පාතාලයන්ට රට පැනීමට හොර පාස්පෝට් හදලා : විමර්ශනයක් කර වාර්තාවක් දෙන්න අධිකරණයෙන් නියෝග

පාතාලයන්ට රට පැනීමට හොර පාස්පෝට් හදලා : විමර්ශනයක් කර වාර්තාවක් දෙන්න අධිකරණයෙන් නියෝග


පාතාලයන්ට රට පැනීමට හොර පාස්පෝට් හදලා : විමර්ශනයක් කර වාර්තාවක් දෙන්න අධිකරණයෙන් නියෝග

(11.05.2026 – hirunews.lk)

වෙනත් පුද්ගලයන්ගේ නම්, ඡායාරූප සහ ඇඟිලි සලකුණු යොදාගනිමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සකස් කර පාතාල සාමාජිකයන්ට විදේශගත වීමට ආධාර අනුබල දුන් ආගමන විගමන නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉකුත් (06) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.

“ඇඟිලි සලකුණු ලබා දුන් පුද්ගලයා නොවෙයි රට ගොස් තිබෙන්නේ. මෙය ඉතා දරුණු තත්ත්වයක්. තමන් වෙත පැමිණෙන පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම ආගමන විගමන නිලධාරීන්ගේ වගකීමක්” යැයි මහේස්ත්‍රාත්වරයා එහිදී අවධාරණය කළා.

‘තිළිණ සම්පත් ගමගේ’ නමැති පුද්ගලයෙකු, ‘පී. මධුෂාන් පෙරේරා’ නමැති අයෙකුගේ ඇඟිලි සලකුණු ලබා දී ව්‍යාජ ලෙස විදේශගත වී ඇති බවත්, ‘මධුෂාන් පෙරේරා’ නමැත්තා ද මේ වන විට විදේශගතව සිටින බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

මෙම වංචාව එක්තරා චක්‍රයක් ලෙස සිදුව ඇති බව අධිකරණයේදී අනාවරණය වුණා.

වෙනත් පුද්ගලයන්ගේ අනන්‍යතාව භාවිත කරමින් ව්‍යාජ බලපත්‍ර හරහා විදේශගත වී ඇති බවට සැක කෙරෙන පාතාලයට සම්බන්ධ පුද්ගලයන් 26 දෙනෙකු පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි මෙහිදී හෙළි වුණා.

2023 අප්‍රේල් 31 වන දින එක් (1) සැකකරුවෙකු විදේශගත වී ඇති බවත්, මෙම සිද්ධියට අදාළව පුද්ගලයන් 5 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නා.

ව්‍යාජ ලෙස ඇඟිලි සලකුණු ඇතුළත් කිරීමට ඉඩ දුන් සහ ඒවා අනුමත කළ ආගමන විගමන නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළා.

මීට අදාළ විමර්ශන වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුණා ෴


වේල්ල වීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට ගොඩනැගිල්ලක ගින්නක්

(11.05.2026 – 16:15 +0530 – sinhala.adaderana.lk)

කොළඹ, වේල්ල වීදිය පොලිස් ස්ථානයට ඉදිරිපිට පිහිටි ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හටගෙන තිබේ.

වෙල්ල වීදිය පොලිස් වසමේ අලුත්‍ යෝන් වීදිය නො 138, “Mega star” යන මහල් තුනකින් (3) යුත් ඉලෙක්ට්‍රොනික් උපාංග අලෙවි සැලක තුන්වන (3) මහලේ ඉලෙක්ට්‍රොනික උපාංග ගබඩාවක අද (11) සවස 03:30 ට පමණ මෙම ගින්න හට ගෙන තිබේ.

ගිනි නිවන හමුදාව සඳහන් කළේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවන රථ 5 ක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවය.

ගින්නෙන් සිදු වූ හානිය හෝ එයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටියි.

පොලීසිය සහ ගිනි නිවන හමුදාව එක්ව ප්‍රදේශයේ ආරක්ෂාව සහ ගමනාගමනය පාලනය කිරීමට පියවර ගෙන ඇත.

+++

+


කුලී පදනම මත දේපළ ලබාදීමේදී දැඩි ලෙස විමසිලිමත් වන්න – දේපළ හිමිකරුවන්ට පොලිසියෙන් නිවේදනයක්

(11.05.2026 – hirunews.lk)

කුලී හෝ බදු පදනම මත ලබාදෙන ලැඟුම්හල්, නිවාස සහ වාණිජ ගොඩනැඟිලි තුළ සිදුවන සංවිධානාත්මක අපරාධ සහ වංචනික ක්‍රියාවල ඉහළ යාමක් නිරීක්ෂණය වන බැවින්, දේපළ හිමිකරුවන් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෑත කාලීනව වාර්තා වී ඇති කරුණුවලට අනුව, කෙටි කාලීන හෝ දීර්ඝ කාලීන පදනම මත දේපළ ලබාගන්නා පුද්ගලයන් හෝ කණ්ඩායම්, දේපළ හිමිකරුවන් කිසිසේත් අපේක්ෂා නොකරන අයුරින් එම පරිශ්‍රයන් අපරාධමය කටයුතු සඳහා යොදාගන්නා බව හෙළි වී ඇතැයි ද පොලිස් මූලස්ථානය එම නිවේදනයෙන් දක්වා තිබෙනවා.

පොලිස් මූලස්ථානය නිකුත් කළ එම නිවේදනය පහතින් දැක්වෙනවා :

“ලැඟුම්හල්, වාණිජ ගොඩනැගිලි, මහල් නිවාස, නිවාස හා වෙනත් ගොඩනැඟිලි කුලී හෝ බදු පදනම මත කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව ලබාගන්නා පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් එම පරිශ්‍රයන් භාවිතා කරමින් විවිධ වංචනික ක්‍රියාවන් සිදු කරන බවට නිරීක්ෂණය වී ඇති බැවින් මෙවැනි ස්ථාන කුලී පදනම මත ලබාදීමේදී එම අයිතිකරුවන් විසින් සැළකිලිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

මෙම නිවාස හා ගොඩනැගිලි අයිතිකරුවන් කිසිසේත් අපේක්ෂා නොකරන ආකාරයට බදු හෝ කුලී පදනම මත එම පරිශ්‍රයන් ලබාගන්නා පුද්ගලයන් විසින් වංචනික ක්‍රියා හා අපරාධ සිදු කිරීම සඳහා මෙම පරිශ්‍රයන් භාවිතා කිරීම සිදුවන අවස්ථාවන් විශාල වශයෙන් වාර්තා වී ඇත. මේ හේතුවෙන් හිමිකරුවන්ට විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවීම මෙන්ම අපරාධමය චෝදනාවලට ලක්වීම්ද සිදු වී ඇති බවට නිරීක්ෂණය වේ.

පසුගිය වර්ෂය හා 2026 වර්ෂයේ මේ දක්වා කාල සීමාවේදී විශේෂයෙන්ම ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් විදේශීය ජාතිකයින් දිවයිනේ විවිධ පළාත්වල නිවාස සංකීර්ණ, හෝටල් හා ලැඟුම්හල් ආදී ස්ථානවල රැඳී සිටිමින් ඉතාමත් රහසිගතව අන්තර්ජාලය ඔස්සේ මුල්‍ය වංචා සිදු කරමින් සිටියදී ඊට අදාල පරිගනක ඇතුළු තාක්ෂණික උපකරණද සමඟ අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාත්මකව වැඩි වීමක් නිරීක්ෂණය වී ඇත. එසේම එවැනි අපරාධකරුවන්ට එරෙහිව ආගමන විගමන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පොලිසිය දැනටමත් නීතිය ක්‍රියාත්මක කර ඇත.

මෙවැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීම සඳහා පහත පරිදි පුරවැසියන් දැනුවත් වීම ඉතා වැදගත් වේ :

  • සෑම පුරවැසියෙකුම පොලිස් ආඥා පනතේ 76 වැනි වගන්තිය අනුව යම් නිවසක පදිංචි සියලුම පුද්ගලයින්ගේ තොරතුරු ලබා ගැනීමේ බලය පොලිසියට ඇති බවට දැනුවත් වීම වැදගත් වේ.
  • ඒ අනුව, ගෘහ මුලිකයා විසින් පවුලේ සාමාජිකයන්, සේවකයන් හා තාවකාලික පදිංචිකරුවන් පිළිබඳ තොරතුරු අදාළ පොලිස් ස්ථානය වෙත ලබාදිය යුතුය.

පදිංචිකරුවන්ගේ වෙනස් වීමක් (සාමාජිකයින් අළුතින් පැමිණීම හෝ පිටව යාම) –

  • අළුතින් සිදුවන සෑම අවස්ථාවකදීම ඒ සම්බන්ධව අදාල පොලිස් ස්ථානය වෙතදැනුම් දීමට ගෘහ මුලිකයා හෝ නිවාස හිමිකරුවා බැඳී සිටියි.
  • ඉහත වගන්ති ප්‍රකාරව එසේ ‍නොකර හැරීම දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇත.
  • එසේම මෙවැනි ස්ථාන හෝ පුද්ගලයින් සම්බන්ධව ලැබෙන සියළු තොරතුරු සෑම පොලිස් වසමකම පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු සාමාජිකයින් හරහා පොලිසිය වෙත ඉතා කඩිනමින් දැනුම් දීමේ හැකියාවද පවතී.
  • කුලී හෝ බදු පදනම මත තම නිවාස හෝ ගොඩනැගිලි ලබාදීමේදී සෑම විටම ලබා ගන්නා තැනැත්තන්ගේ අනන්‍යතාවය හා අවශ්‍යතාවය සම්බන්ධයෙන් අවධානයෙන් හා සැලකිලිමත්භාවයෙන් කටයුතු කිරීම තුළින් සිදුවිය හැකි වංචනික ක්‍රියා හා අපරාධ අවම කර ගැනීමට මෙන්ම නිවාස හිමියන් ගැටලුකාරී තත්ත්වයන්ට ලක්වීමෙන් වළක්වාගත හැකිවනු ඇත.

ශ්‍රී ලංකා පොලිසිය සෑම විටම මෙවැනි අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිගින් දිගටම මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන අතර නේවාසික ස්ථාන වල රැඳී සිටිමින් දේශීය හා විදේශීය ජාවාරම්කරුවන්, අපරාධකරුවන් සම්බන්ධයෙන් හෝ ඔවුන් විසින් සිදු කරනු ලබන නීති විරෝධී හෝ සමාජ විරෝධී කටයුතු පිළිබඳ තොරතුරු ලද වහාම 119, 118 දුරකථන අංක හෝ ලඟම පිහිටි සොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටිනු ලැබේ.”


මෙරට ජනගහනයෙන් 84% ක් ඇස් දන්දීමට කැමැත්ත පළ කරයි

(11.05.2026 – hirunews.lk)

මෙරට ජීවත්වන ජනතාවගෙන් සියයට 84 ක් ම ඇස් දන්දීම සඳහා කැමැත්ත පළකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ජාතික අක්ෂි බැංකුව ආරම්භ කර ගතවූ වසර 15 ක කාලය තුළ අක්ෂි කුණිත 17,000 ක් රෝගීන් 12,000 දෙනෙකුට බද්ධ කර ඇති බවයි එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම, වෙනත් රටවල අවශ්‍යතා සහ ඉල්ලීම් මත අක්ෂි කුණිත 4000 ක් 5000 ක් අතර ප්‍රමාණයක් ප්‍රදානය කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා ෴


දොඩන්දූවේ සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානයක් වටලා ඉන්දීය සහ නේපාල ජාතිකයින් 55 ක් අත්අඩංගුවට

(11.05.2026 – hirunews.lk)

අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන මහා පරිමාණ මූල්‍ය වංචා ඇතුළු සයිබර් අපරාධ ජාවාරමක නිරත වූ විදේශිකයින් 55 දෙනෙකු අද (11) දොඩන්දූව ප්‍රදේශයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගත් බව ගාලු දිසාභාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා.

යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බලකායසමඟ එක්ව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්දීය ජාතිකයින් 35 දෙනෙකු සහ නේපාල ජාතිකයින් 20 දෙනෙකු සිටින බවයි පොලිසිය සඳහන් කරන්‍නේ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී සයිබර් අපරාධ සඳහා භාවිත කළ පරිගණක (Laptops) 22 ක් සහ ජංගම දුරකථන 152 ක් වැනි තාක්ෂණික උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම විදේශිකයින් පිරිස මීට දින කිහිපයකට පෙර අදාල ලැගුම්හලට පැමිණ ඇති බවයි.

ඔවුන් එම ස්ථානය මසකට රුපියල් ලක්ෂ පහක (500,000) අධික කුලී පදනම මත ලබාගෙන මෙම රහසිගත ජාවාරම පවත්වාගෙන ගොස් තිබූ බවයි පොලිසිය පවසන්නේ.

මෙම මහා පරිමාණ ජාවාරමේ ප්‍රධාන සැකකරු හෙවත් ‘මහමොළකරු’ මේ වන විට ප්‍රදේශයෙන් බැහැරව වෙනත් ස්ථානයක සැඟව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ උපකරණ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අද (11) සවස පොලිස් සයිබර් අපරාධ විමර්ශන අංශය වෙත භාරදීමට නියමිතයි ෴


හිටපු මන්ත්‍රී අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙකු බන්ධනාගාර ගොඩනැගිල්ලකින් ඇද වැටී ජීවිතක්ෂයට

(11.05.2026 – hirunews.lk)

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු අද (11) පස්වරුවේ ගොඩනැගිල්ලකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවූ සිරකරුවෙක් වන අතර, ඔහු අවුරුදු 29 ක් වූ පස්යාල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මෙහිදී ගොඩනැගිල්ලෙන් ඇද වැටීමෙන් පසු බරපතළ තත්ත්වයෙන් පසුවූ අදාල රැඳවියා ප්‍රථිකාර සඳහා කඩිනමින් ජාතික රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර නිළධාරීන් පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, ප්‍රථිකාර සඳහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ෴

(දිට්ඨ ධම්ම වේදනීය කම්ම ?)


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් – පළාත් රැසකට තද වැසි

(11.05.2026 – 18:13 +0530 – sinhala.adaderana.lk)

බස්නාහිර, සබරගමු, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම මීට හේතුව බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකාව අශ්‍රිතව පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනයවී මේ වනවිට දිවයිනට ඊසාන දෙසින් පවතින බව සඳහන්ය.

මෙම පද්ධතියේ බලපෑම මත, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.

‍ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

+++

+++

+


නිසි යෝග්‍යතා සහතික නැති වාහනවලට එරෙහිව දැඩි නීතිමය පියවර

(11.05.2026 – 17:45 +0530 – sinhala.adaderana.lk)

මෝටර් වාහනවල අන්තරාදායක කොටස් සවිකිරීම, සයිලන්සර මඟින් අධික ශබ්දය පිටකිරීම සහ විවිධ නීති විරෝධී නවීකරණයන් සිදුකළ රථවාහන සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර ඇත.

මෑත කාලීනව සිදුවූ රිය අනතුරු විශ්ලේෂණය කිරීමේදී, විශේෂයෙන්ම නවීකරණය කරන ලද බස් රථ නිසි යෝග්‍යතා සහතික නොමැතිව ධාවනය කිරීම නිසා මාරාන්තික අනතුරු සිදුවන බව නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පවසයි.

ප්‍රධාන නීති විරෝධී ක්‍රියා ලෙස අවිධිමත් නවීකරණය, අමතර උපාංග, පෙනුම වෙනස් කිරීම සහ අන්තරාදායක සවි කිරීම් පොලීසිය පෙන්වා දෙයි.

ඒ අතර,

  • සයිලන්සරයේ හැඩය වෙනස් කර පරිසරයට අධික ශබ්ද පිටකිරීම
  • විවිධ වර්ණ සහිත නිවි නිවී දැල්වෙන (Strobe lights) පහන් සහ නීති විරෝධී නලා සවිකිරීම
  • වාහනවල වර්ණය වෙනස් කිරීම, චිත්‍ර, මෝස්තර සහ ඉෂ්ට රූප ප්‍රදර්ශනය කිරීම
  • මාර්ගය භාවිතා කරන්නන්ට අනතුරු හෝ කරදර සිදුවිය හැකි අයුරින් අමතර යකඩ කොටස් සවිකිරීම

යන වැරදී පෙන්නා දී තිබේ.

එමෙන්ම, මාර්ගයේ ධාවනය වන වාහනවලින් කළු දුම පිටවීම නිරීක්ෂණය වන්නේ නම්, ඒ පිළිබඳ තොරතුරු (වාහන අංකය, ස්ථානය සහ දිනය) 070 350 0525 යන වට්ස්ඇප් (WhatsApp) අංකයට යොමුකරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෝටර් වාහන ආඥා පනත ප්‍රකාරව, යම් වාහනයක් මාර්ගය භාවිතා කරන්නන්ට හෝ දේපළවලට අනතුරක් නොවන මට්ටමක පවතින්නේ නම් මිස එය මාර්ගයේ ධාවනය කිරීම නීති විරෝධී වේ.

සියලුම රථවාහන හිමිකරුවන් සහ රියදුරන් වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත්, මහමඟ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ශ්‍රී ලංකා පොලීසිය අවධාරණය කරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *