යාල්දේවි දුම්රිය අද (11) සිට යළි ගමන් අරඹයි
(11.05.2026 – 06:42 +0530 – sinhala.adaderana.lk)
යාල්දේවි දුම්රිය කොළඹ කොටුව සහ කන්කසන්තුරය අතර ධාවන කටයුතු අද (11) සිට යළි ආරම්භ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව සෑම සතියකම සදුදා, බදාදා සහ සිකුරාදා දිනවල යාල්දේවි දුම්රිය කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වීමට නියමිතය.
සෑම සතියකම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල එම දුම්රිය කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන බව ද සඳහන්.
දුම්රිය දොපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ වායු සමනය කළ පළමු පන්තියේ මැදිරි 04 කින් සමන්විත යාල්දේවි දුම්රියේ ආසන වෙන් කිරීමේ පහසුකම් සලසා දී ඇති බවය ෴
සාම පාගමන – පළමු නියත විවරණය – බෝසත් චර්යාව – රටට නායකයෙකු : ධම්මරාජ මහා බෝසතානෝ (11-05-2026)
+
‘බටුවත්තේ චාමර’ දිවයිනට රැගෙන එයි
(10.05.2026 – 23:03 +0530 – sinhala.adaderana.lk)
අසර්බයිජානයේ දී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මනෝජ් සුරංග’ නොහොත් ‘බටුවත්තේ චාමර’ අද (10) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබීය.
සැකකරු ඉන්දියාව හරහා මෙරටට රැගෙන ආ බව වාර්තා වේ.
ඔහු රැගෙන ඒම සඳහා මෙරට පොලිස් කණ්ඩායමක් පසුගිය 07 වනදා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන්ය ෴
ඩෝබිලගේ ටිල්වින් සිල්වා .. ජනතාවට මොකෙක්ද බං ? (10.05.2026)
+
හෙල්මට් නැතිව ත‍්‍රිබල් පිටින් වැඩ දැමූ ස්කූටි අක්කලා අල්ලයි..
(11.05.2026 – lankacnews.com)
පසුගිය දිනවල තරුණියන් තිදෙනෙකු (3) විසින් ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියකින් ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

ලැබුණු තොරතුරු සහ දර්ශන ඔස්සේ බුත්තල පොලිස් ස්ථානය මඟින් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලද අතර එහි ප්‍රථිපලයක් ලෙස යතුරු පැදියෙහි ලියාපදිංචි අයිතිකාරිය, පැදිකාරිය සහ පසුපස ගමන් ගත් අනෙක් තරුණියන් දෙදෙනා (2) හඳුනා ගැනීමට එහිදී හැකි විය.
ඔවුන් කොළඹගේ ආර, හිදිකිවුල සහ උනාවටුන ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.
මෙසේ අපරික්ෂාකාරී ලෙස යතුරු පැදිය පැදවූ වයස අවුරුදු 23 ක් වන තරුණියට වලංගු රියදුරු බලපත්‍රයක්ද නොමැති බවට විමර්ශනයේදී අනාවරණය විය.
ඒ අනුව වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරු පැදිය ධාවනය, ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියේ දෙදෙනෙකු (2) රැගෙන යාම, වැඩිපුර මගීන් රැගෙන යාම, අපරික්ෂාකාරී රිය ධාවනය යන චෝදනා යටතේ පැදිකාරිය (11) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර යතුරු පැදියේ ලියාපදිංචි අයිතිකාරිය ද, රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකු සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
බුත්තල පොලිස් ස්ථානය මගින් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වයි.
+++
+
අටමස්ථානාධිපති හිමියන්ට කුමක් වෙයි ද? (09.05.2026)
+
කුරුණෑගල පාසල් සිසුවා මියගියේ අන්තර්ජාලයේ අණකිරීමකින්?
(11.05.2026 – aruna.lk)
ජංගම දුරකතනය යනු වර්තමානයේ ජනතාවට ඉතාම සමීපතම තාක්ෂණ උපකරණය වුවද තවත් පැත්තකින් එම තාක්ෂණයේ අවසානය මරණයද විය හැකිය. එනිසාම මේ අතිශය අවදානම් පැත්ත සැලකිල්ලට ගෙන මේවනවිට ලොව රටවල් බොහොමයක් වයසින් අඩු දරුවන්ට ජංගම දුරකතන භාවිතය තහනම් කර තිබේ. මේ අවදානම ඇතැම් විටෙක සියදිවි හානි කර ගැනීමෙන් සහ ඝාතනවලින්ද කෙළවර වූ අවස්ථාවන් ලොව දස දෙසින් වාර්තා වෙමින් පවතී. එලෙස සිදු වූ බවට සැක කෙරෙන මරණයක් පසුගිය 8 වැනිදා අලුයම් කාලයේදී කුරුණෑගල නගරයෙන් වාර්තා විය.
මරණයට පත්ව තිබුණේ කුරුණෑගල ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි සඳරූ දෙව්මිණ බණ්ඩාර නමැති ශිෂ්‍යයාය. ඔහු තම දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන් සමග තාවකාලිකව ලැගුම්ගෙන සිටි කුරුණෑගල උඩවල්පොල පාරේ පිහිටි සිවුමහල් ගොඩනැගිල්ලකින් පහළට වැටීමෙන් ක්ෂණිකව මරණයට පත්ව ඇති බව මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණය කුරුණෑගල වැඩ බලන මහෙස්ත්‍රාත් ආචාර්ය ෆිලීෂියන් පෙරේරා විසින් සිද්ධිය වූ ස්ථානයේදීම පවත්වනු ලැබීය.
මරණයට පත්වූ ශිෂ්‍යයා දරුවන් තිදෙනෙකු සිටින පවුලක වැඩිමල් පිරිමි දරුවා වේ. ඔහුට බාල සොයුරියන් දෙදෙනෙකි. ඔහුගේ පියා වෘත්තියෙන් නීතිඥවරයෙකි. මව පාසල් ගුරුවරියකි. මෙම ශිෂ්‍යයා කුරුණෑගල ජාත්‍යන්තර පාසලක සාමාන්‍ය පෙළ ඉගෙනුම ලබමින් සිටි අතර ඔහුගේ නැගණියන් දෙදෙනාද එම පාසලේම ඉගෙනුම ලබති. සඳරූ ඉගෙනීමට ඉතා ඉහළින්ම දස්කම් පෑ අයෙකු වන බැවින් ඔහු පාසලේ ශ්‍රේණි දෙකකින් ඉහළට දැමීමටද කටයුතු කර තිබූ බව වාර්තා වේ.
ඒ දක්ෂතාවය නිසාම බ්‍රිතාන්‍ය කවුන්සිලය මෙහෙයවන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට නියමිතව තිබුණේ මේ අවාසනාවන්ත මරණයට මුහුණ පෑ දිනයේදීමය. සිකුරාදා උදෑසන එම විභාගයට පෙනී සිටීම සඳහා කුරුණෑගල සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත ඔහු පියා සමග යාමට නියමිතව සිට ඇත. නමුත් ඊට පැය දෙකකට පමණ පෙරදී ඔහු තම ආදරණීයයන් සහ තම වටිනා ජීවිතයද අතහැර ගොස් තිබුණේ ඉතාම ශෝචනීය අයුරිනි.
කුරුණෑගල උඩවලවල්පොළ මාර්ගයේ නාවින්න පෞද්ගලික ආරෝග්‍ය ශාලාව ආසන්නයේ මෑතකදී ඉදිකරන ලද සිව් මහල් ගොඩනැගිල්ලක ඉහළම මහලේ සිට බිමට වැටී මරණයට පත්ව සිටි ඔහුගේ සිරුර හමුවන්නේ අලුයම 5.00 ට පමණය. මෙම තට්ටු ගොඩනැගිල්ලේ පහළම මහලේ දිවයිනේ ප්‍රකට පෞද්ගලික ඇස් කණ්ණාඩි ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන අතර ඉහළින් ඇති මහල් තුන තට්ටු නිවාස සඳහා කුලී පදනම මත ලබාදී ඇත. මරණයට පත් ශිෂ්‍යයා තම පවුලේ සාමාජිකයන් සමග මෑතකදී එහි දෙවැනි මහලේ ඇති නිවාසයක පදිංචියට පැමිණ ඇති බව පැවසේ.
මරණයට පත් ශිෂ්‍යයාගේ පියා මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මෙසේ පවසා තිබිණි.
“අපි කුලියට ගත් මේ තට්ටු නිවසේ කාමර දෙකක මාත් බිරිඳත් දරුවොත් තාවකාලිකව පදිංචි වෙලා සිටිනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල පහසුව සඳහාමයි අපි මේ නිවස කුලියට අරන් ආවේ. සිකුරාදා දවසේ පුතාට විභාගයක් සඳහා කොළඹ යාමට නියමිතව තිබුණා. ඒ සඳහා පුතා රාත්‍රියේ පාඩම් කරමින් සිටින බවත් මා දුටුවා. පුතා සිටි කාමරයේ පුතාගේ තනියට බිරිඳත් නිදාගෙන සිටියා.
අලුයම පහට විතර බිරිඳ නැගිටලා බලනකොට පුතා කාමරේ ඉඳලා නැහැ. ඔහු නිදහසක් අවශ්‍ය වුණාම මේ තට්ටු ගොඩනැගිල්ලේ විවෘතව තිබෙන ඉහළම මාලයට යනවා. ඒ අනුව බිරිඳ සිතලා තියෙනවා පාඩම් කරලා මහන්සි නිසා පුතා විවේකයක් ගන්න පාන්දර ගෙදර දොර ඇරගෙන උඩු මහලට යන්න ඇති කියලා. ඇය උඩු මහලට ගිහින් බලනකොට පුතා එතැන පේන්න ඉඳලා නැහැ.
නමුත් ඒ ස්ථානයේ පුතා දාගෙන හිටිය සෙරෙප්පු දෙකයි මගේ ජංගම දුරකතනයයි තිබෙනවා බිරිඳ දැකලා තියෙනවා. ඒත් එක්කම පහළ බිම් මහලේ පිරිසක් බිම වැටිලා හිටිය කෙනෙක් වටකරගෙන කෑ ගසමින් සිට තිබෙනවා. එතකොට තමයි බිරිඳ දැනගෙන තියෙන්නේ ඒ වැටිලා ඉන්නේ අපේ පුතා කියලා.”
මරණයට පත් ශිෂ්‍යයා ඉහළ මාලයේ ඔහු පැලැඳි පාවහන් යුගලද ඉතාම ක්‍රමානුකූලව ගලවා තබා ඇති ආකාරයද වැඩ බලන මහෙස්ත්‍රාත්වරයාට නිරීක්ෂණය වී ඇත. එසේම එම ස්ථානයේ තිබී හමුවූ ජංගම දුරකතනය තමන්ගේ පෞද්ගලික දුරකතනය බවටද ශිෂ්‍යයාගේ පියා විසින් හඳුනාගෙන ඇත. ඔහු මරණයට පත් වීමට පෙර තම පියාගේ ජංගම දුරකතනය භාවිතා කරමින් සිට ඇති බවද මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණයේදී නිරීක්ෂණයට ලක්ව ඇත. පියාට එම දුරකථනය හමුවන විටද එය අන්තර්ජාල සූදු ක්‍රීඩාවක් ක්‍රියාත්මකව තිබූ බවද සඳහන් වේ.
එම ජංගම දුරකතනය වැඩ බලන මහෙස්ත්‍රාත්වරයාගේ සහ අපරාධ ස්ථානීය පරීක්ෂණ (SOCO) පොලිස් නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වූ අතර සිසුවා එම ජංගම දුරකතනයෙන් කිසියම් සූදුවකට (Game) එම අවස්ථාවේදී සම්බන්ධව සිට ඇති අනාවරණය වී තිබේ.
එම සූදුවේ අවසානය සියදිවි නසා ගැනීමට නියම කරන්නක් නැතිනම් මනසට අණ දෙන්නක් හෝ ඒ සඳහා පොළඹවන්නක් බවටද එහිදී අනාවරණය වී ඇත. ඒ අනුව තමන් පාලනය කරගත නොහැකිව ඔහු සිය දිවිනසා ගත්තාදැයි යන සැකයද මෙහිදී පොලිස් විමර්ශකයන්ට ඇතිවී තිබේ. පියා ලබාදුන් සාක්ෂිය අනුවද මරණ පරීක්ෂණයේදී ඒ බව තහවුරුව ඇති බවද කියයි.
තමන්ගේ භාවිතයට ලබාදී ඇති ජංගම දුරකතනය වෙනුවට ඔහු මේ අවස්ථාවේදී භාවිතා කර තිබී ඇත්තේ පියාගේ ජංගම දුරකතනයයි. මව කාමරයේ නිදාගෙන සිටියදී ඇයට නොදැනෙන්නට ඔහු කාමරයෙන් එළියට පැමිණ ඇති බවද මරණ පරීක්ෂණයේදී ලැබී ඇති සාක්ෂි වලින් තහවුරු වී ඇත. ඔහු මියයාමට පෙර බොහෝ වේලාවක් මේ අන්තර්ජාල සූදු ක්‍රීඩාවේ නිරතව ඇති බවද පොලිස් විමර්ශනවලින් තහවුරු කරගෙන තිබේ.එම තට්ටු නිවාස ක්‍රමයේම පදිංචි කාන්තාවක්ද මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදී ඇත. එහිදී ඇය මෙසේ පවසා ඇත.
“මම අලුයම 03:35 ට පමණ වැසිකිළියට යන්න කාමරයෙන් එළියට එනවාත් එක්කම දඩාස් ගාලා ශබ්දයක් පහළින් ඇසුණා. ඒ සමගම අහ් කියන ශබ්දයකුත් ඇසුණා. මම සිතුවේ පහළින් තියෙන උඩවල්පොළ පාරේ යන වාහනයක කවුරු හරි හැප්පෙන්න ඇති කියලයි. පසුව තමයි දැනගත්තේ ඒ ශබ්දයෙන් වැටිලා තියෙන්නේ අපේ දරුවා කියලා.”
ඒ අනුව මේ ශිෂ්‍යයා ගොඩනැගිල්ලෙන් පහළට වැටී ඇත්තේ අලුයම 03:35 ට පමණ විය හැකි බවද පොලීසිය සඳහන් කළේය. ශිෂ්‍යයා ඉහළ මාලයේ සිට බිමට ඇද වැටීමෙන් පසුව පළමුව ඒ බව දැක ඇත්තේ එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නිලධාරීන් බවද පැවසේ. පහළට ඇද වැටීමේදී ගොඩනැගිල්ලේ ඉදිකර තිබෙන යකඩ වැටකද ඔහු ගැටී ඇති බවද අනාවරණය වී ඇත. මේ නිසා ඔහුගේ සිරුරේ ස්ථාන රැසකට දැඩි හානි සිදුව අධික රුධිර වහනයක්ද සිදුව තිබූ ආකාරය දැකගත හැකි විය. ශිෂ්‍යයාගේ දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.එම්.ටී. ලෝව් නිගමනය කර ඇත්තේ ඉහළක සිට පහළට ඇද වැටීමේදී මොට ආයුධයක වැදීමෙන් හිසට , මොළයට සහ පපු පෙදෙසට සිදුව ඇති බරපතළ තුවාල හේතුවෙන් අධික රුධිරය වහනය වී මෙම මරණය සිදුව ඇති බවය.
ජංගම දුරකථන දරුවන් අතට පත් කිරීමට පෙර දෙමාපියන් දුරදිග සිතා බැලිය යුතු බව මේ අවාසනාවන්ත මරණය තුළින් පෙන්වා දී ඇතැයි වැඩ බලන මහෙස්ත්‍රාත් ආචාර්ය ෆිලීෂියන් පෙරේරා ප්‍රකාශ කළේය.
මෙම මරණ පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 29 වන දින පැවැත්වීමට නියමිතය.කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස විතානගේගේ උපදෙස් අනුව කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවලගේ මෙහෙයවීමෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කෙරේ ෴
කපිල චන්ද්‍රසේනගේ බෙල්ලේ තිබූ පටිය ගෙනා අය හෙලිවේ.. ප‍්‍රශ්ණ කරයි.. තොරතුරු රැසක් එලියට..
(11.05.2026 – lankacnews.com)
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන ගෙල වැලලාගෙන මියයෑම කල්තියාම සැලසුම් කරගෙන සිට ඇති බවට විමර්ශන නිලධාරීහු සැක පහළ කරති.
විමර්ශන නිලධාරීන්ගේ මෙම සැකයට හේතුවී ඇත්තේ කපිල චන්ද්‍රසේන ගෙල වැලලා ගැනීමට යොදාගත් පටිය බාන්ස් පෙදෙසේ පිහිටි සිය නිවසේ සිට කොල්ලුපිටියේ නිවස වෙත සේවකයකු ලවා ඉකුත් 07 වැනිදා දහවල් ගෙන්වාගෙන ඇති බව හෙළිවීමත් සමගය.
එම සේවකයාගෙන් ද පොලිසිය මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇත. මෙම පටිය සිය නිවසේ සිට ගෙන්වා ගැනීම ඔහු කල් තියාම සියදිවි හානි කරගැනීමට සැලසුම් කළ බව තහවුරු කිරීමට ප්‍රබල සාක්‍ෂියක් වනු ඇති බව විමර්ශන නිලධාරීහු පවසති.
කපිල චන්ද්‍රසේන ගෙල වැලලාගෙන මියගොස් සිටියදී ඔහුගේ ගෙලේ තිබී සොයාගත් පටියේ කොටස් බාන්ස් පෙදෙසේ නිවසින් ගෙන්වා ගත් පටිය බව පොලිසිය විසින් හඳුනාගෙන ඇත.
කපිල චන්ද්‍රසේන තමන්ට අයත් ඇඳුම් කිහිපයක් සමග මෙම පටිය ද ගෙන්වාගත් බව එය රැගෙන ආ සේවකයා පොලිසියට ප්‍රකාශ කර තිබේ.
මෙම පටිය කපිල චන්ද්‍රසේන ‘ජිම්’ එකට (ශරීර අභ්‍යාසවල නිරතවන ස්ථානය) නිතර රැගෙන යන නිසා එය රැගෙන ඒමට කීම පිළිබඳව තමා සැක නොකළ බවද සේවකයා පවසා ඇත.
කෙසේ වෙතත් පොලිසිය සැක කරන්නේ කපිල චන්ද්‍රසේන ගෙල වැලලා ගැනීමට කල් තියාම සැලසුම් කරගෙන සිටීම නිසා මෙම පටිය සිය නිවසේ සිට ගෙන්වා ගන්නට ඇති බවයි.
කෙසේ වෙතත් කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් ඊයේ (10) වනතුරුත් ස්ථිර නිගමනයකට එළඹී නැත.
ඒ මහතාගේ සිරුරේ කොටස් විශේෂ රසායනාගාර පරීක්‍ෂණයක් සඳහා මෙම මරණ පරීක්‍ෂණය පැවැත්වූ වෛද්‍ය මණ්ඩලය විසින් යොමු කර ඇත. එම රසායනාගාර පරීක්‍ෂණය අනුව මෙම මරණය සිදුවූ ආකාරය පිළිබඳව නිවැරදිව තහවුරු කරගැනීමට හැකි වනු ඇති බව විමර්ශන නිලධාරීහු පවසති.
මෙම මරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ චෝදනා එල්ල කරමින් සිටියි. එහෙත් මරණය කුමන අයුරකින් සිදුවී ඇත්ද යන්න මෙතෙක් තහවුරු වී නැත.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වර්ෂයේදී එයාර් බස් ගුවන් යානා 14 ක් මිලදී ගැනීමේදී ඩොලර් ලක්‍ෂ 20 ක අල්ලස් මුදලක් ලබාගත් බවට කපිල චන්ද්‍රසේනට චෝදනා එල්ල වී තිබිණි.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඒ මහතා දින 54 ක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර ඇප මත මුදාහරිනු ලැබුවේ ඉකුත් 06 වැනිදාය.
පසුගිය 08 වැනිදා උදෑසන කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසක තිබී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන පවත්වයි.
මේ අතර කපිල චන්ද්‍රසේනට අවසන් වරට දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයන් පිළිබඳව ද පොලිසිය දැඩි අවධානය යොමු කර ඇත.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා, ඔහුගේ බිරිඳ සහ නිවසේ සිටි සේවකයන්ගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
කපිල චන්ද්‍රසේන මියගොස් සිටි නිවස සහ ඒ අවට සියලුම සී.සී.ටී.වී. කැමරා පරීක්‍ෂා කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර සැකකටයුතු කිසිවකු මෙම නිවසට ඇතුළු වූ බවට කිසිදු සාක්‍ෂියක් ලැබී නොමැත.
හේමන්ත රන්දුණු
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴