‘ගනේමුල්ල සංජීව ඝාතනය’ට සැකපිට අත්අඩංගුවට ගත් කොස්තාපල්ගේ දුරකතනයේ තිබී හෙළිවූ දේ

‘ගනේමුල්ල සංජීව ඝාතනය’ට සැකපිට අත්අඩංගුවට ගත් කොස්තාපල්ගේ දුරකතනයේ තිබී හෙළිවූ දේ


‘ගනේමුල්ල සංජීව ඝාතනය’ට සැකපිට අත්අඩංගුවට ගත් කොස්තාපල්ගේ දුරකතනයේ තිබී හෙළිවූ දේ

(21.02.2025 – 16:43 +0530 – sinhala.adaderana.lk)

‘ගනේමුල්ල සංජීව’ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්ගේ ජංගම දුරකතනයේ වෙඩි තැබීමට යොදා ගත් ගිනිඅවියේ ඡායාරූප මකා දමා තිබියදී පොලිස් විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

ඊට අමතරව තවත් පිස්තෝල අවියක ඡායාරූපද එහි තිබියදි විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

සැකකාර කොස්පාපල්ගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදි මේ වන විට අතුරුදන්ව සිටින සැකකාරියට අයත් බවට හඳුනාගෙන තිබූ දුරකථන අංකයන් එම පොලිස් නිලධාරියාගේ ජංගම දුරකථනයේ අන්තර්ගතව තිබූ බවත් දුරකථනය පරීක්ෂා කිරීමේදී ඡයාරූප ඇතුළත් ගැලරියේ ඇති ඡයාරූප මකා දමා ඇති බවටත් විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

සැකකාරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකාරිය සමග සබඳතා පැවැත්වූ මීගමුව පොලීසියට අනුයුක්ත සැකකාර පොලිස් කොස්තාපල් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමේන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගැණිනි.

පසුගිය 19 වැනි දින පාතාල කල්ලි නායකයෙකු වූ ‘ගනේමුල්ල සංජීව’ කොළඹ අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටියදී නීතීඥවරයෙකුගේ වෙස් ගෙන පැමිණි අයෙකු විසින් වෙඩි තබා ඝාතනය කෙරිණි.

පසුව සැකකරු විසින් එම ගිනි අවිය එම ස්ථානයේ දමා පළාගොස් තිබුණි.

සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූයේ අධිකරණ භූමිය තුළය ගිනි අවිය සඟවාගෙන පැමිණ ඇත්තේ ගිනි අවියේ ප්‍රමාණයට ඇතුළත පිටු කපා කුහරයක් සේ සකස් කරන ලද ‘නීති පොතක්’ ආධාරයෙන් බවට හෙළිවිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය මගින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මූලික විමර්ශන ආරම්භ කළ අතර වැඩබලන පොලිස්පතිතුමාගේ නියෝග පරිදි ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා සිදුකරන බව අධිකරණය වෙත වැඩිදුර වාර්තාවක් මගින් කරුණු වාර්තා කෙරිණි.

වෙඩික්කරු බව කියන මහරගම දඹහේන ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා කොමාන්ඩෝ සෙබලෙකු වන ‘සමිඳු දිල්ශාන් පියුමංග කඳනආරච්චි’ නම් තැනැත්තෙකු එදිනම පැය 8 කට පසු ‘පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්’ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දීය.

සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමෙන් අනතුරුව එම වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි මෙම අපරාධයට මීගමුව කටුවැල්ලේගමපාර ලිපිනයේ පදිංචි ‘පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ’ නම් කාන්තාව ගිනි අවිය රැගෙන ආ බව හෙළිව තිබුණි.

එමෙන්ම මේ වනවිට අතුරුදන්ව සිටින සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් රැසක් යොදා තිබේ.

සිද්ධිය සම්බන්ධව බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴

+

‘ගණේමුල්ල සංජීව’ට මරු කැඳවූ වෙඩිල්ල ගැන තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

(21.02.2025 – 13:09 +0530 – sinhala.adaderana.lk)

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඝාතනයට ලක්වූ ‘ගණේමුල්ල සංජීවගේ මලසිරුර මේවන විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැම්පත් කර තිබේ.

පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ‘කෙසෙල්බද්දර පද්මේ’ගේ පියාව ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ‘ගණේමුල්ල සංජීව ඝාතනය’ සිදුකර ඇතිබවය.

‘සංජීව කුමාර සමරරත්න’ හෙවත් ‘ගණේමුල්ල සංජීව’ පසුගිය 19 වනදා අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 5 මැදිරියේ විත්තිකූඩුව තුළදි ඝාතනයට ලක් විය.

ඝාතනය සිදුකළ වෙඩික්කරු පලා යමින් සිටියදී එදිනම අත්අඩංගුවට ගනු ලැබුවේ පුත්තලම, පාලවිය ප්‍රදේශයේදීයි.

ඔහු පලා යාමට භාවිත කළ වෑන් රථයේ රියදුරුද එහිදී අත්අඩංගුවට ගත් අතර එහිදී අනාවරණ වී ඇත්තේ අදාළ වෑන් රථය ද ව්‍යාජ අංක තහඩු යොදා භාවිත කර ඇති බවය.

වෙඩික්කරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, ඔහු හා ඝාතනය සඳහා භාවිත කළ ගිනිඅවිය රැගෙන ආ කාන්තාව පසුගිය 17 වෙනිදා කඩුවෙල පිහිටි ලැගුම්හලක් වෙත පැමිණි බවය.

එහි ලැඟුම්ගෙන සිටියදී මෝටර් රථයකින් පැමිණි අයෙකු විසින් වෙඩික්කරුට හා අදාළ කාන්තාවට පාර්සලයක් ලබාදී පිටව ගොස් තිබේ.

එම පාර්සලයේ වෙඩික්කරු හැඳ සිටි නීතීඥ ඇඳුම ඇතුළු භාණ්ඩ කිහිපයක් තිබී ඇති බව පොලිසිය අනාවරණ කරගෙන තිබේ.

අනතුරුව වෙඩික්කරු හා අනෙක් කාන්තාව ඝාතනය සිදු වූ දින උදෑසන ඔවුන්ට පාර්සලය දුන් පුද්ගලයා විසින් ‘හොන්ඩා ෆිට්’ වර්ගයේ මෝටර් රථයකින් අලුත්කඩේ අධිකරණය අසලට රැගෙන විත් තිබේ.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ මෝටර් රථය සිය භාරයට ගනු ලැබීය.

එමෙන්ම අදාළ කාන්තාව සමග ඝාතනයට පෙර සහ පසුව සබඳතා පවත්වන ලද මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපලයෙකු ද කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය ෴

‘ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (21) නියම කළේය.

ඊට අමතරව වෙඩික්කරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ප්‍රවාහනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් රියදුරා පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමටද අධිකරණය අවසර දුන්නේය.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝගය ලබාදුන්නේය.

මෙම සැකකරුවන් දෙදෙනා (2) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය ෴

+

‘ගණේමුල්ල සංජීව ඝාතනයේ’ වෙඩික්කරු සහ සැකකාරිය එකට සිටින ඡායාරූප මුල්වරට එළියට

(21.02.2025 – 16:31 +0530 – hirunews.lk/sinhala)

‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ’ වෙඩික්කරු සහ සැකකාරිය එකට පෙනී සිටින ඡායාරූපයක් මේ වන විට නිකුත් වී තිබෙනවා.

පසුගියදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 දරණ අධිකරණයේ විත්ති කූඩුව තුළදී ‘ගණේමුල්ල සංජීව’ නැමැති පුද්ගලයා වෙඩිතබා ඝාතනය කළා.

මේ අතර ඔහුගේ මලසිරුර මේවනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත්කර තිබෙනවා.

+

+

‘ගණේමුල්ල සංජීව’ගේ මලසිරුර මල්ශාලාවේ තැන්පත් කරයි

(21.02.2025 – 15:09 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 දරණ අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩිතබා ඝාතනය කළ ‘ගණේමුල්ල සංජීව’ගේ මලසිරුර මේවනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත්කර තිබෙනවා.

මලසිරුර සම්බන්ධව අවසන් කටයුතු පිළිබඳව තොරතුරක් මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

ඊයේ (20) දිනයේදි කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් නියෝග කරනු ලැබුවේ ඝාතනයට ලක් වූ ‘ගණේමුල්ල සංජීව’ගේ මලසිරුර භූමදානය කරන ලෙසටයි.

එමෙන්ම, මලසිරුර සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් පවත්වා, මලසිරුර ඔහුගේ මවට භාරදෙන ලෙසයි නියෝග කෙරුණේ.

ඒ අනුව ඊයේ (20) පැවති මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඔහුගේ මලසිරුර ඥාතීන් වෙත භාරදෙනු ලැබූ අතර අවසන් කටයුතු සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකට ගෙනයනු ලැබුවා.

+

+

+

+

+

+

+

‘ගණේමුල්ල සංජීව’ගේ වෙඩික්කරුගේ පාපෝච්චාරණය

(21.02.2025 – 17:34 +0530 – hirunews.lk/sinhala)

‘ගනේමුල්ලේ සංජීව’ට වෙඩි තැබූ පුද්ගලයා සහ ‘ගනේමුල්ලේ සංජීව’ කාලයක පටන් ළඟින් ඇසුරු කළ මිත්‍රයින් බව වෙඩික්කරු පොලිසියට පවසා තිබෙනවා.

එකල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කළ බවයි වෙඩික්කරු පොලිසියට සඳහන් කර ඇත්තේ.

මේ අතර, සැකකාර කාන්තාව ඝාතකයාට හදුන්වා දුන් ‘පද්මේ’ ඒ හරහා මෙම අපරාධය කරවීමට සැලසුම කරන්නට ඇති බවටයි සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන බුද්ධි නිලධාරීන් සැක පළ කරන්නේ.

පසුගිය 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 දරණ අධිකරණයේ විත්ති කූඩුව තුළදී ‘ගණේමුල්ල සංජීව’ වෙඩිතබා ඝාතනය කරනු ලැබූ අතර අත්අඩංගුවට ගත් වෙඩික්කරු මේවනවිට සිටින්නේ කොළබ අපරාධ කොට්ඨාසය භාරයේ ෴

+

අර කාන්තාව ඇවිල්ල ඔක්කොම කරලා ගියා; කෝ මයිල් ගහක් වත් ඇල්ලුවද? රෝහණ නිදා සිටි පාර්ලිමේන්තුව අවධි කරයි (21.02.2025)

+


අත් ට්‍රැක්ටරයේ නඟුලට සිරවී අයෙකු ජීවිතක්ෂයට

(21.02.2025 – 12:42 +0530 – hirunews.lk/sinhala)

අත්ට්‍රැක්ටරයක ආධාරයෙන් ඉඩමක් හාමින් සිටි යුධ හමුදා සෙබලෙකු එම ට්‍රැක්ටරයේම නඟුලට සිරවී ජීවිතක්ෂයට පත්වි ඇති බව දිඹුලපතන පොලිසිය පවසනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, දිඹුලපතන පොලිස් වසමට අයත් බෝගහ වත්ත, විජයබාහුකන්දේ පදිංචි දසන්ත චන්දික හේරත් නමැති 32 හැවිරිදි අයෙක්.

නිවාඩු ලබා නිවසට පැමිණ කුලී පදනම මත ලබාගත් ඉඩමක එළවළු වගා කිරීම සදහා අත් ට්‍රැක්ටරයෙන් ඉඩම හාමින් සිටියදීයි ඔහු මෙලෙස ඊයේ (20) පස්වරුවේ මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

අත් ට්‍රැක්ටරයෙන් ඉඩම හාමින් සිටියදී ඇක්සලේටරය සිරවී අත් ට්‍රැක්ටරය වේගයෙන් ඉදිරියට ධාවනය වී ඇති අතර, එය නතර කර ගැනීමට උත්සාහ කිරීමේදී මොහු එම නඟුලට සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ ෴


ත්‍රීරෝද රථයක් රුපියල් මිලියන 02 දක්වා ඉහළට

(21.02.2025 – 15:39 +0530 – hirunews.lk/sinhala)

අලුතින්ම මිලදී ගන්නා ත්‍රීරෝද රථයක මිල රුපියල් 1,995,000 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

David Pieris Motor Company (Pvt) Ltd සිය වෙබ් අඩවිය තුළ මෙම නව මිල ගණන් දැක්වෙනවා.

ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම ප්‍රකාශ කළේ ඔවුන් සතුව දැනට නවතම වාහන තොගයක් නොමැති නමුත් දැන් වෙන්කරවා ගැනීම් සඳහා විවෘත බවයි ෴


‘නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට්’ නඩුවේ ලිඛිත දේශනවලට දින නියම කෙරේ

(21.02.2025 – 16:10 +0530 – hirunews.lk/sinhala)

‘නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට්’ ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට (36) බඳු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අගතියටපත් පාර්ශවය වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කිරීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා සිල්වා මාර්තු 07 වනදාට දින නියම කළා.

අවස්ථා දෙකකදී (2) අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් (2) පැහැදිලිව නියෝග කර තිබුණද, එම නියෝග ක්‍රියාත්මක නොකර අධිකරණය නොමග යවමින් පොලිසිය කටයුතු කරන බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අද (21) අධිකරණයට කියා සිටියා.

‘නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ’ සභාපති ලෙස හා උප සභාපති ලෙස පෙනී සිටිමින් ‘හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ’ හා ‘රන්කොත්ගෙදර සිරිල් ආනන්දසිරි’ යන අයවලු‍න්ගේ අත්සනින් යුක්තව අදාළ දේපළ 2020 වර්ෂයේ පෙබරවාරි මස 10 වන දින ඔප්පු මඟින් බදු දීමට කටයුතු කර ඇති බව පෙනීයන බවත් ඔහු සදහන් කළා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇත්දැයි මහේස්ත්‍රාත්වරිය ‘වංචා විමර්ෂණ කාර්යංශයේ’ නිලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේදී මෙතෙක් සාක්ෂි අනාවරණය වී නොමැති බවයි ඔවුන් සදහන් කර ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *