මැදිරිගිරිය සංගීත ප්‍රසංගයේ චණ්ඩි සොයා විමර්ශන
(15.03.2025 – 20:50 +0530 – hirunews.lk/sinhala)
පොළොන්නරුව – මැදිරිගිරිය, දිවුලන්කඩවල ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර එය නැරඹීමට පැමිණි පිරිසක් කලහකාරී ලෙස හැසිරී සංගීත භාණ්ඩවලට සහ ශබ්ද විකාශන යන්ත්‍රවලට දැඩි අලභහානි සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
අදාළ සංගීත ප්‍රසංගයට සහභාගී වීමට නියමිතව තිබූ ගායකයින් කිහිපදෙනෙකු සහභාගී නොවුණු බව පවසමින් ප්‍රසංගය අලුයම 01:30 ට පමණ අවසන් කිරීම නියමිත බව සංවිධායක මණ්ඩලය නිවේදනය කිරීමත් සමග මෙම තත්වය උදගතව තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
එම අවස්ථාවේ කලහකාරි ලෙස හැසිරුණු පිරිස වේදිකාව දෙසට පුටු ආදියෙන් දමා ගසමින් සිය විරෝධය පළ කර අතර එම අවස්ථාවේ ප්‍රවන්ඩකාරී ලෙස හැසිරුණු පිරිස පාලනට කිරීමට පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දැරුවත් එය ව්‍යර්ථතව ගොස් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මැදිරිගිරියේ පොලිසියෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත ඉදිරි විමර්ශන සිදු කර සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට බලාපොරොත්තු වන බවයි.
ප්‍රසංගය සදහා එක් වූ ‘ඇවටාර් සංගීත කණ්ඩායමේ නිර්මාතෘ චතුරංග විතානගේ’ ගෙන් ‘හිරු ප්‍රවෘත්ති’ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, රුපියල් මිලියන 30 ත් 40 අතර අලාභයක් සිදුව ඇති බවයි.
+
මැදිරිගිරියේ සංගීත සංදර්ශනය පොරපිටියක් කළ සැකකරුවන් 6 ක් අත්අඩංගුවට
(16.03.2025 – 16:21 +0530 – hirunews.lk/sinhala)
පොළොන්නරුව – මැදිරිගිරිය දිවුලන්කඩවල ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර ඇතිවූ කලහකාරී සිද්ධියට අදාළව සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, පලාගිය තවත් සැකකරුවන් පිරිසක් සොයා කණ්ඩායම් 05 ක් විමර්ශන ආරම්භ කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව ප්‍රදේශයේම පදිංචි අවුරුදු 18 ත් 26 ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සදහන් කළේ.
ඔවුන් හෙට (17) හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
අදාළ සංගීත ප්‍රසංගයට සහභාගී වීමට නියමිතව තිබූ ගායකයින් කිහිපදෙනෙකු සහභාගී නොවුණු බව පවසමින් ප්‍රසංගය අලුයම 01:30 ට පමණ අවසන් කිරීම නියමිත බව සංවිධායක මණ්ඩලය නිවේදනය කිරීමත් සමග මෙම කළහකාරී තත්ත්වය ඇතිව තිබුණා.
එම අවස්ථාවේදී කලහකාරි ලෙස හැසිරුණු පිරිස වේදිකාව දෙසට පුටු ආදියෙන් දමා ගසමින් සංගීත උපකරණවලටද හානිකර තිබුණා.
+
‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ ගැන පාර්ලිමේන්තු විවාදයේ පළමු (1) දිනය අප්‍රේල් 10
(16.03.2025 – 07:06 +0530 – hirunews.lk/sinhala)
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පළමු (1) දින විවාදය අප්‍රේල් 10 වනදා පැවැත්වෙනවා.
එමෙන්ම, මැයි මාසයේ තවත් දිනයක් එම විවාදය සදහා නම් කරනු ඇති බවයි ‘පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව’ සදහන් කළේ.
මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ පසුගිය 14 වනදා සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු අවධාරණය කළේ මෙම වාර්තාව ඉදිරියේදී නීතිපතිවරයා වෙත යොමුකිරීමට කටයුතු කරන බවයි.
එහිදී මෙම වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක (2) පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමටත්, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටවුක් පත් කරන බවද ඔහු කියා සිටියා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ‘අල් ජසීරා නාලිකාව’ සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී ‘බටලන්ද කොමිසමේ වාර්තාව’ යළි කරළියට පැමිණියා.
1994 දී බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ රජයෙන් ‘බටලන්ද වධකාගාරය’ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ‘පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක්’ පත්කළ අතර, එවක විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ ද එම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා ෴
+++
‘බටලන්ද වාර්තාව’ ගැන රනිල් කළ විශේෂ ප්‍රකාශය මෙන්න
(16.03.2025 – 11:57 +0530 – hirunews.lk/sinhala)
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ‘බටලන්ද කොමිසන් වාර්තාව’ සම්බන්ධ විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.
ඔහු සඳහන්කර සිටියේ මෙවැනි අදහසක් :
“එක්දාස් නමසිය අසූ හත (1987) ‘ඉන්දු ලංකා ගිවිසුම’ අත්සන් කිරීමෙන් පසුව ‘ජනතා විමුක්ති පෙරමුණ’ රටපුරා භීෂණයක් ඇති කිරීමට ක්‍රියා කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී රටේ මර්මස්ථාන ආරක්ෂා කිරීමේ බලය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් කැබිනට් ඇමතිවරුන්ට පැවරුවා. බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව, ඩීසල් විදුලි බලාගාරය, මහවැලියේ සිට කොළඹට විදුලි බලය ලබාදෙන මධ්‍යස්ථානය, වෙළඳ කලාපය ලෙස ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කීපයක් තිබුණා. ඒ ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා හමුදා කැඳවනු ලැබුවා.
ආරක්ෂා අංශවලට රැඳී සිටීම සඳහා ‘ලංකා පොහොර නිපදවීමේ සංස්ථාව’ට අයත් ඒ වන විට අතහැර දමා තිබුණු ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් ලබා දීමට තීරණය කෙරුණේ. ඒ වන විටත් ‘ලංකා විදුලිබල මණ්ඩලයේ’ නිලධාරීන් එහි නිවාස කිහිපයක පදිංචිව සිටියා. මේ භීෂණ කාලය තුළදී ‘සපුගස්කන්ද පොලිස් ස්ථානය’ට පහර දී ස්ථානාධිපතිවරයා මරා දැමූ ලැබුවා. ඒ අවස්ථාවේදී ආරක්ෂක නියෝජ්‍ය ඇමැති රන්ජන් විජේරත්න මහතා මට කතා කර යුද්ධ හමුදා හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා නිවාස සංකීර්ණයේ හිස්ව පැවති නිවාස ඔවුනට ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුව එවකට ඈවරකරු මඟින් අදාළ නිවාස, කැළණි පොලිස් අධිකාරි නලීන් දෙල්ගොඩ මහතා වෙත පැවරීමට පියවර ගත්තා. පළාත් සභා මන්ත්ත්‍රීවරයෙකු, සමුපකාර සමිති සභාපතිවරයෙකු, පොලිස් සාජන්වරයෙකු ඇතුළු පුද්ගලයන් කීප දෙනෙක් ඝාතනය කිරීම මේ අතරවාරයේදී සිදුවුණා.
ඒ සමඟ තවත් පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට පහර දීමක් කෙරුණා. කඩා වැටුණු ජනජීවය, ආර්ථිකය ගොඩනගමින් රටේ සාමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයේ සිටි ආණ්ඩුව විසින් කටයුතු කළා. එක්දාස් නමසිය අනූ හතරෙන් (1994) පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බටලන්ද ප්‍රදේශයේ වධකාගාරයක් තිබුණේ දැයි සෙවීමට කොමිසමක් දැම්මා. ඊට නොයෙකුත් පුද්ගලයන් කැඳෙව්වා. මාව කැඳෙව්වේ සාක්ෂිකරුවෙක් ලෙස පමණයි. ඒ වන විට මා රටේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කරා.
‘බටලන්ද කොමිසම’ පත් කළේ සම්පූර්ණ දේශපාලන මඩ ගැසීමක් අරමුණු කරගෙනයි. නමුත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ වාර්තාවේ තීරණවල මා සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන්නේ ඇමති හැටියට පොලිස් අධිකාරිවරයා මගින් පොලිස් නිලධාරීන්ට නිවාස දීම නිවැරදි නොවන බවයි.
එහි නියම ක්‍රමවේදය විය යුත්තේ පොලිස්පතිවරයාට නිවාස භාර දී ඒ හරහා අදාළ නිලධාරීන්ට පැවරීමයි. මේ ක්‍රියාකාරිකම නිසා මමත් නලීන් දෙල්ගොඩ මහතාත් වක්‍රාකාරයෙන් වගකිව යුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා.
කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වෙනත් කිසිදු කරුණක් මට අදාළ වන්නේ නෑ. ‘ජනතා විමුක්ති පෙරමුණ’ එක්දාස් නමසිය අසූ අටේ, අනූව (1988-90) කාලයේ කළ ත්‍රස්තවාදීන් ක්‍රියා රාශියක් ගැන කොමිෂන් වාර්තාවේ තීරණ, සමාපත්ති, නිරීක්ෂණවලට දැක්වෙනවා. එහි පසුබිමත් කියවෙනවා.
‘ජනතා විමුක්ති පෙරමුණ’ කළ දරුණු ත්‍රස්ත ක්‍රියා ගැන කොමිෂන් වාර්තාවේ තුන්වෙනි (3) පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වෙනවා. මුළු ඉතිහාසයම ඒ ඇතුළත් කර තිබෙනවා. ඉහත කරුණු ඇරෙන්න අනෙක් කිසිම චෝදනාවක් මට අදාළ වන්නේ නෑ. ඒ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.
‘බටලන්ද කොමිෂන් වාර්තාව’ හංගාගෙන සිටියා කියා කිසිවෙකුටවත් චෝදනා කළ නොහැකියි. වර්ෂ දෙදාහේදී (2000) පාර්ලිමේන්තු සැසිවාර වාර්තාවක් හැටියට එය තිබුණා. නමුත් කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට ඉල්ලීමක් කරේ නෑ. අඩු තරමින් ‘ජනතා විමුක්ති පෙරමුණ’ වත් එවැනි ඉල්ලීමක් කළේ නැහැ. බොහෝ දෙනෙක් වාර්තාව පිළිගත්තේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට පියවර නොගත් බව අපට විශ්වාස කළ හැකියි. මෙතෙක් බලයට පත් වූ කිසිඳු දේශපාලන පක්ෂයක් මේ වාර්තාව හරහා පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ බව ද කිව යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු සැසි වාර්තාවක් අවුරුදු විසි පහකින් (25) පසුව පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ කිසිම සම්ප්‍රධායක් මේ රටේ වත්, අනිත් පාර්ලිමේන්තුවලවත් නැහැ..”
+
දරුවන් අතර ප්‍රචණ්ඩත්වය දෘෂ්ඨිවාදී ගැටලුවක් – මනෝ විශේෂඥයින් කියයි
(16.03.2025 – 08:21 +0530 – hirunews.lk/sinhala)
දරුවන් අතර ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සදහා ඔවුන්ට ගැටුම් කළමණාකරනය පිළිබද අවබෝධයක් ලබා දිය යුතු බව මනෝ විශේෂඥයින් පවසනවා.
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මේ බව කියා සිටියේ දරුවන් අතර මේ වන විට වැඩි වශයෙන් වාර්තා වන ගැටුම්කාරී තත්වයන් පිළිබද අවදානය යොමු කරමින්.
+
නුගේගොඩ නගරයේ පිහිටි උපකාරක පන්තියක් අසළ රථගාලකදී පිරිසක් විසින් සිසුන් දෙදෙනෙකුට (2) පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිසුන් හතර දෙනෙකු (4) ඊයේ (15) අත්අඩංගුවට ගැනුනා.
උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටින තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි සිසුවෙකුට සහ ඔහුගේ මිතුරෙකුටයි අදාළ උපකාරක පන්තිය ඉදිරිපිට පිහිටි සුපිරි වෙළඳසැලක රථගාලේදී මෙම පහරදීම සිදු කර තිබුණේ.
පහර කෑමට ලක්වූ සිසුන් දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙකු තවමත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු 14 ත් 17 ත් අතර අය වන අතර අද (16) ඔවුන් ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
එසේම පාසල් සිසුන් අතර මෙවන් ගැටුම්කාරී සිදුවීම් පසුගිය දිනවලද වාර්තා වුණා.
කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මේ සම්බන්දයෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට අදහස් පල කළා.
එහිදී ඔහු කියා සිටියේ දරුවන් අතර ප්‍රචණ්ඩත්වය ඉහළ යාම දෘෂ්ඨිවාදී ගැටලුවක් බවයි ෴
+
+
ජීව උණ්ඩ ගෝනියක් කැළෑවකින් හමුවෙයි
(16.03.2025 – 10:21 +0530 – hirunews.lk/sinhala)
ලඳු කැළෑවක සඟවා තිබූ ටී-56 ගිණිඅවි සඳහා භාවිත කෙරෙන ජීව පතරොම් ගෝනියක් (15) දා හමු වී තිබෙනවා.
මුලතිව්, සිලාවත්ත, ඩියෝනගර් ප්‍රදේශයේ තිබියදී මේවා සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.
නාවික හමුදා නිලධාරීන් පිරිසකට ලැබුණු තොරතුරක් මත පොලීසිය සමග ගොස් අදාල ප්‍රදේශය පරීක්ෂා කිරීමේදී මෙම ජීව පතරොම් තොගය හමු වී තිබෙනවා.
එම ගෝනිය තුළ පතරොම් විශාල ප්‍රමාණයක් ඇති බවටයි මුලතිව් පොලීසිය විශ්වාස කරන්නේ.
මෙම පතරොම් තොගය මුලතිව් පොලීසිය භාරයට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴
කොළඹ වරායේ සිට කොළොන්නාවට ඉන්ධන රැගෙන යන නළ පද්ධතියක දෝෂයක්
(16.03.2025 – 11:15 +0530 – hirunews.lk/sinhala)
කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා සම්බන්ධ කරන තෙල් නල මාර්ග දෙකෙන් (2) එකක (1) දෝෂයක් හඳුනාගෙන තිබෙනවා.
ඉතිරි නල මාර්ගයෙන් ප්‍රමාණවත් ලෙස ඉන්ධන සැපයිමට කටයුතු කෙරෙන බවයි ‘ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව’ පවසන්නේ ෴
දඹුල්ලේ මවක් සිය අවුරුදු එක හමාරක (1½) දරුවා සමග ගිනි තබාගනී
(16.03.2025 – 13:01 +0530 – hirunews.lk/sinhala)
පවුල් ආරවුලක් හේතුවෙන් දඹුල්ල – කණ්ඩලම ප්‍රදේශයේ තිදරු මවක්, අවුරුදු එකහමාරක් (1½) වයසැති සිය කුඩා පිරිමි දරුවාද සමග සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මව දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, බරපතල පිළිස්සුම් තුවාල ලැබූ කුඩා පිරිමි දරුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරු කර යැවුණු බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

අදාළ කාන්තාවගේ සැමියා කිහිප අවස්ථාවන්වලදී පහර දී නිවසෙන් පන්නා දැමීම ආදී හිරිහැර නිසා සිත් තැවුලට පත් ව ඇය සිය දරුවා සමඟ මෙලෙස සිය දිවි හානිකර ගැනීමට තැත් කර තිබුණා.
එම කාන්තාවගේ වයස අවුරුදු හතක් (7) සහ නවයක් (9) වූ අනෙක් දියණියන් දෙදෙනා (2) පාසැල් ගිය අවස්ථාවේ ඇය සිය කාමරයේදී මෙලෙස සිරුරට පෙට්‍රල් වත් කරගෙන ගිනි තබාගෙන ඇති බවත්, පසුව සැමියා පැමිණ දරුවාගේ සිරුරේ ගින්න නිවා තිබෙන බවත් පොලිසිය සදහන් කළා ෴
(තම මානසික රෝගයට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා නම් මෙබඳු විපතක් සිදු නොවනු ඇත – අමරසර)
අතවරයක් ගැන කාන්තාවකගෙන් තලංගම පොලිසියට පැමිණිල්ලක්
(16.03.2025 – 13:11 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු වෛද්‍යවරියක් දූෂණය කිරීමේ අතිශය ඛේදජනක සිදුවීම වාර්තා වී සතියක් ඉක්ම යන්නටත් මත්තෙන් තවත් එවැනිම අතිශය ඛේදජනක පුවතක් තලංගම පොලිස් වසමෙන් වාර්තා වනවා.
ඒ, පුද්ගලයින් තිදෙනෙකු (3) එක්ව කළ සමූහ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන්.
බිබිල මැදගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක් නුගේගොඩ ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිට ඇති අතර කුලී ත්‍රිරෝද රථයකින් සිය පෞද්ගලික කටයුත්තක් සඳහා පිටත්ව ගොස් තිබුණේ මීට මාස දෙකකට (2) පමණ පෙරයි.
එම අවස්ථාවේදී ත්‍රිරෝද රථ රියැදුරු අදාළ කාන්තාව සමග සුහදත්වයක් ගොඩනගාගෙන ඇති අතර දෙදෙනා දුරකථනය ඔස්සේ නිතර කතාබස් කර ඇති බවද සඳහන්.
ඉකුත් 14 වැනිදා අදාළ ත්‍රිරෝද රථයේ රියැදුරු තමන්ට අකුරේගොඩ ප්‍රදේශයට පැමිණෙන ලෙස පැවසූ බවත් එම ත්‍රිරෝද රථ රියැදුරු එවූ තවත් කුලී ත්‍රිරෝද රථයකින් අකුරේගොඩ ප්‍රදේශයට පිටත්ව ගිය බවත් අදාළ කාන්තාව පොලිසියට පවසා තිබෙනවා.
යතුරු පැදියකින් අකුරේගොඩට පැමිණ තිබූ එම ත්‍රිරෝද රථ රියැදුරු තමන් යතුරු පැදියේ නංවාගෙන පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් එහිදී දූෂණය කළ බවත් අදාළ කාන්තාව පොලිසියට දුන් ප්‍රකාශයේ සඳහන්.
එම පුද්ගලයා තමන් රැගෙන ගිය ප්‍රදේශය නිශ්චිතව පැවසිය නොහැකි බව ද අදාළ කාන්තාව පොලිසියට පවසා තිබෙනවා.
ඉන් අනතුරුව එම පුද්ගලයා නැවතත් තමන් යතුරු පැදියේ නංවාගෙන ඔහුගේ නිවසට රැගෙන ගොස් නැවත වරක් දූෂණය කළ බවත් පසුව ඔහුගේ මිතුරන් තිදෙනෙකුට (3) තමා හඳුන්වා දුන් බවත් අදාළ කාන්තාව පොලිසිය ලබා දුන් කටඋත්තරයේ සඳහන්.
පසුව එම පුද්ගලයින් තිදෙනා (3) ගෙන් දෙදෙනෙකු (2) එම ස්ථානයේදී තමා දූෂණයට ලක් කළ බව ද අදාළ කාන්තාව පොලිසියට පවසා තිබෙනවා.
පසුව පළමු සැකකරු තමන්ගේ බැංකු කාඩ්පතින් රුපියල් 12,000 ක අත් ඔරලෝසුවක්, පවුමක රන් මාලයක්, කරාඹු යුගලක් හා අයිෆෝන් වර්ගයේ ජංගම දුරකථනයක් ද මිල දී බව අදාළ කාන්තාව පොලිසියට දුන් කට උත්තරයේ සඳහන්.
කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නැහැ.
මේ අතර සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට (2) ලිංගික අඩන්තේට්ටම් කළ බව කියන එම ගුවන් යානයේම සිටි ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන කොළඹ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.
පොලිසිය පැවසුවේ, ඊයේ (15) පෙරවරුවේ සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 309 දරණ ගුවන් යානය තුළ මෙය සිදුව ඇති බවයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴