‘ගනේමුල්ලේ සංජීව ඝාතනයේ’ මහ මොළකාරිය ආගිය තැන් රැසක් එළියට

‘ගනේමුල්ලේ සංජීව ඝාතනයේ’ මහ මොළකාරිය ආගිය තැන් රැසක් එළියට


‘ගනේමුල්ලේ සංජීව ඝාතනයේ’ මහ මොළකාරිය ආගිය තැන් රැසක් එළියට

(26.02.2025 – 21:57 +0530 – hirunews.lk/sinhala)

‘ගනේමුල්ලේ සංජීව ඝාතනය’ සැලසුම් කිරීමේ මහ මොළකාරිය ලෙස හඳුනාගෙන ඇති ‘ඉෂාරා සෙව්වන්දි’ගේ සොහොයුරාගේ බැංකු ගිණුමකට එම ඝාතනය මෙහෙයවූ ‘කෙසෙල්බද්දර පද්මේ’ විසින් රුපියල් ලක්ෂයක මුදලක් බැර කර ඇති බව හෙළි වී තිබෙනවා.

ඒ අදාළ ඝාතනය සිදු වූ පසුගිය 19 වැනිදාට පසුවයි.

සැකකාර කාන්තාව ඝාතනයෙන් පසුව කලුතර නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසැලකින් රුපියල් ලක්ෂ 05 ක් වටිනා රන් ආභරණ මිලදී ගෙන ඇති බවටද අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.

එම ඝාතනය සැලසුම් කිරීමේ මහ මොළකාරිය ලෙස හඳුනාගෙන ඇත්තේ දැනට සැඟවී සිටින 25 හැවිරිදි ‘ඉෂාරා සෙව්වන්දි’ නමැති කාන්තාවයි.

මේවන විට ‘ගනේමුල්ලේ සංජීව’ගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කෙරෙන අතර ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේවන විට අනාවරණ කර ගැනීමට විමර්ශන නිලධාරින් සමත් වී තිබෙනවා.

‘ගනේමුල්ලේ සංජීව ඝාතනයේ’ වෙඩික්කරු වූ ‘කමාන්ඩෝ සමිඳු’ සහ සැකකාර ‘ඉෂාරා සෙව්වන්දි’ දිවුලපිටිය ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරන අයුරු දැක්වෙන සී.සී.ටී.වී. දර්ශනයක් මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

ඝාතනයෙන් පසුව ‘ඉෂාරා සෙව්වන්දි’ මතුගම ප්‍රදේශයට පළා ගොස් ඇති අතර ඊට පෙර ඇය කලුතර නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳසැලකින් රුපියල් ලක්ෂ 05 ක් වටිනා රන් ආභරණ මිලදී ගෙන ඇති බවටයි පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම සැකකාර කාන්තාව සහ මේවන විට අත්අඩංගුවට ගෙන සිටින ඝාතනයේ වෙඩික්කරු වන ‘කමාන්ඩෝ සමිඳු’ පසුගිය 18 වැනිදා දිවුලපිටිය ලැගුම්හලක සිට මිනුවන්ගොඩ දූනගහ ප්‍රදේශයට ගොස් රාජ්‍ය බැංකුවකින් රුපියල් 50,000 මුදලක් ලබා ගෙන ඇති අතර අනතුරුව කුලී රථ යෙදවුමක් හරහා වාහනයක් වෙන් කරවාගෙන තිබෙනවා.

අනතුරුව සැකකාර ‘ඉෂාරා සෙව්වන්දි’ සහ වෙඩික්කරු කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත පැමිණ ඇති බවයි සී.සී.ටී.වි දර්ශන ඔස්සේ කරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ

එම කුලී රථ රියැදුරු පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔහුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

රියැදුරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ සැකකාර කාන්තාව බැංකුවට ගිය අවස්ථාවේ වෙඩික්කරු ලෙස කටයුතු කළ ‘කමාන්ඩෝ සමිඳු’ රථයේ සිට ඇති අතර ඔහු තමාට දුම්වැටියක්ද ලබා දුන් බවයි

‘ඉෂාරා සෙව්වන්දි’ සහ ‘කමාන්ඩෝ සමිඳු’ එම කුලී රථ රියැදුරු සමග සුහදව කතාබස් කර ඇති අතර ‘ඉෂාරා සෙව්වන්දි’ගේ මිතුරියකගේ විවාහ මංගල්‍යයකට සහභාගි වීම සඳහා කඩුවෙලට යන බවයි ඔවුන් පවසා තිබෙන්නේ.

එමෙන්ම මෙම ඝාතනය මෙහෙයවූ අපරාධ කල්ලි නායක ‘කෙසෙල්බද්දර පද්මේ’ ‘ගනේමුල්ලේ සංජීව ඝාතනයෙන්’ පසුව දැනට අත්අඩංගුවේ සිටින ‘ඉෂාරා සෙව්වන්දි’ගේ සොහොයුරාගේ ගිණුමකට රුපියල් ලක්ෂයක (100,000) මුදලක් බැර කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා

‘ගනේමුල්ලේ සංජීව’ට ගම්පහ අධිකරණයේදී ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබුණු බවට මීට පෙර වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන්ද සැකකාර ‘ඉෂාරා සෙව්වන්දි’ගේ සොහොයුරා දැනුවත්ව සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අපරාධ නඩු විධාන සංග්‍රහය පොතේ පිටපතක ගිනි අවියක හැඩයට පිටු කපා ඒ තුළ ‘ගනේමුල්ලේ සංජීව ඝාතනය’ට යොදා ගත් ගිනි අවිය සඟවාගෙන අධිකරණ පරිශ්‍රයට රැගෙන ආ අතර අදාළ ගිනි අවිය එලෙස අපරාධ නඩු විධාන සංග්‍රහය පොතේ පිටපතක සඟවා ඇත්තේ මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති ‘ඉෂාරා සෙව්වන්දි’ගේ සොහොයුරා බවටද කරුණු අනාවරණය වී තිබෙනවා.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් දැනුවත්ව සිටියදී ඒ සම්බන්ධයෙන් තොරතුරු වසන් කර, අපරාධයට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ ‘ඉෂාර සෙව්වන්දි’ගේ මව සහ සොහොයුරා පසුගිය 24 වැනිදා අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කළා.

සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණයෙන් අවසර අයද සිටි අතර එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සැකකරුවන් මාර්තු මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළා.

+

මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

(26.02.2025 – 11:24 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ පත්දඬුවන ප්‍රදේශයේ අද (26) උදෑසන 11 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය බුද්ධික මනතුංග පවසනවා.

මෙසේ වෙඩි වැදීමට ලක්ව ඇත්තේ, වයස අවුරුදු 36 ක පුද්ගලයෙක්වන ත්‍රීරෝද රථ රියදුරෙක්.

තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසිනුයි මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ.

තුවාල ලැබූ පුද්ගලයා ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ ගෝලයෙකු බවට සැක කෙරෙන බවටයි වාර්තා වෙන්නේ.

තවද, වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇත්තේ මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියක් බවටයි අනාවරණය වී ඇත්තේ.

+

මිනුවන්ගොඩ වෙඩි වැදීමට ලක්වූ තරුණයාගේ අනන්‍යතාවය හෙළිවෙයි

(26.02.2025 – 12:07 +0530 – hirunews.lk/sinhala)

අද (26) උදෑසන 11 ට පමණ මිනුවන්ගොඩ පත්දඬුවන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, පත්දඬුවන ප්‍රදේශයේ පදිංචි ‘කොටගම මුදියාන්සේලාගේ ලහිරු රන්දිර් කාංචන’ නමැති පුද්ගලයෙක්.

මෙසේ තුවාල ලබා ඇත්තේ, 36 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙක්.

ඔහු ත්‍රීරෝද රථය තුළ සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසිනුයි මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙන්නේ.

තුවාලකරු ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත මාරකර යවා තිබුණා.

මේ අතර, ගම්පහ රෝහලේ ප්‍රකාශකයෙකු ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට කියා සිටියේ අදාළ පුද්ගලයගේ කලවා ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි.

එහෙත් තුවාලකරුගේ තත්ත්වය බරපතල නොවන බවයි ඔවුන් පවසන්නේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

+

‘ගණේමුල්ල සංජීව’ගේ ගෝලයින් ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සමීපතමයින් බිලි ගන්න සූදානමින්

(26.02.2025 – 17:02 +0530 – sinhala.adaderana.lk)

‘ගණේමුල්ල සංජීව’ වෙඩිතබා ඝාතනය කර දින 07 ක් ගතවන මේ මොහොතේ එම ඝාතනය මෙහෙයවූ බවට චෝදනා එල්ලවන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ සමීපතමයෙකුට අද (26) එල්ලවූ වෙඩි ප්‍රහාරය පිළිබඳව ආරක්ෂක අංශවල දැඩි අවධානයට යොමුවී තිබේ.

අද (26) පෙරවරුවේ මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේදී ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ පාසල් මිතුරෙකු ලෙස සැලකෙන 36 හැවිරිදි පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා මේ වනවිට ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

ඔහුගේ පාදකට සහ අතකට වෙඩිවැදී ඇති අතර ගම්පහ රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවය.

වෙඩි වැදුණු පුද්ගලයා ‘ගණේමුල්ල සංජීව ඝාතනය’ට සම්බන්ධයක් නැතත් ඔහු ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සමීපතමයෙකුවීම හේතුවෙන් වෙඩිතැබීම සිදුකර ඇති බවට සැකකරයි.

‘සංජීව ඝාතනයෙන්’ පසුව ඔහුගේ සමීපතමයින් ප්‍රකාශ කර තිබුණේ ‘කෙහෙල්බද්දර පද්මේ’ සමග සබඳකම් පවත්වන පාර්ශ්වවලින් පලි ගන්නා බවටය.

වමේ : ගණේමුල්ල සංජීව | දකුණේ : කෙහෙල්බද්දර පද්මේ

ඒ අනුව මේ වනවිට අපරාධ කල්ලි අතර පවතින මෙම ආරවුල උත්සන්න වී ඇති බව පැවසේ.

විශේෂයෙන් පාතාලයේ ‘ගෝඩ් ෆාදර්’ වීමේ අරමුණින් බොහෝ දෙනෙකු අතීතයේ සිටම අපරාධ කල්ලි නායකයන් ඝාතනය කරමින් කටයුතු කරන ආකාරය දක්නට ලැබුණු අතර එය වර්තමානය වන විටත් දක්නට ලැබෙයි.

කෙසේවෙතත් අද (26) දින සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කිසිඳු පුද්ගලයෙකු මේ දක්වාත් අත්අඩංගුවට ගෙන නොමැත.

මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කළේ කණ්ඩායම් කිහිපයක් අදාළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවය ෴


‘ක්‍රිෂ් ගනුදෙනුව’ සම්බන්ධයෙන් වන නඩුව විභාග කෙරෙන විනිසුරුවරයාට එරෙහිව පළ වූ සමාජ මාධ්‍ය සටහන් ගැන අධිකරණයට කරුණු වාර්තා කෙරෙයි

(26.02.2025 – 08:15 +0530 – hirunews.lk/sinhala)

‘ක්‍රිෂ් ගනුදෙනුව’ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්නට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති සටහන් දෙකක් (2) සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඉකුත් 21 වැනිදා ‘පෝද්දල ජයන්ත’ සහ ‘සනත් බාලසූරිය’ යන නම් වලින් මුහුණු පොත ඔස්සේ මෙම පළ කිරීම සිදුකර තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ තුළින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

මීට අදාළව සුදුසු නියෝග නිකුත් කරන ලෙසත් මහාධිකරණ රෙස්ට්‍රාර්වරයා විසින් අධිකරණයෙන් වැඩිදුරටත් අයැද සිටිනවා.

‘ක්‍රිෂ් ගනුදෙනුව’ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ඉකුත්දා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ අධි චෝදනා භාර දීම සිදුකෙරුණා ෴


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ CIDයෙන් පිටව යයි

(26.02.2025 – 14:33 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකාශයක් ලබාදීම සඳහා ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැය 05 කට පමණ පසු ඉන් පිටව ගොස් තිබෙනවා.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ, ‘ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුවක්’ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සදහන් කළේ, ඔහු පෙරවරු 09:15 ට පමණ එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණි බවයි.

‘රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු’ කළ පැමිණිල්ලකට අනුව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය’ මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා ෴


සත්ත්ව ආහාරවලට විකුණූ කිරිපිටි අලෙවි කළ ව්‍යාපාරිකයකුට සිර දඬුවම්

(26.02.2025 – 17:38 +0530 – hirunews.lk/sinhala)

සත්ත්ව ආහාර සඳහා අලෙවි කළ කිරිපිටි තොගයක් මිලදී ගෙන මිනිස් පරිභෝජනයට නැවත ඇසුරුම් කර අලෙවි කළ ව්‍යාපාරිකයෙකුට බරපතල වැඩ සහිත මාස 04 ක සිරදඬුවමක් සහ රු. 10,000 ක දඩයක් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබෙනවා.

ව්‍යාපාරිකයා සතුව තිබු පාරිභෝජනයට නුසුදුසු කිරිපිටි මෙට්‍රික්ටොන් 160 ක ප්‍රමාණයද අධිකරණයේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමටයි එහිදී නියෝග කර ඇත්තේ.

කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි අදාළ ව්‍යාපාරිකයාට අයත් සත්ත්ව ආහාර නිෂ්පාදන ආයතනයක් 2019 වසරේ ජනවාරි මස 12 වනදා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් වටලා තිබෙනවා.

එහිදී හෙළි වුණේ, එම කිරිපිටි මුල් ඇසුරුම් ඉවත්කර ව්‍යාජ ලෙස සකස් කළ නව ඇසුරුම්වලට නැවත අසුරන බවයි.

අදාල ව්‍යාපාරිකයා එලෙස කිරිපිටි මෙට්‍රික් ටොන් 200 ක් පමණ මිලදීගෙන ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් 40 ක් පමණ අයිස් ක්‍රීම්, යෝගට් හා බිස්කට් නිෂ්පාදනය සඳහා අලෙවිකර ඇති බව පැවසෙනවා ෴


බුන්දල ජාතික වනෝද්‍යානයේ නීති විරෝධී ‘මොටෝ සෆාරි’ ගැන ‘හිරු CIA’ අනාවරණය

(26.02.2025 – 20:56 +0530 – hirunews.lk/sinhala)

‘මොටෝ සෆාරි’ නමින් ක්‍රියාත්මක යතුරුපැදි කණ්ඩායමක් දිනපතා රාත්‍රී කාලයේදී ‘බුන්දල ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය’ ආක්‍රමණය කරමින් වනසතුන්ගේ නිදහසට දැඩිලෙස බාධා එල්ල කරමින් පවතිනවා.

මෙම නීති විරෝධී ‘මෝටර් සෆාරි’ හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ ජීවිත ද දැඩි අවදානමක හෙලා ඇති අතර ඔවුන්ගේ ක්‍රියාදාමය පිළිබදවයි අද (26) ‘හිරු CIA’ අනාවරණය.

බුන්දල ප්‍රදේශයේ පුද්ගලයෙකු මේ දිනවල ෆේස් බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළකරමින් ‘බුන්දල ජාතික වනෝද්‍යානය’ අවට ප්‍රදේශවල රාත්‍රී කාලයේ යතුරු පැදිවලින් විදේශීය සංචාරකයන් රැගෙන ගොස් වන සතුන් පෙන්වන බවට ප්‍රචාරණයන් සිදුකරමින් පවතිනවා.

‘මෝටර් සෆාරි’ සඳහා ප්‍රංශ ජාතිකයෙකු විසින් විදෙස් සංචාරකයන් මෙරටට ගෙන්වන අතර ඔවුන්ට නවාතැන් සැපයීම, විදේශිකයන්ට මාර්ගෝපදේශන සිදුකිරීම් ඇතුළු කිසිදු ක්‍රියාවලියකට මොවුන් අවසර ලබාගෙන නැහැ.

විදේශිකයන් රැගෙන යන යතුරුපැදිවල අධි ආලෝක විදුලි ධාරාවන් සහිත ලාම්පු ද මොවුන් සවි කර තිබෙනවා.

සවස් කාලයේ ආරම්භ කරන මෙම යතුරුපැදි ක්‍රියාන්විතය ‘බුන්දල ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය’ වටා සැරිසරමින් විදේශිකයන්ගේ ජීවිත ද අවධානමේ හෙළමින් වනඅලින් අසලටම ගමන් කරනවා.

යතුරුපැදිවල සවිකර ඇති අධි අලෝක සහිත විදුලි ධාරාවන් වනසතුන් දෙසට යොමුකරමින් විදේශිකයන්ව පිනවන මොවුන් වන සතුන්ගේ නිදහස් රාත්‍රී දිවි පෙවෙතට මුලු මනින්ම එල්ල කරන්නේ දැඩි බාධාවක්.

අඩුම තරමින් මෙරට රථවාහන නීතියට හෝ ගරුනොකරන මෙම යතුරුපැදිකරුවන්ව විදේශිකයන්ටවත් ‘හිස් ආවරණ’ ලබා නොදී ගමන්ගන්නවා.

වනජීවීන්ගේ මෙන්ම සංචාරකයන්ගේ ජීවිත ද අවදානමේ හෙළන මෙම ‘මෝටර් සෆාරි’ සඳහා ‘වනජීවී දෙපාර්තමේන්තුව’, ‘සංචාරක අමාත්‍යාංශය’ ඇතුළු වගකිව යුතු බලධාරීන් මෙම අනාවරණයෙන් පසුව හෝ නිසි ක්‍රියාමාර්ග ගන්නේ ද ?

‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියේදීත් අවධානයෙන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *