නිවාස හානිවලට දීපු වන්දියේ නොකියපු නම් ‘ලිස්ට්’ එක නලින්ද ජයතිස්ස කියයි

නිවාස හානිවලට දීපු වන්දියේ නොකියපු නම් ‘ලිස්ට්’ එක නලින්ද ජයතිස්ස කියයි


නිවාස හානිවලට දීපු වන්දියේ නොකියපු නම් ‘ලිස්ට්’ එක නලින්ද ජයතිස්ස කියයි

(27.02.2025 – 17:03 +0530 – hirunews.lk/sinhala)

අරගල සමයේ හානි වූ නිවාස සඳහා වන්දි ලබාදුන් තවත් පිරිසකගේ නම් සහ වන්දි මුදල් ප්‍රමාණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (27) පැවසුවා.

ඒ අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

ඒ අනුව, ‘කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා’ රුපියල් ලක්ෂ 696 ක් වන්දි ලෙස ලබාගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම ‘මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු’ රුපියල් 73,044,000 ක් ද, ඔහුගේ පුතාවන ‘රමේෂ් චානක ප්‍රනාන්දු’ට රුපියල් 1,888,300 ක් වන්දි ලෙස ලබාගෙන ඇති බව ඔහු පැවසුවා.

තවද, නොම්බර 246, ඉසුරුපුර, නිදහස් මාවත, අනුරාධපුර දේවාලයේ ‘ඩබ්ලිව්.එම්. ඥාණවතී’ රුපියල් ලක්ෂ 280 ක් වන්දි ලබා ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

“කොමිෂන් 14 ක් දාලා කොමිෂන් වලට වියදම් කරලා තියෙනවා රුපියල් ලක්ෂ 5301 ක්. ඒ 14 න් ක්‍රියාත්මක කරලා තියෙන වාර්තාවේ වන්දි දෙන්න විතරයි. වන්දි දෙන එකේ මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට රුපියල් මිලියන 1221 කුයි. හිතවතුන්ට රුපියල් මිලියන 1125 කුයි වියදම් කරලා තියෙනවා.

මෙහෙම තමයි කොමිෂන් සභා දාලා වියදම් කරලා තියෙන හැටි. අවසානයේ ඒක විතරයි කරලා තියෙන්නේ. මේ රටේ ජනතාවට වැදගත් වන පාස්කු ප්‍රහාරය ගැන හරි රාජ්‍ය මුදල් අවභාවිතාව ගැන හරි මේ ආදී දේවල් ගැන නෑ. අර කොමිෂන් දාලා තියෙන්නේ මොකටද? ඒ මොහොතේ පැන නගින දේශපාලන උද්ඝෝෂණය යට කරන්න මිසක් ඇත්ත වුවමනාවකට නෙමෙයි. ඒකටත් රුපියල් ලක්ෂ පන්දාහකට වඩා වියදම් කරලා තියෙන්නේ.”

+


දකුණු ආසියාවේ විශාලතම බදු වංචාවට සිරගතව සිටින ව්‍යපාරිකයින් තිදෙනාගේ (3) අභියාචනා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපති ඉල්ලයි

(27.02.2025 – 17:09 +0530 – hirunews.lk/sinhala)

දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන රුපියල් බිලියන 3.9 ක වැට් බදු වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී බරපතල වැඩ සහිත වසර 20 බැගින් සිර දඬුවම් නියම වී සිටින ව්‍යාපාරිකයින් තුන්දෙනෙකු (3) විසින් එම දඩුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබෙනවා.

මෙම අභියාචනා පෙත්සම් අද (27) යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල (3) විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න විසින් මෙම මූලික විරෝධතා මතු කළා.

මෙම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා විභාග කළ අභියාචනාදීකරණය විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් දුන් තීන්දුව තහවුරු කරමින් 2023 වසරේ දෙසැම්බර් මස තීන්දුවක් ලබාදී තිබෙන බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා.

එම අභියාචනාධිකරණ තීන්දුව යළි සලකා බලන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසින් ඉකුත් වසරේ (2024) ජූලි මස පෙත්සමක් ඉදිරිපත් කළ අතර එම පෙත්සමේ විභාගය මේ දක්වා අවසන් වී නොමැති බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඒ අනුව මෙම අභියාචනා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකණයට හැකියාවක් නොමැති බවත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් තමන් කරුණු දැක්වීමට අපේක්‍ෂා කරන අතර ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

විත්තිකාර අභියාචක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරපෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව නව ලේඛන කීපයක් සොයාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තමන්ට අවශ්‍ය බවත් කියා සිටියා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම අප්‍රේල් මස 01 වනදා යළි කැඳවන ලෙස නියෝග කළා.

2002 වසරේ නොවැම්බර් මස 15 වනදා සහ 2004 වසරේ නොවැම්බර් මස 15 වනදා අතර කාලසීමා තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයත් විය යුතු රුපියල් බිලියන 3.9 ක වැට් බදු මුදල් නොගෙවා වංචා කිරීම සම්බන්ධයෙන් වරදකරු කෙරුණු මොහොමඩ් සුභයිර් අවාමි, මොහොමඩ් මවුජූල් අමීර් සහ මොහොමඩ් කාමිල් කුතුබ්දීන් යන විත්තිකරුවන් තුන්දෙනාට (3) කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 20 බැගින් සිර දඬුවම් හා දඩ මුදල් නියම කර තිබුණා.

එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ ඇපල් පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය එය ප්‍රතික්ෂේප කරමින් අදාළ දඬුවම තහවුරු කිරීමටද තීන්දු කර තිබුණා.

ඒ අනුව කොළඹ මහාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව දී ඇති තීන්දු බල රහිත කොට තමන්ව සියළු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා ෴


‘මුදල්, මුල්‍යකරණය හෝ මුල්‍ය’ යන වචන භාවිත කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිවේදනයක්

(27.02.2025 – 17:20 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකුට හෝ යම් ආයතනයකට මින් ඉදිරියට මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව, ‘මුදල්, මුල්‍යකරණය හෝ මුල්‍ය’ යන වචන තනිව හෝ වෙනත් වචන සමග එක්ව භාවිත කිරීමට නොහැකි බව මහ බැංකුව නිවේදනය කරනවා.

ඒ අනුව 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු ට අනුමැතිය කින් තොරව එය භාවිත කළ නොහැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කළේ, මෙම ප්‍රතිපාදනය උල්ලංඝනය කරන හෝ ඊට අනුකූල වීමට අපොහොසත් වන ඕනෑම පුද්ගලෙයකු පනත යටතේ වරදකට වරදකරු වන බවයි ෴


ගොවියෙක් මැර කණ්ඩායමක් කුඹුරට ගෙන්වා තවත් ගොවියෙකුට පහර දෙයි

(27.02.2025 – 17:57 +0530 – hirunews.lk/sinhala)

පැල්රකිමින් සිටි ගොවීන් දෙදෙනෙකු (2) අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එක් ගොවියකු විසින් එම ස්ථානයට මැර කණ්ඩායමක් ගෙන්වා අනෙක් ගොවියාට බරපතළ ලෙස පහර දී තිබෙනවා.

මෙම පහරකෑමෙන් තුවාල ලැබූ ගොවියා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණීල්ලක් අනුව ගල්කිරියාගම පොලිසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ 50 හැවිරිදි වියෙහි පසුවන තිදරු පියෙක්.

පහරකෑමට ලක්ව ඇති ගොවියා පලාගල බමුණුගම ප්‍රදේශයේ පදිංචි තවත් ගොවියකු සමඟ එක්ව කරවිලගල ප්‍රදේශයේ අක්කර 04 ක පමණ කුඹුරක් වගා කර තිබෙනවා.

ඊයේ (26) රාත්‍රියේදී කුඹුරේ පැලේදී එම ගොවීන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාමක ප්‍රතිඵලයක් ලෙස මෙම පහරදීම සිදුර ඇති බවයි සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පහරදීමට සම්බන්ධ ප්‍රධාන සැකකාර ගොවියා බහින්බස් විම දුරදිග යන අතරතුරදී පස් දෙනෙකු (5) ගෙන් යුත් මැර කණ්ඩායමක් එම ස්ථානයට කැඳවා තිබෙනවා.

ඒ අනුව එම ස්ථානයට පැමිණී මැර කණ්ඩායම හා සැකකාර ගොවියා එක්ව පොලු මුගුරු යොදාගනිමින් අනෙක් ගොවියාට බරපතළ ලෙස පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ගොවියාට පහර දුන් මැර කණ්ඩායම එම ගොවියාගේ යතුරු පැදිය, විදුලි පන්දම් ඇතුලු දේපලවලට ද පහරදී හානිකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මැර කණ්ඩායමේ බරපතළ පහර කෑමට ලක්ව ඇති ගොවියා එම ප්‍රහාර අතරතුර ඔවුන්ගෙන් මිදී පලාගොස් කැලෑවක සැඟව සිය දිවි බේරා ගෙන ඇති අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානයට පැමිණීලි කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අප වාර්තාකරු සඳහන් කළේ අදාළ පුද්ගලයා ආඬියාගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට දඹුල්ල රෝහල වෙත මාරු කර යවා ඇති බවයි.

පහර කෑමට ලක්වූ එම ගොවියාගේ තත්ත්වය තරමක් බරපතළ බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

මෙම පහර දීමට සම්බන්ධ ප්‍රධාන සැකකාර ගොවියා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පලාගල බමුණුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ෴


‘කෙහෙල්බද්දර පද්මේ’ගේ බිරිදගේ නිවස වීඩියෝ කළ දෙදෙනා (2) රිමාන්ඩ්

(27.02.2025 – 19:55 +0530 – hirunews.lk/sinhala)

‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ බිරිදගේ පන්නල පිහිටි නිවස වීඩියෝගත කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනා (2) ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් හමුවට අද (27) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ ඩුබායිහි සිටින ‘සමීර’ නැමැත්තෙකු විසින් ලබාදුන් උපදෙස් මත මෙලෙස අදාළ නිවස වීඩියෝ ගත කළ බවයි.

මේ අතර, අපරාධ කල්ලි නායක ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ‘ස්කයිප්‍ තාක්ෂණය’ ඔස්සේ විභාග කිරීමට කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියෝග කළා.

ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී බන්ධනාගාර භාරයේ පසුවන ‘හරක් කටා’ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

මේ අතර ‘ගනේමුල්ල සංජීව’ගේ ඝාතනයෙන් පසු මෙරට අපරාධ කල්ලි අතර පවතින ගැටුම් උත්සන්න වී ඇති බැවින් දෙපාර්ශවයේම ඉලක්ක ගත වී ඇති පුද්ගලයින් වෙත අනතුරු ඇගවීම් නිකුත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ පාර්ශවය සහ ‘ගනේමුල්ල සංජීව’ගේ පාර්ශවයේ ඉලක්කගත විය හැකි පුද්ගලයින් වෙත දැනුම් දීම් සිදුකළ බවයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට සදහන් කළේ.

ඒ අනුව, ගම්පහ, මිනුවන්ගොඩ සහ හීනැටියන ප්‍රදේශවල සිටින හදුනාගත් පුද්ගලයින් වෙත මෙම දැනුම්දීම් සිදුකර තිබෙනවා.

‘කෙහෙල්බද්දර පද්මේ’ යටතේ මුදල් හුවමාරු කළ ‘ලහිරු රන්දීර් කාංචන’ නැමැත්තාට මිනුවන්ගොඩ – පත්දඬුවන මංසන්ධියට ආසන්න ප්‍රදේශයේදී ඊයේ (26) වෙඩි තබා තිබුණේ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් (2).

36 හැවිරිදි මොහු දීර්ඝ කාලයක සිට ‘කෙහෙල්බද්දර පද්මේ’ සමග සමීප ඇසුරක් පවත්වා ඇති බවටයි දැනට කරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු තවදුරටත් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් ඔහුට වෙඩි තබා තිබුණේ, ත්‍රීරෝද රථ නැවතුම්පොළෙහි සිටින අවස්ථාවේදීයි.

කෙසේ වෙතත්, වෙඩිතැබීමට පැමිණි යතුරු පැදිය හදුනාගෙන ඇති අතර, ඒ අනුව එහි හිමිකරු අත්අඩංගුවට ගැනීම සදහා ඔහු රැදී සිටින නිවස වෙත පැමිණි අවස්ථාවේදී සැකකරු පලාගොස් තිබෙනවා ෴


සිංගප්පූරුව අර්ජුන් මහේන්ද්‍රන්ව දෙන්න බෑ කියයි

(27.02.2025 – 20:05 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි දහසක (1000) පාඩුවක් සිදු වූ බව පැවසෙන ප්‍රශ්නගත ‘මහ බැංකු බැඳුම්කර සිද්ධිය’ට චෝදනා ලබා සිටින ‘හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්’ මෙරටට ලබාදීම ‘සිංගප්පූරුවේ උදර්පන නීතිය’ට අනුව සිදුකළ නොහැකි බව ‘සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව’ මෙරට නීතිපති දෙපාර්තමේන්තුවට නිල වශයෙන් දන්වා තිබෙනවා.

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළේ සිදු වූ වඩාත් ආන්දෝළනාත්මක සිදුවීම ලෙස සැළකෙන එම බැඳුම්කර වෙන්දේසිය සිදුවී අදට වසර 10 ක්.

2015 පෙබරවාරි 27 වැනිදා රුපියල් මිලියන 1,000 කින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත්කර තිබුණා.

එම බැඳුම්කර ප්‍රමාණයට රුපියල් මිලියන 20,000 ඉක්මවන දැවැන්ත ලංසු ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබීම කැපී පෙණුනු අතර, එම ලංසුවලින් රුපියල් මිලියන 10,058 ක පමණ බැඳුම්කර ප්‍රමාණයක ලංසු අනුමත වී තිබූ බව මහ බැංකුව නිවේදනය කළා.

මේ හරහා ප්‍රාග්ධන වෙළෙඳපොළේ යම් අක්‍රමිකතාවක් සිදුවී ඇති බවටයි රට තුළ දැඩි කතාබහක් ඇති වුණේ.

එම අක්‍රමිකතාව සිදුකළ බවට දැඩි ලෙස චෝදනා එල්ල වුණේ ‘එවකට මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන්’ ටයි.

එමෙන්ම, ‘එවක මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක’ට සිය තනතුරද අහිමි වූ අතර, ‘හිටපු මහ බැංකු අධිපතිවරයාගේ බෑනා වන ප්‍රශ්නගත බැඳුම්කර මිලදී ගත් පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමේ ප්‍රධානියා වූ අර්ජුන් ඇලෝසියස්’ ට සිරගත වීමටද සිදු වුණා.

2045 මාර්තු පළමු (01) වැනිදා මෙම ප්‍රශ්නගත බැඳුම්කරය කල් පිරීමට නියමිත අතර අදට එම ගනුදෙනුව සිදුවී වසර 10 ක්.

මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුත්තක්ද ක්‍රියාත්මක අතර, ‘අල්ලස් කොමිසම’ විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති පැමිණිල්ලකට අනුව අධිකරණය නියෝග කළේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට පසුගිය 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසයි.

කෙසේ නමුත් ඔහු එදින අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, පසුව වාර්තා වුණේ ඔහු සිංගප්පූරුවට ගොස් ඇති බවයි.

අද දක්වාම ඔහු එරට වාසය කරනවා.

මේ අතර අවස්ථා ගණනාවකදී ‘මෙරට නීතිපති දෙපාර්තමේන්තුව’ විසින් ‘සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවෙන්’ ඉල්ලීමක් කර තිබුණේ අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත් අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසිභාවය හිමි අයෙකු බැවින් එරට උදර්පන නීතියට අනුව මෙරටට ලබාදීමට නොහැකි බවයි ‘සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව’ ‘මෙරට නීතිපති දෙපාර්තමේන්තුව’ට පවසා ඇත්තේ.

+

ආණ්ඩුව අර්ජුන් මහේන්ද්‍රන් ගෙන නොඑන හේතු මෙන්න – උදය ගම්මන්පිල (27.02.2025)

+


හෙට්ටිපොල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

(27.02.2025 – 22:41 +0530 – hirunews.lk/sinhala)

හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එහිදී කාන්තාවකට සහ දැරියකට වෙඩි වැදී ඇති අතර තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී දැරිය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය දැරිය වයස අවුරුදු 09 ක් වූ මඟුලාගම, හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මියගිය දැරිය සිය මිත්තණිය සමඟ නිවසේ රැදී සිටියදී, අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්ද ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි වැදී ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මිය ගිය දැරියගේ මෘත ශරීරය කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධයට සම්බන්ධ බෝර 12 වර්ගයේ ගිනි අවිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


ඇප ලැබුනු ඥානසාර හිමි බන්ධනාගාරයතුල සිදු වූ දුක්ඛිත තත්ත්වය ගැන මාධ්‍ය හමුවේ කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව (27.02.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *