සංස්ථාව සහ පිරවුම්හල් හිමියන් තාවකාලික එකඟත්වයකට; සති දෙකක් (2) අලුත් සමීකරණයෙන් යයි

සංස්ථාව සහ පිරවුම්හල් හිමියන් තාවකාලික එකඟත්වයකට; සති දෙකක් (2) අලුත් සමීකරණයෙන් යයි


සංස්ථාව සහ පිරවුම්හල් හිමියන් තාවකාලික එකඟත්වයකට; සති දෙකක් (2) අලුත් සමීකරණයෙන් යයි

(04.03.2025 – 20:02 +0530 – hirunews.lk/sinhala)

‘ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව’ මගින් හඳුන්වා දුන් නව ඉන්ධන වට්ටම් සමීකරණය ඉදිරි සති දෙක (2) තුල ක්‍රියාත්මක කිරීමට එකඟතාව පල කළ බව ‘ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය’ පවසනවා.

මාර්තු 01 වනදා සිට ඔවුන්ට ලබා දී තිබූ 3% ක වට්ටම අහෝසි කර නව ඉන්ධන වට්ටම් සමීකරණයක් ක්‍රියාත්මක කිරීමට ‘ඛනිජ තෙල් නීතිගත සංස්ථාව’ තීරණය කිරීමත් සමඟ ඊට විරෝධය පා, තෙල් ඇණවුම් කිරීමෙන් වැළකී සිටීමට ඔවුන් තීරණය කළා.

මෙම තත්ත්වය මත පසුගිය සිකුරාදා පිරවුම්හල් අසල දැඩි පෝලිම් පැවති අතර ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති බවටද පුවරු ප්‍රදර්ශනය කර තිබුණා.

කෙසේ වෙතත් එම තීරණය තාවකාලිකව අත්හිටුවීමට පිරවුම්හල් හිමියන් ඊයේ (03) තීරණය කළේ ‘ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ’ සභාපතිවරයා විසින් ඔවුන් සාකච්ඡාවකට කැඳවා තිබීම හේතුවෙන්.

ඒ අනුව දෙපාර්ශවය අතර සාකච්ඡාවක් ‘දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී’ අද (04) පැවැත්වුණා.

මේ වන විට රට පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අතර ඉන්ධන පිරවුම් හල් අසල පෝලිම් ද දක්නට ලැබුණේ නැහැ.

මේ අතර, රට පුරා ඉන්ධන බෙදාහැරීම අඩපණ කර රජය අපහසුතාවට පත් කිරීමට කණ්ඩායමක් උත්සාහ කරන බවට සිවිල් සංවිධාන කළ පැමිණිල්ලක් මත ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එවන් පසුබිමකයි ‘ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ’ උපසභාපති කුසුම් දසනායක සහ එම සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ශාන්ත සිල්වා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අද (04) ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට වෙත කැඳවා තිබූණා.

මේ අතර අද (04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ද ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එසේම, ඊයේ (03) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් දේශපාලන සම්බන්ධකම් මත ලබාදුන් ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට අද (04) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණ සහ කිංස් නෙල්සන් ප්‍රතිචාර දක්වා සිටියා ෴


පියා පැදවූ ට්‍රැක්ටර් රථයට යටවී පුතා මරුට

(04.03.2025 – 08:01 +0530 – hirunews.lk/sinhala)

චුන්නාකම් පොලිස් වසමේ උඩුවිල් ප්‍රදේශයේදී ගොයම් කපන මැෂිමක් පටවාගෙන යමින් සිටි ට්‍රැක්ටර් රථයකට පිරිමි දරුවෙකු යටවීමෙන් බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (03) මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 11 ක් වූ උඩුවිල්, චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

මියගිය දරුවා ඔහුගේ පියා විසින් පදවන ලද ට්‍රැක්ටර් රථයේ පටවා තිබූ ගොයම් කපන මැෂිමට නැඟීමට උත්සහා කිරීමේදී බිමට ඇද වැටී එම ට්‍රැක්ටර් රථයේ පිටුපස රෝදයට යට වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, චුන්නාකම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


15% බද්ද ගැන විශේෂ පැහැදිලි කිරීමක්

(04.03.2025 – 10:51 +0530 – hirunews.lk/sinhala)

‘සේවා අපනයනකරුවන්ට පනවන බදු’ සඳහා විශේෂ වාසියක් ලබාදී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (04) පාර්ලිමේන්තුවේදීයි.

සේවා අපනයනකරුවන් මුදල් ඉපයීමේදී පළමු රුපියල් 150,000 නිදහස්වන අතර, දෙවන රුපියල් 83,000 ට සියයට 6 ක් ද, ඉතුරු ශේෂයටම සියයට 15 ක් පමණක් ගෙවීමට සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසුවා :

“ඒ වාසිය ලබාගන්න එයා ඔප්පු කරන්න ඕනේ – එයා ස්වයංව තමන්ගේ බදු තක්සේරු ඉදිරිපත් කරනකොට – තමුන් මේක සේවා අපනයනය කරලා ලබාගත්ත එකක් බව. ඒ නිසා තමයි බැංකු හරහා ඉදිරිපත් කරන්න ඕනේ කිව්වේ. මේ වගේ දේවල්වලට මුවාවෙලා සමහර විට බදු ගෙවන්න ඕනේ අය නොගෙවා ඉන්න පුළුවන්. එහෙම නැතුව අසාධාරණ බද්දක් පනවලා නෑ. සාධාරණ බවේ මූලධර්ම රැකීම පදනම් කරගෙන සහ ජාත්‍යන්තරව ගොඩනැගෙන මේ ගනුදෙනු හරහා ලෝකයත් එක්ක ගැටගැහිලා යන නව ප්‍රවනතාවයක් එක්ක මේ කටයුත්ත කළේ. එහෙම නැතුව කිසිම ආකාරයක අසාධාරණ බදු පැනවීමක් කරලා නෑ.”

+


ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24 ක් සංවර්ධනයට කැබිනට් අනුමැතිය

(04.03.2025 – 11:58 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24 ක් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියානු තෙල් සමාගම සහ ත්‍රිකුණාමල ඛනිජ තෙල් පර්යන්ත සමාගම් විසින් චීන වරායේ තෙල් ටැංකි අංගනයෙහි හිමිකාරීත්වය, සංවර්ධනය සහ භාවිතය සඳහා වන ගිවිසුමකට 2022-01-06 දිනයි අත්සන් තබා ඇත්තේ.

එම ගිවිසුමේ විධිවිධාන පරිදි ත්‍රිකුණාමල ඉහළ ටැංකි අංගනයේ ඇති ටැංකි විසි හතරක් (24) ගිවිසුම ආරම්භ වන දිනයේ සිට වසර 50 ක කාලයක් සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත බදු පදනම මත ලැබී තිබෙනවා.

එකී තෙල් ටැංකි සංවර්ධනය කිරීම් වසර 03 ක් ඇතුළත නිම කිරීමේ අරමුණ ඇතිව තුන් (3) අවුරුදු ව්‍යාපෘතියක් සැලසුම් කර ශක්‍යතා අධ්‍යයනයක් ඇතුළු මූලික ව්‍යාපෘති කටයුතු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබ තිබුණා.

එම ව්‍යාපෘතිය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය සේවය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ අනුමැතින් මේ වන විට ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව, මහා භාණ්ඩාගාරයට වැය බරක් නොවන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථවේ අරමුදල් මගින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා ෴


සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සූර්ය බලශක්ති ව්‍යාපෘතියට අවශ්‍ය ඉඩමකට කැබිනට් අනුමැතිය

(04.03.2025 – 12:14 +0530 – hirunews.lk/sinhala)

සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉඩම් ‘ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය’ වෙත ප්‍රදානයක් වශයෙන් ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වසර 2030 වන විට රටේ විදුලි බල ඉල්ලුමෙන් සියයට 70 ක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරනු ලබනවා.

එම ප්‍රතිපත්තියට අනුව, සියඹලාණ්ඩුව මෙගාවොට් 100 සූර්ය විදුලි බල උද්‍යාන පහසුකම එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වශයෙන් හඳුනාගෙන තිබුණා.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගොවිතැන් කටයුතු හෝ වෙනත් වගාවන් සිදු නොකරන හෙක්ටයාර 219.7233 ක භුමි භාගයක් හඳුනාගෙන තිබෙනවා.

යෝජිත ව්‍යාපෘතියේ උපාය මාර්ගික වැදගත්කම සැලකිල්ලට ගනිමින් කඩිනමින් ආරම්භ කිරීමට හැකි වන පරිදි හෙක්ටයාර 219.7233 ක ඉඩම ප්‍රදානයක් වශයෙන් ‘ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරිය’ වෙත ලබා දීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා ෴


වැලිගම වෙඩි තැබීමට වරෙන්තු ලැබූ වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් වෙයි

(04.03.2025 – 12:45 +0530 – hirunews.lk/sinhala)

2023 වසරේ වැලිගම ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නැයි නියෝග කර සිටි වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයා අද (04) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට නීතිඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ, මෙම සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි එම අධිකරණය නියෝග කර තිබෙන පසුබිමකයි ෴

2023 වසරේ ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව අද (04) අධිකරණයට භාරවූ වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

ඒ ඔහු අද (04) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී ඔහුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පැනවූ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴


කාත්තන්කුඩි පිපිරීමකින් තරුණයෙකුට තුවාල

(04.03.2025 – 14:16 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව, කාත්තන්කුඩි, ආරයම්පති ආසන්න මුහුදේ පාවෙමින් තිබූ වස්තුවක් විවෘත කිරීමට උත්සාහ කිරීමේදී සිදුවූ පිපිරීමකින් තරුණයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

ඊයේ (03) වැනිදා සවස පිපිරීම සිදුවූ බවත් තිරුනිට්රුකේනි, ආරයම්පති ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි වර්ධරාජන් නැමත්තෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

තුවාලකරුව ආරයම්පති රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

තරුණයන් හතර දෙනෙක් (4) මුහුදේ දිය නාමින් සිටියදී ‘පාවෙමින් තිබූ යම් වස්තුව’ දැක එය විවෘත කිරීමට උත්සාහ කර තිබෙනවා.

ඒ අවස්ථාවේදීයි මෙම පිපිරීම සිදුවී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


නීති විරෝධීව ජංගම දුරකථන තොගයක් රැගෙන ආ අයෙකු අත්අඩංගුවට

(04.03.2025 – 16:26 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන්තොටුපළේ හරිත මාවත ඔස්සේ මෙරටට නීති විරෝධීව ජංගම දුරකථන තොගයක් රැගෙන ආ අයෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් තැනැත්තා 28 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි රේගුව සඳහන් කළේ.

ඩුබායි සිට මෙරටට පැමිණ තිබූ සැකකරුගේ ගමන්මලු 03 ක සඟවා තිබූ, විවිධ මාදිළිවලට අයත් ජංගම දුරකථන 111 ක් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


නාදුනන තරුණයෙක් පිටකොටුවෙදි ලංගමයට බිලිවෙයි

(04.03.2025 – 17:30 +0530 – hirunews.lk/sinhala)

පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළේ ලංගම බස් රථයක පිටුපස රෝදයට හිස තබා තරුණයකු සිය දිවි හානි කරගෙන ඇතැයි පිටකොටුව පොලිසිය පවසනවා.

මියගිය තරුණයා සතුව අම්පාර, සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචිය සඳහන් ජාතික හැදුනුම්පතක් තිබී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක පමණ අයෙක් වන අතර ඔහු මෙතෙක් හඳුනාගෙන නැහැ.

මහනුවර උතුර ඩිපෝවට අයත් මෙම ලංගම බස් රථය ඊයේ (03) පස්වරු 04:00 ට පමණ ගමන් ආරම්භ කිරීමට සූදානම්ව රථය පණ ගන්වා තිබෙනවා.

ඒ අවස්ථාවේ මෙම තරුණයා බස් රථයේ පිටුපස දකුණු පස රෝදයට යට වී ඇති බවයි පැවසෙන්නේ.

මොහු බස්රථය තුළට රිංගා මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවට සිදුකළ විමර්ශනයේදී හෙළි වූ බව පොලිසිය සඳහන් කළා.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළත් ඒ වනවිට මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයා ඉකුත් (02) වැනිදා පෙරවරුවේ සිටම මධ්‍යම බස් නැවතුම්පොළ අසළ ගැවසී ඇති බව කිහිප දෙනෙකුම ඔහු දැක තිබෙනවා.

මොහු ‘කිසියම් මත්ද්‍රව්‍යයකට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙකු’ බවට පොලිසිය සැක කරනවා.

මෙම තරුණයා අත තිබූ ජාතික හැඳුනුම්පතේ ලිපිනයට අනුව සයින්ද මරුදු ප්‍රදේශයේ නිවසට ගොස් පොලිසිය පරීක්ෂණ සිදුකර තිබෙනවා.

එහිදී එම ජාතික හැඳුනුම්පත අයිති තරුණයා එම නිවසේ සිට ඇති අතර, ඔහු පවසා ඇත්තේ තමාගේ පසුම්බිය කොළඹ බස් රථයක් තුළදී කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවයි.

ඒ අනුව මෙම තරුණයා ‘බස් රථවල මගීන්ගේ මුදල් පසුම්බි ඇතුළු දේපළ සොරාගන්නා පුද්ගලයෙකු’ බවටද පොලිසිය සැක කරනවා.

තවමත් මරණකරු හඳනාගෙන නැති බවයි පොලිසිය පවසන්නේ ෴


ආපන ශාලාවකට බීමත් පිරිසක් පහරදීලා

(04.03.2025 – 18:47 +0530 – hirunews.lk/sinhala)

‘නිර්මාංශ ආපන ශාලාවකට’ බීමතින් ඇතුලු වූ තරුණයින් පිරිසක් කුකුල් මස් ඉල්ලා ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.

කුකුල් මස් නැතැයි කී හේතුවට කේන්තියෙන් බීමත් තරුණයින් ආපන ශාලාවට පහර දී (03) දා අලාභ හානි සිදු කොට තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

එම පිරිස ආපන ශාලාවේ වීදුරු අල්මාරීවලට පහර දී විනාශ කර තිබෙනවා.

වවුනියාව නගරයේ පිහිටි ආපන ශාලාවකිනුයි සිදුවීම වාර්තා වන්නේ.

මේ අවස්ථාවේදී එහි කළමණාකරු වවුනියාව පොලීසියට සිද්ධිය දැණුම් දීමත් සමගම තරුණයින් පිරිස පලා ගොස් තිබෙන බව පැවසෙනවා.

කෙසේ වෙතත් එක් (1) සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

අඩංගුවට ගත් තරුණයාගෙන් පොලීසිය ප්‍රශ්න කරගෙන යන අතර ඒ ඔස්සේ මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතයි ෴


සරසවි පුතාගේ හිසට පොල්ලකින් ගැසූ පියා වස පානය කරලා

(04.03.2025 – 20:53 +0530 – hirunews.lk/sinhala)

පියෙකු විසින් තම සරසවි පුතාගේ හිසට අද (04) සවස පොල්ලකින් පහරදී බරපතළ තුවාල සිදුකර එම පියා වස පානය කර ඇතැයි වාර්තා වනවා.

මේ හේතුවෙන් දෙදෙනාම (2) දැඩි අසාද්‍ය තත්ත්වයෙන් බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කළ බවයි බලන්ගොඩ පොලිසිය පවසන්නේ.

සැකකරු විසින් සිය බිරියටද එම අවස්ථාවේදී පිහියකින් පහරදී තිබෙන අතර ඇයට එම පිහිපහර නොවැදි අසීරුවෙන් බෙරි ඇති බවද පොලිසිය පවසනවා.

විශ්වවිද්‍යාලයක ඉගනුම ලබන 23 හැවිරිදි පුතා මිදුලේ පාඩම් කරමින් සිටින විට මෙම පියා විසින් මෙලෙස පොල්ලකින් හිසට පහරදී තිබෙනවා.

බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *