උතුරුමැද ප්‍රශ්න පත්‍ර පිටවූ හැටි හෙළිවෙයි
(04.02.2025 – 19:32 +0530 – hirunews.lk/sinhala)
උතුරුමැද පළාතේ 11 වන ශ්‍රේණියට අදාළ වාර විභාග ප්‍රශ්නපත්‍ර පිටකිරීමේ සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් ද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා.
එසේම අත්අඩංගුවට ගත් වැඩ බලන විදුහල්පතිවරයා ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔහු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකාර වැඩබලන විදුහල්පතිවරයා අනුරාධපුර – තම්මැන්නාකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු 11 වන ශ්‍රේණියේ සිංහල සහ බුද්ධාගම ප්‍රශ්න පත්‍ර බහා තිබූ පාර්සල්වල මුද්‍රා කඩා, ප්‍රශ්න පත්‍ර පිටතට ගෙන ගුරුවරයෙකුගේ ජංගම දුරකථනයකින් ජායාරූප ගත කර පසුව වට්ස් ඇප් ඔස්සේ තඹුත්තේගම ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකුගේ ජංගම දුරකථනයට යවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
ඡායාරූප ගැනීමෙන් අනතුරුව, එම ප්‍රශ්න පත්‍ර සැකකරු විසින් යළි පාර්සල් තුලට දමා ඉතා සූක්ෂම ලෙස අලවා තිබී ඇති බවද හෙළි වුණා.
එමෙන්ම, ප්‍රශ්න පත්‍ර පිටකිරීම හේතුවෙන් සැකකරු විසින් රජයට සිදුකර ඇති මූල්‍ය පාඩුව රුපියල් එක් කෝටි පහලොස් ලක්ෂය (1,15,00,000) ඉක්මවා ඇති බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.
අදාල විභාගය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ යළි පැවැත්වෙනවා ෴
රු. මිලියන 13 කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමගින් පුද්ගලයෙක් අත්අඩංගුවට
(04.02.2025 – 21:42 +0530 – hirunews.lk/sinhala)
බ්‍රිතාන්‍යයේ සිට මෙරටට එවා තිබූ පාර්සලයක්, එහි සැකකරු ඉදිරියේදී විවෘත කිරීමේදී සූක්ෂම ලෙස එහි සගවා තිබූ kush නැමැති ගංජා විශේෂය 65g හා liquid cocaine මත්ද්‍රව්‍ය 500 ml සොයාගෙන තිබෙනවා.
මෙය කොකේන් මත්ද්‍රව්‍ය දියර ලෙස ‘කුරියර් ආයතනයකින්’ හමුවූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව වීම විශේෂ කරුණක්.
‘ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ’ නිලධාරීන් විසින් Colombo Cargo Courier අංශය තුළ දෛනිකව සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගුවේ යයි සැක පිට නවත්වන ලද බ්‍රිතාන්‍යයේ සිට මෙරට කිරිබත්ගොඩ ලිපිනයකට එවා තිබූ පාර්සලයක තිබී මෙම මත්ද්‍රව්‍යව තොගය හමුව තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රු. මිලියන 13 කට ආසන්න බව තහවුරුවී ඇති බව සඳහන්.
සැකකරු 23 න් හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක අංශයේ රැකියාව කරන පුද්ගලයෙකු බවයි වාර්තා වෙන්නේ.
මෙම අත්අඩංගුවට ගැනීම ‘ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ’ නිලධාරීන් විසින් සිදුකරන ලද අතර වැඩිදුර විමර්ශන සඳහා ‘පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ’ නිලධාරීන්ගේ සහාය ද ලැබී තිබුණා.
මෙකී මත්ද්‍රව්‍ය ජාවාරම පිලිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා සැකකරු සහ නඩු භාණ්ඩ ‘ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය’ට අද දින (04) භාරදීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴
හිනිදුම ත්‍රිත්ව ඝාතනයට හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අත්අඩංගුවට
(04.02.2025 – 18:57 +0530 – hirunews.lk/sinhala)
හිනිදුම ත්‍රිත්ව ඝාතනයට අදාළව හිටපු අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු හිටපු අමාත්‍යවරයෙකුගේ හිනිදුම ආසනයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බවයි පැවසෙන්නේ.
ඉකුත් (30) වැනිදා රාත්‍රී 11 ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී.56 ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර තිබෙනවා.
ඝාතන සිදු වූ ස්ථානයේ තිබී ටී 56 උණ්ඩ කොපු 28 ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙන බවයි පොලිසිය පැවසුවේ ෴
අම්බලන්තොට පිය-පුතු ගැටුමක් – පියා සහ කුඩු පුතා දෙදෙනාම (2) රෝහල් ගත කෙරෙයි
(04.02.2025 – 17:14 +0530 – hirunews.lk/sinhala)
අම්බලන්තොට – රිදියගම ධීවර ගම්මානයේ සිදු වූ ගැටුමකින් පිය-පුතු දෙපලක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, මත්කුඩුවලට ඇබ්බැහි වී ඇති පුත්‍රයා නිවසේ තිබූ රූපවාහිනී යන්ත්‍රය විකිණීම සදහා රැගෙන යාමට උත්සහ කර ඇති බවයි.
එහිදී අදාළ පුත්‍රයා මව සමග ගැටුමක් ඇති කරගෙන ඇති අතර, පසුව එම ස්ථානයට ඔහුගේ පියා පැමිණ ඇති වූ පොර බැදීමකදී පුත්‍රයා අත තිබූ තියුනු ආයුධයකින් පියාගේ නළලට තුවාල සිදු ව තිබෙනවා.
පසුව පියා එම ආයුධයෙන් පුත්‍රයාට ද පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ දෙදෙනාම (2) හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්‍රයා උදරයේ ඇනී ඇති තියුණු ආයුධය ද සමඟ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාර කර යවා තිබෙනවා ෴
කඹුරුපිටිය රූමත් ගුරුවරිය ඝාතනයේ විමර්ශන නව මානයකට
(04.02.2025 – 15:57 +0530 – hirunews.lk/sinhala)
කඹුරුපිටිය රූමත් ගුරුවරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන කටයුතුවලින් තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
එම ගුරුවරියගේ ඝාතනය ඇයගේ 33 වන උපන් දිනය දාම සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවයි පැවසෙන්නේ.
ඝාතනය සිද්ධියට සැකපිට ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව සහ සොහොයුරා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කඹුරුපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ මොට ආයුධයකින් හිසට පහර දීමෙන් සිදුවූ අධික රුධිර වහනය හේතුවෙන් ගුරුවරිය මියගොස් ඇති බවයි.
සිද්ධිය වූ ස්ථානයෙන් ලේ තැවරුණු යකඩ වංගෙඩියක් සහ පිහියක් සොයාගෙන ඇති අතර, අවට ප්‍රදේශයේ සිදු කළ සෝදිසියේදී ඇළක් අසලින් ලේ පිසදා ඇති බවට සැක කෙරෙන කොට්ට උරයක්ද හමුවී තිබෙනවා.
පිහියකින් සහ යකඩ මල් පෝච්චියකින් පහරදීමෙන් මෙම ගුරුවරිය ඝාතනය කර තිබෙන බව පොලිසිය පවසනවා.
මරණය වූ ස්ථානයේ සිහිසුන්ව සිටි මව වහාම කඹුරුපිටිය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, පසුව හෙළි වූයේ ඇය දියවැඩියා රෝගය සඳහා ගන්නා ඖෂධ අධික මාත්‍රාවකින් ලබාගැනීම හේතුවෙන් එම තත්ත්වයට පත්ව සිටි බවයි.
සිද්ධිය වූ ස්ථානයේ තිබී ලේ තැවරුණු ලිපි දෙකක් (2) ද සොයාගෙන ඇති අතර, එම ලිපි මව විසින් ලියන ලද ඒවා බව හඳුනාගෙන තිබෙනවා.
එක් ලිපියක් පොලිසිය වෙත යොමු කර ඇති අතර අනෙක් ලිපිය පුතා වෙත යොමු කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
එම දියණිය වසර කිහිපයක සිට දේපළ ඉල්ලා කරදර කරන බවත් අදාළ ලිපියේ සඳහන්.
දියණිය විසින් තම ගෙළ මිරිකා ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ දී ඇයව මෙලෙස ඝාතනය කළ බවත් මව විසින් ලියන ලද ලිපියේ සඳහන්ව තිබෙනවා.
කෙසේ වෙතත්, මව විසින් ලියන ලද ලිපි ‘පුතා ආරක්ෂා කිරීමේ අරමුණින්’ ලියන ලද්දක් විය හැකි බවට පොලිසිය සැක පහළ කරනවා.
මියගිය ගුරුවරියගේ පියා කලකට පෙර විදුලි සැර වැදී මියගොස් ඇති අතර, ඇය මව සහ වැඩිමහල් සහෝදරයා සමඟ එම නිවසේ ජීවත්ව සිට තිබෙනවා.
විමර්ශනවලදී අනාවරණය වී ඇති ආකාරයට, පවුල තුළ දේපොළ පිළිබඳ ආරවුල් නිතර ඇතිව තිබෙනවා.
මීට මාස හයකට (6) පමණ පෙර පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පවුලේ සාමාජිකයන් පොලිසියට කැඳවා පරීක්ෂණයක්ද පවත්වා ඇති බව පොලිසිය පවසනවා.
පදිංචි නිවස උගස් තබා තිබූ අතර නිවස සින්නවීමට යාමේදී ගුරුවරිය විසින් එය බේරාගෙන ඇති අතර, ඒ වෙනුවෙන් මව විසින් නිවස තාවකාලිකව දියණියට පවරා දී තිබේ.
මියගිය ගුරුවරියගේ සහෝදරයා ප්‍රකාශ කර ඇත්තේ සිද්ධිය වූ දින රාත්‍රියේ තමා මිතුරන් සමඟ අවන්හලක සාදයකට සහභාගී වී, මත්පැන් පානය කර පැමිණ නිවස ඉදිරිපිට තම කඩයේ නිදාගත් බවයි.
පසුව අලුයම දෙකට (02:00) පමණ අවදි වී ආප්ප සඳහා පිටි සූදානම් කරමින් සිටියදී සහෝදරිය ලේ ගලමින් සාලයේ වැටී සිටින අයුරු තමා දුටු බව පොලිසියට පවසා ඇත.
සැකකරුවන් දෙදෙනා (2) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මේ මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර සැකකාරිය වන මව තවමත් කඹුරුපිටිය මූලික රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ ප්‍රතිකාර ලබනවා.
ඝාතනයට ලක්වූයේ කඹුරුපිටිය, ප්‍රින්ස්, මාතර පාර, අංක 130 හි පදිංචි තරුණියක්.
ඇය දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කළා.
ඇය දරුවන්ගේ අධ්‍යාපනික සුභසිද්ධිය වෙනුවෙන් කැපවී කටයුතු කළ ගුරුවරියක් ලෙස ප්‍රසිද්ධියක් දැරුවා.
මිය ගිය තරුණ ගුරුවරිය සිය නිවස ඉදිරිපිට ගොඩනැගිල්ලේ උපකාරක පන්ති පවත්වාගෙන ගිය අතර, නවීන තාක්ෂණය භාවිතා කරමින් මාර්ගගත ක්‍රමයෙන්ද දිවයිනේ දහස් ගණන් දරුවන්ට ඉංග්‍රීසි භාෂාව උගන්වා තිබෙනවා.
ජනවාරි 31 වැනිදා අලුයම 03:05 ට පමණ කඹුරුපිටිය පොලිසියේ හදිසි ඇමතුම් අංකයට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් මගින් කඹුරුපිටිය විදුලි බල මණ්ඩලය ඉදිරිපිට නිවසක කාන්තාවන් දෙදෙනෙකු (2) වැටී සිටින බව දන්වා තිබෙනවා.
මේ වන විටත් පොලිසිය සැක කරන්නේ පවුල් ආරවුලක් දුරදිග ගොස් ඇති වූ බහින් බස් වීමක් මත මෙම අපරාධය සිදුකර තිබෙන බවයි.
වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴
බහාලුම් පිටකිරීමේ සිද්ධිය ගැන රේගු නිලධාරීන්ගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කෙරේ
(04.02.2025 – 15:20 +0530 – hirunews.lk/sinhala)
වරායේ තිබූ බහාලුම් 323ක් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
ඒ , සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සමාජ ක්‍රියාකාරීන් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබූ පසුබිමකයි.
රේගු නිෂ්කාශන ක්‍රියාවලියේ ඇතිවූ ප්‍රමාදයත් සමග පසුගිය කාලය පුරාම රේගුවේ දැඩි තදබදයක් පැවැතියා.
බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලියේ ඇතිවූ ප්‍රමාදයට විසඳුම් ලෙස රේගුව පසුගිය 30 වැනිදා සිට දින හතරක විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලැබුවා.
එවන් පසුබිමකයි වරායේ තිබූ බහාලුම් 323 ක් මුදාහැරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල කතාබහක් මතුවූයේ.
පසුව අදාළ බහාලුම් මුදාහැරීම සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක්ද සිදු කළ අතර එහිදී ඔවුන් කියා සිටියේ මුදාහරින ලද බහාලුම්වල කිසිදු නීතිවිරෝධී භාණ්ඩ නොතිබූ බවටයි.
කෙසේ වෙතත්, රේගු නිලධාරින්ගේ සංගමයේ නිලධාරීන්ගෙන් මෙන්ම, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ ගෙන් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වනවා ෴
බිරිඳ ඝාතනය කළ සැමියා පොලිසියට භාරවෙයි
(04.02.2025 – 11:47 +0530 – hirunews.lk/sinhala)
දියණියගේ නිවසේ නිදා සිටි බිරිඳව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ සැමියෙකු අද (04) අලුයම නාවලපිටිය පොලිසියට භාරවී ඇති බව නාවලපිටිය පොලිසිය සඳහන් කරනවා.
මෙසේ ඝාතනයට ලක් වි ඇත්තේ, නාවලපිටිය සෙම්රොක් ප්‍රදේශයේ පදිංචිව සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි 46 හැවිරිදි තිදරු මවක්.
සිය සැමියා සමග නිරන්තරයෙන් ආරවුල් ඇති වන නිසා ඇය දියණියගේ නිවසේයි නවාතැන් ගෙන තිබෙන්නේ.
ඇය කොළඹ ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අතර, දානමය පිංකමකට සහභාගී වීම සඳහා ඊයේ (03) නාවලපිටිය ප්‍රදේශයට පිහිටි දියණියගේ නිවසට පැමිණ තිබෙනවා.
පසුව අද (04) අලුයම 01:30 ට තියුණු ආයුධයක් සහිතව නිවසේ පහළ මහලේ ජනේලය මතින් හොර රහසේ නිවසට ඇතුල් වූ පියා කාමරයේ නිදාගෙන සිටි මවට තියුණු ආයුධයෙන් පහර දී ඇති අතර, මව බේරීම සඳහා නිවසෙන් පිටතට දිවගිය බවත්, ඇය පිටුපසින් හබා ගිය පියා යළිත් තියුණු ආයුධයෙන් පහර දී ගලකින් හිසට ගසා ඇයව ඝාතනය කළ බවටයි ජීවිතක්ෂයට පත් කාන්තවගේ දියණිය විසින් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.
මව බේරාගැනීමට ගිය දියණියට ද තුවාල සිදු වී ඇති බවත්, මෙම ඝාතනය පවුල් ආරවුලක් මත සිදු වූ ඝාතනයක් බවත්, අනාවරණය වී තිබෙනවා.
ජීවිතක්ෂයට පත් කාන්තාව සහ සැමියා කලක පටන් වෙන්ව ජීවත් වී ඇති බව සිදු කරන ලද මුලික විමර්ෂණවලදී අනාවරණය වූ බවයි පොලිසිය කියා සිටියේ.
නාවලපිටිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවයි පොලිසිය පැවසුවේ ෴
තරුණයෙකුට වධ හිංසා කිරීමේ සිද්ධියකට අදාළව ස්ථානාධිපතිවරුන් තිදෙනෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වැඩ තහනම්
(05.02.2025 – 06:49 +0530 – hirunews.lk/sinhala)
ඇප මත නිදහස්ව සිටි පොලිස් ස්ථානාධිපතිවරු තුන්දෙනෙකු (3) ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා ඊයේ (04) පියවර ගත්තා.
ඒ, ‘දිල්ෂාන් මධුසංඛ’ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින 6 කට ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ, වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතවරයා, කඹුරුපිටිය විවිධ පැමිණි අංශයේ ස්ථානාධිපතිවරයා සහ ගල්කිස්ස පොලිසියේ සැරයන්වරයෙක්.
මෙම පොලිස් නිලධාරීන් හතරදෙනා (4) රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට මාතර මහාධිකරණය පසුගිය ජනවාරි මස 27 වැනිදා නියෝග කර තිබුණා.
මාතර මාලිම්බඩ පොලිසියේ සේවය කරමින් සිටියදී ‘දිල්ෂාන් මධුසංඛ’ නම් තරුණයකු අත්අඩංගුවට ගෙන දින හයකට (6) ආසන්න කාලයක් තිස්සේ රඳවා තබා ගනිමින් වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය කළ විමර්ශනයකින් පසු නීතිපතිවරයා මෙම නිලධාරීන්ට අධිචෝදනා ගොනු කරනු ලැබුවා.
එම නඩුව සම්බන්ධයෙන් වැඩිදුර කැඳවීම මේ මස 27 වැනිදා සිදු කරනු ඇති ෴
ඝාතන සිද්ධීන් දෙකකට අදාළ වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු අත්අඩංගුවට
(05.02.2025 – 07:14 +0530 – hirunews.lk/sinhala)
දෙහිවල සහ ගල්කිස්ස පොලිස්වසම් තුළදී පුද්ගලයින් හතරදෙනෙකු (4) වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදි පැදවූ පුද්ගලයා ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්තිඩිය – වැව පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
37 හැවිරිදි ඔහු බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකරු දින 7 ක් රදවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.
පසුගිය වසරේ සැප්තැම්බර් 15 වැනිදා දෙහිවල පොලිස් වසමේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම, නොවැම්බර් 13 වැනිදා ගල්කිස්ස – බඩෝවිට – තුන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ පසුගිය 07 වැනිදා ගල්කිස්ස – වටරප්පල පාර ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු පැමිණි යතුරුපැදි පදවා ඇත්තේ මොහු විසින්.
මෙම එක් ඝාතනයක් සඳහා සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් මුදලක් ලබාගෙන ඇති අතර දැනට විදේශ රටකට පළාගොස් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘සජිත් අකලංක ධනුෂ්ක’ හෙවත් ‘කොස්මල්ලී’ නමැත්තාගේ මෙහෙයවීම මත මෙම ඝාතන මෙහෙයවා ඇති බවටයි සැකකරු පාපොච්ඡාරණය කර ඇත්තේ ෴
වයස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා ඡන්ද නාමලේඛනයට ඇතුළත් කර ගැනීමට සැළසුම්
(05.02.2025 – 08:24 +0530 – hirunews.lk/sinhala)
වයස අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියන් ඡන්දහිමි නාම ලේඛනයට ඇතුළත් කිරීම සිය අපේක්ෂාව බව මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
මෙම වසරේ ප්‍රධාන නාම ලේඛණයට නම් ඇතුළත් කිරීමට නම් 2007 වසරේ ජනවාරි 31 හෝ ඊට පෙර උපන් තැනැත්තන් සුදුසුකම් ලබන බවත් ගණන් ගන්නා දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ වීම ප්‍රධාන කරුණක් බවත් ඔහු පවසනවා.
තවද, ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම යන කාරණය ද ප්‍රධාන ලෙස සළකා බලන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴
සේවක අර්ථ සාධක අරමුදලේ ලියාපදිංචියට නව ක්‍රමවේදයක්
(05.02.2025 – 08:30 +0530 – hirunews.lk/sinhala)
සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අදාල ලියාපදිංචිය ලබාගැනීම සඳහා 011 220 1201 දුරකථන අංකය අමතා දිනයක් සහ වේලාවක් ලබා ගත හැකියි.
එලෙස කලින් දිනයක් වේලාවක් ලබා ගැනීමෙන් දුෂ්කරතාවයකින් තොරව තම කාර්යය ඉටු කර ගැනීමට හැකි වනු ඇති බවයි කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ. ජයසුන්දර සදහන් කළේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴