බිංගිරියේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවකට ගිය මාලිමා මන්ත‍්‍රීන් දෙදෙනෙකුට පාර වසා විරෝධතා..

බිංගිරියේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවකට ගිය මාලිමා මන්ත‍්‍රීන් දෙදෙනෙකුට පාර වසා විරෝධතා..


බිංගිරියේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවකට ගිය මාලිමා මන්ත‍්‍රීන් දෙදෙනෙකුට පාර වසා විරෝධතා..

(30.12.2024 – 14:10 +0530 – lankacnews.com)

කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ පිහිටි ‘බෙන්ජි’ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් ප්‍රවාහනය සම්බන්ධයෙන් අද (30) පෙරවරුවේ මතභේදාත්මක තත්ත්වයක් ඇති විය.

ඒ ‘ජාතික ජන බලවේග’ මන්ත්‍රීන් දෙදෙනකු (2) පැමිණ එහි ප්‍රවාහන පහසුකම් වෙනස් කිරීම සම්බන්ධයෙන් එහි පාලනාධිකාරියට බලපෑම් කළ බව කියමිනි.

එම ස්ථානයට පැමිණි මන්ත්‍රීන් දෙදෙනෙකුගේ (2) මඟ හරස් කර ගත් පිරිසක් විසින් කියා සිටියේ තමන්ද පසුගිය මැතිවරණයේදී ‘ජාතික ජන බලවේගයට’ ඡන්දය භාවිතා කල පුද්ගලයන් බවයි.

නමුත් පෞද්ගලික ආයතනයකට ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මේ ආකාරයේ බලපෑම් කිරීම සුදුසු නොවන බවද ඔවුන් කියා සිටියහ.

ආයතනයේ ප්‍රවාහන පහසුකම් සැපයීම අවිධිමත් යයි පැමිණිළි ලැබී ඇති බැවින් ඒ සඳහා සොයා බැලීමට පැමිණි බව මන්ත‍්‍රීන් පැවසූ බව දැනට එහි ප‍්‍රවාහන පහසුකම් සපයන පිරිස පැවසූහ.

නමුත් එහි ප්‍රවාහන පහසුකම් සපයන පිරිස් පවසන්නේ මන්ත්‍රීන් පැමිණ එහි ප්‍රවාහන පහසුකම් සැපයීම ඔවුනට ලබාදෙන ලෙස ආයතනයට බලපෑම් කර ඇති බවය.

+++

මාලිමා මන්ත්‍රීන් 2 ක් කොටුවෙති – පිරිසක් නිල රථය වටකර විරෝධයක මීට සුළු මොහොතකට පෙර සිදුවූ දේ (30.12.2024)

++

බිංගිරියේදී අපට කප්පම්කාරයෝ ගැහුවා.. වාහනයෙන් එලියටත් ඇද්දා.. අපි ගියේ ට‍්‍රාන්ස්පෝට් නිවැරදි කරන්නයි.. – මාලිමා මන්ත‍්‍රී

(31.12.2024 – 10:00 +0530 – lankacnews.com)

බිංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට ගිය අවස්ථාවේ පහර දීමට පැමිණියේ කප්පම් මුදල් සමග කටයුතු කරන පිරිසක් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක සඳහන් කරයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.

“මමත් මගේ පිරිස සමගින් එළියට යෑමට යන විට අපේ වාහනයත් වට කරගෙන අපේ වාහනයටත් ප්‍රහාර එල්ල කරමින්, පරුෂ වචනයෙන් බැන වඳිමින් අපි ගිය කාර්යයට බාධා කරමින් ඔවුන් හැසිරුණා. මෙහිදී අපි සිටි වාහනයේ එක් ෂටර් එකක් ඇරලා එක් පුද්ගලයෙක් මට ප්‍රහාරයක් එල්ල කළා, මගේ කමිසයෙන් ඇඳලා එළියට ගන්න හැඳුවා. මෙතන දී අපි පසුපසට පැමිණ තත්ත්වය සමනය වෙන තෙක් සිට අපි එළියට පැමිණියා.

විශේෂයෙන් මෙතන සමාගමේ ප්‍රවාහනය ලබා දීම පිළිබඳව ගම්මුන්ගෙන් විශාල පැමිණිලි රාශියක් ලැබිලා තිබ්බා. ඒ අවශ්‍ය සාමය නීතිය රැකීමට අවශ්‍ය කටයුත්ත තමයි අපි සමාගමත් එක්ක සාකච්ඡා කරලා නිවැරදිව විසඳුම් රැගෙන එළියට එන විට මෙම පිරිස කලහකාරී ලෙස අප වෙත පහර දුන්නේ.

මේ පිටුපස අපි දකිනවා පසුගිය කාල පරිච්ඡේදයේ පැරදිච්ච දේශපාලඥයන්ගේ අතකොළු විදියට විශාල මුදලක් සමග ඒ කප්පම් මුදලක් සමග, කොමිස් මුදලක් සමග කටයුතු කරන පිරිසක් ඉන්නවා මෙන්න මේ පිරිස තමයි අපිට එරෙහිව මේ අවස්ථාවේ දී ඉදිරියට පැමිණියේ” ෴

++

  1. ඇඟලුම් කර්මාන්ත ශාලාව රජයට අයත් නැත. එය පෞද්ගලික ආයතනයකි.
  2. “ගහට නැග්ගෙ තණකොළ කපන්න.”

ප්‍රශ්නගත ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රට ‘නිදහස් ලකුණු’ ලබා දීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් – ශ්‍රේෂ්ඨාධිකරණය

(31.12.2024 – 11:03 +0530 – hirunews.lk/sinhala)

පසුගියද අවසන් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු (1) ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන (3) සඳහා ‘නිදහස් ලකුණු’ ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා විශේෂඥයින් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය තුන (3) අතුරින් සුදුසු නිර්දේශයක් තෝරා ගෙන වහාම එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කළා.

ඊට අමතරව මෙම ප්‍රශ්න පත්‍ර පිටවීමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් වන ‘අයි.ජී.එස්. ප්‍රේමතිලක’ විසින් රුපියල් මිලියන තුනක් (3,000,000) සහ චමින්ද කුමාර ඉළංගසිංහ විසින් රුපියල් මිලියන දෙකක් (2,000,000) ද වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බවටත් නියෝග කෙරුණා.

එම විභාගයට සහභාගී වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් (4) විභාග කිරීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල (3) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

පෙත්සම්කරුවන් සදහන් කර තිබූණේ පහ (5) වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු (1) ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් (3) කලින් පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න තුන (3) සඳහා එම විභාගයට පෙනී සිටි සියලු සිසු සිසුවියන්ට ‘නිදහස් ලකුණු’ ලබාදීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් තමන්ට අසාධාරණයක් සිදුවන බවයි.

ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

+++

+++

විභාග වංචා කළ අයගේ ලේඛණයට මොකද වුණේ? – විභාගවල විශ්වාසය කඩවීම ගැන ස්ටාලින් ගෙන් දෝස්මුරයක් (31.12.2024)

+


2025 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත්කර ගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

(31.12.2024 – 10:38 +0530 – hirunews.lk/sinhala)

2025 වර්ෂයේ පළමු (1) වන ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සඳහා පන්ති ආරම්භ කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව 2025 වර්ෂයේ දී පළමු (1) වන ශ්‍රේණියට ඇතුළත් වන නවක සිසුන් සඳහා සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භ වන්නේ, 2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ ෴


අනුරවත් මට යහපතක් කරයි කියලා හිතනවා | රවී වෛද්‍යලංකාර කළ මූල්‍ය වංචාවකට එරෙහිව CIDයට පැමිණිල්ලක් (31.12.2024)

+


බැසිල් රාජපක්ෂගේ රු. කෝටි 3,500 වත්කම් ඇමරිකානු පොලිසිය සොයා ගනී ? (31.12.2024)

+


නාමල් කුමාරගේ පැමිණිල්ල නාමල්ටම පත්තු වෙයි..? | රන්ජන් කොළඹ අපරාධ කොට්ඨාශයට උත්තර බඳී (31.12.2024)

+


18 හැවිරිදි පෙම්වතියට බීර පොවා නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ පෙම්වතෙකු රිමාන්ඩ්

(31.12.2024 – 13:49 +0530 – hirunews.lk/sinhala)

සිය පෙම්වතිය ලැගුම්හලකට රැගෙන ගොස් බීර පානය කිරීමට සලස්වා නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා වට්ස්ඇප් ඔස්සේ හුවමාරු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ මාතර – ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක් වන අතර, 21 හැවිරිදි සැකකරු ද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

අදාළ තරුණිය සැකකරු සමග කලක් තිස්සේ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එය නතර කර දැමීමට ඔවුන් පසුව පියවර ගෙන ඇත්තේ දෙදෙනාගේම කැමැත්ත මතයි.

කෙසේ වෙතත් ප්‍රේම සබඳතාව නතර කළ ද ඔවුන් දුරකථනය ඔස්සේ නිතර කතා බහ කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එවන් පසුබිමකයි සැකකරු යළි සිය පෙම්වතිය මුණ ගැසීමට අවශ්‍ය බව පවසා ඇය හමුවීමට පසුගිය 26 වැනිදා මිතුරෙකුගේ ත්‍රිරෝද රථයකින් පැමිණ ඇත්තේ.

අනතුරුව ඔවුන් ඌරුබොක්ක – දම්පහල ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් එහි කාමරයක් කුලියට ගෙන තිබෙනවා.

එහිදී තරුණයා විසින් තරුණියට බීර පානය කිරීමට සලස්වා මත් කිරීමෙන් පසු නිරුවත් කර ඡායාරූප ලබාගෙන තිබුණා. අනතුරුව අදාළ තරුණයා එම ඡායාරූප ඔහුගේ මිතුරෙකුටද යොමුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ ෴


නඩු භාණ්ඩ ගබඩාවෙන් දුරකථනයක් සොරකම් කර තෑගි දුන් පෙම්වතිය රිමාන්ඩ්

(31.12.2024 – 14:16 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ ජංගම දුරකථනයක් අස්ථානගතවීම සම්බන්ධව නුවරඑළිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී එම නඩු භාණ්ඩ ගබඩාවේ සේවය කළ කාන්තාවක විසින් එම ජංගම දුරකථනය සොරාගෙන ඇති බව පොලිසියට අනාවරණය වී තිබෙනවා.

එහිදී පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම හමුවේ ඇය පවසා ඇත්තේ, නඩු භාණ්ඩයක් වන වටිනා ජංගම දුරකථනය සොරාගෙන සිය පෙම්වතාට තෑගි වශයෙන් ලබා දුන් බවයි.

නඩු භාණ්ඩ කාමරයේ ජංගම දුරකථනයක් අස්ථානගත වීම සම්බන්ධව පසුගිය 22 වනදා නුවරඑළිය පොලිසියට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව දුරකතන දත්ත පරීක්ෂා කර ලබාගත් තොරතුරු ඔස්සේ අස්ථානගත වූ දුරකථනය භාවිතා කළ පුද්ගලයා සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ සිය පෙම්වතිය විසින් මෙම ජංගම දුරකථනය තමාට තෑගි දුන් බවයි.

ඉන් අනතුරුව පොලිසිය විසින් එම සැකකාර පෙම්වතියව ඊයේ (30) දින අත්අඩංගුවට ගනු ලැබූ අතර, මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා ෴


වේයන්ගොඩ පොලිස් ස්ථානයේ ගින්නක්

(31.12.2024 – 14:59 +0530 – hirunews.lk/sinhala)

වේයන්ගොඩ පොලිස් ස්ථානයේ ඇති වූ ගින්නක් හේතුවෙන් පැරණි ලිපි ලේඛන රැසක් විනාශයට පත් වී ඇති බව වාර්තා වනවා.

එම පොලිස් ස්ථානයේ අබිලි ද්‍රව්‍ය ගොඩ ගසා තිබූ කාමරයක අද (31) දහවල් ඇති වූ ගින්නකින් අදාල ගබඩාවේ තිබූ සියලු අබිලි ද්‍රව්‍ය හා පැරණි ලිපි ලේඛන විනාශයට පත් වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

ගින්න හේතුවෙන් රථවාහන අංශය, ප්‍රජා පොලිස් ඒකකය, ළමා හා කාන්තා කාර්යාංශය, පරිසර ඒකකය පවත්වාගෙන ගිය කාමරවලටද අලාභ සිදුවී තිබෙනවා.

ගිනිගැනීමෙන් කිසිවකුට හානියක් සිදු වී නැතත් ගබඩාවේ තිබූ දේපළ සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී තිබෙනවා.

ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි පොලිසිය පවසන්නේ ෴


හැකි විගස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් කියයි

(31.12.2024 – 15:59 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මාස 04 ක පමණ කාලයක් ගතවන බවත්, එහෙත් මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හැකි ඉක්මනින් නිකුත් කරන බවත්, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

එමෙන්ම උසස් පෙළ විභාගයේ ප්‍රශ්නපත්‍ර පරීක්ෂාව අදියර කිහිපයක් යටතේ සිදු කරන බවත්, එහි පළමු ඇගයීම් කටයුතු ජනවාරි 02 වැනිදා ආරම්භ කරන බවත්, විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.

ඔහු මේ බව පවසා සිටියේ අද (31) දින පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

මේ වනවිට බොහෝ විෂයන් සඳහා ලකුණු ලබාදීමේ ක්‍රියාපටිපාටි සකස් කර අවසන් බවත්, ප්‍රධාන පරීක්ෂක රැස්වීම් ද පවත්වා අවසන් බවත්, ඔහු පවසනවා.

ඒ අනුව, උසස් අධ්‍යාපනය සඳහා යොමුවීමට සිසුන්ට හැකි ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කරන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම මෙවර විභාගය සම්බන්ධයෙන් කිසිඳු ගැටලුකාරී සිදුවීමක් වාර්තා නොවූ බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

පසුගිය නොවැම්බර් මස 25 වැනිදා සිට උසස් පෙළ විභාගය පැවැත්වුණු අතර, අයපහත් කාලගුණ තත්ත්වය නිසා එම විභාගය කල් ගොස් අද (31) දිනයෙන් එය අවසන් වුණා.

එමෙන්ම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය අධ්‍යයනය කර, කඩිනමින් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා එහිදී සඳහන් කර තිබෙනවා.

+


සයිබර් ප්‍රහාරයකට ලක්වූ පොලිසියේ නිල සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයක් යථා තත්ත්වයට

(31.12.2024 – 17:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සමාජය මාධ්‍ය ගිණුම් ඊයේ (30) පස්වරුවේ සයිබර් ප්‍රහාරයකට ලක් වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ එලෙස සයිබර් ප්‍රහාරයට ලක් වූ ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් සහ X ගිණුම් නැවතත් ශ්‍රී ලංකා පොලිසියේ පාලනය සඳහා යථා තත්ත්වයට පත් කරගත් බවයි.

එමෙන්ම, යූ ටියුබ් නාලිකාව මෙතෙක් සයිබර් ප්‍රහාරයේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට තවමත් නොහැකි වී ඇති බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසය මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.

තවද, මෙම සිදුවීම සම්බන්ධයෙන් පරිඝණක අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴

+

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියටත් සයිබර් ප්‍රහාරයක්

(31.12.2024 – 08:01 +0530 – sinhala.adaderana.lk)

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සඳහන් කළේ, කිසියම් පුද්ගලයෙකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස ඇති බවය.

මේ වන විට එම වෙබ් අඩවිය වෙනත් බාහිර පාර්ශවයක් විසින් භාවිත කරමින් සිටින බවට නිරීක්ෂණය වන බව ද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් මේ වනවිට එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේය.

මේ අතර ශ්‍රී ලංකා පොලීසියේ යූ ටියුබ් නාළිකාවට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *