හෙට්ටිපොල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු (1) අත්අඩංගුවට

හෙට්ටිපොල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු (1) අත්අඩංගුවට


හෙට්ටිපොල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු (1) අත්අඩංගුවට

(28.02.2025 – 07:53 +0530 – hirunews.lk/sinhala)

හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රී කාලයේදී ‘ඌරන් දඩයම් කිරීමට තබන ලද අපරීක්ෂාකාරී වෙඩි තැබීමකින්’ අසල නිවසක සිටි දැරියකට වැදී මියයාම සහ කාන්තාවකට තුවාල සිදුවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ බෝර 12 පතොරම් ගිනි අවිය (1), එම තුවක්කුවට අදාල 2025 වර්ෂයේ බලපත්‍රය හා හිස් පතොරම් කොපු 2 ක් පොලිසිය විසිනුයි සොයාගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48 ක් වන මඟුලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

+


අතුරුදහන් වූ ‘සෙව්වන්දි’ මිලදී ගත් සිම්පතක් ගැන අනාවරණයක්

(28.02.2025 – 08:09 +0530 – hirunews.lk/sinhala)

‘ගනේමුල්ල සංජීව’ගේ ඝාතනයෙන් පසු මේ වන විට අතුරුදන් කාන්තාව වෙඩි තැබීම සිදු වූ දිනට පෙර කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ වෙළෙඳසැලකින් සිම්පතක් මිලදී ගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම කාන්තාව සහ වෙඩික්කරු වෙඩි තැබීම සිදු කළ පසුගිය 19 වැනිදාට පෙර දිනයේදී ලැගුම්ගෙන සිට ඇත්තේ වැලිවිට ප්‍රදේශයේ හෝටලයක් තුළයි.

එහි සිටියදී වෙළෙඳසැල වෙත පැමිණි කාන්තාව ඇගේ නමට මෙම සිම්පත මිලදී ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව අපරාධය සිදු කිරීම සඳහා සන්නිවේදන කටයුතු සිදු කිරීම සදහා මෙම සිම්පත උපයෝගි කරගන්නට ඇති බවට සැකකරන පොලිසිය, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

+

‘කෙහෙල්බද්දර පද්මේ’ගේ මිතුරාට වෙඩි තැබූ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය හමුවෙයි.

මිනුවන්ගොඩ – පත්දඬුවන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට සැකකරුවන් පැමිණි යතුරුපැදිය ‘ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය’ විසින් සොයා ගෙන තිබෙනවා.

ඒ මිනුවන්ගොඩ – යටියන ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක් අසළ සඟවා තිබියදීයි.

එම යතුරු පැදියේ හිමිකාර කාන්තාව සහ එම යතුරු පැදිය වෙඩික්කරුවන්ට ලබාදුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී’ ජගත් රෝහණගේ උපදෙස් මත විමර්ශන සිදු කළ ‘ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති’ ඩිලාන් රාජපක්ෂ ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම යතුරු පැදිය සොයා ගනු ලැබුවේ ඊයේ (27) රාත්‍රී කාලයේදීයි.

‘කෙහෙල්බද්දර පද්මේ’ යටතේ මුදල් හුවමාරු කළ ‘ලහිරු රන්දීර් කාංචන’ නැමැත්තාට මිනුවන්ගොඩ – පත්දඬුවන මංසන්ධියේ ත්‍රීරෝද රථ නැවතුම්පොළෙහි සිටින අවස්ථාවේදී මෙලෙස වෙඩි තබා තිබුණේ පෙරේදා (26) දිනයේදීයි. 36 හැවිරිදි මොහු ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ පාසල් මිතුරෙකි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළදී ‘ගනේමුල්ල සංජීව ඝාතනය සිද්ධිය’ මෙහෙයවා ඇත්තේ ‘කෙහෙල් බද්දර පද්මේ’ විසින් බවටයි මේ වන විට හෙළි වී ඇත්තේ.

+

‘ගනේමුල්ල සංජීව ඝාතනය’ ගැන රහස්‍ය තොරතුරු ඇතුළත් වැඩිදුර වාර්තාවක් අද (28) අධිකරණයට

(28.02.2025 – 13:04 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘ගනේමුල්ල සංජීව’ගේ ඝාතනය සම්බන්ධයෙන් ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ විසින් අද (28) දිනයේදී අධිකරණය වෙත වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

‘කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය’ වෙත අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉදිරි විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා ගැනීම් සදහා අධිකරණ නියෝග ලබා ගැනීම මෙන්ම දැනට සිදු කළ විමර්ශන ප්‍රගතිය පිළිබද තොරතුරු අදාල වාර්තාවේ ඇතුළත් බවටයි වාර්තා වුණේ.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගේ සහ ප්‍රශ්න කරන පුද්ගලයන්ගේ දුරකතන විශ්ලේෂණ දත්ත ලබාගැනීම සදහා ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ ඊයේ (27) දිනයේදී අධිකරණයෙන් අවසර ලබාගෙන තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව දැනට ‘බන්ධනාගාර නිලධාරීන්’ ඇතුලු විසි දෙනෙකුගේ (20) පමණ දුරකතන සිය භාරයට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති අතර ඒ අනුව, ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් දස දෙනෙකු (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙඩික්කරු මෙන්ම, ඔහුට ප්‍රවාහන පහසුකම් සැලසූ පුද්ගලයින් සහ වෙඩි තැබීම සැලසුම් කළ කාන්තාවගේ මව සහ බාල සොහොයුරා ඇතුලු පිරිසක් ඊට අයත්.

එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙතෙක් හැකි වී නැහැ.

කෙසේ වෙතත්, විසිපස් (25) හැවිරිදි ‘ඉෂාරා සෙව්වන්දි’ නැමැති ඇය සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.

අදාළ කාන්තාව මතුගම ප්‍රදේශයේ රැදී සිටින බවට මීට පෙර ලැබුණු තොරතුරු අනුව තවදුරටත් එම ප්‍රදේශය ආශ්‍රිතව විමර්ශන පුලුල් කර තිබෙනවා.

අදාළ මෙහෙයුම් සදහා මතුගම පොලිසිය සහ කලුතර කොට්ඨාසයේ වෙනත් පොලිසිවලට අමතරව කොළඹින් ද විශේෂ කණ්ඩායම් එක්ව සිටින බවයි වාර්තා වුණේ.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමද තවදුරටත් සිදු කෙරෙනවා.

මෙවන් පසුබිමක ‘හිරු ටී.වී.’ ඔස්සේ ඊයේ (27) විකාශය වූ ‘බලය දේශපාලන සංවාදයේදී’ ද සාකච්ඡාවට බඳුන් වුණේ ‘ජාතික ආරක්ෂාව සහ අපරාධ රැල්ල’ පිළිබදවයි.

අදාළ සිද්ධියේ වෙඩික්කරු ලෙස දැනට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා එම වෙඩි තැබීම සිදු කර ඇති බවට මේ වන විට ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි ඊට එක්වූ ‘පොලිස් මාධ්‍ය ප්‍රකාශක’ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි බුද්ධික මනතුග ප්‍රකාශ කළේ.

මේ අතර, ‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ පිළිබද ඇසින් දුටු සාක්ෂි සටහන් කර ගැනීම අද (28) දෙවන (2) දිනටත් ‘කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය’ හමුවේ සිදු කිරීමට නියමිතයි.

පසුගිය සඳුදා (24) ද මීට අදාළ සාක්ෂි සටහන් කරගැනුණු අතර එහිදී ‘කෙසෙල්වත්ත පොලිසියේ කොස්තාපලයෙකු’, ‘පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපලයෙකු’ හා සිද්ධිය වන අවස්ථාවේ අධීකරණ ශාලාව තුළ සිටි නීතීඥවරයෙකු ද සාක්ෂි ලබා දී තිබුණා ෴

+

‘ගණේමුල්ල සංජීවගේ මරණය’ට අදාලව අධිකරණයෙන් ලැබුණු තීන්දුව

(28.02.2025 – 14:18 +0530 – hirunews.lk/sinhala)

‘ගණේමුල්ල සංජීවගේ මරණය’ වෙඩි තැබීමක් හේතුවෙන් පපුවට, බෙල්ලට සහ උදරය ඇතුළු ප්‍රදේශයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (28) තීන්දු කළා.

පුරා දින දෙකක් (2) තිස්සේ පැවැති, මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

‘ගණේමුල්ල සංජීව’ නමැත්තාගේ මරණයට අදාළ ‘පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව’ ද ‘කොළඹ අපරාධ කොට්ඨාශය’ විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ නිරීක්ෂණ සහ ‘කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය’ විසින් ඉදිරිපත් කළ ‘පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව’ සලකා බලා තමන් මෙම තීරණයට එළැඹුනු බවයි.

මෙම පරීක්ෂණය අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මියගිය ‘සංජීව කුමාර සමරරත්න’ හෙවත් ‘ගණේමුල්ල සංජීව’ගේ සහෝදරිය වන ‘දිල්රුක්ෂි සමරරත්න’ නමැත්තිය සාක්ෂි ලබා දුන්නා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් සාක්ෂිකාරිය :

“සංජීව මගේ මල්ලි. මේ සිද්ධියට පෙර ඔහු හිටියේ බූස්ස බන්ධනාගාරයේ. සතියට දෙවතාවක් මම මල්ලි බලන්න බන්ධනාගාරයට යනවා. ඔහුට තිබෙන නඩු ගැන මට දැනීමක් නැහැ. පසුගිය 19 වැනිදා ඔහුව නඩුවක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ බව මා දැන සිටියේ නෑ. එදා පෙරවරු 10:30 ක් 11:00 අතර මට කෝල් එකක් ආවා. ‘මල්ලිට වෙඩි තියලා’ කියලා කිව්වා. ඒ එක්කම මම ලෝයර් ලක්ෂ්මන් පෙරේරාට කතා කළා. එයා කිව්වා ‘වෙඩි තිබ්බා’ කියලා ආරංචි උනා කියලා. පසුව උසාවියේදී වෙඩි වැදුණු බව මම දැනගත්තා. පසුගිය 20 වැනිදා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගි වුණා. එහිදී මිය ගිය තැනැත්තා ‘සංජීව කුමාර සමරත්න’ කියලා මම හඳුනාගත්තා. පසුව කෙසෙල්වත්ත පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්නා. පසුව මමයි අම්මයි මෘත දේහය බාරගත්තා” යනුවෙන් සාක්ෂි දෙමින් සඳහන් කළා.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණයට පත් වූ ‘සංජීව කුමාර සමරත්න’ නමත්තාට වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් පැවැත්වීම අවශ්‍ය බව පෙන්වා දුන්නා.

විශේෂයෙන්ම ඔහුගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ ‘බන්ධනාගාර නිලධාරීන්’ගේ හා ‘පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්’ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විමර්ශනයක් සිදු කිරීම ද වැදගත් බවත් එම නීතිඥවරු පෙන්වා දුන්නා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මරණයට අදාළ හේතුව දැක්වෙන තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

ඉන් අනතුරුව ලියාපදිංචිය සඳහා මරණයට අදාළ සහතිකය නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

ඉන් අනතුරුව නඩුව යළි මාර්තු මස 07 වනදා කැඳවීමටද නියෝග කෙරුණා ෴

+

+

‘ගණේමුල්ලේ සංජීව ඝාතනය’ මෙහෙය වූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(28.02.2025 – 20:13 +0530 – hirunews.lk/sinhala)

‘ගණේමුල්ලේ සංජීව ඝාතනය’ මෙහෙයවූ බව කියන ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ඒ ගම්පහ ප්‍රදේශයේදී ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ විසින් ෴


අලුත් වාහන සතියකින් අලෙවියට

(28.02.2025 – 10:19 +0530 – hirunews.lk/sinhala)

ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ජපානයේ සිට හම්බන්තොට වරාය වෙත ඊයේ (27) පැමිණි මෝටර් රථ 196 ලබන සතියේ සිට අලෙවියට එක් කරන බව ‘ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය’ ප්‍රකාශ කළා.

‘වැගන් ආර්, ඇල්ටෝ, ටොයෝටා යාරිස්, වෙසල්’ ඇතුළු වාහන වර්ග කිහිපයක් එලෙස ජපානයෙන් ගෙන්වා තිබුණා.

‘වැගන් ආර්’ රථයක් රුපියල් ලක්ෂ 65 ත් 75 ත් අතර මිලකටත්, ‘ආර් එස් මෝටර් රථයක්’ රුපියල් ලක්ෂ 80 ත් 100 ත් අතර මිලකටත්, ‘වෙසෙල්’ වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 165 ත් 200 ත් අතර මිලකටත් අලෙවි කිරීමට හැකි වනු ඇති බවයි ‘ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ’ සභාපති සභාපති ප්‍රසාද් මානගේ කියා සිටියේ ෴


පාරිභෝගිකයින්ගේ සුරක්ෂිත තැන්පතුවලට අදාළ පොලිය ලබාදෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විදුලිබල මණ්ඩලයට නියෝග

(28.02.2025 – 11:43 +0530 – hirunews.lk/sinhala)

‘ලංකා විදුලිබල මණ්ඩලය’ විසින් විදුලිය සැපයුම් ලබා දීමේදී පාරිභෝගිකයින්ගෙන් ලබාගෙන ඇති ‘සුරක්ෂිත තැන්පතු මුදල්’ සදහා ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල් ඔවුන් වෙත ගෙවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) ‘ලංකා විදුලි බල මණ්ඩලය’ට නියෝග කළා.

ඒ.එස්. තුරෙයිරාජා, සෝභිත රාජකරුණා ඇතුළු ත්‍රිපුද්ගල (3) විනිසුරු මඩුල්ල, ‘ලංකා විදුලිබල මණ්ඩලය’ විසින් පසුගිය වසරේ ජනවාරි 30 වනදා තම අධිකරණයට ඉදිරිපත් කර ඇති මෝසම් පත්‍රයේ සදහන් ආකාරයට ‘ශ්‍රී ලංකා මහ බැංකුව’ විසින් ගෙවනු ලබන සියයට 11.67 ක වාර්ෂික පොලිය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ට මෙන්ම අනෙකුත් විදුලි පාරිභෝගිකයින්ට ද ගෙවිය යුතු බවට එහිදී වැඩිදුරටත් නියෝග කෙරුණා.

‘ලංකා විදුලි බල මණ්ඩල පනතේ’ 28/3 පනත ප්‍රකාරව ලබා ගෙන ඇති වාර්ෂික පොලී මුදල පාරිභෝගිකයින්ට ගෙවන ලෙසට ඉල්ලා, ‘විදුලිබල හා පුනර්ජනනීය බල ශක්ති පාරිභෝගිකයින්ගේ සංගමයේ’ සභාපති මහේෂ බණ්ඩාර ඉලංගසිංහ සහ ලේකම් ප්‍රසාත් භාතිය අමරකෝන් යන අය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (28) කැදවූ අවස්ථාවේදීයි ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත්කරනු ලැබුවේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා නීතිපතිවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා ෴


‘පාසල් පාවහන් තිළිණපත්’වල වලංගු කාලය දීර්ඝ කෙරේ

(28.02.2025 – 15:20 +0530 – hirunews.lk/sinhala)

පාසල් දරුවන් සඳහා ලබාදුන් ‘පාවහන් වවුචර්පත්’වල වලංගු කාලය දීර්ඝ කිරීම සඳහා ‘අධ්‍යාපන අමාත්‍යංශය’ තීරණය කර තිබෙනවා.

එම ‘වවුචර් පත්වල’ වලංගු කාලය අද (28) දිනයෙන් අවසන් වීමටයි නියමිතව තිබුණේ.

කෙසේ නමුත් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය සඳහන් කළේ එම වලංගු කාලය මාර්තු 20 දක්වා දීර්ඝ කළ බවයි ෴


තවමත් නොවිසඳුන නඩු 1,131,818 ක් උසාවියේ

(28.02.2025 – 16:53 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ පද්ධතිය තුළ විසඳීමට නියමිත නඩු ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ බැවින්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ සැලකිය යුතු ප්‍රමාදයක් සිදුවීම පිළිබඳව ඊයේ (27) රැස්වූ ‘අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ’ අවධානය යොමුව තිබෙනවා.

එහිදී කරුණු අනාවරණය වී ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විසඳීමට නියමිත (pending) නඩු 5,785 ද, අභියාචනාධිකරණයේ නඩු 4,572 ක්, අපරාධ නඩු විභාග වන මහාධිකරණයන්හී නඩු 6,286 ක්, වාණිජ මහාධිකරණයේ නඩු 6,146 ක්, විශේෂ ත්‍රිපුද්ගල අධිකරණයේ නඩු 3 ක්, මහාධිකරණයේ නඩු 27,324 ක්, දිසා අධිකරණයේ 262,665 ක්, ළමා මහේස්ත්‍රාත්ධිකරණයේ නඩු 1,260 ක් යනාදී වශයෙන්, සමස්ත ලෙස වීසඳීමට නියමිත (pending) නඩු සංඛ්‍යාව 1,131,818 ක් වන බවයි.

එහිදී, නඩු විභාග කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක වන බවත්, ඒ සම්බන්ධයෙන් විනිශ්චයකාරවරුන් පුහුණු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙමින් පවතින බව ‘ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය’ නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරී කමිටුව හමුවේ පවසා තිබෙනවා.

‘නීතිපති දෙපාර්තමේන්තුවේ’ කාර්යභාරය සහ ප්‍රමාදයන් පිළිබඳව කතිකාව කලක සිට පවතින බවත්, දෙපාර්තමේන්තුව සතු නීති නිලධාරීන් පවත්නා නඩු ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන බවත් ‘අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය’ නීතිඥ හර්ෂණ නානායක්කාර කරුණු දක්වමින් පැවසූ බවයි පාර්ලිමේන්තුව සඳහන් කළේ.

තවද, අවු. 30 කට ආසන්න අත්දැකීම් සහිත අතිරේක සොලිසිටර් ජනරාල්වරු 6 දෙනෙකු පමණ මේ වසර තුළ සේවය හැර යන බව පැවසු අමාත්‍යවරයා, ‘නීතිපති දෙපාර්තමේන්තුවේ’ කාර්යභාරය බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට රජයක් වශයෙන් මේ සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවට කමිටුව හමුවේ අවධාරණය කර තිබෙනවා ෴


නිල්වලා ගංගාවේ මිනිස් කකුලක් පාවෙයි

(28.02.2025 – 17:06 +0530 – hirunews.lk/sinhala)

හඳුනා නොගත් මළ සිරුරක පාදයක් නිල්වලා ගංගාවේ පාවෙමින් තිබියදී අද (28) දහවල් හමුවී ඇතිබව අකුරැස්ස පොලිසිය පවසනවා.

ඒ අකුරැස්ස, මාරඹ ගාල්පල, වැල් පාලමට ආසන්න බක්මීගහ, තොටුපල අසළදී.

අකුරැස්ස හදිසි මරණ පරීක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ අකුරැස්ස පොලීසිය මිනිස් වම් පාදය ගොඩගෙන පරීක්ෂණ සදහා මාතර මහ රෝහලට යොමු කිරීමටයි කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, වැලිහේන ප්‍රදේශයේ අවු 76 ක පුද්ගලයෙකු දින තුනක් (3) තිස්සේ අතුරුදන් බවට අද (28) දහවල් පොලිසිය පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

මෙය යම් ඝාතනයක්ද, නැතිනම් මිනීමැරු කිඹුලෙක්ගේ ග්‍රහණයට අසුව ඉතිරි වූ වම් පාදය ගංගාවේ පාවී ආවේදැයි සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙන අතර මීට දින තුනකට (3) පෙර අතුරුදන් වූ තම සොහොයුරාගේ පාදය බවට මරණකරුගේ සොහොයුරා හදුනාගෙන ඇති බවත් පොලීසිය පැවසුවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *