රියදුරුට හෘදයාබාධයක් වැළඳී බස් රථය අනතුරක – රියදුරු මරුට
(25.02.2025 – 14:07 +0530 – hirunews.lk/sinhala)
හෙට්ටිපොල සිට මාතලේ බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක රියදුරෙකුට ඇතිවු හෘදයාබාධයක් හේතුවෙන් එම බස් රථය අනතුරට ලක්ව තිබෙනවා.
එම අවස්ථාවේ රියදුරු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි මහවෙල පොලිසිය පවසන්නේ.

ඊයේ (24) සවස 05:00 ට පමණ මගීන් රැගත් මෙම බස් රථය මාතලේ බලා ධාවනය වෙමින් තිබියදී A-9 මාර්ගයේ කොහොලන්වල විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය ඉදිරිපිට දි අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන්ට කිසිදු හානියක් සිදුව නොමැති අතර, රියදුරු නාලන්ද රජයේ රෝහලට රැගෙන යාමේ දී ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි පැවසෙන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ පලාපත්වල, පදිංචිව දීප්තික චන්දික විජේකෝන් නැමති (49) අයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා ෴
බස් අනතුරකින් පාසල් සිසුවියක් ඇතුළු තිදෙනෙක් (3) රෝහලේ
(25.02.2025 – 16:41 +0530 – hirunews.lk/sinhala)
බස් රථ දෙකක් (2) මුහුණට මුහුණ ගැටීමෙන් පදවිය යාය 06 ප්‍රදේශයේදී අද (25) සිදුවූ අනතුරකින් පාසැල් සිසුවියක (1) හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල් ගතකළ බව පොලිසිය පවසනවා.
වැලිඹය පරාක්‍රමපුර මාර්ගයේ යාය 06 ප්‍රදේශයේ වංගුව සහිත ස්ථානයකදී පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් හා ඇගළුම් සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.
අනතුරටපත් පාසල් බස් රථය මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් තිබෙනවා.

සිදුව ඇති මෙම අනතුරින් පාසල් බස් රථයේ ගමන් ගත් පාසල් සිසුවියක (1) තුවාල ලබා ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා පදවිය රෝහලට ඇතුළත් කර තිබුණා.
පාසල් බස් රථයේ සහයකවරයා ද, ඇඟලුම් සේවකයින් රැගත් බස් රථයේ රියදුරා ද, මෙම අනතුරින් තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ ඔවුන් ප්‍රතිකාර සදහා සම්පත්නුවර රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.
අනතුරට පත් බස් රථ දෙකට (2) ද සැලකිය යුතු හානි සිදුව තිබෙනවා.
මෙම බස් රථ අනතුර සම්බන්ධයෙන් පදවිය පොලිස් රථවාහන අංශය මඟින් වැඩිදුර විමර්ශණ සිදුකරනවා ෴
දැඩි නියගයෙන් රත්නපුර, කළුතර පවුල් 2278 ක් පානීය ජල අර්බුදයක
(25.02.2025 – 08:36 +0530 – hirunews.lk/sinhala)
රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක ජනතාව මේ වන විට පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, පවුල් 2278 කට අයත් පුද්ගලයින් 7000 කට වැඩි ප්‍රමාණයක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව ඇති බවයි.
රත්නපුර සහ කලුතර යන දිස්ත්‍රික්කවල ජනතාවට මෙම තත්ත්වයට දැඩිව මුහුණ දී සිටින බවයි එම මධ්‍යස්ථානය සදහන් කළේ.
ඇතැම් ප්‍රදේශවල ජනතාවට බවුසර් මගින් පානිය ජලය බෙදා හැරීම සිදුකරන බවට ද වාර්තා වනවා.
එමෙන්ම මධ්‍යම කදුකර ප්‍රදේශවල පවතින දැඩි වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහල යමින් පවතින බව වාර්තා වනවා.
දැනට සති කිහිපියට පෙර පිරී ගොස් තිබූ ‘වික්ටෝරියා ජලාශයේ’ ජල මට්ටම මේ වනවිට සීග්‍රයෙන් පහළ ගොස් ඇති බවයි ප්‍රදේශයේ ‘හිරු වාර්තාකරු’ සඳහන් කළේ.
+
භාවිතයට නොගන්නා ‘ශ්‍රීලන්කන් ගුවන් යානා’ 03 කට මසකට ඩොලර් ලක්ෂ 09 ක් වාරික වශයෙන් ගෙවලා
(25.02.2025 – 11:20 +0530 – hirunews.lk/sinhala)
‘ශ්‍රීලන්කන් ගුවන් සේවය’ සතු යානා අතුරින් යානා 03 ක් වසර ගණනාවක සිට භාවිතයට නොගත්ත ද ඒ සඳහා මසකට ඩොලර් ලක්ෂ 09 කට ආසන්න මුදලක් වාරික වශයෙන් ගෙවා ඇති බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.
එමෙන්ම මේ වනවිට ‘ශ්‍රීලන්කන් ගුවන් සේවය’ සතුව සමස්ත ගුවන් යානා 22 ක් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ඔහු මේ බව පවසා සිටියේ අද (25) පාර්ලිමේන්තුවේදීයි.
මේ අතර, මේ වනවිට ප්‍රධාන ගුවන් සේවය සතු සේවකයින් 3,194 ක් සහ ඊට අදාළ ක්‍රමෝපායික ව්‍යාපාර ඒකකවල සේවකයින් 2,862 ක් ලෙස සමස්ථ සේවකයින් 6,056 ක් සේවය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴
කොළඹ සුඛෝපභෝගී හෝටලයක් තුළදී අබිරහස් ලෙස මිය ගිය චීන ජාතිකගේ මරණයට අදාළව අධිකරණයෙන් නියෝගයක්
(25.02.2025 – 12:50 +0530 – hirunews.lk/sinhala)
කොම්පඤ්ඤවීදියේ පිහිටි සුඛෝපභෝගී හෝටලයක 22 මහලේ කාමරයක නවාතැන් ගෙන සිටියදී මිය ගොස් සිටි චීන ජාතික සූ චෙන්ග් ගැන්ග් (Shu Cheng gang) නමැති පුද්ගලයාගේ මරණ පරීක්ෂණය සිදුකර අධිකරණයට වාර්තාවක් ගොනු කරන්නැයි කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කර තිබෙනවා.
මරණකරු මියගිය ස්ථානය නිරීක්ෂණය කළ පසුවයි වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලබන මාර්තු 03 වැනිදා නඩුව යළි කැඳවන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
අදාළ හෝටලයේ 22 මහලේ කාමරයක් තුළ තිබී ඊයේ (24) පස්වරුවේ එම චීන ජාතිකයාගේ මළ සිරුර සොයා ගෙන තිබුණා.
අදාළ චීන ජාතිකයා මෙරට සමාගමක සේවයේ නිරතව ඇති අයෙකු වන අතර, ඔහු සමග තවත් චීන ජාතිකයින් පිරිසක් හෝටලය තුළ රැඳී සිට ඇති බවටයි වාර්තා වෙන්නේ ෴
අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා AI තාක්ෂණයෙන් නව විසඳුම්
(25.02.2025 – 13:46 +0530 – hirunews.lk/sinhala)
අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා AI තාක්ෂණය සහ අනෙකුත් නව තාක්ෂණික උපාංග කඩිනමින් භාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ඊයේ (24) පරිසර අමාත්‍යංශයේදී පවත්වා තිබෙනවා.
ඒ අනුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු රජයේ විශ්වවිද්‍යාල කිහිපයක් විසින් හඳුන්වාදුන් නවීන තාක්ෂණික උපක්‍රම සහ උපාංග පිළිබඳව දැනුවත් කිරීමක් ද මෙහිදී සිදුව තිබුණා.
තවද, එම තාක්ෂණය කඩිනමින් ප්‍රායෝගිකව භාවිතයේ යෙදවීමට අදාළ ආයතන දැනුවත් කිරීමයි මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇත්තේ.
මෙම සාකච්ඡාව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, පරිසර අමාත්‍යංශයේ ලේකම් රෝහිත උඩුවාවල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව යන ආයතනයන්ගේ නිළධාරීන් ද පරිසරවේදීන් නියෝජනය කරමින් රවින්ද්‍ර කාරියවසම් සහ සමන්ත ගුණසේකර යන අයද සහභාගී වී තිබෙනවා ෴
‘කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්’ රැඳවියන් 04 දෙනෙකු පැනයයි
(25.02.2025 – 15:01 +0530 – hirunews.lk/sinhala)
පොළොන්නරුව, වැලිකන්ද – ‘කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන කඳවුරේ’ සිටි රැදවියන් 04 දෙනෙකු පළාගොස් තිබෙනවා.
‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී වැලිකන්ද පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ පලාගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.
මොවුන් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වන අතර ඔවුන් අවුරුදු 30 ත් 35 ත් අතර වයස්වල පසුවන්නන් ෴
බහරේනයට පැමිණෙන පිරිස් වෙත දැනුම් දීමක්
(25.02.2025 – 15:04 +0530 – hirunews.lk/sinhala)
සංචාරක වීසා මගින් බහරේනයට පැමිණ එය අනුග්‍රාහකයෙකු නොමැතිව රැකියා වීසා බවට පරිවර්තනය කිරීමට නොහැකි බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබෙනවා.
බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපුටා දක්වමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, අනුග්‍රාහයෙකු සමඟ සංචාරක වීසා, රැකියා විසා බවට පරිවර්තනය කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනය කර ඇති බවයි.
ඒ අනුව මීට පෙර අය කළ බහරේන් ඩිනාර් 60 ක ගාස්තුව ඩිනාර් 250 දක්වා ඉහළ නංවා තිබෙනවා.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 196,150 කට ආසන්නයි.
මීට පෙර 2024 පෙබරවාරි මස 13 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවරගෙන තිබුණා ෴
‘මීනගයා දුම්රිය’ ධාවනය කර ඇත්තේ 67 හැවිරිදි වයෝවෘද්ධ රියදුරෙක් බවට හෙළිවෙයි
(25.02.2025 – 16:10 +0530 – hirunews.lk/sinhala)
ගල්ඔය ප්‍රදේශයේදී ‘මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ’ වනඅලි රංචුවක් ගැටී අනතුර සිදුවූ දිනයේ එම දුම්රිය පදවා ඇත්තේ ‘රාජ්‍ය සේවා කොමිසමේ’ අනුමැතිය ද නොලද 67 හැවිරිදි වයෝවෘද්ධ රියැදුරෙකු බව ‘වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් නයනක රන්වැල්ල’ පවසනවා.
ගල්ඔය දුම්රිය ස්ථානය ආසන්නයේදී මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු ‘මීනගයා දුම්රියේ’ පසුගිය 19 වැනිදා වනඅලි 07 දෙනෙකු ගැටීමෙන් සියලුදෙනා මියගියා.
අනතුරින් මිය ගිය වනඅලි අතර පැටවුන් තුන්දෙනෙකු (3) ද සිටිනවා.
මීට පෙරද අවස්ථා කිහිපයකදීම ‘මීනගයා දුම්රියේ’ වනඅලි ගැටීමේ සිද්ධි වාර්තා වුණා.
එමෙන්ම ‘ලොකොමොටිව් දුම්රිය ඉංජිනේරු සංගමය’ පවසන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලදී දුම්රිය රියැදුරන්ට යම් අසාධාරණයක් සිදුවන්නේ නම් වනඅලි සුලබව ගැවසෙන ප්‍රදේශවල රාත්‍රි දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට සිදුවන බවයි.
+
‘මොරටුව විශ්ව විද්‍යාලයේ’ රසායනාගාරයක කාන්දුවක්
(25.02.2025 – 16:22 +0530 – hirunews.lk/sinhala)
‘මොරටුව විශ්ව විද්‍යාලයේ’ රසායනාගාරයක ඇතිවූ කාන්දුවක් ඇතිව තිබෙනවා.
කෙසේ වෙතත් විශ්වවිද්‍යාලය වෙත ගිනි නිවන රථ 4 ක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
තවද, ‘පරමාණුක බලශක්ති අධිකාරීයේ’ නිලධාරීන් කණ්ඩායමක් ද අදාළ ස්ථානයට ගොස් ඇති බව වාර්තාවන්නේ.

+
+
අලුත්ම ආනයනික වාහන තොගය කොළඹට
(25.02.2025 – 22:17 +0530 – hirunews.lk/sinhala)
පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ පළමු මෝටර් රථ තොගය අද (25) කොළඹ වරායට පැමිණ තිබෙනවා.
ඒ වසර 5 කට පසුව ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමෙන් පසුවයි.
මෙලෙස ආනයනය කළ කැබ් රථයක් රුපියල් ලක්ෂ 245 ත් 260 ත් අතර මිලකට වෙළෙඳපොලට නිකුත් කළ හැකි බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.
+
+
කැස්බෑ බිත්තර විකුණන ජාවාරම්කරුවන් ‘අද දෙරණ උකුස්සා’ රටටම හෙළිකරයි
(25.02.2025 – 20:42 +0530 – sinhala.adaderana.lk)
ලෝකයේ වටිනාම සත්ත්ව කොට්ඨාසයක් ලෙස සැලකෙන, මේ වනවිට වඳවී යාමේ තර්ජනයට පවා ලක්වී සිටින කැස්බෑවුන්ගේ බිත්තර විකීණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් මාතර ප්‍රදේශයෙන් ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු වාර්තා වුණි.
‘උකුස්සා’ගේ අද (25) අනාවරණය ඒ පිළිබඳවය.
වඳවී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති සත්ත්වයෙක් වීම නිසාම කැස්බෑවා ‘වනජීවි හා වෘක්ෂලතා ආඥා පනත’ මගින් නම්කර ඇත්තේ ‘ආරක්ෂිත සත්ත්වයෙක්’ ලෙසය.
එම පනතට අනුව කැස්බෑවන් මැරීම, මැරීම සඳහා ප්‍රවාහනය කිරීම, බිත්තර ඇතුළු කැස්බෑවාගේ ඕනෑම ශරීර කොටසක් විකිණීම හෝ විකිණීමට ළඟ තබාගැනීම නීතිවිරෝධී ක්‍රියාවකි.
ලෝකය පුරා සිටින කැස්බෑ විශේෂ 7 න් 5 ක්ම ශ්‍රී ලංකාවේ දක්නට ලැබුණද, මෙම සත්ත්වයින්ගේ වටිනාකම තුට්ටුවකට හෝ මායිම් නොකර කැස්බෑ බිත්තර විකිණීමේ ජාවාරම් රට තුළ ක්‍රියාත්මකය.
එවන් ජාවාරමක් සම්බන්ධයෙන් මිරිස්ස අඩවි වන කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඔවුන් මාතර දික්වැල්ල වෙරළ තීරයට ගියේ ‘අද දෙරණ උකුස්සා’ ද සමගය.
කැස්බෑවුන් බිත්තර දැමීම සඳහා පැමිණ තිබූ මාර්ග, පියසටහන් ඔස්සේ නිරීක්ෂණය කිරීමේදී අපට දක්නට ලැබුණේ එම බිත්තර කවරෙකු හෝ විසින් සොරාගෙන ඇති ආකාරයයි.
එහිදී සූක්ෂමව ඔවුන් වෙත ළඟාවූ නිලධාරීන්, ඔවුන්ගෙන් බිත්තර සම්බන්ධයෙන් තොරතුරු විමසූවේ සංචාරකයින් ලෙසිනි.
තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන් කටයුතු කළේය.
අනතුරුව තහවුරු වූයේ මෙම බිත්තර Green turtle නම් කැස්බෑ විශේෂයට අයත් ඒවා බවය.
වැටලීමේදී සොයාගත් කැස්බෑ බිත්තර 200 කට ආසන්න ප්‍රමාණයක් සංරක්ෂණ මධ්‍යස්ථානයකට යොමු කිරීමට පියවර ගැනුණි.
මිහිමත ජීවත්වීමට අයිතිය ඇත්තේ තමන්ට පමණක් බව සිතමින් ලෝකයටම වටිනා සම්පත් විනාශ කරන මෙවැනි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කරගැනීමට ‘අද දෙරණ උකුස්සා’ සීරුවෙනි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴