‘ගනේමුල්ල සංජීව’ගේ ඝාතනයෙන් පසු පාතාලය යළි ඇවිළෙයි
(27.02.2025 – 09:21 +0530 – hirunews.lk/sinhala)
‘ගනේමුල්ල සංජීව’ගේ ඝාතනයෙන් පසු යළිත් වරක් මෙරට අපරාධ කල්ලි අතර පවතින ගැටුම් උත්සන්න වී ඇති බැවින් පොලිසිය අවධානය ඒ වෙත යොමුව තිබෙනවා.
‘ගනේමුල්ල සංජීව’ගේ පාර්ශවයේ සහ දැනට ඩුබායිහි සැඟව සිටින බවට පැවසෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ පාර්ශවය අතරයි මෙම ගැටුම් නිර්මාණය වී ඇත්තේ.
පසුගියදා ‘ගනේමුල්ල සංජීව’ අධිකරණය තුළදී ඝාතනය කළ අතර පසුව අනාවරණ වූයේ ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි.
‘පද්මේ’ගේ පියාගේ ඝාතනයට ‘ගනේමුල්ල සංජීව’ට චෝදනා එල්ල වූ අතර එහි පළිය ගැනීමේ අරමුණින් ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි දැනට වාර්තා වන්නේ.
ඒ සමඟ යළිත් වරක් එම දෙපාර්ශවය අතර ගැටුම් හටගෙන තිබෙනවා.
එවන් පසුබිමකයි ‘කෙහෙල්බද්දර පද්මේ’ යටතේ මුදල් හුවමාරු කළ ‘ලහිරු රන්දීර් කාංචන’ නැමැත්තාට මිනුවන්ගොඩ – පත්දඬුවන මංසන්ධියට ආසන්න ප්‍රදේශයේදී ඊයේ (26) වෙඩි තබා තිබුණේ.
36 හැවිරිදි ‘ලහිරු’ දීර්ඝ කාලයක සිට ‘කෙහෙල්බද්දර පද්මේ’ සමග සමීප ඇසුරක් පවත්වා ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු මේ වන විට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පිස්තොල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ, ඊයේ (26) ඔහු ත්‍රීරෝද රථ නැවතුම්පොළෙහි සිටින අවස්ථාවේදීයි.
පොලිසිය දැනට සිදුකළ විමර්ශනවලින් අනාවරණ කරගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ ‘ගනේමුල්ල සංජීව’ගේ පාර්ශවය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.
එමෙන්ම ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ බිරිදගේ පන්නල පිහිටි නිවස සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ සැකකටයුතු ලෙස වීඩියෝ කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) ද පොලිසිය පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ ඩුබායිහි සිටින ‘සමීර’ නැමැත්තෙකු විසින් ලබාදුන් උපදෙස් අනුව මෙලෙස අදාළ නිවස වීඩියෝ ගත කළ බවයි.
තවද, ගම්පහ යාගොඩමුල්ල ප්‍රදේශයේ, මහහේන සුසන භුමිය තුළ තිබී ටි-56 ගිනි අවියක් (1) ඊට යොදොන පතොරොම් 22 ක් සහ මැගසීනයක් (1) පොලිස් භාරයට ගෙන තිබෙනවා.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස්මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිදු කරනු ලබන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමකට අදාළව සිදු කරනු ලබන වැටලීමකදී ඊයේ (26) රාත්‍රියේ ‘බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ’ නිලධාරීන් විසින් මේවා සොයා ගත්තා.
ටි-56 ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන තැනැත්තෙකුට රුපියල් ලක්ෂ 10 ක ත්‍යාගයක් පිරිනමන බව වැඩබලන පොලිස්පතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණා.
මේ අතර, ‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ප්‍රධාන සැකකාර කාන්තාව වන ‘ඉෂාරා සෙව්වන්දි’ගේ මව සහ බාල සොහොයුරා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන අධිකරණය නියේග කළා.
ඒ, ‘කොළඹ අපරාධ කොට්ඨාශය’ මගින් මෙම සැකකරුවන් ඊයේ (26) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එමෙන්ම, මෙම කාන්තාව දැනට ‘කෙහෙල්බද්දර පද්මේ’ සමග ඩුබායි හි රැදී සිටින ‘ශාන් අරෝෂ’ හෙවත් ‘මතුගම ශාන්’ගේ අනුදැනුම මත ඔහුගේ ගෝලයන්ගේ ආරක්ෂාව යටතේ රැඳී සිටින බවට විමර්ශන සිදුකරන පොලිස් කණ්ඩායම් වෙත තොරතුරු ලැබී තිබෙනවා.
ඒ අනුවයි පසුගිය දින කිහිපය තුළ මතුගම ප්‍රදේශයේ ‘මතුගම ශාන්’ට අයත් සහ සැකකටයුතු වෙනත් ලැගුම්හල් ඇතුලු ස්ථාන පරීක්ෂාවට ලක්කර තිබුණේ.
මේ අතර ‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ට අදාළව බන්ධනාගාර නිලධාරින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරි, ගාමිණි බී. දිසානායක ප්‍රකාශ කළා.
එමෙන්ම ‘ගනේමුල්ල සංජීව’ රඳවා සිටි බූස්ස බන්ධනාගාර සිරිමැදිරියක තිබී ජංගම දුරකථනයක් (1) ද බන්ධනාගාර නිලධාරින් සොයාගෙන තිබෙනවා.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙකු යටතේ සිදුකෙරෙනවා ෴
+
‘ගනේමුල්ල සංජීව’ගේ ඝාතනයට නිලධාරීන් 20 කගේ ජංගම දුරකතන CID භාරයට
(27.02.2025 – 14:13 +0530 – hirunews.lk/sinhala)
‘ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය’ට අදාළව එදින අධිකරණයේ ඔහුගේ ආරක්ෂාවට සිටි ‘පොලිස් විශේෂ කාර්ය බලකායේ’ සහ ‘බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ’ නිලධාරීන් 20 දෙනෙකුගේ පමණ ජංගම දුරකතන පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධියට අදාළව ‘පොලිස් විශේෂ කාර්ය බලකායේ’ සහ ‘බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ’ නිලධාරීන් 30 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය පසුගියදා කටයුතු කර තිබුණා.
ඒ අනුවයි ඊට අදාල විමර්ශන සිදු කිරීම සඳහා ඔවුන්ගේ ජංගම දුරකතන එම කොට්ඨාසයේ භාරයට ගෙන ඇත්තේ.
ඝාතන සිද්ධියට අදාළව බන්ධනාගාර නිලධාරින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස්, ගාමිණි බී. දිසානායක ප්‍රකාශ කළා.
මේ අතර, ‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ට අදාළව අත්අඩංගුවට ගත් මීගමුව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයා මෙම ඝාතන සැලසුම සම්බන්ධයෙන් පෙර සිටම දැනුවත්ව සිටි බවට විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
ඔහු දැනට අතුරුදන්ව සිටින සැලසුමේ මහ මොළකරු ලෙස හැදින්වෙන ‘ඉෂාරා සෙව්වන්දි’ නැමැති කාන්තාව සමඟ සම්බන්ධතා පවත්වා තිබීම හේතුවෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා ෴
දිවි සැරිය නිමකළ ‘වසන්ත විට්ටච්චි’ගේ අවසන් කටයුතු අනිද්දා (29) බොරැල්ල සුසාන භූමියේදී
(27.02.2025 – 09:33 +0530 – hirunews.lk/sinhala)
ප්‍රවීණ රංගන ශිල්පියෙකු සහ වේෂ නිරූපණ ශිල්පියෙකුවන ‘වසන්ත විට්ටච්චි’ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කළක සිට රෝගාතුරව සිටි ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ (26) රාත්‍රියේ අභාවප්‍රාප්තවන විට 65 වැනි වියේ පසුවුණා.
ඔහු ලාංකේය සිනමාව, වේදිකාව, ටෙලි නාට්‍ය යන කේෂත්‍ර තුනේම යුග ගණනාවක අත්දැකීම් සම්භාරයක් හිමි කලාකරුවෙක්.
එමෙන්ම වේෂ නිරූපණ ශිල්පියෙකු ලෙසද ඔහු මෙරට කලා ක්ෂේත්‍රයට මහඟු සේවයක් ඉටුකරනු ලැබුවා.

පරාක්‍රම නිරිඇල්ලගේ සිරිමැදුර චිත්‍රපටයෙන් මෙරට සිනමා ක්ෂේත්‍රයට පිවිසි ඔහු ගුරු ගෙදර, කෙළි මඩල, මාරුතය, සුදු සෙවනැලි, සිහින දේශය, අන්තිම රැය, කතුරු මිතුරු, සිකුරු හතේ වැනි චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නා.
එමෙන්ම, වේදිකා නාට්‍ය සහ ටෙලිනාට්‍ය ගණනාවකට ද එක් වූ වසන්ත විට්ටච්චි ‘හිරු ටීවි’ ඔස්සේ විකාශය වූ දිවිතුරා ටෙලි නාට්‍යයට රඟපෑමෙන් දායක වුණා.
ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා (29) පස්වරු 04:00 ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
අද (27) පස්වරු 6 ට දේහය කදානේ, පොල්පිති මූකලානේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන යන අතර අනිද්දා (29) පෙරවරු 8 සිට පස්වරු 03:30 දක්වා බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙනු ඇති ෴
මිද්දෙනිය ත්‍රිත්ව (3) ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු (3)ට දින 90 ක රැඳවුම් නියෝග
(27.02.2025 – 09:56 +0530 – hirunews.lk/sinhala)
මිද්දෙනිය ත්‍රිත්ව (3) ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු (3) ගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය දින 90 ක රැඳවුම් නියෝගයක් ලබා දී තිබෙනවා.
ඒ එම සැකකරුවන් අද (27) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙම සැකකරුවන් අතර පොලිස් කොස්තාපල්වරයෙකුද සිටිනවා.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
මිද්දෙනිය, ගල්පොත්තයාය ප්‍රදේශයේ දී පසුගිය 18 වැනිදා රාත්‍රියේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පියා, පුතා සහ දියණිය මියගියා.
ඒ අනුව, මෙම වෙඩි තැබීමෙන් වීරකැටිය, මිගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි ‘අරුණ විදානගමගේ’ නොහොත් ‘කජ්ජා’ යන අන්වර්ත නමින් හදුන්වනු ලැබූ තැනැත්තා සහ ඔහුගේ දරුවනුයි මෙලෙස මියගියේ ෴
උස්වැටකෙයියාව ඝාතන සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
(27.02.2025 – 10:34 +0530 – hirunews.lk/sinhala)
පමුණුගම – උස්වැටකෙයියාව වෙරළ තීරයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාගම, වල්පොල ප්‍රදේශයේදී මෙම සැකකරු ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 12 ක් සහ ජීව අත්බෝම්බයක් (1) සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධියට අදාලව මීට පෙර ද කාන්තාවක් (1) ඇතුලු සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුගිය 21 වන දා උස්වැටකෙයියාව මුහුදු වෙරළ තීරයේදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ 29 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචි ‘ශාන්ත බෝපේආරච්චි’ නැමැත්තෙක් ෴
පාස්කු ප්‍රහාර වන්දි රුපියල් මිලියන 245 ක් ගෙවයි
(27.02.2025 – 14:14 +0530 – hirunews.lk/sinhala)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දු අනුව අය කරගත් මුදල් වලින් රුපියල් මිලියන 245 ක් එම ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ට ගෙවා තිබෙන බව නීතිපතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
එම වන්දි ගෙවා තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ පෙත්සම් 12 ක් අද (27) අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ඒ.එච්. එම්. ඩී. නවාස් යන ත්‍රිපුද්ගල (3) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණා ෴
‘මග නැගුමේ’ මුදල් වංචාවකට එහි හිටපු ලොක්කෝ දෙදෙනෙක් (2) රිමාන්ඩ්
(27.02.2025 – 15:20 +0530 – hirunews.lk/sinhala)
‘මග නැගුම ආයතනයේ’ මුදල් සාපරාධී ලෙස පරිහරණය කිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද එහි හිටපු නිලධාරින් දෙදෙනෙකු (2) ලබන 03 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
‘පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය’ මගින් අත්අඩංගුවට ගන්නා ලද ‘මග නැගුම ආයතනයේ’ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අබේසිංහ අධිකාරි සහ හිටපු අතිරේක සාමාන්‍යාධිකාරී (මුදල්) අනගිපුරගේ මයිකල් යන සැකකරුවන් දෙදෙනා (2) මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.
2012 වසරේ සහ 2015 වසර අතර කාලසීමාව තුළ ව්‍යජ ලෙස ව්‍යාපෘති සඳහා මුදල් අනුමත කරමින් රජය මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සඳහා ආධාර අනුබලදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බව පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළා.
ඒ අනුව, විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස පොලිසියට දැනුම්දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි, සැකකරුවන් ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා ෴
දෙවන (2) වාහන තොගය හම්බන්තොට වරායට පැමිණෙයි
(27.02.2025 – 16:11 +0530 – hirunews.lk/sinhala)
දෙවන (2) වාහන තොගය ලෙසින් වාහන 196 ක් අද (27) හම්බන්තොට වරායට පැමිණි බව අප වාර්තාකරු සඳහන් කරනවා.
එහි පළමු (1) කාණ්ඩය පෙරේදා තායිලන්තයේ සිට කොළඹ වරායට ළඟා වුණා.
‘ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ’ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ සදහන් කළේ, මාර්තු අවසානය වන විට වාහන 4000 ක් ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි ෴
17 හැවිරිදි දැරියක් කෘරත්වයට පත් කිරීමේ වරදට නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(27.02.2025 – 16:36 +0530 – hirunews.lk/sinhala)
‘පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ’ හිටපු කොමසාරිස්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
ඒ, 2021 වර්ෂයේදී අනුරාධපුරයේ ළමා නිවාසයක 17 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ විමර්ශනයකින් අනතුරුවයි.
‘අනුරාධපුර ප්‍රදේශයේ ළමා නිවාසයක’ අයතා ක්‍රියාකාරකම් සිදු වන බවට 2021.01.16 වන දින ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන්’ ලද පැමිණිල්ලක් මත ‘අනුරාධපුර පොලිස් ස්ථානය’ මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එම පැමිණිල්ලට අනුව ‘අනුරාධපුර පොලිස් ස්ථානයේ’ නිලධාරීන් විසින් ළමා නිවාසයේ නේවාසික දැරියන්ගේ සහ ‘උතුරුමැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව’ට අනුයුක්ත නිලධාරින්ගේ ප්‍රකාශ සටහන් කර ගෙන විමර්ශනයක් සිදු කර තිබෙනවා.
එහිදී අනාවරණය වූ තොරතුරු මත අධිකරණ නියෝග මත ‘උපදේශන මධ්‍යස්ථානයක’ රඳවා සිටි වයස අවුරුදු 17 ක දැරියක් ළමා නිවාසයක අරක්කැමි සේවයේ යොදවා කෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ‘උතුරු මැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ’ පාලන අධිකාරියට විරුද්ධව ගත හැකි නීතිමය පියවර සම්බන්ධයෙන් නීතිපතිතුමාගෙන් උපදෙස් පතා තිබෙනවා.
ඒ අනුව, අවුරුදු 17 ක දැරියගේ භාරය දරා සිටිමින් ඇය නොසලකා හැරීමෙන් සහ හිංසා කිරීමෙන් කෘරත්වයට පත් කිරීමේ වරදට සහ ළමා නිවාසයේ අරක්කැමි සේවයේ යොදවා ගැනීමේ වරදට ‘උතුරු මැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ’ හිටපු කොමසාරිස්වරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනියක් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ‘නීතිපති දෙපාර්තමේන්තුව’ මඟින් උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව අද දින මෙම සැකකරු හා සැකකාරිය අනුරාධපුර පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර, එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 49 ක් වන වාරියපොල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් සහ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 57 ක් වූ සැකකාරියක්.
යාවත්කාලීන කිරීම: අනුරාධපුරයේ ළමා නිවාසයක 17 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ඇප ලබා දෙන ලදී ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴