්වීමට තීරණය කළ බව ‘රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ’ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පවසනවා.
ඒ, උසස්වීම් ලබා නොදීම සහ වැටුප් කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
රෝගීන් ඇපයට තබාගෙන, රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින්, සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවානම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳීසිටින බවත්, ඒ වෙනුවෙන් නොපැකිළිව කටයුතු කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ සෞඛ්‍ය වෘත්තිකයින් සමග සාකච්ඡාකර විසදාගත නොහැකි ගැටලු, ප්‍රශ්න කිසිවක් නොමැති බවත්, ඒ වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක කැපවීමට සූදානම් බවයි.
+
+
සාමාන්‍ය පෙළ විභාගය හෙටයි (17)
(16.03.2025 – 13:56 +0530 – hirunews.lk/sinhala)
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් (17) ආරම්භ වනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) ආරම්භ වන්නේ, මාස 3 ක ප්‍රමාදයකින් පසුවයි.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,663 කදී විභාගය පැවැත්වෙනවා.
මාර්තු 26 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන අතර ඒ සඳහා සුදුසුකම් ලබා ඇති අපේක්ෂකයින් ගණන 474,147 ක්.
ඉන් 398,182 දෙනෙකු පාසැල් අයදුම්කරුවන් වන අතර 75,965 දෙනෙක් පෞද්ගලික අයැදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිටීමට නියමිතයි ෴
+++
සාමාන්‍ය පෙළ විභාග කාලසීමාවේ සිදුවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට විශේෂ වැඩපිළිවෙලක්
(16.03.2025 – 15:23 +0530 – hirunews.lk/sinhala)
සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන කාලසීමාව තුළ සිදුවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සදහා ‘ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය’ විසින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.
ඒ අනුව, ආපදා තත්ත්වයක් ඇති වුවහොත් එම කාල සීමාව තුළ කටයුතු කළ යුතු ආකාරය සහ පෙර සුදානම් සැලැස්ම මෙම වැඩපිළිවෙළ මගින් සිදුවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) සිට ආරම්භ වන අතර මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 474,147 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි ෴
කොහුවලදී මුදල් මංකොල්ලකෑමට ගිය පුද්ගලයෙකු මරුට
(16.03.2025 – 15:12 +0530 – hirunews.lk/sinhala)
නුගේගොඩ – නාලන්දාරාම පාරේ ඇවිදින මංතීරුවේ තිබී නාදුනන මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සදහන් කළේ, මියගිය පුද්ගලයාගේ සිරුරෙහි බහුවිධ තුවාල දක්නට ලැබෙන බවයි.
ඔහුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙම පුද්ගලයා පසුගිය දිනක කොහුවල ප්‍රදේශයේදී තියුණු ආයුධයක් පෙන්වා පාසල් සිසුවකුගේ මුදල් පසුම්බියක් කොල්ලකා ඇති බවට අනාවරණ වී තිබෙනවා.
එහිදී අවට සිටි පිරිස් විසින් මොහුට ගල්මුල්වලින් පහරදී ඇති බවටයි වාර්තා වී ඇත්තේ. එලෙස සිදුකර පහරදීම්වලින් මොහු මියගියේද යන්න පිළිබදව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴
දේශබන්දු හැර සෙසු සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස නීතිපතිවරයාගෙන් CIDයට උපදෙස්
(16.03.2025 – 15:44 +0530 – hirunews.lk/sinhala)
මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කරන ලද නියෝගයට එරෙහිව පොලිස්පති ධූරයේ වැඩ අත්හිටවන ලද දේශබන්දු තෙන්නකෝන් විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස අභියාචනාධිකරණය හමුවේ ‘රිට් පෙත්සමක්’ ගොනු කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මඟින් එම පෙත්සම පිළිබඳව සලකා බලා හෙට (17) වන දින ඊට අදාලව තීන්දුව නිකුත් කිරීමට නියමිතයි.
එමෙන්ම, ‘කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා’ ඇතුළු සැකකරුවන් 06 දෙනා තමන් අත්අඩංගුවට නොගන්නා ලෙසටද ඉල්ලා ‘රිට් පෙත්සම’ අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව නීතිපතිවරයා සහ පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයේදී ඇති කර ගන්නා ලද එකඟතාවය මත මූලික විමර්ශන අවසන් වෙන තෙක් ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙසටත් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ’ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කිරීමටත් නීතිපතිවරයා විසින් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව’ට උපදෙස් ලබාදී ඇති බවයි ‘පොලිස් මාධ්‍ය ඒකකය’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
මෙම ‘රිට් පෙත්සම’ 2025.03.21 වන දින අභියාචනාධිකරණයේ කැඳවීමට නියමිතයි.
මේ අනුව ‘කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා’ ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර, පොලිස්පති ධූරයේ වැඩ අත්හිටවන ලද දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ විමර්ශන කණ්ඩායම් 06 ක් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බවයි ‘පොලිස් මාධ්‍ය ඒකකය’ සඳහන් කළේ ෴
ගණ දෙවි පිළිමයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
(16.03.2025 – 17:16 +0530 – hirunews.lk/sinhala)
ඉපැරණි ගණ දෙවි පිළිමයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුරාවස්තුවක් ලෙස වටිනා ගණ දෙවි පිළිමයක් විකිණීමට බඩ ඉරිගු බෑගයක සඟවාගෙන යමින් සිටියදී මොහු කොටුවී තිබෙන්නේ.
ඒ මන්නාරම සිට කොළඹ දක්වා ගමන් ගත් බස් රථයක ගමන් කරමින් සිටියදී බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු මුරුක්කන් ප්‍රදේශයේදී ඊයේ (15) අත්අඩංගුවට ගත් බව මුරුක්කන් පොලිසිය පැවසුවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පේෂාලේ, කොටස්පත්‍රි ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක්.

සැකකරු මෙම ගණ දෙවි පිළිමය බඩ ඉරිගු ඇට පිරවූ බෑගයක ඉතා සූක්ෂම ලෙස සඟවා කොළඹ ප්‍රදේශයට විකිණීම සඳහා රැගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එම පිළිමයේ නාසය සහ අත් දෙක සැකකරු විසින් කඩා ඒවා රත්‍රං දැයි පරීක්ෂා කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුගෙන් කළ වැඩිදුර පුශ්න කිරිම්වලදී පවසා ඇත්තේ තමාගේ මාමාගෙන් එම පිළිමය ලැබුණු බවයි ෴
පාවාදීමේ පලියක් ගන්නා බව පවසා පහ (5) වසර සිසුන් එකතු වී තවත් සිසුවෙකුට ගිනි තියලා
(16.03.2025 – 17:30 +0530 – hirunews.lk/sinhala)
පාවාදීමේ පලියක් ගන්නා බව පවසා පාසල තුළ පන්ති කාමරයේදී, තිනර්වලට ගිනි අවුළුවා සිසුවකුට ගිනි තැබූ පහ (5) වසර සිසුන් තිදෙනකු (3) ගම්පොළ කුරුඳුවත්ත පොලිසිය සිය භාරයට ගෙන පරීක්ෂණ අරඹා තිබෙනවා.
පන්ති කාමරයේ තිබූ තිනර් බෝතලයක් සොරා ගැනීම මෙසේ පාවා දුන්නයි කෝප වූ ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් කුරුඳුවත්ත යටපාන ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක අවුරුදු දහය (10) හා එකොළහ (11) වයස්වල සිසුන් තිදෙනෙකු (3) පන්ති කාමරයේදී තීන්ත භාජනයකට තිනර් දමා එයට ගිනි තබා තවත් සිසුවෙකුගේ ඇඟට විසි කිරීමෙන් එම සිසුවාගේ දෙපා ගිනිගෙන තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම බිහිසුනු සිද්ධියට මුහුණ දුන් සිසුවා පවසන ආකාරයට මෙම විදුහලේ තිබූ තිනර් කෑන් එකක් පහ (5) වසර පන්තියේ සිසුන් විසින් එහි වැසිකිළි ප්‍රදේශයට රැගෙන ගොස් ඒවා හලමින් ගිණි තබමින් සිට තිබෙනවා.
පසුව එක් සිසුවකු බෝතලයකට එම තිනර් පුරවාගෙන පාසල් පොත් බෑගයේ සඟවාගෙන ඇති අතර එම සිද්ධිය පාසල් බලධාරීන්ට පැවසීම නිසා මෙසේ ගිනි තබා ඇති බවයි සඳහන් වන්නේ.
එම පහ (5) ශ්‍රේණිය පන්තිභාර ගුරුවරියද නොමැති අවස්ථාවක මෙම පාවාදීම පිළිබඳව කෝප වූ එම සිසුවා (1) සහ තවත් සිසුන් දෙදෙනකු (2) තීන්ත භාජනයකට තිනර් පුරවා එයට ගිනි තබා පන්තියේ සිටි මෙම සිසුවා දෙසට විසි කර තිබෙනවා.
එම සිසුවා ඉන් බේරීමට උත්සාහ කළත් ඔහුගේ දෙපා මතට ගිනි ගන්නා තිනර් හැලීම නිසා ඔහුගේ සිරුරට ගිනි ඇවිලී ඇති අතර ඔහු කෑ ගසමින් පහ (5) පන්තියේ සිට හතර (4) පන්තිය දෙසට දිව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
හතර (4) වසර පන්තියේ සිටි ගුරුවරියක ගිනිගෙන දුවන මෙම සිසුවා අල්ලාගෙන ඔහුගේ දෙපාවලට පොත් බෑග්වලින් ගසමින් හා ජලය හලමෙන් එම ගින්න නිවා දමා තිබෙනවා.
පසුව සිසුවා කුරදුවත්ත රෝහලට රැගෙන ගිය අවස්ථාවේ ඔහු ගම්පොළ ශික්‍ෂණ රෝහලට රැගෙන යන ලෙස උපදෙස් ලැබී තිබෙනවා.
මෙම සිද්ධිය පසුගිය පෙබරවාරි 13 දින සිදුව ඇති අතර පාසලේ විදුහල්පතිනිය මේ පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයක් නොගෙන සිද්ධිය වසන් කර ඇති අතර ගුරුවරුන් විසින් පවසා ඇත්තේ තින්ත ගාමින් සිටියදී බුදු පහන පෙරළී ඒ අසල තිබූ ටිනර් වගයකට ගිනි ඇවිලි සිසුවා පිළිස්සුන බවයි.
දින පහක් (5) රෝහල් ගතව සිටි මෙම සිසුවා සත්‍ය හෙළිකරමින් පොලිසියට කට උත්තරයක් දී තිබුණද ඒ පිළිබඳව අවධානය යොමු නොවී තිබියදී කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සිද්ධිය දැනගැනීමෙන් පසු මෙලෙස සිද්ධියට හවුල් අවුරුදු දහය (10) එකොළහ (11) වයස්වල සිසුන් තිදෙනෙකු (3) පොලිස් භාරයට ගෙන කට උත්තර ලබාගෙන තිබෙනවා ෴
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක්
(16.03.2025 – 19:38 +0530 – hirunews.lk/sinhala)
කොළඹ වරායේ දකුණු ජැටියේ සිට කොළොන්නාව ගබඩාවට ඉන්ධන පොම්ප කරන භූගත නළයේ හටගත් කාන්දුව සම්පූර්ණයෙන් පිළිසකර කිරීමට තවත් දින දෙකක් (2) හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇති බව ‘ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව’ පවසනවා.
කොළඹ වරායේ දකුණු ජැටියේ සිට කොළොන්නාව ගබඩාවට ඉන්ධන පොම්ප කරන භූගත නළ දෙක (2) අතරින් එක් (1) නළයක කාන්දුව හටගෙන තිබුණේ ඊයේ (15) රාත්‍රියේයි.
‘ඔක්ටේන් 92’ වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 14,000 ක් පමණ එම අවස්ථාවේ අදාළ නලය හරහා පොම්ප කරමින් තිබූ බව වාර්තා වනවා.
මෙම ඉන්ධන පොම්ප කිරීම පස්වරු 4 ට පමණ ආරම්භ කර ඇති අතර, අදාළ නලයෙන් ඉන්ධන කාන්දු වන බව නිරීක්ෂණය වී ඇත්තේ ඊයේ (15) රාත්‍රී 7 ට පමණ බව වෘත්තිය සමිති ප්‍රකාශ කළා.
රාත්‍රී 07:35 ට පමණ අදාළ ඉන්ධන කාන්දුව වැළැක්වීමට පියවර ගෙන ඇති අතර, කාන්දුවන ඉන්ධන, ‘ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ’ සේවකයින් එක්ව එකතු කිරීමට පියවර ගෙන තිබෙනවා.
‘ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ’ සභාපති ඩී.ඒ. රාජකරුණා පැවසුවේ, අදාළ නළයේ පිළිසකර කිරීම ආරම්භ කර ඇති අතර එය අවසන් කිරීමේ දිනයක් නිශ්චිතව කිව නොහැකි බවයි.
කෙසේ වෙතත් මෙම කාන්දුවත් සමග අපතේ ගිය ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ප්‍රමාණය හේතුවෙන් සංස්ථාවට රුපියල් මිලියන 100 ක පමණ අලාභයක් සිදුව ඇති බවයි ‘ඛනිජ තෙල් වෘත්තිය සමිති සංධානයේ’ මාධ්‍ය ප්‍රකාශක ආන්නද පාලිත ප්‍රකාශ කළේ.
+
+
කොස්තාපල්ට තුවාල කළ වෙලේ සුදාගේ සහෝදරයා සොයා විමර්ශනයක්
(16.03.2025 – 19:51 +0530 – hirunews.lk/sinhala)
බඩෝවිට ප්‍රදේශයේදී පොලිස් කොස්තාපලයෙකුට තියුණු ආයුධකින් තුවාල කර පලාගොස් සිටින ‘වෙලේ සුදා’ගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 2 ක් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.
‘ගල්කිස්ස මුලස්ථාන පොලිසියේ’ කණ්ඩායමක් සහ ‘දෙහිවල පොලිසියේ’ කණ්ඩායමක් මෙසේ සැකකරු අත්අඩංගුවට ගැනීමේ විමර්ශන සිදු කරනවා.
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සැකකරුවකු පැමිණෙන බවට පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව ‘බඩෝවිට පොලිස් මුරපොළේ’ රාජකාරී කරමින් සිටි ‘ගල්කිස්ස මුලස්ථාන පොලිසියේ’ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු පරීක්ෂා කිරීමට පියවර ගත් බව පැවසෙනවා.
එහිදී එම සැකකරු දැනට සිරදඩුවම් විදින ‘සමන් කුමාර’ නොහොත් ‘වෙලේ සුදා’ නැමැත්තාගේ සහෝදරයා බවට අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පලායාමට සූදානම් වී තිබෙනවා.
එහිදී කොස්තාපලයෙකු ඔහු අල්ලා ගැනීමට යාමේදී ඇති වූ පොර බැදීමකදී සැකකරු සන්තකයේ තිබූ තියුණු ආයුධයකින් කොස්තාපල්ගේ උදරය සහ අත කැපීමට ලක්කර තිබෙන බවයි පැවසෙන්නේ.
එහිදී තුවාල ලැබූ කොස්තාපලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට ඊයේ (15) බඩෝවිට 3 වැනි අදියර ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබෙනවා.
නමුත් සැකකරු පොලිසිය මගහරිමින් පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ක්‍රියාත්මකයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴