ව්‍යාපාරිකයාගේ සිරුර නිවසින් හමුවේ – සැකකරු සියල්ල පාපොච්ඡාරණය කරයි

ව්‍යාපාරිකයාගේ සිරුර නිවසින් හමුවේ – සැකකරු සියල්ල පාපොච්ඡාරණය කරයි


ව්‍යාපාරිකයාගේ සිරුර නිවසින් හමුවේ – සැකකරු සියල්ල පාපොච්ඡාරණය කරයි

(04.03.2025 – 08:29 +0530 – hirunews.lk/sinhala)

අභිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ මෘත ශරීරයක් හැඳල වත්තල ප්‍රදේශයේ නිවසක තිබියදී සොයාගෙන තිබෙනවා.

පසුගිය පෙබරවාරි 27 වැනිදා උදෑසන 09:45 ට පමණ වත්තල පොලිසියට දුරකථන ඇමතුමක් හරහා පුද්ගලයෙකු දැනුම් දී ඇත්තේ එම ප්‍රදේශයේ අධික දුර්ගන්ධයක් පවතින බවත් එම නිවසෙහි අයිතිකරු දින කිහිපයක සිට අතුරුදහන් වී ඇති බවයි.

සැකකටයුතු යමක් සිදු වී ඇති බව නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම දුරකථන ඇමතුම ලබා දුන් බවයි පැමිණිලි කළ පුද්ගලයා සඳහන් කර තිබෙන්නේ.

පැමිණිල්ල අනුව වහාම ක්‍රියාත්මක වූ වත්තල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා, අපරාධ අංශයේ ස්ථානාධිපතිතුමා ඇතුළු පොලිස් නිලධාරීන් මෙම සැක සහිත නිවස ස්ථානීය පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

එහිදී නිවසේ හිමිකරු දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට මූලික කරුණු අනාවරණය වූයේ.

මෙලෙස මියගොස් ඇත්තේ පනස්හය (56) හැවිරිදි ‘චම්ලි හර්මන් ගෝමස්’ නමැති ව්‍යාපාරිකයෙක්.

මරණකරු විවාහක පුද්ගලයකු වන අතර ඔහු දරුවන් තිදෙනකුගේ (3) පියෙක්. නීතියෙන් තම බිරිඳ සමඟ වෙන් වී ඔහු මෙම නිවස තුළ තනිවම ජීවත් වී ඇති අතර මෙම ඛේදජනක සිදුවීමට මුහුණ දී තිබෙනවා.

මෙම පුද්ගලයාගේ මරණ පරීක්ෂණ වාර්තාව රාගම රෝහල විසින් පසුගිය මාර්තු පළමුවනදා (01) වත්තල පොලිස් ස්ථානාධිපතිතුමා වෙත යොමු කර තිබුණු අතර එහි සඳහන්ව ඇත්තේ ගෙල පෙදෙසට තියුණු ආයුධයකින් ගෙල කැපීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවයි.

එමෙන්ම එම පුද්ගලයා පසුගිය පෙබරවාරි 19 වන දින මියගොස් ඇති බවත් පොලිසිය දැනුවත් වන තුරුම එනම් පෙබරවාරි 27 වන දා දක්වා මළ සිරුර ඒ ආකාරයෙන්ම නිවස තුළ තිබී ඇති බවටත් තහවුරු වී තිබෙනවා.

පොලිස් නිලධාරීන්ගේ සැකයට තුඩු දුන් පළමු කාරණාව වී ඇත්තේ මියගිය පුද්ගලයා ඔහු මියගොස් සිටි ඇඳ අසල තිබූ ස්ථාවර දුරකථනයෙන් දුරකථන ඇමතුමක් ගැනීමට උත්සාහ කළ ආකාරයෙන් ම ජීවිතක්ෂයට පත්ව තිබීමයි.

කෙසේ නමුත් ඔහු මියගොස් තිබෙන්නේ දුරකථන ඇමතුම ලබා ගැනීමට ඉතා සුළු මොහොතකට පෙර බව ස්ථානීය පරීක්ෂාවේදී නිගමනය කෙරිණ.

ඔහු මරණයට පත්වීම හේතුවෙන් ඇමතුම ලබා ගැනීම ව්‍යාර්ථ වී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් පසු ක්‍රියාත්මක වූ පොලිසිය එම නිවසෙහි වූ CCTV දර්ශන පරීක්ෂා කිරීමට සූදානම් වුවද ඒ වනවිටත් එම නිවසෙහි සවි කර තිබූ CCTV කැමරා සහ DVR උපකරණය අස්ථානගත වී ඇති බවට නිරීක්‍ෂණය වී තිබෙනවා.

මෙම නිවස ආවරණය වන පරිදි වෙනත් නිවසක සවිකර තිබූ CCTV දර්ශන මගින් එම මරණය සිදුවූ බවට සැක කෙරෙන ඉකුත් පෙබරවාරි 19 වැනිදා මෙම නිවසට පැමිණි ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් වත්තල පොලිසිය කරුණු අනාවරණය කරගනු ලැබුවා.

එම ත්‍රී රෝද රථය හඳුනාගෙන එහි හිමිකරු ගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තම පුත්‍රයා විසින් කරපිංචා කැඩීම සඳහා මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණ ඇති බවයි.

ත්‍රී රෝද රථ හිමිකරුගේ පුත්‍රයාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන්නේ ඉන් අනතුරුවයි.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ එදින ඔහු කරපිංචා සහ පොල් මිලදීගැනීම සඳහා එම නිවසට පැමිණි බවත් සාමාන්‍ය පුරුද්දක් වශයෙන් ඔහු එම නිවසට කරපිංචා සහ පොල් මිලදීගැනීම සඳහා පැමිණෙන බවයි.

නමුත් එදින ඔහු මියගිය පුද්ගලයාගේ නිවසට ගොස් ඇත්තේ ‘ලහිරු’ නම් පුද්ගලයෙකුගේ දැනුම් දීම මත බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඔහුගේ ප්‍රකාශය අනුව මීළඟ සැකකරු වශයෙන් හඳුනාගත් ‘ලහිරු’ නමැත්තා අත්අඩංගුවට ගැනීමට වත්තල පොලීසිය කටයුතු කළ ද ඔහු ඒ වනවිටත් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

මියගිය පුද්ගලයාගේ සහ මෙම සැකකරුගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමෙන් අනතුරුව දුරකතන වාර්තාවලින් පැහැදිලි වී ඇත්තේ මියගිය පුද්ගලයා පෙබරවාරි 19 වැනිදා රාත්‍රී 8 වෙන තෙක් ජීවතුන් අතර සිට ඇති බවයි.

ඔහු ඒ දක්වාම වට්සැප් යෙදවුම තුළ සක්‍රීයව සිට ඇති බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.

සැකකාර ‘ලහිරු’ නමැත්තා සොයා දීර්ඝ විමර්ශන සිදු කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 02.03.2025 දින සවස 05:00 ට පමණ සැකකරු වත්තල ප්‍රදේශයේදී ම අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය සමත් වුණා.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී පාපොච්චාරණය කර ඇත්තේ රන්භාණ්ඩ මංකොල්ලකෑමේ අරමුණින් මෙම මරණය තමා විසින් සිදු කළ බවටයි.

සැකකරු විසින් නිවසෙහි සවිකර තිබූ CCTV, DVR උපකරණය සහ මියගිය පුද්ගලයාගේ ජංගම දුරකතනයද කැළෑබද ප්‍රදේශයකට විසි කොට තිබෙනවා.

සැකකරුගේ ප්‍රකාශ අනුව යමින් පොලිස් නිලධාරීන් විසින් මෙම කොටස් සොයාගෙන ඇති බව සඳහන්.

22 හැවිරිදි මෙම සැකකරු, වත්තල ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙකි.

ඔහු සහ මෙම මියගිය පුද්ගලයා අතර ටික කලක සිට සම්බන්ධතාවයක් තිබී ඇති අතර ඔහු ද කරපිංචා සහ පොල් කැඩීමට නිතර මෙම නිවසට පැමිණි බවට ද ප්‍රකාශ කර තිබෙනවා.

සැකකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර දේපළ සොරා කෑම, අපරාධයක් වසන් කිරීම යන චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් මෙම මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් වත්තල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴


‘ගනේමුල්ල සංජීව ඝාතනය’ට අදාළ අධිකරණයේ සියලු සීසීටීවි දර්ශන පොලිසියට භාරදෙයි

(04.03.2025 – 09:29 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ට අදාළව කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ සීසීටිවී දර්ශන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේදී අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් මෙම දර්ශන පොලිසියට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

‘ගනේමුල්ල සංජීව’ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී පසුගිය 19 වැනිදා උදෑසන ඝාතනයට ලක් වූ අතර ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ කළ ඉල්ලීමක් පරිදි අදාළ සීසීටිවී දර්ශන විමර්ශන කණ්ඩායම් වෙත ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණා.

මේ අතර, ‘ගනේමුල්ල සංජීව‍ ඝාතනය’ට ආධාර අනුබල දීමේ චෝදනාව මත මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 07 වැනිදා දක්වා ඊයේ (03) දිනයේදී රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා ෴

+++

‘ගනේමුල්ල සංජීව ඝාතනයේ’ වෙඩික්කරුගේ තවත් අපරාධයක් හෙළිවෙයි

(04.03.2025 – 11:13 +0530 – hirunews.lk/sinhala)

‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු වශයෙන් කටයුතු කළ සැකකරු, පසුගිය වසරේ දෙසැම්බර් 13 වනදා කඳාන – වීදි මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තබා පළා යාමේ සිද්ධියේ වෙඩික්කරු බවට ද අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව, එම වෙඩි තැබීමද විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත සිදු කර ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

පසුගිය 19 වනදා අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී ‘ගනේමුල්ල සංජීව’ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු වන 27 හැවිරිදි ‘සමිඳු දිල්ශාන් පියුමංග කඳනආරච්චි’ ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ මගින් මේ වන විට දින 90 ක රැදවුම් නියෝග මත රදවා තබාගෙන විමර්ශන සිදු කරමින් පවතිනවා ෴

+++

සෙව්වන්දිගේ මිල වැඩි වෙයි; සොයා දුන්නොත් රුපියල් ලක්ෂ 12 ක්

(04.03.2025 – 17:54 +0530 – hirunews.lk/sinhala)

‘ගණේමුල්ල සංජීව’ යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාලව ‘පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි’ නැමති සැකාකාරිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට පොලිසිය විසින් ලබා දෙන බව නිවේදනය කළ ත්‍යාග මුදල ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ 10 ක් ව පැවති එම ත්‍යාග මුදල, රුපියල් ලක්ෂ 12 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ, ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

ඇය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක අමතා දැනුම්දෙන ලෙසයි පොලිසිය පවසන්නේ..

ඒ අනුව,

අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය : 071 859 1727
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය : 071 859 1735 යන අංක ඔස්සේ ඇමතීමෙන් සැකකාරිය සම්බන්ධ නිවැරදි තොරතුරු ලබා දිය හැකියි ෴

+


වෛද්‍යවරුන්ගේ පඩි වැඩි වෙන්නේ මෙහෙමයි

(04.03.2025 – 11:51 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (04) පාර්ලිමේන්තුවේදීයි.

ඒ අනුව, මූලික වැටුප, අමතර රාජකාරී දීමනාව, නිවාඩු දින දීමනා, වාර්ෂික වැටුප් වර්ධකය මෙන්ම උපයන විට බද්ද (Paye Tax) සඳහා ඔවුන්ට සහනයක් ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම වෛද්‍යවරුන් සඳහා වැටුප් වැඩි වෙන ආකාරය ඔහු මෙසේ සඳහන් කළා :

+++

හෙට (05) පැවැත්වීමට තිබූ GMOA වැඩ වර්ජනය තාවකාලිකව නවතී

(04.03.2025 – 16:36 +0530 – hirunews.lk/sinhala)

හෙට (05) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින (1) සංකේත වර්ජනය ලබන 21 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව, ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ පවසනවා.

ඒ අද (04) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල සඳහන් කළේ.

මෙවර අයවැයෙන් සිය දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් අනිද්දා (06) සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමටයි ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ තීරණය කර තිබුණේ.

ඒ, මෙවර අයවැය තුළින් වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ පසුගියදා කැඳවූ හදිසි මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණයක් අනුවයි.

+++

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ වැඩවර්ජනය මාර්තු 06 වැනිදා

(04.03.2025 – 21:36 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ වැටුප් තලවල තිබෙන ගැටලුකාරී තත්ත්වය විසඳීමට මෙවර අයවැයෙන් රජය පියවර නොගතහොත් එළැඹෙන මාර්තු 06 වැනිදා සිට වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව, ‘පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය’ අනතුරු අඟවනවා.

අද (04) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සංගමය අවධාරණය කළේ ගුරු විදුහල්පතිවරුන් මෙරට පළමු වැටුප් තල 10 අතරට අන්තර්ග්‍රහණය කළද පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් ඉන් ඉවත් කිරීම හරහා තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි.

මේ අතර ගුරු විදුහල්පති වෘත්තිය සමිති අවධාරණය කරන්නේ සුබෝධනී කමිටු වාර්තාවට අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතාව වහා ඉවත් කළ යුතු බවයි.

+


මිද්දෙනිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසියේ කොස්තාපලයෙකු අත්අඩංගුවට

(04.03.2025 – 07:10 +0530 – hirunews.lk/sinhala)

මිද්දෙනියේ දී පසුගියදා (18) වෙඩි තබා ත්‍රිත්ව (3) මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඊයේ (03) සවස් කාලයේ දී මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධයට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36 ක් වන ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපලයෙක්.

මොහු විසින් සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12 ක් ලබා දී ඇති බවට දැනට සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *