කොළඹ නගරයේ වාහන නතරකිරීමේ ගාස්තුව : පළමු මිනිත්තු 10 නොමිලේ

කොළඹ නගරයේ වාහන නතරකිරීමේ ගාස්තුව : පළමු මිනිත්තු 10 නොමිලේ


කොළඹ නගරයේ වාහන නතරකිරීමේ ගාස්තුව : පළමු මිනිත්තු 10 නොමිලේ

(15.02.2025 – 11:34 +0530 – sinhala.adaderana.lk)

වාහනයක් නතරකළ සැනින් ගාස්තු ගෙවිය යුතු බවට නීතියක් පනවා නැති බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පවසා සිටියේ, වාහනයක් නතර කළ පසු පළමු මිනිත්තු 10 නොමිලේ බවයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ පාලිත නානායක්කාර මහතා :

“රථගාල් පාලනය කලමණාකරනය කිරීම තුළ වාහනයක් නතරකළ සැනින් ගාස්තුවක් ගෙවන්න නීතියක් පනවලා නෑ. වාහනයක් නතර කරලා පළමුවෙනි මිනිත්තු 10 නොමිලේ.

වාහනයක් නවත්වන වෙලාව සටහන්කර ‘චිට්’ එකක් දෙන්න පුළුවන්. මිනිත්තු දහය (10) ඉක්මවා ගියොත් තමයි ඒ පුද්ගලයාට රුපියල් 70 ක මුදලක් අයකරන්න නියම කරලා තියෙනනේ. ඊට වඩා මුදලක් අයකරන්න කිසිසේත්ම බෑ.

ඒ වගේම පෝය දිනවල සහ විශේෂ නිවාඩු දිනවලදී අපි අයකිරීම් කරන් නෑ”.

+


Little Hearts නම ව්‍යාජව භාවිත කරමින් මුදල් ගැරූ සැකකරුවන් අල්ලයි

(15.02.2025 – 15:34 +0530 – sinhala.adaderana.lk)

පිළිකා අරමුදලට ආදාර පිණිස Little Hearts අරමුදලේ නම ව්‍යාජව භාවිත කරමින් මහජනතාවගේ මුදල් ගැරූ සැකකරුවන් දෙදෙනෙකු (2) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ‘සේනාධීරලාගේ දුලාන් මහේෂිත’ හා 23 හැවිරිදි පාලවිය ප්‍රදේශයේ පදිංචි ‘මානිකුගේ සඳරුවන් සිල්වා’ යන අය ය.

මේ අතරින් ‘සේනාධීරලාගේ දුලාන් මහේෂිත’ යන සැකකරු ‘සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු’ වන අතර ඔවුන් දෙදෙනා (2) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.

අද (15) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සිද්ධිය සම්බන්ධව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අදාළ සැකකරුවන් විසින් රුපියල් ලක්ෂ 29 ක මුදලක් පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගනිමින් ඔවුන්ගේ පරිහරණය සඳහා යොදා ගෙන තිබූ බවත් පොලිස් විමර්ශනයේදී අනාවරණය වූ බවය.

දහස් ගණනක් හදවත් රෝගී දරුවන්ට නිරෝගී අනාගතයක් උරුමකරදීම සඳහා ‘ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය’, ‘දෙරණ මාධ්‍ය ජාලය’ සමඟ එක්ව 2016 වසරේදී Little Hearts ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගත්තේය.

එහිදී යම් පාර්ශ්වයක් විසින් එම ව්‍යාපෘතියේ නම අවභාවිත කරමින් ජනතාවගෙන් මුදල් කොල්ලකෑමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බවට ‘අද දෙරණ උකුස්සා’ ට පසුගියදා තොරතුරු අනාවරණය විය ෴

+

14.02.2025

+


ජේවීපී කාලේ මාරක තුනක් (3) පැන්නා බේරුණේ 99 න් – විමල් වීරවංශ (14.02.2025)

+


ප්‍රදේශ රැසක උණුසුම ඉහළට

(15.02.2025 – 19:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ සමකාසන්න කලාපයේ රටවල් රැසකටම මේ දිනවල අධික උෂ්ණත්වයක් බලපා තිබෙනවා.

ඒ අනුව, ආසියා, අප්‍රිකා සහ ඕස්ට්‍රේලියා මහද්වීප රටවල් මෙහි දැඩි බලපෑමට ලක්ව ඇති බව සදහන්.

පෙබරවාරි මාසය තුළ සාමාන්‍යයෙන් ගෙවෙන්නේ ඊසාන දිග මෝසමේ අවසන් කාල පරිච්ඡේදයයි.

දිවයිනට බලපාන පළමු අන්තර් මෝසම් කාල පරිච්ඡේදය මාර්තු හා අප්‍රේල් මාස තුළ එළැඹෙනවා.

එම කාලය තුළ උදෑසන සූර්යාලෝකය තදබල ලෙස පොළොවට පතිතවන අතර සුළං ධාරාවන්වලද සැලකියයුතු අඩුවක් මේ දිනවල නිරීක්ෂණය කළ හැකියි.

ජල වාෂ්ප වායුගෝලයට එකතු වුවද වළාකුළු නිර්මාණය වීමේ ප්‍රවණතාව අඩුවීම මත මාර්තු අප්‍රේල් මාස දෙක (2) තුළ මිනිස් සිරුරට දැනන උෂ්ණත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ අතුල කරුණානායක කියා සිටියා.

විශේෂයෙන්ම කොළඹ, ගාල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම, අනුරාධපුරය සහ යාපනය යන දිස්ත්‍රික්කවල මේ දිනවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 ත් 36 ත් අතර අගයක පවතිනවා.

ඊයේ (14) දිනයේ වැඩිම උෂ්ණත්වය රත්නපුරයෙන් වාර්තා වූ අතර එය දැක්වුණේ සෙල්සියස් අංශක 36.7 ක් ලෙසයි.

මෙම තත්ත්වය හමුවේ මිනිස් සිරුරට දැනෙන උණුසුම ද ඉහළ යාමෙන් සෞඛ්‍ය ගැටලු‍ ඇතිවිය හැකි බැවින් වැඩි වශයෙන් ජලය හෝ ස්වභාවික දියර වර්ග පානය කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මේ අතර පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී පාසැල් බලධාරීන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියා.

+


තම දරුවන්ට කෲර ලෙස සැලකූ පියෙකුට ‘හිරු’ අනාවරණයෙන් වැඩ වරදී

(15.02.2025 – 20:28 +0530 – hirunews.lk/sinhala)

බිරිඳ සමග ඇති කරගන්නා ආරවුල් මත තම දරු දෙදෙනාට (2) කෲරත්වයෙන් හිංසා කළ පියෙකු ‘ගම්පොල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන්’ විසින් ඊයේ (14) පස්වරුවේ අත්අඩංගුවට ගත්තා.

ඒ, ‘හිරු ප්‍රවෘත්ති කණ්ඩායම’ ලබාදුන් තොරතුරු මතයි.

ගම්පොළ – උඩඉඟුරුවත්ත ජනපදයේ පදිංචි මවක් සිය දරු දෙදෙනා (2) පියාගේ භාරයේ තබමින් මීට වසර 2 කට පමණ පෙර කුවේට් රාජ්‍ය බලාගොස් තිබුනේ ගෘහ සේවය සඳහායි.

එක් දරුවෙකු 15 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් දරුවාගේ වයස අවුරුදු 07 ක්.

විදෙස් ගත වු බිරිඳ සමග නිරන්තරයෙන් ආරවුල් ඇති කර ගෙන ඇති සැමියා තමාට දරුවන්ව බලා ගැනීමට නොහැකි බව පවසමින් දරුවන්ට පහරදී තිබෙනවා.

පසුව එම පහරදීම් ජංගම දුරකථනයෙන් රූගත කර විදෙස් ගතව සිටින දරුවන්ගේ මවට යොමු කර තිබෙනවා.

ඒ ඇයව නැවත ලංකාවට ගෙන්වා ගැනීම අරමුණු කර ගනිමින්.

කුවේට් රාජ්‍යයේ සිටින අදාල මවගේ යෙහෙළියක මාර්ගයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ වෙත එම දර්ශන පසුගියදා ලැබුනු අතර අප මේ පිළිබඳ සොයා බැලීමට අදාල ප්‍රදේශයට ලඟා වුණා.

ඒ ‘ගම්පොල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්’ ද සමගයි.

දරුවන් දෙදෙනා (2) අදාල අවස්ථාවේ ඔවුන්ගේ මිත්තනිය සමග නිවසේ රැදී සිටි අතර පෙදරේරුවෙකු වශයෙන් සේවය කරන පියා ඒ අවස්ථාවේ නිවසේ සිටියේ නැහැ.

සේවය නිම කර පැමිණි දරුවන්ගේ පියා පසුව අත්අඩංගුවට ගැනුනු අතර, ඔහු ප්‍රකාශ කලේ දරුවන් ඉගෙනීමේ කටයුතු අතපසු කරන හෙයින් අදාල පහරදීම් සිදු කළ බවයි.

‘දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු’ ද දරුවන් නිරීක්ෂණයට පැමිණි අතර, ඔහු පැවසුවේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ දරුවන්ගේ මව නැවත ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාව පවතින්නේදැයි සොයා බලන බවයි.

දරුවන්ට කෲරත්වයෙන් සැලකු පියාට එරෙහිව අධිකරණ ක්‍රියාමර්ග ගන්නා බවයි පොලිසිය ප්‍රකාශ කලේ ෴


මියන්මාර සයිබර් අපරාධ කඳවුරකින් තවත් ලාංකිකයින් පිරිසක් බේරා ගැනේ

(15.02.2025 – 22:40 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයේ සයිබර් වහල් කඳවුරකින් ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු බේරා ගත් බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සඳහන් කළා.

මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙක් (2).

එහිදී මුදවා ගත් ඔවුන් තායිලන්ත දේශ සීමාවේ සිට බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ඒමට නියමිත‍යි ෴


රුපියල් මිලියන 360 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට

(16.02.2025 – 07:01 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 360 ක් පමණ වටිනා ‘හෂීස් මත්ද්‍රව්‍ය’ තොගයක් සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඇය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එය මෙතෙක් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බවයි පොලිසිය පවසන්නේ ෴


විදෙස් රටක සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ඔහුගේ බිරිඳ දිවයිනට රැගෙන එයි

(16.02.2025 – 08:59 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ‘පුෂ්පරාජ්’ නැමැති පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ අද (16) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සදහන් කළේ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඔවුන් දිවයිනට රැගෙන ආ බවයි.

සැකකරුවන් දෙදෙනා (2) මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ රඳවා සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා ෴


අවධානයෙන් ! උණුසුම දරුවන්ට බලපාන හැටි

(16.02.2025 – 9:55 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය හමුවේ, දරුවන් පාසල්වලදී කටයුතු කරන ආකාරය සමීපව අධ්‍යනය කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් නාලක කලුවැව ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට කියා සිටියේ, මේ දිනවල පාසල් ක්‍රියාකාරකම් සිදු කිරීමට අදාළව සෞඛ්‍ය බලධාරීන් කිසියම් නිර්දේශ ඉදිරිපත් කළහොත් ඒ පිළිබඳ අවධානය යොමු කරන බවයි.

මේ සම්බන්ධයෙන් හෙට (17) දිනයේ දී සාකච්ඡා කර අවශ්‍ය වුවහොත් විදුහල්පතිවරුන් වෙත ඊට අදාළ උපදෙස් නිකුත් කිරීමට කටයුතු කරන බවද ලේකම්වරයා ප්‍රකාශ කළා.

පාසල් සිසුන් විෂය සමගාමී ක්‍රියාකරකම් සහ ක්‍රීඩා උත්සව පුහුණුවීම් වල නිරතවීමේ දී හිරු එළියට නිරාවරණය වීම අවම මට්ටමකින් පවත්වා ගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ සමකාසන්න කලාපයේ රටවල් රැසකටම මේ දිනවල අධික උෂ්ණත්වයක් බලපා තිබෙනවා.

ඒ අනුව, ආසියා, අප්‍රිකා සහ ඕස්ටේ්‍රලියා මහද්වීප රටවල් මෙහි දැඩි බලපෑමට ලක්ව ඇති බව සදහන්.

පෙබරවාරි මාසය තුළ සාමාන්‍යයෙන් ගෙවෙන්නේ ඊසාන දිග මෝසමේ අවසන් කාල පරිච්ඡේදයයි.

දිවයිනට බලපාන පළමු අන්තර් මෝසම් කාල පරිච්ඡේදය මාර්තු හා අප්‍රේල් මාස තුළ එළැඹෙනවා.

එම කාලය තුළ උදෑසන සූර්යාලෝකය තදබල ලෙස පොළොවට පතිතවන අතර සුළං ධාරාවන්වලද සැලකියයුතු අඩුවක් මේ දිනවල නිරීක්ෂණය කළ හැකියි.

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීමේදී බලධාරීන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියා.

ජල වාෂ්ප වායුගෝලයට එකතු වුවද වළාකුළු නිර්මාණය වීමේ ප්‍රවණතාව අඩුවීම මත මාර්තු, අප්‍රේල් මාස දෙක (2) තුළ මිනිස් සිරුරට දැනන උෂ්ණත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.

විශේෂයෙන්ම කොළඹ, ගාල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම, අනුරාධපුරය සහ යාපනය යන දිස්ත්‍රික්කවල මේ දිනවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 ත් 36 ත් අතර අගයක පවතිනවා.

මෙම තත්ත්වය හමුවේ මිනිස් සිරුරට දැනෙන උණුසුම ද ඉහළ යාමෙන් සෞඛ්‍ය ගැටලු‍ ඇතිවිය හැකි බැවින් වැඩි වශයෙන් ‘ජලය හෝ ස්වභාවික දියර වර්ග’ පානය කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නා.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ අද (16) දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවයි.

උතුරු, උතුරු මැද , නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේ ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *