අටමස්ථානාධිපති වල්සාදු රිමාන්ඩ් කෙරේ.. තව දුරටත් රෝහලේ..

අටමස්ථානාධිපති වල්සාදු රිමාන්ඩ් කෙරේ.. තව දුරටත් රෝහලේ..


අටමස්ථානාධිපති වල්සාදු රිමාන්ඩ් කෙරේ.. තව දුරටත් රෝහලේ..

(09.05.2026 – lankacnews.com ඇසුරෙන්)

බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සහ අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන වල්සාදු එළඹෙන 12 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකාර වල්සාදු, මහේස්ත්‍රාත්වරයා විසින් එම රෝහල් පරිශ්‍රයේදීම නිරීක්ෂණය කරනු ලැබීය.

රිමාන්ඩ් නියෝගයෙන් පසු වල්සාදුව තවදුරටත් පෞද්ගලික රෝහලේ රඳවා තැබිය නොහැකි බව දැනුම් දුන් අධිකරණය, අවශ්‍යතාව පරිදි බන්ධනාගාර රෝහල වෙත හෝ කොළඹ ජාතික රෝහල වෙත මාරු කර ප්‍රතිකාර ලබාදෙන ලෙස නියෝග කළේය.

ලබන 12 වනදා වල්සාදු අනුරාධපුර බන්ධනාගාරය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් 15 හැවිරිදි වින්දිත දැරිය පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇය අවස්ථා කිහිපයකදීම අපයෝජනයට ලක්ව ඇති බව තහවුරු කර ඇත.

තමන්ව මුලින්ම අපයෝජනය කළේ ‘අනුරාධපුරයේ විහාරාධිපති හිමිනමක’ බවත්, අනතුරුව පෙම්වතා සහ ඥාති සහෝදරයෙකු අතින් ද අතවරයට පත්වූ බවත් දැරිය පවසා තිබේ.

දැරිය මුලින්ම අපයෝජනය වූ අවස්ථාවේ රුධිරය තැවරුණු ඇඳුම් ඇගේ නිවස අසල වළ දමා තිබියදී පොලිසිය සොයාගෙන ඇති අතර, ඒවා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇත.

මූලික පරීක්ෂණවලට අනුව, දැරියගේ මව්පියන් අදාළ වල්සාදු ගෙන් මුදල් ලබාගෙන සිය දියණිය උන්වහන්සේ වෙත ලබා දී ඇති බවට කනගාටුදායක තොරතුරු අනාවරණය වී තිබේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත විමර්ශන කටයුතු ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය වෙත පවරා ඇති අතර, සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් මීට පෙර සැකකාර වල්සාදු ගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි ෴


කොම්පඤ්ඤ වීදිය පොලීසියට මාට්ටු වුණු චීන්නු 18 යි පේරු කාන්තාවයි උසාවියට | කට්ටියමට වැඩ වරදියි (09.05.2026)

+


උණ රෝගයෙන් වසා තැබුණු දෙණියායේ පාසල් 04 හෙට (11) සහ අනිද්දාත් (12) වැසේ

(10.05.2026 – hirunews.lk)

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් වසා දැමුණු දෙණියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතර (4) හෙට (11) සහ අනිද්දා (12) දිනයේ ද වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

සිසුන් සහ ගුරුවරුන් අතර මෙම උණ රෝගය පැතිර යාමේ අවදානම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව මාර/දෙනියාය ජාතික පාසල, මාර/දෙනියාය මැතිව්ස් ද්විභාශා මහා විද්‍යාලය, මාර/සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය සහ මාර/දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය තවදුරටත් වසා තැබෙනු ඇති ෴


මියගිය කපිල චන්ද්‍රසේනගේ දේහය පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරේ

(10.05.2026 – hirunews.lk)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ දේහය කොළඹ පිහිටි පෞද්ගලික මල් ශාලාවක මේ වන විට තැන්පත් කර තිබෙනවා.

කොල්ලුපිටිය, පේද්‍රිස් පෙදෙසේ අංක 37 දරන නිවසේ තිබියදී සැකකටයුතු ලෙස මියගොස් සිටි කපිල චන්ද්‍රසේනගේ සිරුර පසුගියදා සොයා ගැනුනා.

මේ අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව, රසායනාගාර පරීක්ෂණවලින් අනතුරුව ලබාදීමට අධිකරණ වෛද්‍ය කමිටුව තීරණය කර ඇති බව පොලිසිය පවසනවා.

එම පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සිරුරු කොටස් ලබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ රසායනාගාර පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසුව මරණය සම්බන්ධයෙන් වන අවසන් නිගමනය අධිකරණ වෛද්‍ය කමිටුව විසින් නිකුත් කිරීමට නියමිතයි.

+++

+


ඔය යුනිෆෝම් එක කෙළෙසන්න එපා | ඔයා නම් ඉඳලා යයි | නාමල් ගමින් ගමට යන අතරමඟ පොලිස්පතිට සැරට අමතයි (10.05.2026)

+


මැනිං මාකට් එකේ කඩ පෙළක ගින්නක් – ගින්නත් එක්ක මාකට් එකේ වෙළෙන්දෝ කලබල වෙයි (10.05.2026)

+


රෝගී වී සිටි ‘ගිරා’ වසර 5 කට පසු මුල්වරට මවිබිමට කතා කරයි (09.05.2026)

+


ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

(10.05.2026 – 12:39 +0530 – sinhala.adaderana.lk)

ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

අනිවාර්ය SLS ප්‍රමිති සහතිකය නොමැතිව ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවකට මෙලෙස මුද්‍රා තබා ඇත.

ලද තොරතුරකට අනුව එම අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (09) දින මෙම කර්මාන්ත ශාලාව හදිසි වැටලීමක් කර තිබේ.

එහිදී කර්මාන්ත ශාලාව වසර තුනක (3) පමණ කාලයක සිට මෙම ස්ථානයේ පවත්වාගෙන ගොස් ඇති බවත් ඔවුන් සිය අනෙකුත් නිෂ්පාදන සමග මිලිමීටර් 6 ප්‍රමාණයේ ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් අනාවරණය වී ඇත.

යකඩ කම්බි සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS සහතිකය නොමැතිව මෙම කර්මාන්ත ශාලාව විසින් මෙම යකඩ කම්බි තොගය නිෂ්පාදනය කර වෙළෙඳ පොළට නිකුත් කිරීම හේතුවෙන් අදාළ ආයතනයට මුද්‍රා තැබීමට එහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවද එම අධිකාරිය සඳහන් කළේය.

එමෙන්ම SLS ලාංඡනය නොමැතිව ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කිරීමේ වරදට අදාළ සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට පියවර ගන්නා බවද පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය ෴


දෙනියාය අධ්‍යාපන කලාපයේ ඉගෙනුම ලබන සිසුන් උපකාරක පන්තිවලට යොමු කරන්න එපා – සෞඛ්‍ය බලධාරීන්

(10.05.2026 – hirunews.lk)

හෙට (11) සහ අනිද්දා (12) යන දෙදින (2) තුළ දරුවන් උපකාරක පන්තිවලට යොමුකිරීමෙන් වලකින ලෙසට ද සෞඛ්‍ය බලධාරින් දෙනියාය අධ්‍යාපන කලාපයේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

උණ රෝගී තත්ත්වය හේතුවෙන් වසා දැමුණු දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතර (4) හෙට (11) සහ අනිද්දා (12) දින ද තවදුරටත් වසා තැබීමටයි බලධාරීන් අද තීරණය කළේ.

ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් විද්‍යාලය සහ පල්ලේගම සිද්ධාර්ථ යන විද්‍යාල මෙලෙස හෙට (11) සහ අනිද්දා (12) දිනයේ ද වසා තැබෙනු ඇති.

මාතර – දෙනියාය අධ්‍යපන කලාපයේ පාසල් දරුවන් අතර පැතිර යන උණ රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා කොළඹින් පිටත්ව ගිය විශේෂ වෛද්‍ය කණ්ඩායම පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා ෴


යාල්දේවි දුම්රිය හෙට (11) සිට යළි ධාවනයට

(10.05.2026 – hirunews.lk)

කොළඹ කොටුවේ සිට යාපනය, කන්කසන්තුරය දක්වා ධාවනය කරන යාල්දේවි දුම්රියේ ධාවන කටයුතු හෙට (11) සිට නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කොළඹ – කොටුව සිට කන්කසන්තුරය දක්වා සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල පමණක් එම දුම්රිය ධාවනය වනු ඇති.

එමෙන්ම යාපනය – කන්කසන්තුරයේ සිට කොළඹ – කොටුව දක්වා යාල්දේවී දුම්රිය ධාවනය වන්නේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල පමණක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴


ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිලි කිරීමක්

(10.05.2026 – 17:01 +0530 – sinhala.adaderana.lk)

මැයි පළමු වනදා සිට ක්‍රියාත්මක වනු ලබන ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ කර්මාන්තයේ අනෙකුත් පාර්ශවකරුවන් එක්ව ගනු ලැබූ තීරණයකට අනුව රක්ෂණ ආයතන මඟින් මෙලෙස මෝටර් රථ රක්ෂණ සහතික පත්‍ර වෙනුවට, ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් හඳුන්වා දී ඇත.

ඒ අනුව ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතිය හඳුන්වා දී ඇති අතර, එයට පහත සඳහන් ක්‍රම මඟින් ප්‍රවේශ විය හැක.

මෙමඟින් මෝටර් රථ රක්ෂණයේ වලංගුභාවය පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බව ද දන්වා ඇත.

i). USSD Code: *1338# ඔස්සේ පහත පියවර අනුගමනය කළ හැකි බව දැනුම් දී ඇත.
ඕනෑම ජංගම දුරකථන සම්බන්ධතාවක් මඟින් *1338# අංකයට ඇමතීම.
වාහන අංකය හෝ රක්ෂණ සහතික අංකය ඇතුළත් කිරීම.
අදාළ රක්ෂණ ඔප්පුවෙහි වත්මන් තත්ත්වය ක්ෂණිකව ලබාගත හැකි බව සඳහන් කර ඇත.

ii). SMS: 1338 කෙටි පණිවිඩ සේවාව.
ඕනෑම ජංගම දුරකථනයක් මඟින් වාහන අංකය හෝ රක්ෂණ පත්‍ර අංකය කෙටි පණිවිඩයක් මඟින් 1338 වෙත යොමු කළ හැක.
එවිට රක්ෂණ ඔප්පුව සක්‍රීයව වලංගුව පවතින්නේ ද යන්න කෙටි පණිවිඩයක් මඟින් ක්ෂණිකව පිළිතුරු ලබා ගැනීමට හැකියාව ඇති බව දන්වා ඇත.

iii). ක්ෂණික දුරකථන අංකය වන 1338 අංකයට ඇමතීම.
ඇමතුම ලබා ගත් පසුව ලැබෙන උපදෙස් අනුව අදාළ රක්ෂණ ආයතනය තෝරා ගන්න.
එවිට අදාළ රක්ෂණ සමාගමේ පාරිභෝගික සේවා අංශය වෙත යොමු වේ.
අදාළ රක්ෂණ සමාගම වෙත රක්ෂණ ඔප්පුවේ අංකය හෝ වාහන අංකය ලබා දෙන්න.
ඔවුන් විසින් රක්ෂණයේ වලංගුභාවය තහවුරු කරනු ඇත.

*1338# මඟින් සහ කෙටි පණිවිඩ මඟින් තොරතුරු ලබා ගැනීම සඳහා වාහන අංකය ඇතුළත් කිරීමේදී වාහන අංකයේ මුල් අකුරු හෝ ඉලක්කම්, කෙටි ඉර, අංක හතරකින් (4) සමන්විත ඉලක්කම ඇතුළත් කළ යුතු වේ.

වාහන අංකය ඇතුළත් කිරීමේ දී අකුරු හෝ ඉලක්කම් අතර ඉඩ තැබිය යුතු නැත.

යම් මෝටර් වාහනයක අංකය “ශ්‍රී” වශයෙන් පවතින විට එම අක්ෂරය “SRI” ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු වේ.

ඉහත ක්‍රම මඟින් මෝටර් රථයක රක්ෂණය පරීක්ෂා කරන අවස්ථාව වන විට වලංගුව පවතින්නේ ද නැද්ද යන්න ක්ෂණිකව දැන ගත හැකි අතර කෙටි පණිවිඩ සේවාව මඟින් වඩා පහසුවෙන් මෙම තොරතුරු ලබා ගත හැකිය.

1338 කෙටි දුරකථන අංකයට ලබා ගන්නා ඇමතුම් හෝ කෙටි පණිවිඩ සඳහා ගාස්තු අය කිරීමක් සිදු නොකරන බව දැනුම් දී ඇත.

රක්ෂණ සමාගම් මඟින් ඩිජිටල් රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම ආරම්භ කළ ද තාවකාලික රක්ෂණ ආවරණ නිකුත් කිරීම තවදුරටත් සිදු කරනු ලබයි.

ඉදිරියේදී තාවකාලික රක්ෂණ ආවරණ නිකුත් කිරීම නතර කිරීමට අපේක්ෂා කර ඇති අතර එතෙක් තාවකාලික රක්ෂණ ආවරණ පෙර පරිදි ම වලංගුව පවතින බව තවදුරටත් දන්වා ඇත.

මැයි 01 දින සිට ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පමණක් නිකුත් කිරීම සිදු කළ ද මේ දක්වා නිකුත් කර ඇති රක්ෂණ කාඩ්පත්වල එහි වලංගු කාලය අවසන් වන තුරු එලෙසම වලංගුව පවතී.

යම් රියදුරෙකු විසින් ඩිජිටල් රක්ෂණ කාඩ්පත ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අවස්ථාවකදී ඩිජිටල් රක්ෂණ කාඩ්පතේ මුද්‍රිත ඡායා පිටපතක් ඉදිරිපත් කරන අවස්ථාවක දී, කෙටි දුරකථන අංකය භාවිතයෙන් හෝ කෙටි පණිවිඩ සේවාව මඟින් එම රක්ෂණයේ වලංගුභාවය තහවුරු කර ගැනීමට හැකියාව පවතී.

2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ II පරිච්ඡේදයේ 3 වන වගන්තිය ප්‍රකාරව මෙම ඩිජිටල් රක්ෂණ කාඩ්පත් පිළිගැනීම, එහි බලපෑම හෝ වලංගුභාවය අහිමි කළ නොහැක ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *