‘වට්ස්ඇප්’ හැකරුන් වැඩිවෙලා : හසු වෙන්න එපා !

‘වට්ස්ඇප්’ හැකරුන් වැඩිවෙලා : හසු වෙන්න එපා !


‘වට්ස්ඇප්’ හැකරුන් වැඩිවෙලා : හසු වෙන්න එපා !

(01.12.2024 – lankadeepa.lk)

‘වට්ස්ඇප්’ ගිණුම්වලට අනවසරයෙන් ඇතුළුවී සිදුකරන මූල්‍ය වංචා ඇතුළු නොයෙකුත් මූල්‍ය වංචා පිළිබඳව තවමත් පැමිණිලි ලැබෙන බැවින් සිය දුරකතනනයට පැමිණෙන කිසිම කේතයක් තෙවැනි පාර්ශ්වයකට ලබා නොදෙන ලෙස නැවත වරක් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ’ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කළේය.

හැකරුන් ‘වට්ස්ඇප්’ කණ්ඩායම්වලට සම්බන්ධ වී සූක්ෂමව එහි පරිශීලකයන් නිරීක්ෂණය කර ඔවුන්ගේ ‘වට්ස්ඇප්’ ගිණුම් ඇප් හැක් කරන බවත් හැක් කරන වට්ස්ඇප් ගිණුම්වල ඇති දුරකතන අංකවලට හදිසි අවස්ථාවක් බව පවසා මුදල් බැර කරන ලෙස හැකරුන් පණිවුඩ යවන බවත් ඒ මහතා පැවැසුවේය. මේ පිළිබඳ කෙතරම් දැනුවත් කළත් තවමත් එම වංචාවලට හසුවන ශ්‍රී ලාංකිකයන් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

ආගමික වැඩසටහනක් සඳහා, ත්‍යාගයක් දිනා ගැනීමට, අධ්‍යාපනික වැඩසටහනක් සඳහා සහභාගී වීමට වැනි ඒ ඒ පරිශීලකයන් අදාළ වන අයුරින් හේතු පවසමින් ‘සූම්’ රැස්වීමකට සහභාගී කරවා ගැනීම සඳහා දුරකතනයට ලැබුණු කේතය ලබා දෙන ලෙස හැකරුන් ඉල්ලා සිටින බවත් නමුත් සැබැවින් ඔවුන් ඉල්ලා සිටින්නේ ‘සූම්’ රැස්වීමකට සම්බන්ධ කරවා ගැනීමේ කේතය නොව හැකරුන්ට වට්ස්ඇප් ගිණුමට ඇතුළු වීමට අවශ්‍ය කේතය බවත් චාරුක දමුණුපොළ මහතා පැවැසුවේය.

ඉල්ලා සිටින කේතය ලබා දුන්හොත් සිය වට්ස්ඇප් ගිණුමේ පාලනය හැකරුන්ට ලැබෙන බවද ඔහු සඳහන් කළේය.

පාලනය ලබා ගැනීමෙන් පසුව එම වට්ස්ඇප් ගිණුමේ ඇති අංකවලට නොයෙකුත් ආකාරයේ හේතු පවසමින් මුදල් ඉල්ලා හැකරුන් පණිවුඩ යවන බවද ඔහු පැවැසුවේය. එවැනි පණිවුඩයක් ලැබුණහොත් ප්‍රථමයෙන් එම වට්ස්ඇප් ගිණුම අයිති පුද්ගලයා අමතා එය තහවුරු කරගත යුතු බවත් තහවුරු කර ගැනීමකින් තොරව කිසිදු පණිවුඩයකට මුදල් බැර කිරීම සිදු නොකළ යුතු බවත් දමුණුපොළ මහතා ප්‍රකාශ කළේය.

වට්ස්ඇප් ගිණුමක් හැක්වී ඇති බව දැනගතහොත් වහාම එම ගිණුම අයිති පුද්ගලයා එහි තිබු අනෙකුත් දුරකතන අංක අමතා ඒ පිළිබඳ දැනුවත් කළ යුතු බවද ඔහු පැවැසුවේය.

ජනතාව මේ පිළිබඳ දැනුවත් වීමෙන් මෙම මූල්‍ය වංචාව ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ හැකියාව තිබෙන බවද ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ’ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා ප්‍රකාශ කළේය ෴


නීතිවිරෝධීව එකලස් කළැයි සැක තවත් ඩිෆෙන්ඩර් රථයක් ගරාජයකින් හමුවෙයි

(01.12.2024 – 11:02 +0530 – sinhala.adaderana.lk)

නීතිවිරෝධීව ලෙස එකලස් කරන ලදැයි සැකකෙරන ‘ලෑන්ඩ් රෝවර්’ වර්ගයේ ජීප් රථයක් පොල්ගස්ඕවිට වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබී සොයාගෙන තිබේ.

ඒ බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවය.

වාහන අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මීට වසර එකහමාරකට (1½) පමණ ඉහතදී මහරගම ප්‍රදේශයේ විහාරාධිපති හිමි නමක් විසින් ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක්, චැසියක්, ටයර් හතරක් (4) සහ පැරණි එන්ජිමක් ගෙනත් දුන් බවය.

අනතුරුව වරින් වර එම රථය සකස් කිරීම සඳහා අවශ්‍ය කොටස් එම හිමියන් විසින් ගෙනත් දුන් බවද ඔහු පවසා තිබේ.

ඒ අනුව මෙම රථය මෙම ස්ථානයට ලබා දුන් බව කියන එම විහාරාධිපති හිමියන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවද පොලීසිය පැවසීය.

මේ වන විට අදාළ ජීප් රථය වැඩිදුර විමර්ශන සඳහා කැස්බෑව පොලීසිය වෙත භාර දී තිබේ.

+


කල්ඉකුත් වූ කඩල, සහල් – රටඉදි ගම්පහින් අල්ලයි

(01.12.2024 – lankadeepa.lk)

උත්සව සමය තුළ වෙළදපොලට නිකුත්කිරීමට සුදනම්කරමින් තිබු නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය ඇතුළු තොරතුරු වෙනස්කළ ආනයනික කඩල, සහල් සහ රටඉඳි ගම්පහ ප්‍රදේශයේ ගබඩාව තිබියදී සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කළ වැටලීමකදී මෙම ආහාර තොගය සොයාගත් බවත් මෙම වෙළෙඳුන් පාරිභෝගික කයුතු පිළිබද අධිකාරිය නිකුත්කළ ගැසට් නිවේදනයකට අනුව වරදක් කර ඇති බැවින් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිත බවත් සමරකෝන් මහතා කීය ෴


විදුලි වාහන ගෙන්වීමේදී මහා පරිමාණ වංචාවක් – වසරකදී රුපියල් කෝටි 800 ක් අවභාවිත වෙලා!

(23.11.2024 – silumina.lk)

විදෙස් රැකියාවන්හි නිරත විගමනික ශ්‍රමිකයන්ට විදුලි වාහන ගෙන්වා ගැනීමට ලබා දුන් බලපත්‍ර ක්‍රමය අවභාවිත කරමින් රුපියල් කෝටි 800 කට අධික වංචාවක් සිදුව ඇති බව ඒ සම්බන්ධව සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත.

විගමනිකයන්ගේ විදෙස් ප්‍රේෂණ නියමිත ක්‍රියාමාර්ග හරහා මෙරටට ගෙන්වා ගැනීම අරමුණු කරගෙන 2022.05.01 දින සිට 2022.12.31 දක්වා කාලය තුළ මෙරටට එවනු ලබන විදෙස් ප්‍රේෂණ අනුව මේ බලපත්‍ර ලබාදීම ආරම්භ කරන ලද අතර ඒ සම්බන්ධ ගැසට් පත්‍රය 2023.02.10 දින නිකුත් කර ඇත.

පසුව 2023.05.31 හා 2024.01.24 දිනැති ගැසට් පත්‍ර දෙකකින් එම බලපත්‍ර ලබාදීමේ කාලය තවත් දීර්ඝ කර තිබේ. ඒ අනුව අමෙරිකන් ඩොලර් 20,000 ක් හෝ ඊට වැඩි මුදලක් එවනු ලබන විගමනික ශ්‍රමිකයකුට රුපියල් මිලියන 12 ක් දක්වා වන විදුලි රථයක් මෙරටට එවීමට අදාළ බලපත්‍ර ලබා දී තිබුණි. එහෙත් ඇතැම් බලපත්‍ර අවභාවිත කරමින් රුපියල් මිලියන 100 ක් වටිනා වාහන ආනයනය කර ඇති බව වාර්තා වේ.

විදත් වාහන බලපත්‍ර 1019 ක් වෙනුවෙන් අනුමැතිය ලබාදී ඇති අතර, අදාළ බලපත්‍රවල වටිනාකම ඇ‍මරිකන් ඩොලර් මිලියන 46 ක් බවද වාර්තා වී ඇත.

එසේම රුපියල් කෝටි 120 කට අධික වටිනාකමකින් යුක්ත වාහන 119 ක් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු ලැබී ඇත. එකම ආයතනයක් ආනයනය කරන ලද වාහන 97 ක් මේ වන විට එක් ස්ථානයක රඳවා ඇති බවද විමර්ශනවලදී දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ විගමනික ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන බලපත්‍ර අවභාවිතාවෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුව ඇති බව තමාට වාර්තා වී ඇති බවත් එම කරුණ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ අරඹා ඇති බවයි.

මේ මහා පරිමාණ වංචාව විදේශ සේවා හා කම්කරු අමාත්‍යාංශයේද සහාය ඇතිව සිදු කර ඇති බවත් මේ සම්බන්ධ පරීක්ෂණ අනුව ඉදිරියේදී මේ සම්බන්ධ සියලු දෙනාටම එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනු ලබන බවත් ඔහු පැවසුවේය ෴


බලශක්ති අර්බුදයට ලංකාවේ VEGA විසඳුම – එක චාර්ජ් එකෙන් 150Km ක් – මෙන්න වාහනේ (01.12.2024)

+


01-12-2024

+


+


බෙලරුස් අත්අඩංගුවෙන් ‘ලොකු පැටී’ නිදහස් : නිදහස් වීමේ ප්‍රීතියට ඩුබායි පාතාලයේ සාදයක්

(02.12.2024 – mawbima.lk)

‘ක්ලබ් වසන්ත’ හෙවත් ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ ‘සුජීව රුවන් කුමාර’ හෙවත් ‘ලොකු පැටී’ නමැත්තා බෙලරුස්හිදී අත්අඩංගුවෙන් පසුගිය දා නිදහස්ව ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

මෙම පුද්ගලයා පසුගිය අගෝස්තු මාසයේදී බෙලරුස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූයේ, ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බවට වාර්තා විය.

එරට ආගමන විගමන බලධාරීන් විසින් ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ තවත් ප්‍රබල අපරාධකරුවෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ ද සමගින් බව වාර්තා වේ.

ඔහු මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ ද ඔහු රැගෙන ඒමට මත්තෙන් පසුගිය සතියේදී බෙලරුස් අත්අඩංගුවෙන් මෙසේ නිදහස්ව ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔහුගේ නිදහස් වීම සමරා ශ්‍රි ලංකාවේ ප්‍රදේශ ගණනාවක ඔහුගේ ගෝල බාලයන් රතිඤ්ඤා දල්වමින් ප්‍රීතිය පළ කර ඇති අතර ඩුබායි හිදී ඔහුගේ හිතවත් පාතාල කල්ලි සාමාජිකයන් විසින් සුපිරි සාදයක් ද පවත්වා ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ අතර, ‘කංජිපානි ඉම්රාන්’ ද මේ වනවිට බෙලරුස් අත්අඩංගුවෙන් නිදහස්ව ඇති බව අනාවරණය වේ.

මෙම පුද්ගලයා බෙලරුස් අත්අඩංගුවේ සිටින අතරේ ඔහු මෙරටට රැගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න පියවර ගත් අතර ඔහුද පසුගිය කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරු කෙරිණි ෴


ලංකාවම අල්ලන බය හිතෙන කුමන්ත්‍රණයක් දැන් වැඩේ පටන් අරන් ඉවරයි – ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න (02.12.2024)

++++++++

මහාචාර්ය රාජ සෝමදේවගෙන් ඇදහිය නොහැකි මොළේ රිදෙන හෙළිදරව්වක් (02.12.2024)

+


තිදෙනෙක් (3) රෝහලට යැවූ මෝටර් රථයේ කරණම

(02.12.2024 – 12:17 +0530 – hirunews.lk/sinhala)

මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ රාහුල මංසන්ධිය අසලදි ඊයේ (01) රාත්‍රියේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇති බව මාතර පොලිසිය පවසනවා.

මෙම මෝටර් රථය අකුරැස්ස දෙස සිට මාතර දෙසට ධාවනය කරමින් තිබියදී මෝටර් රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබෙනවා.

මාර්ගය අයිනේ තිබූ විදුලි පහන් කණුවකට ද මෙම අනතුරින් අලාභ හානි සිදුව ඇති අතර, අනතුර සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

+


පොල් ගෙඩියක් රුපියල් 200 ට නගී

(02.12.2024 – 08:10 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳපොළේ තවදුරටත් පොල් සහ සහල් මිල ඉහළ යමින් පවතින බව පාරිභෝකයින් චෝදනා කරනවා.

එමෙන්ම වෙළෙඳපොළේ පොල් මිලද තවදුරටත් ඉහළ අගයක පවතිනවා.

ඒ අනුව, ඇතැම් ස්ථානවල පොල් ගෙඩියක මිල රුපියල් 200 ක් පමණ වන බවටයි වාර්තා වෙන්නේ.

එසේම ඇතැම් ප්‍රදේශවල පොල් හිගයක්ද පවතියි.

එමෙන්ම වෙළෙඳපොළ තුළ සහල් හිගයක් ද නිර්මාණය වී ඇති අතර, ඇතැම් සුපිරි වෙළෙඳසැල් සහල් ලබාදෙන ප්‍රමාණය ද සීමා කර තිබෙනවා.

වෙළෙඳපොළේ පවතින නාඩු සහල් හිගයට සහ සහල් මිල පාලනය කිරීම සඳහා නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළා.

කෙසේ වෙතත් පාරිභෝගිකයින් චෝදනා කළේ වෙළෙඳපොළ තුළ රජයේ පාලන මිල ද ඉක්මවා සහල් අලෙවි කරන බවටයි.

පසුගිය දිනවල බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ආර්ථික මධ්‍යස්ථානවල මෙන්ම සාමාන්‍ය එළවළු අලෙවි කරන ස්ථානවලද මිලද ගණන් ඉහළ ගොස් තිබෙනවා ෴


මෙරට ඉතිහාසයේ දෙවැනි (2) අගවිනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු දිවුරුම් දෙයි

(02.12.2024 – 11:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරිය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිදුෂිණි ප්‍රනාන්දු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (02) පෙරවරුවේ දිවුරුම් දුන්නා.

මෙරට අගවිනිසුරු ධූරයට පත් දෙවන (2) කාන්තාව ලෙසත්, ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙසත් ඇය ඉතිහාසයට එක්වෙයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය විශ්‍රාම යෑමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ඇයගේ නම ව්‍යවස්ථා සභාව විසින් පසුගියදා අනුමත කර තිබෙනවා.

1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවට එක් වූ ඇය, 1997 වසරේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුරයටත්, 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් ධුරයටත් උසස්වීම් ලබා තිබුණා.

ඇය රජයේ නීතිඥවරියක ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳී වසර 30 කට වැඩි කාලයක් එහි සේවය කර තිබෙන අතර, 2018 මාර්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කර තිබෙනවා.

මුදු ප්‍රනාන්දු මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස සේවය කළ අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරියද වනවා.

මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන මුර්දු ප්‍රනාන්දු විනිසුරුවරිය, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබා ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *