රුපියල් කෝටි 13 ක කුඩු සමග අයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 13 ක කුඩු සමග අයෙක් අත්අඩංගුවට


රුපියල් කෝටි 13 ක කුඩු සමග අයෙක් අත්අඩංගුවට

(11.12.2024 – lankadeepa.lk)

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන ‘කාංචනා’ නැමැත්තියගේ ප්‍රධාන ගෝලයෙක් රුපියල් කෝටි 13 කට ආසන්න හෙරොයින්, අයිස් හා මත්පෙති තොගයක් සමග කහතුඩුව, පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අද (11) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නෑබඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 ක පුද්ගලයෙකි.

පොලිස් විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොදවා මෙම වැටලීම සිදුකර ඇත.

එහි දී පොලිස් උපාය දූතයෙකු මාර්ගයෙන් ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝවකට (1) ආසන්න ප්‍රමාණයක් කැස්බෑව ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇති අතර ඒ ඔස්සේ සිදු කරන ලද වැඩිදුර විමර්ශණවලදී පොල්ගස්ඔවිට ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගෙන ඇති නිවසක සඟවා තිබු හෙරොයින් කිලෝ 5 කට ආසන්න ප්‍රමාණයක්, ‘අයිස් මත් ද්‍රව්‍ය’ කිලෝ 1.5 කට ආසන්න ප්‍රමාණයක් හා ‘ඩාන්සින් පිල්’ නැමැති මත්පෙති 800 ක ප්‍රමාණයක් විශේෂ කාර්ය බළකාය සොයාගෙන තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී මෙම මත් ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක වන ‘කාංචනා’ නැමැති කාන්තාවකට අයත් බවට තොරතුරු අනාවරණය වී ඇත. සැකකරු පදිංචිව සිටින නිවෙස ‘කාංචනා’ නැමැති කාන්තාව විසින් කලක සිට කුලී පදනම මත ලබා ගෙන මත්ද්‍රව්‍ය ගබඩා කර තබා ගන්නා ස්ථානයක් ලෙස යොදා ගනිමින් මෙහි සිට විවිධ ප්‍රදේශ වෙත මත්දුව්‍ය බෙදා හැරීම සිදු කොට ඇති බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇත.

‘විශේෂ කාර්ය බලකායේ’ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි / විශේෂ මෙහෙයුම් / මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 02 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ල මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැටලීම සිදුකළහ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත් ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සදහා මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදී ඇත ෴


රට විරුවන්ට විද්‍යුත් වාහන දීමේදි අඩුපාඩු රැසක්

(11.12.2024 – lankadeepa.lk)

විදෙස්ගත ශ්‍රමිකයන්ට මෙරටට විද්‍යුත්වාහන ගෙන්විමේ යෝජනා ක්‍රමය යටතේ ආනයනය කර තිබු විද්‍යුත් වාහන 510 සදහා පමණක් සුඛෝපභෝගි බදු නිදහස් සිමාව රුපියල් මිලියන 06 සිට රුපියල් මිලියන 12 දක්වා ඉහළ දැමිම හේතුවෙන් රජයට අයකරගත හැකිව තිබු රුපියල් මිලියන 1,384 ක බදු ආදායමක් අහිමිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත්වාහන ගෙන්විම සදහා බලපත්‍ර නිකුත් කිරිමට අදාළව අයදුම් පත් භාරගැනිම, පරික්ෂා කිරිම, බලපත්‍ර නිකුත් කිරිම, අවලංගු කිරිම ඇතුළු සියලු කරුණු කම්කරු හා විදේශිය රැකියා අමාත්‍යංශයේ නිලධාරින් කිහිප දෙනෙකු විසින් අක්‍රමවත් පරිදි සිදුකොට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එම නිසා මෙකි යෝජනා ක්‍රමය යටතේ විද්‍යුත් වාහන සදහා බලපත්‍ර නිකුත් කිරිමේ දි බරපතල ලෙස විනිවිදභාවය කඩකරතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම බලපත්‍ර නිකුත්කිරිමට අදාළ ලිපිගොනු 64 ක් විගණනයට ඉදිරිපත් කිරිමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් කටයුතු කර නොතිබුණි ෴


පවුලක් සුනුවිසුනු කළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරේ කරුණු රැසක් හෙළිවෙයි

(12.12.2024 – 22:29 +0530 – sinhala.adaderana.lk)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා ඉමදූව කොටසේදී ඊයේ (11) රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරකින් එකම පවුලේ දොලොස් (12) හැවිරිදි හා දස (10) හැවිරිදි පාසල් දැරියන් දෙදෙනෙකු (2) මිය යාම සම්බන්ධව මේ වන විට කරුණු රැසක් අනාවරණ වී තිබේ.

ඒ අනුව පොලිසිය පැවසුවේ, මෝටර් රථය පැදවූ පියාට නින්ද යෑමෙන් අනතුර සිදුව ඇතැයි සැකකරන බවය.

මාතර – නූපේ ප්‍රදේශයේ පදිංචි දොළොස් (12) හැවිරිදි ඉසුරි රදීෂා සිය නැගණිය වන දස (10) හැවිරිදි සෙනුලි දම්සරා හා මව්පියන් සමඟ ඊයේ (11) නාරහේන්පිට පෞද්ගලික රෝහලකට පැමිණ ඇත්තේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහායි.

ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් සිය මෝටර් රථයෙන් නිවස බලා දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර දෙසට ගමන් කරමින් සිට තිබේ.

ඔවුන් ගමන්ගත් මෝටර් රථය රාත්‍රී 11 ට පමණ පින්නදූව සහ ඉමදූව අතර කොටසේදී අනතුරට ලක්ව ඇත්තේ ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පසුපස කොටසේ ගැටීමෙනි.

ඒ වනවිට දස (10) හැවිරිදි සෙනුලි දම්සරා සිය මවගේ ඇකයේ, මෝටර් රථයේ ඉදිරිපස මගී අසුනේ ගමන් කර ඇති අතර දොලොස් (12) හැවිරිදි ඉසුරි රදීෂා ගමන් කර ඇත්තේ පසුපස අසුනේයි.

අනතුරින් තුවාල ලැබූ මව, පියා හා දියණියන් දෙදෙනාම (2) එම අවස්ථාවේදීම මාර්ගයේ ගමන්ගත් පිරිස් එක්ව රෝහල්ගත කර තිබේ.

කෙසේවෙතත් මවගේ ඇකයේ ගමන්ගත් දස (10) හැවිරිදි දැරිය ඒ වන විටත් මියගොස් සිට ඇති අතර දොලොස් (12) හැවිරිදි දැරිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් මෝටර් රථයටද බරපතළ හානි සිදුව තිබුණි.

මියගිය දැරියන් දෙදෙනා (2) මාතර සුජාතා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියන් වන අතර ඔවුන්ගේ මව මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලයේ ගුරුවරියකි.

දැරියන්ගෙ පියා ව්‍යාපාරිකයෙකු බවද වාර්තා වේ.

මේ අතර මියගිය දැරියන් දෙදෙනාගේ (2) දේහයන් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) සිදුකළ අතර එහිදී අනාවරණ වී ඇත්තේ, හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවය.

අද (12) දහවල් දැරියන් දෙදෙනාගේ (2) දේහයන් ඥාතීන් වෙත භාරදෙනු ලැබීය.

+

සිදු වූ අනතුරින් මියගිය දැරියන් දෙදෙනා

+

+


ගසක අත්තක් හිසට වැටී දරුවෙකු ජීවිතක්ෂයට

(12.12.2024 – 07:41 +0530 – hirunews.lk/sinhala)

ගොඩකවෙල පොලිස් වසමේ අම්මඩුව ප්‍රදේශයේදී ගසක අත්තක් වැදී ඊයේ (11) දරුවෙකු මිය ගොස් ඇති ගොඩකවෙල පොලිසිය සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 13 ක් වූ රංවල, ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

මියගිය දරුවාගේ පියා සහ තවත් පුද්ගලයෙකු දිරා ගිය කොස් ගසක් කපා බිම දැමීමේදී එහි අත්තක් මියගිය දරුවාගේ හිසෙහි වැදීමෙන් මෙම මරණය සිදුව ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය ගොඩකවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ගොඩකවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


ආනයනික පොල්තෙල් කිලෝවක් රුපියල් 800 ට නගී

(12.12.2024 – 08:03 +0530 – hirunews.lk/sinhala)

පොල් මිල ඉහළයාම හමුවේ දේශීය පොල්තෙල් නිෂ්පාදනයද ඇණහිට තිබෙනවා.

තවමත් වෙළෙඳපොළේ පොල් ගෙඩියක් අලෙවිවන්නේ රුපියල් 150 ත් 200 ත් අතර මිලකටයි.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් සදහන් කළේ, වෙළෙඳපොළේ පවතින මිලට පොල් ගෙඩියක් මිලට ගෙන පොල් තෙල් නිෂ්පාදනය කිරීමෙන් ලාභයක් ලැබිය නොහැකි බවයි.

මේ හේතුවෙන් ආනයනික පොල්තෙල් කිලෝවක මිල රුපියල් 800 දක්වා ඉහළ ගොස් ඇති බවයි ‘සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ’ ප්‍රධාන කැදවුම්කරු බුද්ධික ද සිල්වා ප්‍රකාශ කළේ.

මේ අතර, පොල් මිල ඉහළ ගොස් ඇති පසුබිමක සහල් මිල සම්බන්ධයෙන් ද පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක්.

මෝල්හිමියන්ට රුපියල් 100 ක් වැනි අඩු මිලකට ලබාදුන් වී, සහල් බවට පත්කර අධික මිල ගණන් යටතේ විකිණීම අසාධාරණ බවයි ‘නාමල්ඔය ගොවිජන අයිතීන් සුරැකීමේ සංවිධානය’ චෝදනා කළේ.

මේ අතර, මහා පරිමාණ වී මෝල්හිමියන් පවසන ආකාරයට සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය නොකළ යුතු බව ‘සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන්ගේ සංගමය’ පවසනවා.

පාරිභෝගික ජනතාවද චෝදනා කළේ සතොසෙහි සහල් සහ පොල් ප්‍රමාණවත් පරිදි නොමැති බවටයි.

මේ අතර, කැනඩාවට සහල් අපනයනය කරන මුවාවෙන් ඒවායේ කල් ඉකුත්වීමේ දින වෙනස් කර නැවත ඇසුරුම් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් ‘හිරු සී.අයි.ඒ.’ ලබාදුන් තොරතුරු මත වටලනු ලැබුවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් අදාල වැටලීම සිදු කළේ බිංගිරිය – බෝවත්ත ප්‍රදේශයේ නිවසකදීයි.

පොළොන්නරුවේ මහා පරිමාන සහල් නිෂ්පාදකයෙකුගේ කිලෝ පහේ (5) කීරි සම්බා සහල් උර තොග වශයෙන් රැස්කරගෙන බිංගිරිය – බෝවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ කිසියම් ජාවාරමක් සිදු වන බවට ‘හිරු සී.අයි.ඒ.’ වෙත පසුගිය දිනක තොරතුරු ලැබී තිබුණා ෴


‘රටවිරු දූ දරු’ ශිෂ්‍යත්වයට අයදුම් කිරීම ගැන දැනුම්දීමක්

(12.12.2024 – 09:04 +0530 – hirunews.lk/sinhala)

2024 වර්ෂයට අදාළව ‘රටවිරු දූ දරු’ ශිෂ්‍යත්වය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ සඳහන් කළේ, මේ සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම පිළිබඳ පාසල් මට්ටමින් විගමණික ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන් දැනුවත් කිරීමට විදුහල්පතිවරුන්ගේ අවධානය යොමු කරන ලෙසයි.

මෙම ශිෂ්‍යත්වය සඳහා https://www.slbfe.lk/ යන වෙබ් අඩවියට පිවිස අයදුම්පත් බාගත කර ගැනීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම, මේ පිළිබද වැඩිදුර විස්තර 011 236 5471 යන දුරකථන මාර්ගය ඔස්සේ හෝ https://www.slbfe.lk/ යන කාර්යාංශ වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බවත් ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ සඳහන් කළා.

මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ’ ලියාපදිංචිව රැකියා සඳහා පමණක් විදේශගතව සිටින ලාංකික දෙමව්පියන්ගේ දරුවන් වෙනුවෙන් වන අතර, එම ශිෂ්‍යත්වයන් කාණ්ඩ තුනක් (3) යටතේ පිරිනමනු ලබනවා.

ඒ අනුව, රුපියල් 25,000 ක් 05 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ටද, රුපියල් 30,000 ක් සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන්ට මෙන්ම රුපියල් 40,000 ක් උසස් පෙළ විභාගය සමත් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ හෝ වෙනත් පාඨමාලා සඳහා සුදුසුකම් ලබා ඇති දරුවන් හට පිරිනැමීමක් සිදුකරන බවයි ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ සඳහන් කළේ ෴


‘බයිනෑන්ස් ගිණුමේ’ මුදල් කොල්ල කෑ චීන ජාතිකයින් 4 ක් රිමාන්ඩ්

(12.12.2024 – 10:10 +0530 – hirunews.lk/sinhala)

මෙරට පුද්ගලයෙකුට අයත් ‘බයිනෑන්ස් ගිණුමක’ තිබූ ඩොලර් 30,000 ක් ඉල්ලා එය ලබාගෙන ඊට ගෙවූ රුපියල් එක්කෝටි හය ලක්ෂයක් (1,06,00,000) මංකොල්ල කෑ චීන ජාතිකයන්ගේ ගිණුම්වලින් පසුගිය 2018 වසරේ සිට රුපියල් මිලියන 1500 ක් පමණ සංසරණය වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය කර ඇතැයි ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශය’ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා.

මෙහි මහමොළකරු ලෙස චීන ජාතික කාන්තාවක හඳුනාගෙන ඇති බවත්, ඇය ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවත් කී පොලිසිය, සැකකරුවන් ඇප මත මුදා හැරියහොත් ඔවුන් මුරපද භාවිතා කරමින් ගිණුම් තුළට ඇතුළු වී මුදල් ගැනිමට ඉඩක් ඇති බවද අධිකරණයට අවධාරණය කර සිටියා.

බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් පොලිසිය මේ බව කියා සිටි අතර, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මඩුල්ල සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත්වරිය ඔවුන් සිව්දෙනා (4) තවදුරටත් ලබන 18 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී නියෝග කරනු ලැබුවා.

මෙරට පුද්ගලයෙකුට අයත් ‘බයිනෑන්ස් ගිණුමක’ තිබූ ඩොලර් 30,000 ක මුදල වෙනුවෙන් චීන ජාතිකයන් පිරිසක් ඔහු සමඟ ඇති කරගත් එකඟතාවය මත ලබා දුන් රුපියල් එක්කෝටි හය ලක්ෂයක (1,06,00,000) මුදල කොල්ලුපිටිය සාප්පු සංකීර්ණයකදී කොල්ල කෑ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චීන ජාතිකයන් සිව්දෙනෙකු (4) මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පොළොන්නරුවේ පුද්ගලයෙකු ගෙන් ලද පැමිණිල්ලක් අනුව, විමර්ශන සිදුකරන අතර, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ඩොලර් 30,000 ක් සන්තකයේ තබාගත් පුද්ගලයා සම්බන්ධයෙන් ‘මුදල් විශුද්ධිකරණ පනත’ යටතේ පියවර ගත යුතු බවයි ෴


ආනයනය කරන ලද වාහනවල නීත්‍යානුකූලභාවය තහවුරු කිරීම සඳහා ඔන්ලයින් ද්වාරයක්

(12.12.2024 – 10:32 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රේගුව විසින් නීත්‍යානුකූලව ආනයනය කරන ලද වාහනවල සත්‍යතාව තහවුරු කිරීම සඳහා අන්තර්ජාලය හරහා පහසුකම් සලසා දී තිබෙනවා.

ඒ අනුව, පහත ලබා දී ඇති සබැඳිය ඔස්සේ පිවිස වාහනයේ ‘චැසි අංකය’ ඇතුළත් කිරීමෙන් වාහනයේ නීත්‍යානුකූලභාවය තහවුරු කරගැනීමටයි අවස්ථාව සලසා දී තිබෙන්නේ.

(Chassis Number, NIC / Passsport, Mobile Number)

https://services.customs.gov.lk/vehicles

මෙමඟින් රට තුළ නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද වාහන සංසරණය අවම කිරීම සහ මෝටර් රථ වෙළඳපොලේ විනිවිදභාවය පෝෂණය කිරීම අරමුන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කළේ.

මෙම පහසුකම හරහා 2002 පසු ආනයනය කරන ලද සියලුම මෝටර් රථ සහ 2011 න් පසු ආනයනය කරන ලද සියලුම යතුරුපැදි පිළිබඳ විස්තර ඇතුළත් අතර, වාහන ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට ගනුදෙනු සම්පූර්ණ කිරීමට පෙර පහසුවෙන් නීත්‍යානුකූලභාවය තහවුරු කර ගැනීමේ හැකියාව පවතිනවා ෴


සජබයෙන් ආණ්ඩුවට රතු එළියක් (12.12.2024)

+

+


කොට්ටාවෙන් ගත්තු මස් ‘පොළ හන්දියේ’දී ඩැහැගත්තු මලයක්කු – 2024-12-11

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *