‘සුපර් මුස්ලිම්’ නැගෙනහිර අන්තවාදී සංවිධානයක්… නායකයා රජයේ වෛද්‍යවරයෙක්…

‘සුපර් මුස්ලිම්’ නැගෙනහිර අන්තවාදී සංවිධානයක්… නායකයා රජයේ වෛද්‍යවරයෙක්…


‘සුපර් මුස්ලිම්’ නැගෙනහිර අන්තවාදී සංවිධානයක්… නායකයා රජයේ වෛද්‍යවරයෙක්…

(10.03.2025 – 00:02 +0530 – lankacnews.com)

‘නැගෙනහිර මුස්ලිම් අන්තවාදී කණ්ඩායම’ට නායකත්වය ලබා දෙන්නේ ‘කල්මුණේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක්’ බව ‘බොදුබල සේනා සංවිධානයේ’ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

‘සුපර් මුස්ලිම්’ නම් මෙම සංවිධානය මෙහෙයවන මෙම වෛද්‍යවරයා දැනටමත් ‘රජයේ රෝහලක’ සේවය කරන බවද එහිමියන් ප්‍රකාශ කරයි.

‘මේ ලෝකය වැඩක් නොමැති බවත් දරුවන්ට අධ්‍යාපනය ලබා නොදිය යුතු බවත් පොතපත නොකියවිය යුතු බවත්’ දේශනා කරන මෙම අන්තවාදී නායකයා, දෙවියන් උදෙසා ජීවිත දානය දෙන ලෙස උගන්වමින් සිටින බව ද උන් වහන්සේ පවසයි.

මේ වන විට ඔහුගේ අනුගාමිකයන් ‘දරුවන් පාසල් යැවීම නතර කර ඇති බව’ ද ඥානසාර හිමි අනාවරණය කරයි.

චමුදිත සමරවික්‍රම සමග සාකච්ඡාවකට එකතු වෙමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ බව ප්‍රකාශ කර ඇත.

+


කල්මුණේ, අන්තවාදී ආගමික කල්ලිය ගැන විමර්ශන

(08.03.2025 – 22:57 +0530 – hirunews.lk/sinhala)

‘නැගෙනහිර, කල්මුණේ ප්‍රදේශය’ කේන්ද්‍ර කරගනිමින් යම් ‘අන්තවාදී ආගමික කල්ලියක්’ ක්‍රියාත්මක බව පැවසෙනවා.

මේ බව ‘රාජ්‍ය බුද්ධි අංශ’ ඇතුළු මෙරට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

පවතින ඉස්ලාමීය ධර්මයට හාත්පසින්ම වෙනස් ලෙස නිර්මාණය කරන ලද න්‍යායක් තුළ ඔහු මෙම අන්තවාදී අදහස් පතුරවන බව හෙළි වී තිබෙනවා.

දැනට එහි අනුගාමිකයන් 80 ත් 100 ත් අතර සංඛ්‍යාවක් සිටින බවත් අනාවරණය වී තිබෙන බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඒ පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් පළවුණා.

මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ ෴


හෙරොයින් සමග අවුරුදු 21 ක තරුණියක් අත්අඩංගුවට

(09.03.2025 – 11:16 +0530 – hirunews.lk/sinhala)

දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත දිවුලපිටිය හොරගස්මුල්ල ප්‍රදේශයේ අවුරුදු 21 ක තරුණියක් පරීක්ෂා කිරීමේ දී හෙරොයින් ග්‍රෑම් 10g යි 100mg ක් සමග අදාළ තරුණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ‘රංගනා මල්සාදී’ නම් මෙම තරුණියගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ මෙම තරුණිය කාලයක් තිස්සේ හෙරොයින් ජාවාරම කළ බවත් ප්‍රදේශ කිහිපයකට අලෙවි කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් හෙරෝයින් වල වටිනාකම රු. 2,80,000 පමණ බවයි දිවුලපිටිය පොලිසිය පවසන්නේ.

තරුණිය අදාළ හෙරොයින් සමඟ මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තරුණියව මාර්තු 18 දක්වා මීගමු රක්ෂිත බන්ධනාගාර කර ඇති බවයි වාර්තා වෙන්නේ.

+


සාමාන්‍ය පෙළ පන්ති 11 රෑ සිට තහනම්

(09.03.2025 – 11:33 +0530 – hirunews.lk/sinhala)

අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති සම්මන්ත්‍රණ, වැඩමුළු සහ සමාජ මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

ඒ අනුව එවැනි සියලුම කටයුතු ලබන අඟහරුවාදා (11) සිට තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු (17) වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ඒ අනූව 2024 අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු 26 වැනිදායින් අවසන් වීමටයි නියමිතව ඇත්තේ ෴


දේශබන්දු තෙන්නකෝන්ට අයත් වත්කම් අත්හිටුවිය හැකි බව නියෝජ්‍ය ඇමති කියයි

(09.03.2025 – 12:45 +0530 – hirunews.lk/sinhala)

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අයත් වත්කම් අත්හිටුවිය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.

හිටපු පොලිස්පතිවරයා දිගින් දිගටම අධිකරණය හමුවේ පෙනී සිටීම මග හැරීම හේතුවෙනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසන්නේ.

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි නියෝගය ලබාදී දැනට දින කිහිපයක් ගතවී අවසන්.

කෙසේ වෙතත් මේ වනවිටත් ඔහු රැඳී සිටින් ස්ථානයක් පිළිබඳව කිසිදු හෝඩුවාවක් නැති බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුවයි හිටපු පොලිස්පතිවරයා තවදුරටත් අධිකරණය හමුවේ පෙනී සිටීම දිගින් දිගටම මග හැරියහොත් ඔහුගේ වත්කම් අත්හිටුවිය හැකි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසා ඇත්තේ ෴


මාරක රිය අනතුරකින් තරුණියක් මරුට

(09.03.2025 – 13:00 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරක් හේතුවෙන් තරුණියක් ඊයේ (08) ජීවිතක්ෂයට පත්ව ඇගේ පියා බරපතල තුවාල ලබා තිබෙන බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසනවා.

ගල්නෑව සිට අනුරාධපුර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ එම දිශාවටම පියෙකු සහ දියණියක් ගමන් කළ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර, පන්ඩුලගම පිහිටි රජයේ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබමින් සිටි තරුණියක්.

ඇය එප්පාවල, කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක් බවයි පොලිසිය පවසන්නේ.

ඇය උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය වෙත සිය පියා සමග යතුරු පැදියෙන් යමින් සිටියදී මේ අනතුර සිදුව තිබෙනවා.

ඒ ශ්‍රාවස්තිපුර, පහේ ඇල හංදිය අසලදී බවයි පොලිසිය පැවසුවේ.

තලාව දෙස සිට අනුරාධපුර දෙසට පියා සහ දියණිය ගමන් කළ යතුරුපැදිය එම දිශාවටම පිටු පසින් පැමිණි පෞද්ගලික බස් රථයක් ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළු කරන අවස්ථාව වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට

(09.03.2025 – 14:05 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල – කොළමුන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ නිවසට අයුතු ලෙස ඇතුල්වී පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් ‘ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (08) සිදුකර තිබූ අතර, මේ වන විට ඔහු ඇප මත මුදාහැර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අශේන් බණ්ඩාර හා අදාළ පැමිණිලිකරු යාබද නිවෙස්වල පදිංචිකරුවන් වන අතර, අශේන් බණ්ඩාර සිය මෝටර් රථය මාර්ගය අවහිර වන පරිදි නවතා තිබීම හේතුවෙන් ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් මෙය සිදුව තිබුණා ෴


රියදුරු, කෝන්දොස්තර සූර්වෙලා බසය නැතුව මගීන් අමාරුවේ

(09.03.2025 – 15:01 +0530 – hirunews.lk/sinhala)

වැලිකන්ද නගරයේ සිට ගල්කන්ද දක්වා සවස 02:30 ට පිටත්වීමට නියමිතව තිබෙන එකම බස් රථය ඊයේ (08) ධාවනය නොකිරීම හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සම්මන්ත්‍රණයකට සහභාගී වූ සිසුන් ඇතුළු මගීන් පිරිසකට නිවෙස් වෙත යාමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා.

ඒ, එම බස් රථයේ රියැදුරු සහ රිය සහයකවරයා මත්පැන් පානය කර වැලිකන්ද ගමනාගමන මණ්ඩලයේ විවේකාගාරය තුළ වැටී සිටීම හේතුවෙන්.

පොළොන්නරුව, වැලිකන්ද නගරයෙන් ගල්කන්ද දක්වා ගමන් කරන, පොළොන්නරුව ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය සෑම දිනකම පස්වරු 02:30 ට ධාවනය කෙරෙනවා.

නමුත් ඊයේ (08) එම බස් රථය නියමිත වේලාවට ධාවනයට එක් කර තිබුණේ නැහැ.

ඒ, එම බස් රථයේ රියැදුරු සහ රිය සහායකවරයා මත්පැන් පානය කර වැලිකන්ද ගමනාගමන මණ්ඩලයේ විවේකාගාරය තුළ බීමතින් වැටී සිටීම හේතුවෙන්.

මේ පිළිබඳව ප්‍රදේශවාසීන් වැලිකන්ද පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ තිබූ අතර ඒ වනවිටත් බස් රථයේ රියැදුරු එම ස්ථානයෙන් පළාගොස් තිබුණා.

මෙම ප්‍රමාදය නිසා මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සම්මන්ත්‍රණයකට ගිය සිසුන් ඇතුළු මගීන් පිරිසක් දැඩි අපහසුතාවකට පත් වූ අතර එම පිරිස වැලිකන්ද පොලිසියට අයත් ජීප් රථයකින් වැලිකන්ද, ගල්කන්ද හා කුඩාපොකුණ ප්‍රදේශවලට රැගෙන යාමට පොලිසිය පියවර ගත්තා.

බස් ප්‍රමාදය නිසා නිවෙස් වෙත යාමට ප්‍රමාද වූ සිසුන් පිරිසක් බස් නැවතුම්පොළේදීම සිය ආගම අදහන අයුරු ද දක්නට ලැබුණා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අප පොළොන්නරුව ඩිපෝ අදිකාරී ප්‍රේමසිරි ගුණවර්ධන ගෙන් සිදු කළ විමසීමකදී ඔහු පවසා සිටියේ, මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවයි.

+


මොණරාගල කැළෑබද පෙදෙසකින් නාඳුනන කාන්තා මළසිරුරක් හමුවෙයි

(09.03.2025 – 15:48 +0530 – hirunews.lk/sinhala)

මොණරාගල පොලිස් වසමට අයත් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල පිටුපස කැලෑබද ප්‍රදේශයක තිබී නාඳුනන කාන්තාවකගේ මළ සිරුරක් අද (09) උදෑසන මොණරාගල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිරිගල ප්‍රදේශයේ තරුණයකු මුහුණ සේදීමට සිරිගල රෝහල පිටුපස ඇති ඇලමාර්ගයට යන අවස්ථාවේදී එම ඇල මාර්ගය ආසන්නයේ කැලෑ බද ප්‍රදේශයක තිබී මෙම මළ සිරුර දැක ඇති අතර, ඔහු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට ඒ පිළිබඳව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ මොණරාගල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති අතර, සිරුරේ අනන්‍යතාවය සම්බධයෙන් මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම මළ සිරුර තිබූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය මොණරාගල වැඩබලන මහේස්ත්‍රාත් කමලා රත්නායක විසින් අද (09) පෙරවරුවේ සිදු කරනු ලැබූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය හෙට පැවැත්වීමට නියමිතයි ෴


පැමිණිල්ලක් විමර්ශනය නොකළ පොලිසියේ දෙදෙනෙකුගේ (2) වැඩ තහනම්

(09.03.2025 – 16:32 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 14 ට අධික වටිනාකමකින් යුතු එළඟවයින් 05 දෙනකු සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි දෙකක් (2), ගැන නිසි විමර්ශනයක් නොකිරීම මත නාරම්වල පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මුලස්ථානය පවසනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයකු ගේ සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයකු ගේ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

රුපියල් ලක්ෂ 12 ක් වටිනා එල ගවයින් 04 දෙනකු සහ සහ රුපියල් ලක්ෂ දෙකක් (2) පමණ වටිනා ගවයකු සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු (2) ඉකුත් 07 වැනිදා මෙසේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිලිකරුවන් දෙදෙනා (2) වැඩ බලන පොලිස් ස්ථානාධිපති වන පොලිස් පරීක්ෂකවරයාට සහ, අපරාධ විමර්ශන අංශය ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයා වෙත මෙම පැමිණිලි සිදුකර ඇති බව පැවසෙනවා.

මේ සම්බන්ධයෙන් කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ලද තොරතුරකට අනුව විමර්ශනය කර පසුගිය (08) වැනිදා මෙම වැඩ තහනම සිදුකර තිබෙනවා.

නාරම්වල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා ෴


රිපීටර් වර්ගයේ ගිනි අවියක් ළඟ තබාගත් හිටපු හමුදා සෙබලෙකු අත්අඩංගුවට

(09.03.2025 – 16:34 +0530 – hirunews.lk/sinhala)

නීත්‍යානුකූල නොවන ලෙසට රිපීටර් වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ පහක් (5) නිවස පිටුපස වළ දමා සඟවා ගෙන සිටි බව කියන හිටපු කමාන්ඩෝ සෙබළකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහුගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීම් වලින් අනතුරුවයි.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පසුගියදා මෙම කමාන්ඩෝ සෙබළා අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ලග තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

පසුව ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්ණ කිරීම් හමුවේ ජාඇල කොටුගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ වල දමා තිබූ මෙම ගිනි අවිය සහ උණ්ඩ සොයා ගෙන තිබෙනවා.

සැකකාර සෙබළා 37 හැවිරිදි වියේ පසු වන අතර, ඔහු හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වී ඇති බවටයි සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ෴


මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය අනතුරක් රියදුරාගේ දක්ෂතාවයෙන් වැළකේ

(09.03.2025 – 16:44 +0530 – hirunews.lk/sinhala)

සිය රාජකාරිය පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ‘දුම්රිය මාර්ග සංඥා හසුරුවන්නන්’ දෙදෙනෙකුගේ (2) වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ ‘දුම්රිය මාර්ග සංඥා හසුරුවන නිලධාරීන්’ දෙදෙනෙකුගේ (2) යි.

ඔවුන් දෙදෙනා (2) රාජකාරීයේ නිරතව සිටියදී නින්ද යාමත් සමග බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වූ ‘පොඩි මැණිකේ දුම්රිය’, මහනුවර දුම්රිය ස්ථානයේ 3 වැනි වේදිකාවට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදී දුම්රිය සංඥා නිසි ලෙස ක්‍රියාත්මක වී තිබුණේ නැහැ.

එහිදී අදාළ වේදිකාවේ නවතා තිබූ වෙනත් දුම්රියක ගැටීමෙන් සිදුවන්නට ගිය අනතුරක් දුම්රිය රියදුරාගේ දක්ෂතාවය හේතුවෙන් නතර වී තිබෙනවා.

පසුව සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ‘දුම්රිය මාර්ග සංඥා හසුරුවන නිලධාරීන්’ සේවය පැහැර හැරීම් හේතුවෙන් මෙය සිදුව ඇති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *