සංගීත ප්‍රසංගයකදී ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහරදුන් අයෙකු අත්අත්අඩංගුවට

සංගීත ප්‍රසංගයකදී ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහරදුන් අයෙකු අත්අත්අඩංගුවට


සංගීත ප්‍රසංගයකදී ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහරදුන් අයෙකු අත්අත්අඩංගුවට

(07.12.2024 – 15:26 +0530 – sinhala.adaderana.lk)

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් වන ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහර දුන් බව කියන පුද්ගලයෙකු පානදුර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර උතුර ගොරකාන ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07) පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වූ නදිමාල් පෙරේරාට එම උත්සව ශාලාවේම වෙනත් උත්සව ශාලාවක පැවැති උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකු මෙලෙස පහර දී තිබේ.

පහරදීමේන් තුවාල ලැබූ නදිමාල් පෙරේරා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පානදුර උතුර පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම ගැටුම සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට අයථා බලපෑම් කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම උත්සව ශාලාවේ පැවැති සංගීත ප්‍රසංගය සඳහා නදිමාල් පෙරේරා නියෝජනය කළ සංගීත කණ්ඩායමට සංගීතය සැපයීම සඳහා ආරාධනා ලැබ තිබූණි.

සංගීත ප්‍රසංගය අතරතුරදී ඔහු පහළ මහලට බැස ඇති අතර එහිදී මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.

කෙසේ වෙතත් පහරදීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවද පොලීසිය පවසයි.

තවද පොලීසිය පැවසුවේ මෙම සංගීත ප්‍රසංගය පැවැත්වීම සඳහා පානදුර උතුර පොලීසියෙන් කිසිදු අවසරයක් එම නිවාඩු නිකේතනය හෝ ප්‍රසංගය සංවිධානය කළ පාසල ද ලබා ගෙන නොමැති බවය.

කෙසේ වෙතත් සිද්ධිය සැලවීමෙන් පසු පානදුර උතුර පොලීසියේ ස්ථානාධිපති සංජීව ලක්මාල් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ගැටුම මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ.

පහරදීමෙන් තුවාල ලැබූ ගායන ශිල්පී නදිමාල් පෙරේරා පානදුර මූලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර සැකකරුවන් අද (07) දින පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගැටුමට සම්බන්ධ අනෙක් පුද්ගලයන් සීසීටීවී දර්ශන අධීක්ෂනය කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලීසිය පැවසීය ෴

+


පාතාලයට වැරදුණු වෙඩිල්ල

(07.12.2024 – 10:22 +0530 – sinhala.adaderana.lk)

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පදවිය, බෝගහවැව ප්‍රදේශයේදී පෙරේදා (05) රාත්‍රියේ නිවසක සිටි 73 හැවිරිදි කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීම වැරදීමකින් සිදු වූවක් බව පොලීසිය පවසයි.

ඝාතනයට පැමිණි සැකකරුවන් දෙදෙනා පුල්මුඩේ කඳවුරට අනියුක්ත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ විමර්ශනවලදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

සැකකරුවන් දෙදෙනා ඩුබායි රාජ්යයේ සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ රැල්ල මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වැලිඔය ප්‍රියන්තගේ ගෝලයන් දෙදෙනෙකු බව සඳහන්ය.

ඔවුන් කිරිඉබ්බන්වැව, වැලිඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇත.

එහිදී මෙම ඝාතනය ඇතුළු මනුෂ්‍ය ඝාතන 3ක් සදහා භාවිතා කළ T56 ගිනි අවිය හා එහි පතුරම් ගැබ සහ උණ්ඩ 08ක්, විදේශීය නිෂ්පාදිත රිවෝල්වරයක් හා එහි උණ්ඩ 04ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 61 සහ හෙරොයින් ග්‍රෑම් 105ක් විශේෂ කාර්ය බලකා නිලධාරින් සිය භාරයට ගෙන තිබේ.

ඉහත ඝාතන අතරින් ඒ ඝාතනක් සිදුකර ඇත්තේ ඩුබායිහි සැගව සිටින වැලිඔය ප්‍රියන්ත නැමැත්තාගේ බිරිඳ සමග අනියම් ඇසුරක් පැවැත් වූ තැනැත්තෙකු ඝාතනය කිරීම සඳහා බවද සඳහන්.

කෙසේ වෙතත් අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාට බෝගහවැව ප්‍රදේශයට පැමිණ ඇත්තේ එම නිවසේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ වූ ඝාතනයට ලක් වූ කාන්තාවගේ මිණිබිරියට වෙඩි තැබීමට බව විමර්ශනවලදී හෙළිවී ඇත ෴


නීතිවිරෝධීව ගෙන්වන ලද මෝටර් රථයක් රේගු භාරයට

(06.12.2024 – 19:47 +0530 – sinhala.adaderana.lk)

තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෝටර් රථයක් රේගු ආදායම් අධීක්ෂණ ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.

එම ඒකකය පැවසුවේ රුපියල් මිලියන 24 ක පමණ වටිනාකමින් යුත් ‘ටොයෝටා ප්‍රියස්’ වර්ගයේ නවීන මෝටර් රථයක් මෙලෙස ගෙන්වා ඇති බවය.

ජපානයේ සිට ගෙන්වන ලද බහාලුමක් තුළ තිබියදි මෙම මෝටර් රථය සොයාගෙන තිබේ.

එමෙන්ම පසුගිය මාස දෙක තුළ නීති විරෝධීව ගෙන්වන ලද වාහන අමතර කොටස් 200 ක්ද රේගුව අද මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරනු ලැබීය.


මී ගබඩාවක් වූ පිටි ගබඩාවක් බදුල්ලෙන් වටලයි

(07.12.2024 – 18:21 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – කණුපැලැල්ල ප්‍රදේශයේ පෞද්ගලික පිටි ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි කිලෝ 2,900 ක් සමග එහි පාලකවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නගර සභා ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් විසින් සිදුකළ පරික්ෂාවක් අතරතුරදීයි.

මීයන් විසින් හානිකරන ලද මෙම පාන්පිටි තොගය වෙළදපොළට අලෙවි කිරීමට සූදානම් කර ඇති බව එහිදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් ගබඩා පාලකවරයා බැඳුම්කරයක් මත නිදහස් කර ඇති අතර, පිටි තොගය, මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙව් කිරිමේ චෝදනාව මත බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+


බස්, ලොරි ආනයනය ඉක්මනින් : මානගේ

(07.12.2024 – 17:19 +0530 – hirunews.lk/sinhala)

වාහන ආනයනය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත දිනයක් රජය හෝ කිසිම නිලධාරියෙක් විසින් ප්‍රකාශයට පත්කර නොමැති බව ‘ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය’ පවසනවා.

එහි සභාපති ප්‍රසාද් මානගේ අද (07) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී සදහන් කළේ දෙසැම්බර් මස අග හෝ එළඹෙන වසරේ (2025) ජනවාරියේ දී බස් සහ ලොරි රථ ආනයනය සඳහා අවසර ලබා දෙනු ඇති බවට විශ්වාසයක් පවතින බවයි.

එහිදී පළමු පියවර ලෙස එම වාහන ආනයනත්, දෙවන පියවර ලෙස්නි වාණිජ මට්ටමේ වාහන ආනයනය සඳහා අවධානය යොමුව ඇති බවත් සඳහන් කළ ඔහු, අනෙකුත් වාහන ආනයන සඳහා රට තුල පවතින විදෙස් සංචිත ප්‍රමාණය මත පියවරෙන් පියවර කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම, මේවන තුරුත් වාහන මෙරටට ආනයනය සම්බන්ධයෙන් රජයේ වැඩපිළිවෙල ඉදිරිපත් කර නොමැති බැවින්, විවිධ පාර්ශ්වයන්ගේ ප්‍රකාශයන මත පදනම්ව තමන් සතු වාහනය විකීණීම සඳහා ඉක්මන් නොවන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

+


සහල් තොග හා සිල්ලර මිල පහළට – ජනපතිගෙන් දැඩි උපදෙස්

(07.12.2024 – 20:12 +0530 – hirunews.lk/sinhala)

සහල් තොග හා සිල්ලර මිල පහත දැමීමට ජනපති අනුර කුමාර විසින් සහල් ව්‍යාපාරිකයින්ට අද (07) උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, නාඩු සහල් කිලෝවක් රුපියල් 225 ක තොග මිලටත්, රුපියල් 230 ක සිල්ලර මිලටත් ජනවාතව ලබා දෙන ලෙසටයි ඔහු උපදෙස් ලබා දී ඇත්තේ.

එමෙන්ම, එහිදී මේ පිළිබඳව ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්, ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඔහු විසින් පාරිභෝගික අධිකාරියට දැනුම්දී තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, සහල් ව්‍යාපාරිකයින් සමග අද (07) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

ඒ අනුව, සහල් මිල පහත පරිදි නියම කර තිබෙනවා :

  • නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225 ක් ලෙසත්, සිල්ලර මිල රුපියල් 230 ක් ලෙසත්,
  • සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215 ක් ලෙසත්, සිල්ලර මිල 220 ක් ලෙසත්,
  • ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220 ක් ලෙසත්,
  • සම්බා කිලෝවක තොග මිල රුපියල් 235 ක් ලෙසත්, සිල්ලර මිල රුපියල් 240 ක් ලෙසත්,
  • කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 ක් ලෙසත්, සිල්ලර මිල රුපියල් 260 ක් ලෙසත්,

මිල නියම කර තිබෙනවා ෴


සිසුන් පිරිසක් රැගත් ඔරුවක් පෙරළෙයි – එක් (1) අයෙකු මරුට

(07.12.2024 – 19:29 +0530 – sinhala.adaderana.lk)

සෙල්ලකතරගම අක්කර විස්ස වැවේ විනෝදයට ඔරු පැදීමට ගිය ළමුන් 5 දෙනෙකුගෙන් යුත් ඔරුවක් පෙරළි ගොස් තිබේ.

අද (07) සවස 05:45 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් එක් (1) ළමයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගොස් ඇත්තේ සෙල්ලකතරගම පදිංචි ප්‍රමෝද් නම් 19 හැවිරිදි අයෙකි.

මෙවර උසස් පෙළ හදාරා ඇති ළමුන් පස්දෙනෙකු (5) මෙම ඔරුවේ ගමන් කර ඇති අතර ඔරුව පෙරළීමෙන් පසු ගම්වාසීන් විසින් වහා මැදිහත්ව ඔවුන් බේරා ගැනීමට කටයුතු කර තිබුණි.

මියගිය තරුණයාගේ මළ සිරුර මේ වන විට කතරගම දිසා රෝහලේ තැන්පත් කර ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *