කන්තලේ සීනී කර්මාණ්තශාලාව වසා දැමූ පසු සේවකයින් 33 කට වසර 4 කදී රුපියල් හයකෝටි තිස්දෙලක්ෂයක් වැටුප් ගෙවලා
(13.02.2025 – 22:17 +0530 – hirunews.lk/sinhala)
1994 දී වසරෙදී වසා දමන ලද ‘කන්තලේ සීනි කර්මාන්තායතනයේ’ වන්දි ලබා දි ඉවත් කරන ලද සේවකයින් 33 දෙනෙක් සදහා 2020, 2021, 2022 සහ 2023 වර්ෂවලදී පමණක් රුපියල් හයකෝටි තිස්දෙලක්ෂ තිස්එක්දහස් පන්සිය හැත්තෑඅටක් (6,32,31,678/-) වැටුප්, දීමනා, අතිකාල, සේවක අර්ථ සාධක හා සේවක භාරකාර (EPF/ETF) වශයෙන් ගෙවා තිබෙන බව ‘ජාතික විගණන මහ ලේකම් කාර්යාලය’ සිදුකරන ලද ‘විගණන පරීක්ෂණය’කදී තහවුරු වී තිබෙනවා.
1999 වසරේ සිට කර්මාන්තායතනයේ කිසිදු මෙහෙයුම් කටයුත්තක් සිදු නොවුනද වත්කම් ආරක්ෂා කිරීම සහ අනෙකුත් කාර්යයන් වෙනුවෙන් සාමාන්‍යාධිකාරි ඇතුළු සේවකයින් 33 ක් වෙනුවෙන් මෙම මුදල් ගෙවා තිබෙන බවත්, එම සේවකයින් අතර ආරක්ෂක නිලධාරීන් 03 ක්, නියාමකවරුන් 15 ක්, රියදුරන් 04 ක්, ගබඩාකරුවන් 03 ක්, පොත් තබන්නන් 06 ක් සහ කාර්මික උදව්කරුවන් 02 ක් සිටින බවත් එම විගණන වාර්තාවේ සදහන් වෙනවා.
2018 අංක 19 දරණ ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරණ මුදල් පනත අනුව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය 2020, 2021, 2022 සහ 2023 වර්ෂයන්ට වෙනුවෙන් කන්තලේ සීනි කර්මාන්තායතනයේ කටයුතු සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයට අදාල විගණන මූල්‍ය ප්‍රකාශනයේ මේබව සඳහන් කර තිබෙනවා.
මෙම සේවකයින් 33 දෙනා වෙනුවෙන් වැටුප්, දීමනා, අතිකාල, සේවක අර්ථ සාධක හා සේවක භාරකාර (EPF/ETF) සදහා 2020 වර්ෂයේදී රුපියල් 1,48,22,246 ක්ද, 2021 වර්ෂයේදී රුපියල් 1,50,00,761 ක්ද, 2022 වර්ෂයේදී රුපියල් 1,68,38,619 ක්ද, 2023 වර්ෂයේදී රුපියල් 1,65,69,952 ක්ද ගෙවා තිබෙන බවත් විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ. කර්මාන්තායතනයේ පරිපාලනයේ හා මෙහෙයුම්වල පැවති දැඩි අකාර්යක්ෂමතාවය හා අක්‍රමවත්භාවය හේතුවෙන් 1994 දී 1135 ක් වූ සියළු සේවකයින්ට පාරිතෝෂික ගෙවා ඔවුන්ගේ සේවය අවසන් කල බවත් එයින් පසුව කිසිදු නිශ්පාදන කටයුත්තක් නොමැතිව කර්මාන්තායතනය වසා දමා තිබූ බවත් විගණන වාර්තාවේ සඳහන්.
2019 දෙසැම්බර් 31 දිනට රුපියල් 31,79,245 ක සෘණ ශුද්ධ වත්කම් තත්ත්වයක් නිරීක්ෂණය වූ බවත් 2021 දී නැවත නිශ්පාදන ආරම්භ කිරීම සදහා පෞද්ගලික සමාගම් 02 ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කලද 2023 දෙසැම්බර් 31 දක්වා නිශ්පාදන කටයුතු ආරම්භ නොකිරීමෙන් ආයතනය අවිනිශ්චිත තත්ත්වයක පැවතුන බවත් විගණන වාර්තාවේ පෙන්වා දී තිබෙනවා.
1957 දී ආරම්භ කරන ලද කන්තලේ සීනි කර්මාන්තායතනය වාර්ෂිකව සීනි මෙට්‍රික් ටොන් 16,300 ක්, මොලෑසස් මෙට්‍රික් ටොන් 9000 ක් සහ වෙනත් පරිපාරක ස්ප්‍රීතූ ලීටර් මිලියන 3.9 ක නිශ්පාදිත ධාරිතාවයකින් යුක්තව පැවතුන බවද එම විගණන වාර්තාවේ සදහන්.
1957 අංක 11212 ගැසට් පත්‍රය මගින් හෙක්ටයාර් 8596 ක (අක්කර 21233, රූඩ් 2, පර්චස් 30) ඉඩම් ප්‍රමාණයක් කන්තලේ සීනි කර්මාන්තායතනය සදහා වෙන්කර දී තිබුණ ද කර්මාන්තායතනය වසා දැමීමෙන් පසුව එම ඉඩම් වලින් හෙක්ටයාර් 4887 ක් සදහා කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය විසින් කලාප 04 ක් සදහා වෙන්කර දි තිබෙන බවත් තවත් හෙක්ටයාර් 3709 ක් සීනි කම්හල හා නිවාස සංකීර්ණය, යොවුන් සේනාංකය, සරණාගතයන් කැලෑව හා පාර්වල් සදහා වෙන්කර ඇති බවත් විගණන වාර්තාවේ සදහන් වේ. මෙයින් තවත් අක්කර 500 ක් පුද්ගලික හා රාජ්‍ය ආයතනවලට වෙන්කර දි තිබෙන බවට ප්‍රකාශ කලත් එම තොරතුරු විගණනයට ඉදිරිපත් නොවූ බවද විගණන වාර්තාවේ දැක්වෙනවා.
2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරණ රාජ්‍ය ව්‍යාපාර චක්‍රෙල්ඛණයේ හා 2021 නොවැම්බර් 16 දිනැති 01/2021 දරණ රාජ්‍ය ව්‍යාපාර චක්‍රෙල්ඛණයේ සදහන් වන පරිදි ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුලත මූල්‍ය ප්‍රකාශන කෙටුම්පත් විගණකාධිපති වෙත ඉදිරිපත් කල යුතු වුවත් 2020 ජනවාරි සිට 2023 දෙසැම්බර් මූල්‍ය වර්ෂය අවසන් වි විගණන මූල්‍ය ප්‍රකාශය නිකුත්වන තෙක් කන්තලේ සීනි කර්මාන්තායතනයේ මූල්‍ය ප්‍රකාශන කෙටුම්පත් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබූ බවද විගණන වාර්තාවෙන් වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා ෴
රට පුරා එකවර විදුලිය බිඳ වැටීම ගැන අලුත් හෝඩුවාවක් ‘විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයෙන්’
(13.02.2025 – 19:50 +0530 – hirunews.lk/sinhala)
දිවයින පුරා විදුලි සැපයුම බිඳවැටුණු පසුගිය ඉරිදා දින’ලංකා විදුලිබල මණ්ඩලයේ බත්තරමුල්ල – පැලවත්ත ප්‍රදේශයේ පිහිටි පද්ධති පාලන මධ්‍යස්ථානයේ කළමනාකරණ අංශයේ’ රාජකාරියේ නියුතුව සිටිය යුතු ඉංජිනේරුවන් තුන්දෙනා (3) නොසිටි බවට තොරතුරු ලැබී ඇති බව ‘විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය’ පවසනවා.
මේ අතර හෙට (14) දිනයේ දීත් විදුලිය කප්පාදුවක් සිදු කරන්නේ ද, නැද්ද යන්න තීරණය හෙට (14) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ‘ලංකා විදුලිබල මණ්ඩලය’ සඳහන් කළා.
පසුගිය ඉරිදා, දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිද වැටීම හේතුවෙන් ‘නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ’ ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක වීමත් සමග අක්‍රීය වූ ජනන යන්ත්‍ර යලි ජාතික පද්ධතියට එකතු කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතන බවද එම මණ්ඩලය ප්‍රකාශ කරනවා.
මීට පෙර ‘ලංකා විදුලිබල මණ්ඩලය’ සඳහන් කළේ, අදාළ ජනන යන්ත්‍ර 3 හෙට (14) දිනය වන විට ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවනු ඇති බවයි.
ඒ අනුව එම යන්ත්‍ර බලගැන්වීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කර හෙට (14) දිනයේදී විදුලිය කප්පාදුවක් සිදු වන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් නිවේදනය කරනු ඇති.
මේ අතර අද (13) දිනයේදීත් කාණ්ඩ 4 ක් යටතේ දිවයින පුරා විදුලිය කප්පාදුව සිදු කරන බව ‘ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය’ කළා.
එවැනි පසුබිමක ‘විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය’ අවධාරණය කරන්නේ දිවයින පුරා විදුලිය බිඳවැටුණු පසුගිය ඉරිදා දින ‘පැලවත්ත පද්ධති පාලන මධ්‍යස්ථානයේ කළමනාකරණ අංශයේ’ රාජකාරියේ නියුතුව සිටිය යුතු ඉංජිනේරුවන් තුන්දෙනාම (3) එහි නොසිටි බවට තොරතුරු ලැබී ඇති බවයි.
ඔවුන් මේ බව සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට පැමිණිලි කිරීමට අද (13) පැමිණි අවස්ථාවේදීයි ෴
+
+
බැසිල් රාජපක්ෂ ‘ආර්ථික සංවර්ධන ඇමති’ව සිටි කාලේ සිදුවූ වංචාවකට ‘රහස් සාක්ෂි’ කැඳවයි
(13.02.2025 – 18:57 +0530 – hirunews.lk/sinhala)
වසර 2014 දී සංචාරක ප්‍රවර්ධනය සදහා යැයි කියමින් රුපියල් ලක්ෂ 60 අධික වියදමක් දරා ටී-ශර්ට් මුද්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ‘රහස් සාක්ෂියක්’ කැඳවනු ලැබූවා.
හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයෙහි සිදු වූ බව කියන මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
ඊට අදාළව සංචාරක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් මෙම රහස් සාක්ෂිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
පස්වරු 02:00 ට පමණ රහස් සාක්ෂිය ලබා දීම ආරම්භ කර ඇති අතර පැය තුනකට (3) අධික කාලයක් සාක්ෂි ලබා දී ඇති බවද සඳහන් ෴
රුපියල් කෝටි 7 කට වැඩි ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගයක් සීගිරියේදී පොලිස් භාරයට
(13.02.2025 – 16:40 +0530 – hirunews.lk/sinhala)
රුපියල් කෝටි හතකට (7) අධික වටිනාකමකින් යුත් ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගයක් සීගිරිය පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ සිගිරිය නැරඹීමට පැමිණි තායිලන්ත කාන්තාවක් ලඟ තිබියදීයි.
ඇගේ, ගමන් මලු පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය හමුව ඇති අතර ග්‍රෑම් 600 බැගින් වූ පැකට් 23 ක් එහිදී හමුවූ බවයි පොලිසිය පැවසුවේ.
පසුව අදාළ කාන්තාව මුදා හැර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි ෴
+
+
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිල නිවසේ කොටසක වතුර කපයි
(13.02.2025 – 16:03 +0530 – hirunews.lk/sinhala)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිල නිවසේ කොටසක ජල සැපයුම විසන්ධි කර තිබෙනවා.
රුපියල් ලක්ෂ 03 ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම විසන්ධි කර ඇත්තේ එහි ආරක්ෂකයින් රැඳී සිටින කොටසක බවයි වාර්තා වන්නේ .
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතාගෙන් ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසුමකදී සඳහන් කළේ, රුපියල් ලක්ෂ 03 ක් පමණ වන ජල බිල්පත් ගාස්තුවක් නොගෙවීම හේතුවෙන් අදාළ ජල සැපයුම විසන්ධි කර ඇති බවයි.
මෙලෙස ජල සැපයුම විසන්ධි කර ඇත්තේ ආරක්ෂකයින් රැඳී සිටින ගොඩනැගිල්ලේ බවත් එම ජල බිල් ගෙවීම සිදු කරන්නේ ජනාධිපති කාර්යාලය හරහා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එවකට ආරක්ෂකයින් 160 කට ආසන්න ප්‍රමාණයක් එම ගොඩනැගිල්ලේ සිටි අතර අදාළ හිඟ ජල බිල්පත් මීට මාස කිහිපයකට පෙර ජනාධිපති කාර්යාලයට යොමු කර තිබූ බවයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
කෙසේ නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී ‘ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරියෙකු’ සඳහන් කළේ ජල සැපයුම විසන්ධි කර ඇත්තේ, ‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවස’ට අයත් නොවන යාබද පිහිටි ‘ආරක්ෂක අමාත්‍යංශය’ට අයත් ගොඩනැගිල්ලක බවයි.
රුපියල් 428,968 ක හිඟ ජල ගාස්තු නොගෙවීම නිසා එම තීරණය ගත් බවද අදාළ නිලධාරියා කියා සිටියා.
+
+
‘සල්ලිත් අරං අපාය පෙන්වන’ පිටකොටුවේ වැසිකිලි
(13.02.2025 – 15:35 +0530 – hirunews.lk/sinhala)
දෛනිකව දහස් ගණනක් ජනතාව කොළඹ නගරයට පැමිණෙන අතර, ඔවුන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් ස්ථාන කිහිපයක වැසිකිලි ඉදිකර ඇති නමුත්, ඒවා නිසි ලෙස නඩත්තු නොකිරීම දැඩි ගැටලුවක් බවට පත්ව තිබෙනවා.
ජනතාව චෝදනා කරන්නේ බොහෝ වැසිකිලිවලින් විශාල මුදලක් ද අය කරන බවයි.
එම ජනතාවට සනීපාරක්ෂා පහසුකම් සැපයීම වෙනුවෙන් ‘ජාතික ගමනාගමන කොමිෂන් සභාව’, ‘නාගරික සංවර්ධන අධිකාරිය’ ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් මැදිහත්ව විවිධ ස්ථානවල වැසිකිළි පහසුකම් සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.
දේශීය මෙන්ම, විදේශීය සංචාරකයින් ද වැඩි වශයෙන් ගැවෙසන කොළඹ නගරය ආශ්‍රිතව ඇති මෙම වැසිකිලි පද්ධති දැඩි අපිරිසිදු මට්ටමක පැවතීම හේතුවෙන් වැසිකිලි භාවිත කරන්නන් පමණක් නොව අවට පුද්ගලයින්ද දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා.
ටෙන්ඩර් පටිපාටිය මත මෙම වැසිකිලි විවිධ පුද්ගලයින්ට ලබාදී ඇති අතර, එක් පුද්ගලයෙකුගෙන් අය කළ හැකි මුදල රුපියල් 20 ක්.
එහෙත්, බොහෝ වැසිකිලි එම මුදල් ඉක්මවා පාරිභෝගිකයින්ගෙන් රුපියල් 40 ක් 50 ක් වැනි මුදලක්ද අයකරනු ලබනවා.
මෙම වැසිකිලි පද්ධති කිසියම් පිරිසක් විසින් ඔවුන්ට අවශ්‍ය පරිදි පවත්වාගෙන යන බවද දැක ගත හැකි වුණා.
මෙවැනි තත්ත්වයක් යටතේ ‘කොළඹ මහ නගර සභාව’ විසින් පවත්වාගෙන යන වැසිකිලි ද නිසි පරිදි නඩත්තු නොකරන අයුරු ද දක්නට ලැබුණා.
කෙසේ වෙතත් ‘කොළඹ මහනගර සභාව’ විසින් තිඹිරිගස්යාය සහ ටොරින්ටන් ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන වැසිකිලි පද්ධතිය ඉතා යහපත් මට්ටමින් පවත්වාගෙන යන අතර එහි අය කෙරෙන්නේ ද රැපියල් 10 ක් වැනි ඉතා සාධාරණ මුදලක්.
කොළඹ නගරයේ පිහිටි සෙසු වැසිකිලිත් එලෙස යහපත් මට්ටමින් පවත්වාගෙන යා නොහැක්කේ මන්ද යන්න ගැටලුවක් බවට පත්ව තිබෙනවා.
+
රථවාහන වංචාවකට හිටපු ජනපති ලේකම්වරයෙකු රිමාන්ඩ්
(13.02.2025 – 14:58 +0530 – hirunews.lk/sinhala)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු විසින් නීති විරෝධීව මෙරටට ආනයනය කළ ජීප් රථයක් පාර්ලිමේන්තු මංසන්ධිය අසළදී ‘වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකාය’ විසින් සොයා ගෙන තිබෙනවා.
මීට පෙරද අදාළ රථයේ ලියාපදිංචි අංකයම සදහන් වාහන දෙකක් (2) පොලිසිය සොයා ගෙන තිබුණා.
නීති විරෝධීව මෙරටට ආනයනය කළ ජීප් රථයක් ව්‍යාජ අංක තහඩු සවි කර ධාවනය වන බවට ‘වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය’ට තොරතුරක් ලැබී තිබුණා.
පසුව මෙම ජීප් රථය ‘පැලවත්ත ජපන් මිත්‍රත්ව මාර්ගයේ පාර්ලිමේන්තු මංසන්දිය අසලදී’ පොලිස් භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූයේ මෙම ජීප් රථයේ කොටස් සූක්ෂම ලෙස කන්ටේනරයක් තුළ බහා මෙරටට ගෙන්වා ඇති බවටයි.
එමෙන්ම ‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ’ නිලධාරීන් පිරිසක් විසින් ඊට කූඨ ලේඛන සකස් කර පරිගණක දත්ත වෙනස් කරමින් කටයුතු කර දී ඇති බව ද අනාවරණය වුණා.
පොලිස් භාරයට ගත් මෙම රථයේ ලියාපදිංචි අංකයෙන්ම ධාවනය කළ ‘විදුලි මෝටර් රථයක්’ 2018 වසරේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සොයා ගෙන තිබූණා.
2019 වසරේදී තවත් ‘මිට්ෂුබිෂී මොන්ටේරෝ ජීප් රථයක්’ ද පොලිසිය සිය භාරයට ගෙන තිබුණේ, මෙම අංකයෙන්ම ලියාපදිංචි වී තිබීම හේතුවෙන්.
පාර්ලිමේන්තු මංසන්ධිය අසළදී සොයා ගත් වාහනය සම්බන්ධයෙන් 52 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ‘හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන’ගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු ලෙස කටයුතු කළ ‘කුසුම් තුෂාර හේමචන්ද්‍ර’ නැමැත්තෙකු බවටයි පොලිස් සඳහන් කළේ.
මේ අතර, එකම අංකයෙන් ධාවනය කල තවත් මෝටර් රථ දෙකක් (2) දෙහිවල සහ කැලණිය-දළුගම ප්‍රදේශවලදී ‘වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී පළමු මෝටර් රථය ‘දෙහිවල මුහුදු මාවත දුම්රිය ස්ථානයේ’දී අත්අඩංගුවට ගෙන ඇති අතර දෙවන මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘දළුගම මුදියන්සේ වත්ත ප්‍රදේශයේ’ දී.
අදාල මෝටර් රථ දෙකෙන් (2) ව්‍යාජ රථය කුමක්ද යන්න පරික්ෂා කිරීම සදහා අද (13) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකණය වෙත කරුණු ඉදිරිපත් කොට රජයේ රස පරීක්ෂකවරයා මගින් පරික්ෂා කිරීම සදහා නියෝග ලබා ගැනීමට නියමිතයි ෴
පාපන්දු ගෝල කණුවක් කඩා වැටී පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට
(13.02.2025 – 14:31 +0530 – hirunews.lk/sinhala)
පාසැල් ක්‍රීඩාගංනයක තිබූ පාපන්දු ගෝල කණුවක් කඩා වැටී පොළොන්නරුව – තල්පොත ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොළොන්නරුවේ පාසලක 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කවිඳු දෙනුවන් ඊයේ (12) සවස සිය මව සමග පොළොන්නරුව – තෝපාවැව මහා විද්‍යාලය ආසන්නයේ පිහිටි මෙම ක්‍රීඩාංගනය වෙත පැමිණ තිබුණේ සිය වැඩිමහල් සොහොයුරියගේ ක්‍රීඩා තරගයක් නැරඹීම සඳහායි.
සිය මව සමග ක්‍රීඩා තරගය නරඹමින් සිටි කවිඳු ක්‍රීඩාංගනයේ තිබූ ගෝල කණුවක් ඉවත් කිරීමට පිරිසක් පැමිණෙනු දැක ඊට එක්වීම සඳහා ගොස් තිබෙනවා.
එහිදී ගෝල කණුව එසවීමට උත්සහ දැරීමේදී එක් පසක දිරාපත්ව තිබූ ගෝල කණුවේ කොටසක් කවිඳුගේ හිස මතට කඩා වැටී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
එම අවස්ථාවේදී අදාළ පිරිස් සිසුවා පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමු කෙරුණු අතර ඉන් අනතුරුව සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
මේ අතර ජීවිතක්ෂයට පත්වූ කවිඳුගේ ඇස් ඇතුළු අවයව කොටස් දන්දීමට ද ඔහුගේ දෙමාපියන් තීරණය කර තිබෙනවා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴