ගනේමුල්ලේ සංජීව ඝාතනයට පොලිස්පතිත් සම්බන්ධද? – උදය ගම්මන්පිල අසයි

ගනේමුල්ලේ සංජීව ඝාතනයට පොලිස්පතිත් සම්බන්ධද? – උදය ගම්මන්පිල අසයි


ගනේමුල්ලේ සංජීව ඝාතනයට පොලිස්පතිත් සම්බන්ධද? – උදය ගම්මන්පිල අසයි

(24.02.2025 – 15:50 +0530 – lankacnews.com)

අද (24) දින ‘පිවිතුරු හෙළ උරුමය’ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය :

ගනේමුල්ලේ සංජීව ඝාතනයට පොලිස්පතිත් සම්බන්ධ ද?

ගනේමුල්ලේ සංජීවට වෙඩි තැබූ සතියට කලින් සතියේ ගම්පහ අධිකරණයට ගෙන ආවාම ඔහුට වෙඩි තැබීමේ සූදානමක් තිබෙන බවට තමන්ට තොරතුරු ලැබුණු නිසා තමන් සංජීව ගම්පහ අධිකරණයට ගෙන එන එක නතර කරලා ඒ වෙනුවට Zoom තාක්ෂණය නැත්නම් විඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු වලට සහභාගී වෙන්න අවස්ථාව සැලසුවා කියලා වැඩ බලන පොලිස්පතිතුමා මාධ්‍ය හමුවක කියනවා. දැන් කවුරුහරි ගනේමුල්ලේ සංජීවට ගම්පහ උසාවියේ දී වෙඩි තබන්න හිටියනම් ඒ වෙඩි තබන්න හිටියේ සංජීවත් එක්ක තිබෙන තරහකට මිස ගම්පහ උසාවියත් එක්ක තිබෙන තරහකට නොවේනෙ. එහෙමනම් ගම්පහ උසාවියේ තිබ්බ ඒ අවස්ථාව පොලීසිය නැති කරානම් අනිවාර්යයෙන්ම කොළඹට ගෙන එන ඊළඟ අවස්ථාවේ වෙඩි තියන්න කටයුතු කරනවා කියන එක තේරුම් ගන්න මහ ලොකු බුද්ධියක් අවශ්‍ය නෑ. නමුත් තොරතුරු ලැබුණු පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගෙන කොළඹ දී ගනේමුල්ලේ සංජීව ඝාතනය වෙන්න ඉඩ ඇරලා බලන් ඉදලා තියනවා.

එහෙමනම් පොලිස්පතිවරයට ගම්පහ උසාවියේ උත්සාහය ව්‍යර්ථ වුනාම කොළඹදී ඒ උත්සහය දරාවි කියන එක සිතා ගන්න බැරි වෙන්න විදිහක් නෑ. මොකද ඒ වෑයම සූදානම් කල අය අත් අඩංගුවට ගන්නා තුරුම ඒ අවධානම ඒ විදිහටම තිබෙනවා. එම නිසා ගනේමුල්ලේ සංජීව ඝාතනයට වැඩ බලන පොලිස්පතිවරයා සම්බන්ධයි කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා. දැන් කවුද පොලිස්ලතිවරයා ගැන විමර්ශනය කරන්නේ. වැටත් නියරත් ගොයම් කත් නම් කාට කියන්න ද ඒ අමාරුව කියලා අපේ පැරැන්නෝ කිව්වේ මේ වගේ අවස්ථාව වලට තමයි.

සංජීව ඝාතන සැලසුමක් පිළිබඳ තොරතුරු ලැබී තිබිය දී ඒ පිළිබඳ පියවර නොගැනීම ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වහාම ප්‍රශ්න කළ යුතුයි. කාටද පුලුවන් පොලිස්පතිවරයා ප්‍රශ්න කරන්න? පොලිස්පතිව ප්‍රශ්න කරන්න ඉන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්. රවී සෙනෙවිරත්න මහතා. පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරක් තමන්ට ලැබී දින 12 ක් පුරා කිසිම පියවරක් නොගත් රවි සෙනෙවිරත්න මහතාට තමයි මේ වගකීම පැවරිලා තියෙන්නේ. කකුළුවා පැටියාට කෙලින් යන්න උගන්වමින් කකුළුවා ඇදේට යනවනම් කවදාත් පැටියට කෙලින් යන්න ඉගෙන ගන්න වෙන්නේ නෑනේ. ඒ නිසා රවි සෙනෙවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තනතුරේ සිටිනතුරු පොලීසියට තොරතුරු ලැබිලත් ඒ පිළිබඳව කිසිවක් නොකරන ‘පොලිස් ලෙඩේ’ නම් කවදාත් හොඳ කරන්න ලැබෙන්නේ නෑ කියන ඒක අපි සිහිපත් කරනවා.

පොලිස් ඇමති ජනපතිට බෑ කියයි

පොලිසිය විසින් සැකකරුවන්ව ආයුද පෙන්වන්න රැගෙන යන අවස්ථා වල දී පොලිසියට වෙඩි තබන්න හැදුවාම අපි සැකකරුට වෙඩි තිබ්බාම සැකකරු මිය ගියා කියන එක පොලිසියේ බොහොම පරණ නාටයකයක්. මේ නාට්‍ය අපි මීට කලින් දැකලා තියනවා. එදා විපක්ෂයේ සිටි අනුර දිසානායක මන්ත්‍රිතුමා මේ ගැන මොකද කියන්නේ කියලා අපි පොඩ්ඩක් අහලා ඉමු.

(වීඩියෝවක් විකාශනය කෙරේ)

මෙතරම් දක්ෂ විධියට ආණ්ඩුව විවේචනය කරපු අනුර දිසානායක මන්ත්‍රිතුමාව ජනාධිපති කිරීමෙන් විපක්ෂයට දක්ෂ මන්ත්‍රිවරයෙකුයි රටට දක්ෂ ජනාධිපති කෙනෙකුයි දෙකම නැති වුණා. දැන් විපක්ෂයට අනුර දිසානායක මන්ත්‍රිතුමා නැති අඩුව පුරවන්න එතුමා විපක්ෂයේ සිටිය දී අසන ප්‍රශ්න ටික අපි ඇසිය යුතුයි.

අනුර මන්ත්‍රිතුමා ඉතා වැදගත් කතාවක් කියන්නේ. ශිෂ්ට සම්පන්න සමාජයක කවුරුවන් ජීවත් විය යුතුද කවුරුන් මිය යා යුතුද කියා තීරණය කරන්න පොලිස්පතිටවත් පොලිස් ඇමතිටවත් දෙන්න බෑ. ඒ අයිතිය තිබිය යුත්තේ අධිකරණයට පමණයි. කවුද කියන්නේ ? අපි නොවේ. වර්තමාන ජනාදිපති ධූරය දරන අනුර දිසානායක මැතිතුමා. එතුමා එවැනි ස්ථාවරයක් දරමින් එවැනි ප්‍රකාශ කරන අතරේ පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මිය යනවනම් ආයුධ පෙන්වීම පිළිබද අනුර දිසානායක මැතිතුමා කියන නාඩගම – නාටකය එතුමාගේ ආණ්ඩුව යටතේත් සිද්ධ වෙනවනම් ඒකෙන් කියවෙන්නේ පොලිස් ඇමතිවරයා ජනපතිවරයා කියන දේවත් අහන්නේ නෑ කියන එක නේද? ජනාධිපතිවරයාට පොලිස් ඇමතිවරයාව පාලනය කර ගන්න බෑ කියන එක නේද කියන සාධාරණ ප්‍රශ්නය අපට මතු වෙනවා.

අනුර ජනපතිතුමා කියනවා වගේ මේක නාඩගමක්නෙ. ඇයි දැන් සැකකරුවා අත්අඩංගුවට ගත්තම හැමදාම සැකකරුවන්ගේ ආයුද පෙන්වන්න එක්කගෙන යන්නේ මහ රෑ. මේ පාතාල නායකයන් ආයුධ පාචිච්චි කරන්න හොදටම දන්න අය බව දැනගෙනම ඒ අයගේ මාංචු පොලිසීය ඉවත් කරනවා. ඒ අයට ආයුධ අතට ගත්තොත් වෙඩි තියන්න ඉඩ තියන බව දැනගෙනම ඒ අය ලවාම ආයුධ ටික අතට ගන්නවා. ඒ වගේම සැකකරුවාට වෙඩි තියද්දිත් අපරාදේ කියන්න බෑ මැරෙන්නම වෙඩි තියනවා.

මේ තත්වය තුල අපි හැමෝගේම ජීවිත අනාරක්ෂිතයි. මේ ආණ්ඩුව පිළිබඳ කර්කෂ විවේචන අපි එල්ල කරන නිසා අපිව ආණ්ඩුවට හිසරදයක් වෙලා තිබෙන නිසා ජනපතිතුමා කතා පවත්වන විට නිතර අපිව මතක් වන නිසා හෙට අනිද්දා ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයට මාවත් සැකයි කියලා අත්අඩංගුවට අරන් ආයුද පෙන්වන්න කියලා එක්කගෙන ගිහින් ජීවිතයට සෙල්ලම් පිස්තෝලයකින්වත් වෙඩි තියලා නැති මම පොලිසියට වෙඩි තියන්න හැදූ අවස්ථාවේ ආත්මආරක්ෂාව තකා මාව ඝාතනය කරන්න සිද්ධ වුනා කියලා පොලිස්පතිතුමා මාධ්‍ය හමුවකට ඇවිල්ලා කියන තාලය වැඩි ඈතක නොවෙන්න පුලුවන්. මේ තත්වය තුල මගේ ජීවිතය විතරක් නෙමෙයි ආණ්ඩුව රිදවන මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත අනතුරේ කියන ඒක අපි මතක් කරන්න ඕනේ.

මේ බරපතල අවදානම ශ්‍රේෂ්ඨාධිකරණය දැක්කා. ඒ නිසා මෙවැනිම සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවේ මියයාම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩුවක දී ශ්‍රේෂ්ඨාධිකරණය 2023 වසරේ දී පොලිස්පතිවරයාට නියෝගයක් කරනවා සැකකරුවන් බැහැරට ගෙන යාම පිළිබඳ මාර්ගෝපදේශ සකස් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය අරගෙන චක්‍රලේඛයක් විදිහට නිකුත් කරන්න. ඒ අනුව එවකට සිටි පොලිස්පතිවරයා 2023 අප්‍රේල් 02 දා ඒ චක්‍රලේඛය නිකුත් කලා. සැකකරුවන් පිටතට රැගෙන යන විට සම්පූර්ණ ගමන වීඩියෝ කරන්න ඕනේ කියලා ඒ චක්‍රලේඛයේ තිබෙනවා. ඒහෙනම් ශ්‍රේෂ්ඨාධිකරණයට අනුගතව පොලිස්පතිවරයා කටයුතු කලා නම් මේ සැකකරුවා රැගෙන ගොස් මිය යාම දක්වා වූ සියලුම අවස්ථාවන් ටික වීඩියෝ ගත කර දැන් පොලිසිය ගාව තිබිය යුතුයි. සමහර විට දැන් පොලිස්පතිවරයා කියන්න පුලුවන් තාම විමර්ශන කටයුතු අවසන් නැති නිසා මේ වීඩියෝ පටය ප්‍රසිද්ධ කරන්න බෑ කියලා. අනෙකුත් වීඩියෝ පට නම් සට පට ගාලා මාධ්‍ය වලට එනවා. අර කඩවසම් සැක කරුවෙක් අත්අඩංගුවට ගත් වහාම ඒ වීඩියෝ පට සමාජ මාධ්‍යවල උණු කැවුම් වගේ ගියා. පොලීසියට ලැබුණු වට්සැප් පණිවිඩයක් ගනේමුල්ල සංජීවගේ ඝාතකයා සහ ඝාතනයට කොන්ත්‍රාත් එක දුන්න පුද්ගලයා අතර ගිය වට්සැප් සංවාදේ මේ වන විට මාධ්‍ය වල සමාජ මාධ්‍ය වලට ඇවිත් තියනවා. හරි කමක් නෑ ඒ වීඩියෝ පටය නිකුත් කරන්න බෑ කියමුකෝ තාම විමර්ශණ කටයුතු ඉවර නැති නිසා. අඩුම තරමේ විමර්ශන අවසන් වන තුරු ඒ වීඩියෝව ප්‍රසිද්ධ කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ චක්‍රලේඛය අනුව කටයුතු කරමින් වීඩියෝ කලා ද නැද්ද කියන එක වහාම පොලිස්පතිවරයා රටට ප්‍රකාශ කළ යුතුයි.

දැන් ආණ්ඩුව කියන්නේ පොලිස් අත්අඩංගුවේ සැකකරුවන් මිය ගිය පළමු අවස්ථාව මේ නොවේ කියලා. එහෙම වුණු නිසා තමයි මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් නිකුත් වුණු චක්‍රලේඛයක් තිබෙන්නේ. එහෙම තිබිය දීත් පොලිස් නාඩගම ඒ අයුරින්ම රඟ දක්වනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව කටයුතු කරලා නැති නම් ඒක උසාවියට අපහාස කිරීමක් කියන එක අපි පොලිස්පතිවරයාට සිහිපත් කරනවා.

පොලිස්පති පොලිස් කොමිසම විවේචනය කරන්න කලින් ව්‍යවස්ථාව කියවන්න

පොලිස් කොමිසම තිබෙන්නේ මහජන පැමිණිලි විමර්ශනයට සහ නිලධාරින්ගේ විෂමාචාර පිළිබඳ ක්‍රියාත්මක වීමට මිස පොලිසිය අභ්‍යන්තරයෙන් පාලනය කරන්න නොවේ කියලා පොලිස්පතිතුමා කියනවා. ඒ නිසාම අපට පොලිස් කොමිසම සමග ගැටළු තිබෙනවා කියලා පොලිස්පතිතුමා කියනවා. නීතිඥයෙකු වුණු පොලිස්පතිතුමා ව්‍යවස්ථාවේ පොලිස් කොමිසම සම්බන්ධයෙන් තිබෙන ’18අ’ පරිච්ඡේදයවත් අවම වශයෙන් කියෙව්වා නම් මාධ්‍ය ඉදිරියේ මේ වගේ බොලඳ ප්‍රකාශ කරන්නේ නෑ.

‘155ඊ’ වගන්තියෙන් මහජන පැමිණිලි විමර්ශනයට අවශ්‍ය බලය පොලිස් කොමිසමට පවරා තිබෙන බව ඇත්ත. නමුත් පොලිස් කොමිසමට තිබෙන්නේ ඒ බලතල පමණක් නොවේ. ‘155උ’ වගන්තියෙන් පොලිස්පතිවරයා හැර අන් සියළුම නිලධාරින්ගේ උසස් කිරීම්, මාරු කිරීම් සහ විනය පාලනය පිළිබඳ බලතල පොලිස් කොමිසමට පවරා තිබෙනවා. පොලිස් කොමිසමට පුළුවන් කැමති නම් ඒ බලතල වලින් කොටසක් පොලිස්පතිට පවරන්න. නැතිනම් සම්පූර්ණ බලතලම පොලිස් කොමිසම විසින්ම ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. ඒ නිසා පොලිස් කොමිසමට පදනම් විරහිතව ඇගිල්ල දිගු කරන්න කලින් ව්‍යවස්ථාව හරි හැටි අධ්‍යනය කරන්න යැයි පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

පොලිස්පතිතුමා නොදැන සිටියාට ඔය වගන්තිය 17 වන සංශෝධනය හරහා ව්‍යවස්ථාවට දාන්න ක්‍රියාකාරි වැඩ කොටස කලේ මාලිමාවේ නායකයින්. ඒ නිසා පොලිස් කොමිසමට පොලිසියේ ස්ථාන මාරු කිරීමේ බලය දීම වැරදියි කියලා හිතනවා නම් ඒකට අභියෝග කරන්න ඕනේ ඒවා ව්‍යවස්ථාවට දාන්න කටයුතු කරපු ජනපති සහ විදේශ ඇමතිට මිස පොලිස් කොමිසමට නොවේ.

+

+

+


එක මොහොතක් ඔබ සෙවණේ රැදෙන්නට වරම් ඉල්ලු සුමීරි ගීත කෝකිලාවිය | අමිතා වැදිසිංහට සමු දෙන්න ප්‍රවීණයෝ එයි (24.02.2025)

+

+


Hiru TV Salakuna Live | Wimal Weerawansa | Episode 471 | 2025-02-24

+


පළාත් 5 ක් ආවරණය වන පරිදි පොලීසියෙන් ‘සයිබර් අපරාධ ඒකක’

(24.02.2025 – 17:22 +0530 – sinhala.adaderana.lk)

වර්තමානයේදී ශ්‍රී ලංකා පොලීසිය පළාත් 5 ක් ආවරණය වන පරිදි ‘සයිබර් අපරාධ විමර්ශන ඒකක’ පිහිටුවා ඇති බව කටාන පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද්‍රසේකර මහතා පවසයි.

අද (24) ‘දෙරණ බිග් ෆෝකස්’ වැඩසටහන හා සම්බන්ධ වෙමින් ඒ මහතා පැවසුවේ අනෙකුත් පළාත් ද ඇතුළව පළාත් 9 ම ආවරණය වන පරිදි සමස්තයක් ලෙස මේ සම්බන්ධව කටයුතු කරන බවය.

එමෙන්ම වර්තමානයේදී පොලීසිය තාක්ෂණයෙන් ඉතාම ශක්තිමත් ස්ථානයක සිටින බවත් ඒ අනුව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ යටතේ ‘සයිබර් අපරාධ විමර්ශණ ඒකකයක්’ පවතින බවය.

ඒ යටතේ ‘සයිබර් අපරාධ විමර්ශන කටයුතු’ සිදුවන බවත් ඊට අමතරව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ තුළ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ’ අධීක්ෂණය යටතේ ද ‘සයිබර් අපරාධ විමර්ශන අංශයක්’ පවතින බවත් ඔහු පැවසීය.

එමෙන්ම පළාත් 5 ක් ආවරණය වන පරිදි අම්පාර, කුරුණෑගල, මාතර, මහනුවර යන ස්ථානයන් හී ප්‍රාදේශීය මට්ටමින් ‘සයිබර් අපරාධ ඒකක’ පිහිටුවා ඇති බවත් ඒ තුළද විමර්ශන කටයුතු සිදුවන බවය.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පවතින සෑම පොලිස් ස්ථානයකම එම අපරාධයට අදාළ පරීක්ෂණ කටයුතු සඳහා විමර්ශන භාර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී ඇති බවද ඔහු වැඩිදුරටයත් අදහස් දක්වමින් පැවසීය ෴


රසකැවිලි පැකට් අතර සූක්ෂමව සැඟවූ රුපියල් කෝටි 02 කට අධික කුෂ්

(24.02.2025 – 16:51 +0530 – sinhala.adaderana.lk)

රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් (2,30,00,000) වටිනා ‘කුෂ් මත්ද්‍රව්‍ය’ සමඟ ඉන්දීය ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ කටුනායක ගුවන්තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (24) දහවල් කාලයේ කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව තිබී ‘ගංජා මිශ්‍ර කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝ 01 ග්‍රෑම් 908 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඔහු බැංකොක් සිට මෙරටට ගුවන් මගින් පැමිණ ඇති අතර සැකකරු වයස අවුරුදු 73 ක් වන ඉන්දීය ජාතිකයෙකි.

සැකකරු විසින් මෙම ‘කුෂ් මත්ද්‍රව්‍ය’ කුඩා පංචින් බෑගයක් තුළ සුක්ෂම ලෙස අසුරා රසකැවිලි පැකට් අතර සඟවාගෙන පැමිණිමේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *