හිමිකරුවෙකු නොමැති තවත් මෝටර් රථයක් කැලෑවකින් සොයාගනී

හිමිකරුවෙකු නොමැති තවත් මෝටර් රථයක් කැලෑවකින් සොයාගනී


හිමිකරුවෙකු නොමැති තවත් මෝටර් රථයක් කැලෑවකින් සොයාගනී

(05.03.2025 – 11:59 +0530 – hirunews.lk/sinhala)

හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් කපුගම මධ්‍යම කුරුඳුවත්ත පාරේ වෙන්දේසි ඉඩමක කැලෑ රොදක සඟවා තිබියදී සොයා ගත් බව ගන්දර පොලිසිය පවසනවා.

ගන්දර පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මතයි මෙම මෝටර් රථය සොයාගෙන තිබෙන්නේ.

එය පොලිස් භාරයට ගෙන සිදුකළ විමර්ශනවලදී තොරතුරු රැසක් අනාවරණය වී තිබුණා.

එහිදී මෝටර් රථයේ අංක තහඩුව වෙනස්කර මුළු රථයම අලුතින් තීන්ත ආලේප කර සකස් කර ඇති බවත්, මෝටර් රථය තුළ සිටින පුද්ගලයන් හඳුනාගත නොහැකි වන සේ මෝටර් රථයේ ඉදිරිපස හා පසුපස මෙන්ම දෙපස වීදුරුවල ද තීන්ත ආලේප කොට තිබූ බවත්, පොලිසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් මෝටර් රථයේ පිටුපස ඩිකියේ කෑන් දෙකක (2) පෙට්‍රල් ලීටර් හයක් (6) ද හමුවී තිබෙනවා.

තවද, පිටුපස ඩිකිය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී අංක තහඩු වෙනස් කිරීමට භාවිත කළ සුදු හා කළු පැහැති ස්ටිකර් හා ස්ටිකර්වලින් සැකසූ තවත් අංක කීපයක්ද සොයාගෙන තිබුණා.

මෝටර් රථයේ එන්ජින් අංකය ග්‍රයින්ඩර් කර මකා දමා, චැසි අංකයද මිටියකින් තලා වෙනස් කොට තිබූ අතර, බොනට් එක තුළ මෝටර් රථය නිෂ්පාදනය කළ ආයතනය විසින් අලවන ලද මෝටර් රථයේ තොරතුරු සටහන් ස්ටිකරයද ඉරා දමා තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.

හිමිකරුවෙකු නොමැති මෙම මෝටර් රථය මෙලෙස සකස්කර සඟවා තැබුවේ කිසියම් අපරාධයක් සිදු කොට අංක තහඩු නැවත වෙනස් කොට පලායාමේ අරමුණින්ද යන්න ගැන සැකයක් පවතින බැවින් ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිස් නිල සුනඛ අංශය මෙන්ම මාතර කොට්ඨාස අපරාධ ස්ථාන පර්යේෂණාගාරයේ නිලධාරීන්ද මෝටර් රථය පරීක්ෂා කොට වැඩිදුර පරීක්ෂාවන් සඳහා කොටස් රැගෙන ගොස් තිබුණා ෴


පිටරට හෝටල්වල කෑම හැදූ පොල්තෙල් ‘සුදු පොල්තෙල්’ ලෙස වෙළෙඳපොලේ

(05.03.2025 – 13:23 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳපොළේ ‘සුදු පොල්තෙල්’ ලෙස අලෙවියට ඇත්තේ විදෙස් රටවල්වල හෝටල් තුළ ආහාර බැදීමෙන් පසු ඉවත් කරන තෙල් බව රුහුණු විශ්වවිද්‍යාලයේ ආහාර හා තාක්ෂණ පීඨයේ මහාචාර්ය නිලන්ත ලියනගේ පවසනවා.

ඔහු චෝදනා කරන්නේ ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කළද කිසිඳු ඵලයක් නොමැති බවයි.

කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල් රොෂාන් කුමාර විතානච්චි වෙඩි තබා ඝාතනය කර වසරක් සපිරීම නිමිත්තෙන් ගාල්ල දිස්තික් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය විසින් ගුණානුස්මරණ උත්සවයක් සංවිධාන කර තිබුණා.

එහිදී අදහස් දක්වමිනුයි මහාචාර්යවරයා මෙසේ සඳහන් කර ඇත්තේ.

වස විසෙන් තොර ආහාර තෝරා ගැනීම පිළිබඳව ප්‍රදර්ශනයක්ද එයට සමගාමීව සංවිධාන කර තිබුණා.

මේ අතර කුඩා දරුවන්ට, ගර්භණී මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන ත්‍රිපෝෂවල පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බවට ගෙවුණු කාළ සීමාවේ දැඩි ආන්දෝලනයක් ඇති වූ අතර ඒ සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා.

+


ඩේසි ආච්චි අත්අඩංගුවට

(05.03.2025 – 13:42 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මුදල් විශුද්ධිකරණය සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා අද (05) එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීයි.

අත්අඩංගුවට ගත් ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට්ට එරෙහිව නීතිපතිවරයා විසින් මීට පෙර කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේ, 2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800 කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් උයන සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් හා දේපළ අත්පත් කර ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා යෝෂිත රාජපක්ෂ ද අත්අඩංගුවට ගැනුනු අතර, පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කෙරුණා ෴

අත්අඩංගුවට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහට රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් (3) මත ඇප නියම කර තිබෙනවා.

ඒ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

ඒ මුදල් විශුද්ධි කරණය සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා අද (05) එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදි ඇය අත්අඩංගුවට පත් වුණා ෴

+

+


15% බද්දෙන් ඩිජිටල් ආර්ථිකය අවදානමක

(05.03.2025 – 14:31 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් පළමුවැනිදායින් (01) පසුව මෙරට සිට විදෙස් විනිමය උපයන පුද්ගලයින්ගෙන් 15% ක ‘අපනයන සේවා බද්දක්’ අය කිරීමේ තීරණය තුළින් මෙරට ඩිජිටල් ආර්ථිකය අඩපණවීමේ අවදානමක් මතු වී ඇති බව ‘කොළඹ තාක්ෂණ නගරයේ නිර්මාතෘ’ ආචාර්ය හර්ෂ සුබසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ‘හිරු ප්‍රවෘත්ති’ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ‘දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත’ට අනුව 2025 අප්‍රේල් පළමුවැනිදායින් (01) පසුව මෙරට සිට විදෙස් විනිමය උපයන පුද්ගලයින්ගෙන් 15% ක ‘සේවා බද්දක්’ අය කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් මෙම බදු අය කිරීම තුළින් මෙරට ඩිජිටල් ආර්ථිකය අඩපණ වී එම ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින් රට හැර යාමේ අවදානමක් පවතින බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර බැංකු පොලී අනුපාත පහත හෙලීම සහ ස්ථාවර තැන්පතු සඳහා වූ රඳවාගැනීමේ බද්ද වැඩි කිරීමට කටයුතු කිරීම තුළින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දැඩි බලපෑමකට ලක්ව ඇති බව ‘ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වූ සාමූහිකය’ පවසනවා.

+


රැකබලා ගත් අලියා නිසා ඛේදනීය ලෙස අවසන් ගමන් ගිය ඇත් ගොව්වා

(05.03.2025 – 16:11 +0530 – hirunews.lk/sinhala)

රැකබලා ගත් අලියා නිසා ඛේදනීය ලෙස අවසන් ගමන් ගිය ඇත් ගොව්වෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ හබරන ප්‍රදේශයෙන්.

මෙසේ මියගොස් ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි රසික තිලකරත්න නම් වූ විසිහය (26) හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.

ඔහු මෙම ‘පොඩි රාජු’ නැමැති හීලෑ අලියා බලා ගැනීමට වසර හයක (6) පමණ කාලයක් මේ අලියා සමග ගත කර ඇති අතර ඊයේ (04) දහවල් බරණ ප්‍රදේශයේම පිහිටි අලි නාවන මංකඩකට ගොස් එම ස්ථානයේ නාවමින් සිටියදී මෙම අලියා විසින් ඇත් ගොව්වා ඝාතනය කරනු ලැබ ඇති බවයි වාර්තා වෙන්නේ.

සිද්ධිය සම්බන්ධව හබරණ පොලිසිය පරීක්ෂණ පවත්වන අතර මියගිය පුද්ගලයාගේ සිරුර දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ ෴


මිද්දෙණිය ත්‍රිත්ව (3) ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

(05.03.2025 – 16:45 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව (3) ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් වීරකැටිය, මීගස් ආර ප්‍රදේශයේ පදිංචිව සිටි ‘අරුණ විදානගමගේ’ නොහොත් ‘කජ්ජා’ යන අන්වර්ත නමින් හදුන්වනු ලැබූ තැනැත්තා සහ ඔහුගේ 8 හැවිරිදි දියණිය සහ ඔහුගේ 9 හැවිරිදි පුතු ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු තම දරුවන් තිදෙනා (3) ද සමග යතුරු පැදියෙන් රාත්‍රී ආහාරය රැගෙන ඒම සඳහා වීරකැටිය මිද්දෙණිය මාර්ගයේ ගල්පොත්තයාය ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැලකට ගොස් තිබෙනවා.

රාත්‍රී ආහාරය සූදානම් කරන තුරු ඔහු සිය වැඩිමහල් දරුවා එම ස්ථානයේ නවතා අවුරුදු හයක් (6) වයසැති දියණිය සහ අවුරුදු 9 ක් වයසැති පුතා සමඟ යතුරු පැදියෙන් වෙනත් වෙළෙඳ සැලකට ගොස් ඇති බවයි වාර්තා වන්නේ

ඔහු සහ දරුවන් දෙදෙනා (2) මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ එම වෙළෙඳ සැලට ගොස් යළි එමින් සිටි අතරවාරයේ දීයි.

වීරකැටිය මිද්දෙණිය මාර්ගයේ ගල්පොත්තයාය 9 කණුව අසළදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.

පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් (2) T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබූ බවයි.

වෙඩි වැදීමෙන් 39 හැවිරිදි ‘අරුණ විදානගමගේ’ හෙවත් ‘කජ්ජා’ නැමැත්තා එම ස්ථානයේදීම මිය ගියා.

අවුරුදු 6 ක් වයසැති ඔහුගේ දියණිය ද මෙම වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අතර, ඇය තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියා.

පිරිමි දරුවා ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණා.

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

+

+


‘ගනේමුල්ල සංජීව ඝාතනය’ ගැන ප්‍රකාශ 47 ක්

(05.03.2025 – 17:04 +0530 – hirunews.lk/sinhala)

‘ගනේමුල්ල සංජීව’ගේ ඝාතනය සම්බන්ධයෙන් ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ මගින් සිදු කරන විමර්ශනවලට අදාළව මේ වන විට රැඳවියන් 6 ක් ඇතුළු පුද්ගලයන් 47 කුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයි වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ වෙත පැවරුවා.

ඝාතනය වූ දිනයේ ‘ගනේමුල්ල සංජීව’ නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණය වෙත රැගෙන ආවා.

එහිදී ආරක්ෂාව සපයමින් ආ පොලිස් විශේෂ කාර් බලකා නිලධාරීන්, ගනේමුල්ල සංජීව නමැත්තාව අධිකරණය වෙත රැගෙන ඒමට භාරව සිටි බන්ධනාගාර නිලධාරීන් හා අධිකරණ කාර්ය මණ්ඩලය, අධිකරණයේ ඒ මොහොතේ රැඳී සිටි පොලිස් නිලධාරීන්, නීතීඥ පිරිසෙන් සහ එම අවස්ථාවේදී අධිකරණ සිර මැදිරියේ රඳවා සිටි රැඳවියන් 08 දෙනාගෙන් 06 දෙනෙකුගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

‘ගනේමුල්ල සංජීව’ට වෙඩි ප්‍රහාරය එල්ල වූ මොහොතේ අධිකරණ සිරමැදිරියේ කාන්තා රැඳවියකු (01) ඇතුළු රැඳවියන් 08 දෙනෙකු රඳවා සිට ඇති බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනූව විමර්ශන කරන ‘කොළඹ අපරාධ කොට්ඨාසයේ’ විශේෂ පොලිස් කණ්ඩායමක් ‘කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරේ’ රඳවා සිටි රැඳවියන් 04 දෙනෙකුගෙන්,’මැගසින් බන්ධනාගාරයේ’ රැඳවියෙකු (01) ගෙන් සහ ‘වැලිකඩ බන්ධනාගාරයේ’ කාන්තා රැඳවියෙකු (01) ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ඒ අවස්ථාවේ සිටි තවත් රැඳවියන් දෙදෙනෙකු (02) ඇප මත අධිකරණය මගින් මුදා හැර තිබෙන බව පැවසෙනවා.

ඒ හේතුවෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා බන්ධනාගාර අධිකාරිවරයාගෙන් එම රැඳවියන් දෙදෙනාගේ (02) පෞද්ගලික තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

‘ගනේමුල්ල සංජීව’, ඝාතනය කිරීමේ සිද්ධිය වූ අවස්ථාවේ අලුත්කඩේ අංක පහ (5) අධිකරණයේ මූලාසනයේ සිටි මහේස්ත්‍රාත්වරියගෙන්ද ප්‍රකාශ ලබා ගැනීම සඳහා කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හරහා මේ වන විටත් ඉල්ලීමක් කර ඇතැයි පැවසෙනවා.

නමුත් ඊයේ (04) වැනිදා වන විටත් එම ප්‍රකාශය ලබාගෙන නොමැති බව වාර්තා වනවා.

මේ සමග මහේස්ත්‍රාත්තුමියගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න ගේ පූර්ණ උපදෙස් මත ‘කොළඹ අපරාධ කොට්ඨාසයේ’ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි ගේ සෘජු අධීක්ෂණය යටතේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. එම්. සී. ඩී. විජේතුංග ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

+++

ඉෂාරා සෙව්වන්දිව ඝාතනය කරලද? ඩුබායිවලත් නෑ? ඉන්දියාවෙත් නෑ? | පොලිසියේ කිහිපදෙනෙකුත් බයවෙලාලු (05.03.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *