ජනාධිපතිට පනත් සම්පාදනය ගැන අවබෝධයක් නෑ.. – උදය ගම්මන්පිල

ජනාධිපතිට පනත් සම්පාදනය ගැන අවබෝධයක් නෑ.. – උදය ගම්මන්පිල


ජනාධිපතිට පනත් සම්පාදනය ගැන අවබෝධයක් නෑ.. – උදය ගම්මන්පිල

(23.12.2024 – 15:50 +0530 – lankacnews.com)

සාමාන්‍ය පෙල විභාගය මැද පුංචි ඡන්දය පවත්වා දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා යැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය :

පසුගිය සිකුරාදා මාධ්‍ය ඇමතූ ජනාධිපතිතුමා පුංචි ඡන්දය සිංහල අවුරුද්දට කලින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පැවසුවා. එතුමා එහෙම කිව්වේ පනත් සම්පාදනය පිළිබඳ එතුමාට නිසි අවබෝධයක් නැති නිසා. දෙසැම්බර් 03 වන දා පුංචි ඡන්දයට කැඳවා ඇති නාමයෝජනා අවලංගු කිරීමට ඇමති මණ්ඩලය තීරණය කලා. ඒ තීන්දුව අරන් සති තුනක් (3) ගත වුණත් තනි පිටුවේ පනත ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තවමත් අසමත් වෙලා තිබෙනවා.

අපි හිතමු අද මේ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය අනුමත කරනවා කියලා. අද රැස්වීමේ වාර්තාව අනුමත කරන්නේ දෙසැම්බර් 30 දා. ඊට පස්සේ දෙසැම්බර් 31 ගැසට් මගින් ප්‍රසිද්ධ කලොත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ජනතාවට අධ්‍යනය කරන්න සති දෙකක (2) කාලයක් දෙන්න ඕනෙ නිසා ජනවාරි 14 දා වන තුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බෑ. ජනවාරි 14 පස්සේ පාර්ලිමේන්තුව රැස්වීමක් තිබෙන්නේ ජනවාරි 21 දා. එදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ පනත් කෙටුම්පතට එරෙහිව නඩු පවරන්න ජනතාවට සති දෙකක (2) කාලයක් ලබා දෙනවා. ඒ සති දෙක (2) ගත වුණාම කවුරුවත් නඩු දැම්මේ නැතිනම් තමයි පාර්ලිමේන්තුවේ විවාද කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ පෙබරවාරි 05 දා වන තුරු මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න බෑ. පෙබරවාරි 05 දාම විවාද කරලා සම්මත කළත් කතානායකට අත්සන් තබන්න තවත් දවස් දෙකක්වත් (2) යනවා. ඒ කියන්නේ මේ පනත නීතියක් වෙලා නාමයෝජනා අහෝසි වෙන්නේ පෙබරවාරි 07 දා. පෙබරවාරි 08 දා මැතිවරණ කොමිසම කඩිමුඩියේ රැස් වෙලා මැතිවරණයට දින නියම කරලා ඒක එදාම තේරීම් භාර නිලධාරින්ට දැනුම් දීම කළත් මැතිවරණය නිවේදනය කරන්න වෙන්නේ පෙබරවාරි 09 දා. මැතිවරණය ප්‍රකාශයට පත් කරන දිනයේ සිට 14 වන දිනයේ සිට 17 වන දිනය දක්වා තමයි නාමයෝජනා භාර ගන්නේ. ඒ කියන්නේ නාමයෝජනා දින බවට පත් විය හැකි ආසන්නතම දින වෙන්නේ පෙබරවාරි 23 සිට 26 දක්වා.

පලාත්පාලන මැතිවරණ නීතියට අනුව මැතිවරණය පැවැත්වීම සිදු කරන්න ඕනේ නාමයෝජනා අවසන් වන දිනයේ සිට සති 5 ක් සහ 7 ක් අතර. අවම කාලයකින් මැතිවරණය පවත්වනවා කියලා හිතුවොත් පෙබරවාරි 26 සිට සති 5 ක්. ඒ කියන්නේ අප්‍රේල් 02 දා. මැතිවරණය හැකි තාක් දුරට සෙනසුරාදා දින පවත්වන්න කියලා පලාත්පාලන පනතේ විශේෂයෙන් කියනවා. ඒ නිර්දේශය අනුව මැතිවරණය පවත්වන්න වෙන්නේ අප්‍රේල් 05 දා. ඒ නිසා තමයි සිංහල අළුත් අවුරුද්දට කලින් ඡන්දය පවත්වන බවට ජනාධිපතිතුමා කිව්වේ.

ආණ්ඩුවට මැතිවරණයට දින නියම කරන විට අමතක වුණු දෙයක් තිබෙනවා. ඒ තමයි ජීවිතයේ කඩඉම් විභාගයක් වෙන සාමාන්‍ය පෙල විභාගය මාර්තු 15 සිට අප්‍රේල් 05 දා දක්වා පැවැත්වෙනවා. අපේක්ෂකයින් ලක්ෂයක් විතර තරග වදින වැඩිම කාලගෝට්ටියක් ඇති කරන මැතිවරණය තමයි පුංචි ඡන්දය. ඒ නිසාම විභාගයට මුහුණ දෙන සෑම දරුවෙකුගේම පවුල් වල කවුරු හරි අපේක්ෂකයෙකු ඥාතියෙක් හෝ මිත්‍රයෙක් ලෙස ඉන්නවා. රටේ වගේම ගෙවල් තුල තිබෙන කලබලකාරි පරිසරය දරුවන්ගේ මානසිකත්වයට බලපානවා. ඒ නිසා සාමාන්‍ය පෙල විභාගය මැද පුංචි ඡන්දය පවත්වලා දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

සුළි සුළඟක් එනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවලා තිබිය දී විභාගය කල් දාන්න කියලා දරුවන් ඉල්ලා සිටිය දී ඉතාම ‘උද්ධච්ඡ’ ආකාරයෙන් පසුගිය උසස් පෙල විභාගය කල් දාන්න අගමැතිතුමිය ප්‍රතික්ෂේප කලා. සුළි සුළඟ නිසා තමන්ගේ ගෙවල් පොත්පත් විනාශ වුණු දරුවන් ආණ්ඩුවේ මුරණ්ඩුකම නිසා දැඩි අපහසුතාවයන්ට මුහුණ දුන්නා. ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගෙන උසස් පෙල දරුවන් දැම්ම අමාරුවේ සාමාන්‍ය පෙල දරුවන් දාන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

අප්‍රේල් මුල් සතියේ මැතිවරණය ප්‍රකාශයට පත් කලොත් අවුරුද්දෙන් පස්සේ නාමයෝජනා භාර ගෙන මැයි මස අග මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙනවා. එතකොට මැතිවරණයෙන් අපේ දරුවන්ට බාධාවක් වීම වැලැක්වෙනවා.

+

+


‘කුඩු සළිඳු’ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

(23.12.2024 – 19:40 +0530 – hirunews.lk/sinhala)

ඇප මත නිදහස් වූ ‘සළිඳු මල්ෂික ගුණරත්න’ නොහොත් ‘කුඩු සළිඳු’ නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුට එරෙහිව වරෙන්තුවක් නිකුත්කර තිබෙනවා.

ඇප මත නිදහස් කිරීමේදී සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ‘කුඩු සළිඳු’ නැමැත්තාට අධිකරණය විසින් කොන්දේසියක් පනවා තිබුණා.

එහෙත් ඔහු ඊයේ (22) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නොමැති බවයි පැවසෙන්නේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (23) කරුණු වාර්තා කර තිබෙනවා.

එම කරුණු සැලකිල්ලට ගෙන ‘කුඩු සළිඳු’ නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙන්නේ.

+

කෝටි ගනනක් දුන්න සලිදු රටින් පනී ? (23.12.2024)

+


මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ අඹතලේ ප්‍රදේශයට කිට්ටුව පාරේ සැරිසරන කොල්ල කල්ලියක්

(23.12.2024 – 18:24 +0530 – hirunews.lk/sinhala)

මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ අඹතලේ ප්‍රදේශයට කිට්ටුව රාත්‍රී කාලයේදී වාහනවල යන පිරිස් කොල්ලකෑමේ ජාවාරමක් ගැන වාර්තා වනවා.

ඇණ ගැසූ ලෑලි මාර්ගයේ තබා මෝටර් රථවල ටයර්වල ඇනීමට සලස්වා මෙම කොල්ලකෑම සිදුකරන බවයි ජනතාව පවසන්නේ.

මෙම කොල්ලකරුවන් විවිධ අවි ආයුධ සහිතව පැමිණෙන බවයි පැවසෙන්නේ.

එලෙස පැමිණ රන් භාණ්ඩ මුදල් ආදිය කොල්ලකා පලා යන බවද ප්‍රදේශවාසීන් පවසනවා.

මේ හේතුවෙන් මාලඹේ සිට අඹතලේ දක්වා වන චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකසන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ප්‍රදේශයේ පොලිසිය ඇතුළු අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනූව ප්‍රදේශයේ පොලිස් මුර සංචාර වැඩි කිරීමටත්, මාර්ගයේ පිවිසුම් දෙපස ආරක්ෂාව වැඩි කිරීමටත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රදේශයේ පොලිස් නිලධාරින් අතර පැවැති සාකච්ඡාවේ දී එකඟ වූ අතර CCTV කැමරා පද්ධතියක් සවි කිරීම, විදුලි පහන් කණු සවි කිරීම, අදාළ ස්ථානයන්හි පොලිස් මුරකුටි ස්ථානගත කිරීමටද තීරණය කළ බවයි වාර්තා වන්නේ.


විදුලිය වැදී වනඅලි 50 ක් මේ වසරට මැරිලා

(23.12.2024 – 15:47 +0530 – hirunews.lk/sinhala)

2024 වසරේ මේ දක්වා විදුලි සැර වැදීමෙන් වනඅලි 50 ක් පමණ මරණයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඒ සෑම අවස්ථාවකම ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම අනවසරයෙන් ලබාගෙන ඇති බව හෙළිවූ බවයි එම මණ්ඩලය පවසන්නේ.

මේ ආකාරයට අනවසරයෙන් විදුලිය ලබා ගැනීම වැළැක්වීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බවද එම මණ්ඩලය පවසනවා.

මෙවැනි අනවසර විදුලිය ගැනීම් පිළිබඳව තොරතුරු 1987 හෝ 011 211 8767 දුරකථන අංකවලට දන්වන ලෙසයි ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටින්නේ ෴


කුණු එක්ක පල් වෙන ‘පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය’

(23.12.2024 – 14:34 +0530 – hirunews.lk/sinhala)

‘පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය’ අභාවයට යමින් තිබෙන බව අවස්ථා ගණනාවකදී ‘හිරු ප්‍රවෘත්ති’ රටට අනාවරණ කළා.

මෙතෙක් ඊට නිසි විසඳුමක් ලැබී නොමැති පසුබිමක එම වෙළෙඳ සංකීර්ණයේ වත්මන් තත්ත්වය පිළිබඳව ‘හිරු ප්‍රවෘත්ති’ සොයා බැලුවා.

මහින්ද චින්තනය වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය හා ආරක්ෂක අමාත්‍යාංශය, බේරේ වැව පාවෙන වෙළෙඳ සංකීර්ණය ඉදිකර, 2014 වසරේදී ජනතා අයිතියට පත් කළා.

ඒ, රුපියල් මිලියන 352 ක වියදමක් දරමින්.

කලක ඉතා මනරම් ස්ථානයක් වූ මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය, දෙස් විදෙස් සංචාරයකින්ගේ ද අකර්ශනය දිනාගත් ස්ථානයක් බවට පත්ව තිබුණා.

නිසි නඩත්තුවක් නොමැතිවීම හේතුවෙන් මේ වනවිට පාවෙන වෙළෙඳ සංකීර්ණය අභාවයට ගොස් තිබෙනවා.

පාවෙන වෙළෙඳ සංකීර්යට පිවිසෙන හා එහි ගමන් කිරීමට ඇති ලී පියගැටපෙළ ඉතා අබලන් තත්ත්වයට පත්ව ඇත්තේ මෙහි පැමිණෙන ජනතාවගේ ජීවිත ද අවදානමක හෙළමින්.

කඩ කාමර 96 කින් සමන්විත‍ මෙම වෙළෙඳ සංකීර්ණයේ මේ වනවිට විවෘතව පවතින්නේ කිහිපයක් පමණයි.

ඇතැම් කඩකාමර විනාශ වී ඇති අයුරු ද දක්නට ලැබෙනවා.

පාවෙන වෙළෙඳ සංකීර්ණයේ ස්ථාපිත බෝට්ටු සේවාව ද අභාවයට ගොස් තිබෙනවා.

මෙහි වැසිකිළි පද්ධතිය ද ඉතා අපවිත්‍ර වී ඇති අතර කාණු පද්ධතිය මදුරුවන් බෝවන ස්ථානයක් බවටයි පත්ව ඇත්තේ.

අභාවයට යන මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය ඇතැම් පිරිස්වල නවාතැන්පළක් බවට පත්ව තිබීම දක්නට ලැබෙනවා.

බේරේ වැවේ කැළිකසළ හේතුවෙන් වහනය වන අධික දුගඳ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණයට අත්ව ඇති මෙම ඉරණම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම ‘හිරු ප්‍රවෘත්ති’ රටට අනාවරණ කළත් මෙතෙක් ඊට නිසි විසඳුමක් ලැබී නැහැ.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් මේ ස්ථානය මෙලෙස අභාවයට යාම කණගාටුවට කරුණක්.

+


හැටන් බස් රියදුරා ඉවතට විසිවූ හේතුව හෙළිවෙයි

(23.12.2024 – 16:32 +0530 – sinhala.adaderana.lk)

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබියදී පසුගිය 21 වනදා මල්ලියප්පු ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරට පත් පෞද්ගලික බස් රථය අද (23) දිනයේ නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක්කළේය.

එහිදී හෙළිවී ඇත්තේ අනතුරට පත් බස් රථයේ රියදුරු දොරේ අගුල ක්‍රියාවිරහිත වි තිබිම නිසා දොර හදිසියේ විවෘත වි රියැදුරාව අසුනෙන් ඉවතට විසිවී ඇති බවයි.

හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින්ගේ ඉල්ලිමක් මත පොලිසිය භාරයේ ඇති අනතුරට පත් එම බස් රථය ප්‍රධාන මොටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂාවට ලක් කෙරිණ.

මෙම පරික්ෂාවේදි ධාවනය වෙමින් තිබු බස් රථයේ රියදුරු දොරටුව විවෘත වි ඇත්තේ කාලයක් තිස්සේ එම දොරේ අගුල ක්‍රියාවිරහිත තිබිම නිසා බවත්, එම දොර තාවකාලිකව වසා දැමිමට ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවට මෝටර් රථ පරික්ෂකවරයා තහවුරු කර තිබුණි.

තවද රියදුරුගේ ආරක්ෂිත බඳපටිය නොමැති බවත්, බස් රථය තුළ සුදු යකඩ උපාංග රැසක් සවිකර තිබිම නිසා එම අනතුර හේතුවෙන් මගීන්ට බරපතළ තුවාල සිදුවී ඇති බව වාර්තා විය.

ඉන් තිදෙනෙක් මියගොස් තවත් 50 දෙනෙක් පමණ තුවාල ලැබීය.

එසේම බස් රථයේ ආසන ප්‍රමිතියකට සවිකර නොතිබිම නිසා ආසන සියල්ල ගැලවි ගොස් එකිනෙක ගැටිම නිසා මගින්ට සිදු වු තුවාල බරපතළවිමට හේතුව වි ඇති බවද මෝටර් රථ පරික්ෂකවරයා පොලීසියට පැවසීය.

මගි ප්‍රවාහන වාහනවල අමතර උපාංග කිසිවක් සවි කිරිමට ඉඩ නොදෙන ලෙසත්, එසේ සවිකර ඇති උපාංග ගලවා ඉවත් කිරිමට කටයුතු කරන ලෙසත් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා රථ වාහන පොලීසියේ නිලධාරින්ගෙන් ඉල්ලීමක් කළේය.

ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබු බස් රථයක් ධාවනයට එක් කිරිම සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවද හැටන් පොලීසිය පැවසිය.

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *