අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් : ‘පොඩි සුද්දා’ ජීවිතක්ෂයට
(14.03.2025 – 21:13 +0530 – sinhala.adaderana.lk)
අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ දර්ශන පෙළක් ‘අද දෙරණ’ට ලැබී තිබේ.
අද (14) සවස 06:30 ට පමණ වෙඩිතැබීම සිදුව තිබූ අතර, ඉන් 39 හැවිරිදි ‘තිරිමාදුර සමන් ක්‍රිෂාන්ත මෙන්ඩිස්’ නොහොත් ‘පොඩි සුද්දා’ නැමැත්තා ඝාතනයට ලක්වුණි.
කුලීගොඩ, ඉඩන්තොට පදිංචිකරුවෙකු වන මොහු අද (14) සවස අම්බලන්ගොඩ නගරයට යාම සඳහා බස් රථයට නැඟීමට ‘ඉඩන්තොට හන්දියේ බුදුමැඳුර අසල’ රැඳී සිටින අතරතුර යතුපැදියකින් පැමිණි පුද්ගලයෙකු (1) වෙඩිතබා ඇති බව පැවසේ.
බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා බලපිටිය මූලික රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.
+
+
+
+
තීරුබදු නොගෙවා මෙරටට ගෙනා විදේශීය මත්පැන් හා එනසාල් සමග අයෙක් අත්අඩංගුවට
(14.03.2025 – 08:13 +0530 – hirunews.lk/sinhala)
විදේශ රටක සිට මෙරටට ගුවන් යානයකින් පැමිණි පුද්ගලයෙකු නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් බෝතල් 42 ක් හා එනසාල් කිලෝ 25 ක් සමග ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේදී ගුවන්තොටුපල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වැඩිදුර විමර්ශන ගුවන්තොටුපල පොලිස් ස්ථානය මගින් සිදු කරනවා ෴
පාසල් සංවර්ධන සමිති ගාස්තු ඉහළ දමා ඇතැයි ගුරු සංගම්වලින් චෝදනා
(14.03.2025 – 08:22 +0530 – hirunews.lk/sinhala)
පාසල් සංවර්ධන සමිති විසින් අය කරන ගාස්තු ඉහළ නැංවීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇති බවට ‘ලංකා ගුරු සංගමය’ චෝදනා කරනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කොළඹ ඊයේ (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ කොළඹ ප්‍රධාන පාසලක එම ගාස්තුව රුපියල් 1000 කින් හෝ 1500 කින් ඉහළ දැමීමට අනුමැතිය ලබා දී ඇති බවයි.
මේ අතර, දේශපාලන නියෝජිතයින් පාසල්වල සංවිධානය කරන උත්සවවලට ගෙන්වීම වහා නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය දැනුම් දී ඇති පසුබිමක කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මාවනැල්ල ප්‍රදේශයේ පාසලක උත්සවයකට සහභාගී වී ඇති ආකාරය දක්නට ලැබුණා.
එමෙන්ම, හිටපු කතානායක අශෝක රන්වල ද ගම්පහ ප්‍රදේශයේ පාසලක සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගි වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී. චානක පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ෴
රජයේ රැකියා දෙන බව පවසා අල්ලස් ගත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(14.03.2025 – 13:06 +0530 – hirunews.lk/sinhala)
රජයේ රැකියා ලබා දෙන බව පවසා සිව්දෙනෙකු (4) ගෙන් රුපියල් පන්ලක්ෂ පන් දහසක (5,05,000) මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් කාන්තාවක් (1) ඇතුලු දෙදෙනෙකු (2) ‘අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිෂන් සභාව’ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා (2) කුට්ටිගල – පදලංගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.
පසුව සැකකරුවන් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී එක් සැකකරුවෙක් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අනෙක් සැකකාරිය රුපියල් ලක්ෂ පහ (5) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදාහැරීමටයි නියෝග කෙරුණේ ෴
දින ගණනක් වහන් වී සිටි දළ කැඩුණු ‘සුමේධ’ සොයාගැනේ
(14.03.2025 – 13:46 +0530 – hirunews.lk/sinhala)
ලොරියක ගැටී සිදුවූ අනතුරකින් දළයක් ගැලවී අතුරුදන්ව සිටි ‘සුමේධ’ නැමැති ඇතා අද (14) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට සදහන් කළේ, වනජීවී නිලධාරීන් ඇතුලු පිරිස් මරදන්කඩවල ලබුනෝරුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් අතරතුර මෙම ඇතා සොයාගෙන ඇති බවයි.
හඹරණ – මරදන්කඩවල මාර්ගයේ ගලපිටගල 09 කණුව ප්‍රදේශයේදී පසුගියදා මෙම අනතුර සිදුවූ අතර, ඉන් පසුව මෙම ඇතා සොයාගැනීමට දින 09 ක් පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.
කෙසේ වෙතත් අද (14) හමුවූ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සදහන් කළේ ෴
ග්‍රාම නිලධාරීනියන් අද (14) වැඩ වරයි
(14.03.2025 – 13:59 +0530 – hirunews.lk/sinhala)
ග්‍රාම නිලධාරීනියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු මුල්කරගනිමින් ‘ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය’, අද (14) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පස්වරු 06 සිට උදෑසන 06 දක්වා ආපදා, මරණ ඇතුලු සියලු රාජකාරීවලින් ඉවත් වන බවයි මහනුවර අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් සුදක්ෂි තිලකරත්න කියා සිටියේ.
මේ අතර, මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ ඊයේ (13) පැවති කාන්තා දින වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ‘කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්’ පැවසුවේ රාත්‍රී සේවා මුරවල යෙදී සිටින කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවයි ෴
වනඅලි ප්‍රහාරයකින් ගොවියෙකු මරුට
(14.03.2025 – 15:24 +0530 – hirunews.lk/sinhala)
කහටගස්දිගිලිය දඹගොල්ල ප්‍රදේශයේ දී අද (14) අලුයම එල්ලවූ වනඅලි ප්‍රහාරයකින් 60 හැවිරිදි පුද්ගලයකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි දිවුල්වැව පොලිසිය පවසනවා.
දඹගොල්ල ප්‍රදේශයේ බඩ ඉරිඟු හේනක බඩ ඉරිඟු සුද්ද කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට (3) එම වනඅලි ප්‍රහාරය එල්ලව තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
වනඅලි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ඔවුන් දිව යාමට කටයුතු කර ඇතත් එම අවස්ථාවේ ඉන් එක් (1) පුද්ගලයකු වනඅලියාගේ පහරදීමට ලක්ව තිබූ අතර සෙසු පුද්ගලයින් දෙදෙනා (2) දිව ගොස් දිවි බේරා ගෙන තිබූ බවද පොලිසිය පවසා සිටියා.
වනඅලි ප්‍රහාරයට ලක්ව මෙලෙස මියගොස් ඇත්තේ දඹගොල්ල මීමින්නාවල යන ලිපිනයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙක්.
වනඅලි ප්‍රහාරයට ලක්වූ එම පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් තිබුණා.
සිද්දිය සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව ගම්වාසින් හා පොලිසිය එක්ව අද (14) උදෑසන සිදුකළ සෝදිසියකදී එම පුද්ගලයාගේ මළ සිරුර සොයාගැනීමට හැකිව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිද්දිය සම්බන්ධයෙන් දිවුල්වැව පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා ෴
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත් වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ
(14.03.2025 – 15:24 +0530 – hirunews.lk/sinhala)
2024 වර්ෂයේ පහ (5) ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ ‘පාසල් කඩඉම් ලකුණු’ නිකුත් කර තිබෙනවා.
2025.03.14 දින සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/#/ සබැඳිය වෙත පිවිසීමෙන් පරීක්ෂා කර ගත හැකි බවයි වාර්තා වන්නේ.
2024 පස්වන (5) ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, මෙම කඩ ඉම් ලකුණු අනුව පාසලක් ලැබී නොමැති / වෙනත් සාධාරණ හේතු මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත (Online) ක්‍රමයට පහසුකම් ඉදිරියේ දී සලසන අතර අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව පසුව දැනුම් දෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම සියලු අභියාචනා එම මාර්ගගත වැඩසටහන හරහා පමණක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු බවයි වාර්තා වන්නේ ෴
වෙළඳසැල් 03 ක් ගින්නකින් අළුවෙයි
(14.03.2025 – 15:51 +0530 – hirunews.lk/sinhala)
නෝර්ටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් හගරාපිටිය ජම්බුතැන්න ප්‍රදේශයේ අද (14) අලුයම වෙළඳසැල් 03 ක ගින්නක් හටගෙන ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසනවා.
ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක්, තොග සහ සිල්ලර ආහාර ද්‍රව්‍ය අලෙවිසැලක් සහ මැටි භාණ්ඩ ද්‍රව්‍ය අලෙවිසැලක (14) දින අලුයම 01:30 ට පමණ තොග සහ සිල්ලර වෙළඳසැල දෙසින් ගින්න හටගෙන ඇති බවෛ අප වාර්තාකරු සඳහන් කළේ.
ගින්න හට ගත් ගොඩනැගිල්ල එකම අයිතිකරුවෙකුට අයත් එක්ක බවත්, ගින්න හට ගන්නා අවස්ථාවේ වෙලදසැල්වල කිසිවෙකු නොසිටි බවත්, ගින්නෙන් සිල්ලර වෙළඳසැල සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර, මැටි භාණ්ඩ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලට අර්ධ වශයෙන් විනාශ වී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසනවා.
පැතිරගිය ගින්න ප්‍රදේශවාසීන් එක්ව පාලනය කිරිමට සමත් වි ඇති අතර, ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැක කෙරෙන බවද සඳහන්.
ගින්න පිලිබදව වැඩිදුර පරීක්ෂන නෝර්ටන්බ්‍රිජ් පොලිසිය විසින් සිදුකරනු ලබනවා.
පාසල් වයසේ ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමට ලබා දී ඇති රු 6,000 ක වවුචරයේ වලංගු කාලය දීර්ඝ කෙරේ
(14.03.2025 – 17:30 +0530 – hirunews.lk/sinhala)
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දී ඇති ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමේ වවුචරපත් වල වලංගු කාලය 2025.03.15 දිනෙන් අවසන් වුවත් එහි වංලගු කාලය 2025.03.31 දින දක්වා කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා ෴
ජනතාවට කුණු කවන ගොවිපලකට එරෙහිව ජනතාව පාරට බසී
(14.03.2025 – 22:41 +0530 – hirunews.lk/sinhala)
හැටන් වටවල ප්‍රදේශයේ පෞද්ගලික සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් එම සත්ව ගොවිපලේ පාලන අධිකාරිය විසින් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවන් එම සත්ව ගොවිපල ඉදිරිපිට (14) දින විරෝධය පළකර තිබෙනවා.
ඊයේ (14) අලුයම එම සත්ව ගොවිපලට පැමිණි ලොරි රථ දෙකක (2) එවැනි සතුන් ගව බගවන්තලාව නගරයේ ගව ඝාතකාගාරය වෙත රැගෙන ගිය බවත්, ඉන් එක ලොරි රථයක් තමන් අල්ලාගත් බවයි එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටියේ.
ගවයන් ප්‍රවාහනය කිරිමට පසුගිය 12 වනදා ලබාගත් බලපත්‍රයක දිනය, සත්ව ගොවිපලේ පාලන අධිකාරිය විසින් වෙනස් කරමින් ලෙඩ වී මිය යාමට ආසන්න බව පැවසෙන ගවයන් සහ එළදෙනුන් ප්‍රවාහනය කිරිමට කටයුතු කර ඇති බවද විරෝධතාවයේ නියැලීසිටි වතුකම්කරුවන් පවසනවා.
මීට ප්‍රථම එම සත්ව ගොවිපලේ විවිධ රෝග වැලදී මිය යෑමට ආසන්න මෙවැනි සතුන් මිය යෑමෙන් පසු සත්ව ගොවිපලේම වල දමන බවත්, වත්මන් පාලන අධිකාරිය මගින් එම සතුන් මස්කඩ වලට අලෙවිකර එම සතුන්ගේ මස් වතුකරයේ ජනතාවට අනුභව කිරිමට කටයුතු කරන බවත් ඔවුන් චෝදනා කරනවා.
වතුකම්කරුවන්ගේ විරෝධය හමුවට පැමිණි නෝර්ටන්බ්‍රිජ් පොලිසියේ නිළධාරින් වතුකම්කරුවන් විසින් අල්ලාගෙන තිබු ලොරි රථයේ සිටි ගවයන් දෙදෙනා (2) ආපසු සත්ව ගොවිපල වෙතම රැගෙන යන ලෙසට පාලන අධිකාරියෙන් කළ ඉල්ලීමක් මත එම සතුන් ආපසු සත්ව ගොවිපල වෙත රැගෙන යනු ලැබුවා.
එම සත්ව ගොවිපලෙන් බගවන්තලාව නගරයේ ගව ඝාතකාගාරය වෙත රැගෙන ගොස් ගැට ගසා තිබෙන අයුරු අප කැමරාවේ සටහන් වු අතර, ඒ සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ සහයෝගය මත විමර්ෂණයක් ආරම්භකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
වතුකම්කරුවන් නගන චෝදනා සම්බන්ධයෙන් අප වාර්තාකරු, එම සත්ව ගොවිපලේ පාලන අධිකාරියේ නිළධාරියෙකුගෙන් කරුණු විමසීමට උත්සහ කලත් එය ව්‍යර්ථ වී තිබුණා ෴
බන්ධනාගාර බස් රථයක් අනතුරක – රැඳවියන් දෙදෙනෙකුට (2) තුවාල
(14.03.2025 – 22:28 +0530 – sinhala.adaderana.lk)
බද්දේගම දෙස සිට ගාල්ල දෙසට ගමන්ගත් බන්ධනාගාර බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ, නාගොඩ පොලිස් වසමේ උඩුගම ගාල්ල ප්‍රධාන මාර්ගයේ කැප්පෙටියාගොඩ ප්‍රදේශයේ දී අද (14) සවස අනතුර සිදුව තිබූ බවය.
අනතුරින් බස් රථයේ රැගෙන ගිය සැකකාරියන් දෙදෙනෙකු (2), බස් රථයේ රියදුරු හා තවත් බන්ධනාගාර නිලධාරියෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරින් 33 හැවිරිදි හා 44 හැවිරිදි සැකකාරියන් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබේ.
බන්ධනාගාර බස් රථය උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් රැගෙන විත් නැවත සැකකරුවන් තිදෙනෙකු (3) හා සැකකාරියන් දෙදෙනෙකු (2) නාගොඩ බද්දේගම හරහා ගාල්ල බන්ධනාගාරය වෙත රැගෙන යමින් තිබිය දී මෙලෙස අනතුරට ලක්ව තිබුණි ෴
මධ්‍යම අධිවේගයේ මාරක රිය අනතුරක්
(14.03.2025 – 22:18 +0530 – sinhala.adaderana.lk)
අද (14) අලුයම මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ ලොරි රථයක් නාගලගමුව ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්ව තිබුණි.
එහිදී මාර්ගයේ වම්පසින් නවතා තිබූ ලොරි රථය පරීක්ෂා කරන අවස්ථාවේ එම දිසාවටම ධාවනය වූ ෆ්‍රීසර් ලොරි රථයක් නවතා තිබූ ලොරි රථයේ ගැටී අනතුරක් සිදුව තිබුණි.
අනතුරින් ෆ්‍රීසර් ලොරි රථයේ ගමන් කළ රියදුරු සහ රිය සහායක තුවාල ලබා රෝහල්ගත කිරීමට මාර්ගයේ ගමන් කළ වෙනත් වාහනයක රියදුරුරෙකු සහායට පැමිණ තුවාල ලැබූ රෝගීන් රැගෙන යාමට සුදානමින් සිටියදී එම දිසාවටම ධාවනය වූ කන්ටේනර් රථයක් ෆ්‍රීසර් ලොරි රථයේ නැවත ගැටීමෙන් සහායට පැමිණි රියදුරු, ෆ්‍රීසර් ලොරි රථයේ රියදුරු, රිය සහයකයා හා කාර්මික දෝෂයට ලක් වූ ලොරි රථයේ රියදුරුද බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරින් වයස අවුරුදු 38 ක් වු වඩුගොඩ, බූස්ස ප්‍රදේශයේ පදිංචි ෆ්‍රීසර් ලොරි රථයේ රිය සහයකයා මියගොස් ඇත.
මධ්‍යම අධිවේගී මාර්ග කුරුණෑගල අනුපාලක ස්ථානය මඟින් අනතුරට පත්වූ වාහන නාරම්මල පොලීසියට ඉදිරිපත් කර තිබේ.
වයස අවුරුදු 29 ක් වූ සදලංගල ප්‍රදේශයේ පදිංචි කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴