වාහන ආනයනය ගැන කියා ‘ඇඩ්වාන්ස්’ ගන්න ජාවාරමක්

වාහන ආනයනය ගැන කියා ‘ඇඩ්වාන්ස්’ ගන්න ජාවාරමක්


වාහන ආනයනය ගැන කියා ‘ඇඩ්වාන්ස්’ ගන්න ජාවාරමක්

(09.12.2024 – 16:22 +0530 – hirunews.lk/sinhala)

වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවර තීරණයක් නොමැති පසුබිමක, වාහන ආනයනයට ඉඩ ලැබෙන බව පවසමින් ආයතන රැසක් රුපියල් ලක්ෂ ගණනින් මුදල් එකතු කරන ජාවාරමක් කරන බව, ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පෙන්වා දෙනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසුවේ, මෙහි පවතින අවදානම සම්බන්ධයෙන් මහ බැංකුව අවධානය යොමු කළ යුතු බවයි.

ශ්‍රී ලංකාව මුහුණ දුන් කොවිඩ් වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුදයේදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැර වාහන ඇතුළු තවත් භාණ්ඩ සහ උපාංග රැසකට ආනයන සීමා පැනවීමට 2021 වසරේ එවක පැවති ආණ්ඩුව පියවර ගත්තා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය වැඩසටහනට එළැඹීමෙන් පසු ක්‍රමිකව ඇතැම් සීමා ලිහිල් කෙරුණු අතර, වාහන ආනයනයට ද ඒ ඔස්සේ ඉඩ ලැබෙනු ඇතැයි මත පළව තිබෙනවා.

2025 වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනයට ඉඩ දෙන බව පැවති රජය පවසා තිබුණ ද , වාහන ආනයනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ.

ඇතැම් සමාගම් ඉදිරියේදී වාහන ආනයනයට අවසර හිමිවන බවට ජනතාව තුළ මතයක් ගොඩනංවා, නව වාහන සඳහා රුපියල් ලක්ෂ ගණනින් අත්තිකාරම් ලබා ගනිමින් සිටින බව ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පෙන්වා දෙනවා.

එමෙන්ම ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය පවසන්නේ වාහන ආනයනය මගින් සංචිත අඩු වේ යැයි ප්‍රචාරණ ගෙන ගිය ද එය ගැටලුවක් ලෙස සැළකිය යුතු නොවන බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය අමින්ද මෙත්සිල පවසා සිටියේ මෙවැනි අදහසක් :

“රජයේ යම් නිශ්චිත ස්ථාවරතාවයක් නැති තැනක අපි දැක්කා .. ජනතාව විශාල වශයෙන් ආයතන ගණනාවක් වටා එකතු වෙලා .. ඔවුන් ප්‍රචාරණය අරගෙන යනවා.. ලංකාවට වාහන ගේනවා සහ සමහර ආයතන මේ වෙන කොටත් අපි තැන්පතු භාර ගැනීම පවා ආරම්භ කරලා තියෙනවා. ගැටලුව තියෙන්නේ අපි තාමත් වාහන ගෙන්නන දවසක් දන්නේ නෑ. වාහන ගෙන්නන්න දෙනවාද කියන එක රජයේ ස්ථාවරභාවය අපි දන්නේ නැහැ. ඒ තියෙද්දී ජනතාව විශාල වශයෙන් මේ ආයතන කිහිපයක් වටා තමන්ගේ මුදල් තැන්පත් කිරීම ආරම්භ කරලා තියෙනවා. මේක කොච්චර දුරට සාර්ථකද? එහෙම නැත්නම් මේක තුළ යම් ආකාරයක අවදානමක් තියෙනවද කියන කාරණය. මම හිතන්නේ මහ බැංකුව අවධානය යොමු කරන්න ඕනේ. ඒ විදියට සල්ලි එකතු කරලා යම් ආකාරයකින් තවදුරටත් වාහන ගෙන්වීම පමා වුණොත් ඒකෙන් මේ කොයි ආකාරයෙන් බලපෑමක් සිද්ධ වෙයිද? මේ සඳහා පොලියක් ගෙවනවාද? එහෙම නැත්නම් නැවත මුදල් ගෙවනවද? ඔය කියන කරුණු කාරණා පිළිබඳ මං හිතනවා මහ බැංකුවේ අවධානය යොමු වෙන්න ඕනේ. අපි වාහන ගෙන්නුවොත් එහෙම දැනට තියෙන සංචිත වලින් තුනෙන් එකක වැනි ප්‍රමාණයක් අවම වශයෙන් අපිට නිදහස් කරන්න සිද්ධ වෙනවා මේ වාහන ආනයනය සඳහා. එතකොට අදටත් අපේ තියෙන ඩොලර් සංචිතය සැලකිය යුතු මට්ටමක නැහැ.

රජය එකපාර වාහන ගෙන්වන්න උත්සාහ කළොත් එහෙම .. ඒක අපේ සංචිත වලට යම් ආකාරයක ඉතා සෘණාත්මක බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා යම් ආකාරයක මුදල් ප්‍රමාණය එකතු කරනවා නම් .. ඒ ඒවා මාධ්‍ය තුළ පළවෙනවා නම් .. මං හිතනවා මහ බැංකුවට යුතුකමක් සහ වගකීමක් තියෙනවා ඒ පිළිබඳ මහ බැංකුවේ ස්ථාවරය ප්‍රකාශ කරන්න. එහෙම නැතුව යම්කිසි කාරණයක් වුණාට පස්සේ මහ බැංකුවට කියන්න බැහැ.. මේවා අපි දැක්කේ නැහැ.. මිනිස්සු දැනගන්න ඕනේ නීතිමය කරුණු කියලා. ඒ වගේ ඇඟ බේරගන්න බැහැ.

ඒ වගේම තව මුදල් අමාත්‍යාංශය සහ මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශයක් කරන්න ඕනේ මේ කරන ක්‍රියාවලිය හරිද කියලා. ඔවුන් වාහන සම්බන්ධයෙන් රටේ ප්‍රතිපත්තිය මොකක්ද කියන එක ජනතාවට දැන්වත් දැනුම් දෙන්න ඕනේ.

එමෙන්ම ‘ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය’ පවසන්නේ වාහන ආනයනය මගින් සංචිත අඩුවේ යැයි ප්‍රචාරණ ගෙන ගියද එය ගැටලුවක් ලෙස සැලකිය යුතු නොවන බවයි.

මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ලංකාවේ ‘එල්.සී.’ ණයවර ලිපි ගැන ලෝකයේ විශ්වාසය බිඳුනා පහුගිය දවස්වල. ඉතින් අපි අද හෙට මාර්කට් එක ඇරියා කියලා. අද හෙට වාහන ගේන්න කියලා කිව්වා කියලා මම හිතන්නේ ඉතා ලේසියෙන් වාහන ගොඩක් ගේන්න බැරි වෙයි. මොකද බැංකුවල, ජපන් බැංකු පද්ධතිය, ලංකාවේ තියෙන එල්.සී. වලට, තියෙන විශ්වාසය නැතිවෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපේ රට ඇතුළේ බියක් තියෙනවා එකපාරටම වාහන ගොඩක් ගෙනල්ලා මේක නැතිවෙයි කියලා. ඒ වුණාට ඒක එච්චර පහසුවෙන් වාහන ගේන්න බැරි බවත් ජපානයේ ව්‍යපාරික සංගමය හැටියට කියන්න ඕනේ.

මොකද අපිට මේ සඳහා ලංකාවේ විශ්වාසය ගොඩනැගීමට වැඩ ගොඩක් කරන්න තියෙනවා. අපි ඉල්ලා සිටියා වාහන අපනයනකරුවන්ගේ සංගමය හැටියටත්, ජපානයෙන් අවුරුදු හතක (7) පමණ පැරණි වාහන වලට ඉඩ දෙන්න කියලා. මොකද අඩු විදේශ විනිමයකින් වැඩි වාහන ප්‍රමාණයක් ගෙන්න ගන්න පුළුවන්. විදේශ සංචිත වලින් වාහන ගේන්නෑනේ. එතකොට ආදායම ලැබිච්ච ඩොලර් වලින් තමයි අපි දෙයක් ආනයනය කරන්නේ.. අපනයනය කිරීමෙන් ලැබෙන මුදල් වලින්. ඉතින් ඒක කෙලින්ම සංචිතය අඩුවීම කියලා වගේ ලොකු ප්‍රචාරණ ගියාට මං හිතන්නේ ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි” .

+


ලස්සන බිරිඳත් එක්ක ඇවිත් ‘ලවන් අභිෂේක්’ හැමෝම ඉදිරිපිට තාත්තාට දුන්න ආදරණීයම තෑග්ග | දැන් මගෙ හිතේ බර නිදහස් | 09.12.2024

+


අර්චුනා යාපනය රෝහලට පනී; රෝහල් අධ්‍යක්ෂ පොලිසි යයි

(09.12.2024 – 16:27 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාට එරෙහිව යාපනය පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

එම පැමිණිල්ල යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය සත්‍යමූර්ති විසින් ගොනුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා යාපනය ශික්ෂණ රෝහලට අනවසරයෙන් ඇතුළු වී රාජකාරියට බාධා කරමින් තර්ජනය කිරීම සම්බන්ධයෙනුයි මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවයි යාපනය පොලිසිය සඳහන් කළේ ෴


වන සංරක්ෂණයේ අක්කර 80 ක තේක්ක දැව ජාවාරම්කරුවන් කපාගෙන

(09.12.2024 – 17:40 +0530 – hirunews.lk/sinhala)

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ වගා ව්‍යාපෘතියක් වශයෙන් සිටුවා තිබූ අක්කර 80 ක තේක්ක වගාවක් දැව ජාවාරම්කරුවන් විසින් කපාගෙන ගොස් තිබෙනවා.

මුලතිව්, පුදුකුඩීඉරිප්පු, මන්නාකන්දල් හා වසන්තපුරම් යන ප්‍රදේශවලින් යුද හමුදාව ඉවත් වීමත් සමගම එම ගම්මානවලට මායිම්ව තිබූ අක්කර 80 ක තේක්ක වගාව මෙසේ දැව ජාවාරම්කරුවන් විසින් (08) දා කපාගෙන ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

මෙම ඉඩම් මුලතිව් ප්‍රදේශයේ ජනතාවට අයත් බැවින් යුද හමුදාව එම ඉඩම්වලින් ඉවත් වී තිබුණා.

අනතුරුව එම ඉඩම් ආපසු ජනතාවට ලබාදීම පිණිස රජයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

එසේ භාර දුන් දිනයට පසු දිනම රජයේ රක්ෂිත වනයේ වූ තේක්ක වගාව දැව ජාවාරමුන් විසින් කපා දමා තිබෙන්නේ සංවිධානාත්මක ලෙස බවයි පැවසෙන්නේ.

මීට පෙර පැවති යුද හමුදා කඳවුර නිසා එම තේක්ක වගාවට ආරක්ෂාවක් ලැබී තිබූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

මේ පිළිබඳව මුලතිව් අඩවි වන නිලධාරී කාර්යාලය විසින් පුදුකුඩීඉරිප්පු පොලීසියට පමිණිලි කොට තිබෙනවා ෴


රුපියල් කෝටි 72 ක් අපතේ ගියා : ඩලස්ගෙන් රනිල්ට දැඩි විරෝධයක්

(09.12.2024 – 15:37 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 72 කට වැඩි රාජ්‍ය මුදලක් අපතේ යවමින් පළාත් පාලන මැතිවරණය අවලංගු කළ වගඋත්තරකරුවන්ට දේශපාලන වරප්‍රසාද නොසලකා දැඩි දඬුවම් ලබා දිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, එම මුදල පාලකයින් තම වතු ආදායමින් උපයාගත් ඒවා නොව මෙරට මහජනතාවගේ රීරි මාංශ සූරා උපයාගත් මුදල් බවයි.

‘ප්‍රජාතන්ත්‍රවාදය ගබ්සා කිරීමේ වන්දිය ගෙවනු – හිටපු ජනපති රනිල්ට අපරාධ චෝදනාවක්’ මැයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් පරිදි :

“මීට මාස 22 කට පෙර කැඳවූ නාමයෝජනා අවලංගු කොට නව යෝජනා කැඳවීමට ද පළාත් පාලන මැතිවරණයට කඩිනමින් පැවැත්වීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් තම දේශපාලන ශුන්‍යභාවය වසා ගැනීමේ අප්‍රකාශිත අරමුණ සහිතව 2023 ජනවාරි අග සතියේදී අත්තනෝමතික ලෙස ගනු ලැබූ මැතිවරණය අවලංගු කිරීමේ තීරණය නිසාවෙන් පළාත් පාලන මැතිවරණය සඳහා මේ වනවිට වියදම් කොට ඇති රුපියල් කෝටි 72 කට වැඩි රාජ්‍ය මුදල අපතේ යනු ඇතැයි මැතිවරණ කොමිසම උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබුණි.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එවකට ඇස්තමේන්තුගත කරන ලද මුළු පිරිවැය රුපියල් බිලියන 8 කි. ඒ අනුව කිසිදු සාධාරණ හේතුවක් හෝ නොමැතිව මෙලෙස අපතේ යාමට නියමිත මුළු මුදල් ප්‍රමාණය අපේක්ෂිත මුළු වියදමෙන් 10% ක් බව නිරවුල්ය. තව ද මෙම අසීමිත ධනය පාලකයන් තම වතු ආදායමින් උපයාගත් ඒවා හෝ තම පවුලේ ගිණුම්වලින් වෙන්කරගත් මුදල් නොව මහජනතාවගේ රීරි මාංශ සූරා උපයාගත් බව ද අතාර්කිකය.

එබැවින් මහ බැංකු මංකොල්ලය, සීනි බදු වංචාව, වීසා වංචාව වැනි අප දේශපාලන සාහිත්‍යයේ සඳහන් වූ අපරාධ ගොන්නට ‘පුංචි ඡන්ද මංකොල්ලය’ ලෙස මෙය ඇතුළත් කළ යුතු අතර ව්‍යවස්ථාවෙන් හිමි කරගෙන ඇති දේශපාලන වරප්‍රසාද නොසලකා වගඋත්තරකරුවන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි.” යනුවෙන් ඔහු විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

+


ආණ්ඩුවට නරක නාම ගෑවෙන වැඩ කරන්න එපා.. – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (09.12.2024)

+


කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ASP නෙවිල් සිල්වා අත්අඩංගුවට

(09.12.2024 – 18:09 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (09) පස්වරුවේයි.

එහිදී 2023 අගෝස්තු මසදී එම කොට්ඨාසයට පැමිණි පැමිණිල්ලක් මත පැමිණිලි පාර්ශ්වයට වාසි වන අයුරින් විමර්ශනයක් කළ සිද්ධියකට අදාලව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා හෙට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

+


දුර්ලබ මැණික් ගල් දෙකක් (2) එක්ක ගිනස් පොතට ගිය ලාංකිකයා

(09.12.2024 – 14:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකිකයෙකු සතු දුර්ලබ වර්ගයේ මැණික් ගල් දෙකක් (2) ගිනස් වාර්තා පොත් අතරට පසුගියදා එක්ව තිබෙනවා.

ඒ, දැනට ලෝකයෙන් හමු වූ විශාලතම මැණික් ගල් විශේෂ දෙකක් (2) ලෙසින්.

ශ්‍රී ලාංකිකයෙකුට අයත් මෙම විශේෂ මැණික් ගල් දෙක (2) සඳහා පසුගියදා ගිනස් වාර්තා සහතික පත්‍ර නිකුත් කෙරුණා.

ලෝකයේ ඇති විශාලතම ‘බ්ලැක් ස්ටාර් සෆායා’ සහ ‘ග්‍රීන් බ්‍රෙරි කැට්ස් අයි’ නමැති මැණික් ගල් දෙක (2) සඳහායි මෙම ගිනස් වාර්තා සහතික පත්‍ර හිමිව ඇත්තේ.

ඒ අනුව ‘බ්ලැක් ස්ටාර් සෆායා’ මැණික කැරට් 3,621.35 ක බරින් යුක්ත වන අතර ‘ග්‍රීන් බ්‍රෙරි කැට්ස් අයි’ මැණික කැරට් 854.95 ක බරකින් යුක්තයි.

එය මේ වනවිට ලෝකයෙන් හමු වූ එම වර්ගයේ විශාලතම හා දීප්තිමත්ම මැණික් ගල් දෙක (2) වන අතර එම ගල් දෙකේම හිමිකරු ශ්‍රී ලාංකිකයෙකු වීම විශේෂත්වයක් වනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *