අනුරාධපුර ශික්ෂණ රෝහලේ විරල ගණයේ සිව් (4) නිවුන් දරු උපතක්
(30.11.2024 – 15:49 +0530 – sinhala.adaderana.lk)
දරු සම්පතක් යනු මව්පියන්ට හිමිවන ඉහළම සතුටකි.
ඒ අතරින් නිවුන් දරු උපතක් යනු මව්පියන්ගේ සතුට දෙගුණ තෙගුණ කරවන්නක් ද වේ.
ඒ අනුව දුර්ලභ සිව් (4) නිවුන් දරු උපතක් අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් ‘අද දෙරණ’ට වාර්තා විය.
මෙම වාසනාවන්ත සිව් නිවුන් දරු උපතට හිමිකම් ලැබුවේ 28 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවකි.
ඇය පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මෙම සිව් නිවුන් දරුවන් බිහිකරන්නේ වසර ගණනක් දරුපල ප්‍රමාදව සිටින අතරතුරයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලය මව් කුසතුළ සිටින්නේ සිව් නිවුන් දරුවන් බවට හඳුනාගත් මොහොතේ පටන් නිරෝගී දරු උපතක් වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරා තිබේ.
සිසේරියන් සැත්කමක් මගින් මෙලොව එළිය දුටු මේ දරුවන් මේ වනවිට නොමේරූ ළදරු ඒකකය තුළ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් පවසයි.
එමෙන්ම මවගේ සෞඛ්‍ය තත්ත්වයද ඉතා යහපත් බවද වෛද්‍යවරු පැවසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිව් නිවුන් දරු උපතක් වාර්තා වීම ප්‍රථම අවස්ථාවට සිදුවීම හේතුවෙන් එය රෝහලට ඉතා වැදගත් සිදුවීමක්ද වී තිබේ.
මේ සම්බන්ධව අදහස් දැක්වූ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය දිනේෂ් බියගම මහතා පැවසුවේ මෙවන් අදහසක් :
“මේක ඉතාම විරල අවස්ථාවක්. හේතුව තමයි සිව් දරු උපත් සිදුවන්නේ බොහෝ වෙලාවට මද සරු බවට ප්‍රතිකාර ගන්නකොට. නමුත් කිසිම ප්‍රතිකාරයක් නොමැතිව බබාලා හතරක් (4) එකපාර පිළිසිඳ ගැනීම බොහෝම කලාතුරකින් සිදුවන්න පුළුවන් දෙයක්. අපිට පුළුවන් වුණා මවගේ පූර්ව ප්‍රසව කාලය සති 31 දක්වා ගෙනයන්න. ඒ නිසා අපිට සාමාන්‍යෙයන් කිලෝග්‍රෑම් 1.4 – 1.5 ත් අතර බබාලා හතරම (4) නිරෝගීව සිසේරියන් සැත්කමකින් බිහිකරගන්න පුළුවන් වුණා.”
අනුරාධපුර ශික්ෂණ රෝහල යනු අනුරාධපුර ඇති ප්‍රධානම රෝහලයි. මෙම රෝහල තුළ මසකට දරු උපත් 600 කට අධික සංඛ්‍යාවක් සිදුවේ.
ඒ අතරින් 75 ක් පමණ නොමේරූ ළදරු ඒකකවලට යොමු කිරීම අනිවාර්ය වුවත් රෝහල තුළ නොමේරූ ළදරු ඒකකයට අවශ්‍ය දරුවන්ගේ උෂ්ණත්වය රඳවාගැනීමේ යන්ත්‍ර හෙවත් ‘ඉන්කියුබේටර්’ යන්ත්‍ර අවම වීම මේ වනවිට විශාල ගැටලුවක් බවට පත්ව තිබේ.
වෛද්‍යවරු පැවසුවේ රෝහල තුළ මේවනවිට ඉන්කියුබේටර් යන්ත්‍ර 6 ක් පමණ පවතින නමුත් එම යන්ත්‍ර ද නිසි ක්‍රියාකාරීත්වයෙන් තොර බවයි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්.ආර්.එස්.යූ.සී. රණවක මහතා පැවසුවේ මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් නුදුරු අනාගතයේදී මෙම ඒකයෙන් ලබා දෙන ප්‍රතිකාර අඩාල විය හැකි බවය.
“අඩු මාසයෙන් අඩු බරින් ඉපදුනාම විවිධ සංකූලතා එන්න පුළුවන්. පෙනහැලි ආබාධ, මොලයට ලේ ගැලීම්, බඩවැල් නරක්වීම් සහ විෂබීජ යෑමේ ප්රවනතාව. ඒවා සුපරීක්ෂාකාරීව පරීක්ෂා කරමින් එම දරුවන්ට ප්‍රතිකාර කළ යුතුයි. මේ දවස්වල පවතින විශාලම ගැටලුව වන්නේ එම ඉන්කියුබේටර් යන්ත්‍ර අඩුම වශයෙන් 12 ක් මෙම ඒකකයේ තිබිය යුතුයි. දැනට තියෙන්නේ එම ඉන්කියුබේටර් යන්ත්‍ර 6 ක් පමණයි. මෙම 6 ත් උපරිම ආකාරයෙන් ක්‍රියාකරන්නේ නෑ. මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනොත් මෙම ඒකකය මගින් ලබා දෙන ප්‍රතිකාර අනාගතයේදී අඩාල වෙන්න පුළුවන්.”
+
මහරගම බිහිසුණු රිය අනතුරකින් අයෙක් මරුට
(30.11.2024 – 17:01 +0530 – sinhala.adaderana.lk)
මහරගම පමුණුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්ද ප්‍රදේශයේ පදිංචි ‘සුපුන් සුලෝකන අකලංක’ නැමැති 30 හැවිරිදි අයෙකි.
ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ නිරතව සිටි කළමණාකරණ සහකාරකවරයෙකු බවද පොලීසිය පවසයි.
ඔහු ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල දෙස සිට යතුරු පැදියෙන් පමුණුව දෙසට එමින් සිටියදී නව රෝහල දෙසට ධාවනය වූ සුඛෝපභෝගී ජීප් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මෝටර් රථ දෙකක (2), ත්‍රීරෝද රථයක (1) සහ යතුරුපැදියක (1) ගැටී අනතුර සිදුව තිබුණි.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
සිද්ධය සම්බන්ධව මහරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
+
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම් මාර්ගයේ වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලය අසල මාර්ගයේ අද (30) සවස සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් තුවාල ලබා තිබේ.
ඒ, නවතා තිබූ මෝටර් රථයක තවත් මෝටර් රථයක් ගැටීමෙනි.
තුවාල ලැබූවන් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.
නවතා තිබූ මෝටර් රථයේ පුද්ගලයන් 4 දෙනෙකු සිට ඇති අතර පිටුපස අසුනේ සිටි කාන්තාව සහ ඇයගේ දියණිය මෙලෙස තුවාල ලබා තිබුණි.
අනතුරත් සමග නවතා තිබූ මෝටර් රථය අසල පිහිටි ගලක වැදී ඇත ෴
STF නම කැත කරන්න පාතාලයෙන් අලුත් උපායක්
(30.11.2024 – 14:19 +0530 – sinhala.adaderana.lk)
මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬලීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් සිදුකරන පොලිස් විශේෂ කාර්ය බලකායේ ක්‍රියාකාරී නිලධාරීන් ඉලක්ක කර පාතාල කල්ලි සාමාජිකයන් සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවට මේ වනවිට කරුණු අනාවරණ වී තිබේ.
එම අනාවරණය කරගත් කරුණු අනුව හෙළිවී ඇත්තේ, ක්‍රියාකාරී නිලධාරීන්ට සමාජ මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කර ඔවුන්ව එම තනතුරුවලින් ඉවත් කිරීමට අවශ්‍ය මතවාදී බලපෑම ඇතිකිරීම බවය.
මෙරට තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬලීමට සුවිශේෂී කාර්යභාරයක් සිදුකරන පොලිස් විශේෂ කාර්ය බලකාය, පසුගිය මාස හතරක (4) කාලය තුළ පමණක් මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට සමත් විය.
හෙරොයින් කි.ග්රෑ. 350 ක්, අයිස් කි.ග්රෑ. 140 ක්, කේරල ගංජා කි.ග්රෑ. 6,860 ක් ඇතුළු විවිධ විෂ මත්ද්‍රව්‍ය ඒ අතර විය.
පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ ආසන්තම වැටලීම වූයේ මීට දින කිහිපයකට පෙර ‘උණාකූරුවේ ශාන්ත’ නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය තොගයක් මීගොඩ ප්‍රදේශයේදී සිය භාරයට ගැනීමය.
එමෙන්ම පාතාල කල්ලි සාමාජිකයන් රැසක්ද ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පාතාල මර්දන මෙහෙයුම් ද අඛණ්ඩව සිදුකරනු ලබයි.
ඒ හේතුවෙන් ‘රත්ගම විදුර’, ‘ශිරාන් බාසික්’, මරණ දඬුවම හිමිව සිටින ‘දෙමටගොඩ චමින්ද’ නැමැත්තාගේ පුත්‍රයා වන ‘මලීශ ගුණරත්න’, බෙලරූස් හී අත්අඩංගුවේ පසුවන ‘ලොකු පැටී’, ‘බටුවත්ත චාමර’ හා ‘කංජිපානි ඉම්රන්’ යන අයගේ මෙහෙයවීමෙන් මේ වනවිට රුපියල් කෝටි 6 ක පමණ මුදලක් වියදම් කර සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත.
ඔවුන් විදෙස්ගතව සිට යූ-ටියුබ් නාලිකා කිහිපයක් පවත්වාගෙන යන පිරිස්වෙත එම මුදල් ලබාදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ක්‍රියාකාරී නිලධාරීන් පිළිබඳව සමාජයේ පවතින විශ්වසනීයත්වය බිඳහෙලීම සඳහා අසත්‍ය පුවත් ප්‍රචාරය කරන ලෙස දන්වා ඇති බව වාර්තා වේ.
එමගින් අදාළ නිලධාරීන් පිළිබඳව වැරදිමතයක් සමාජය තුළ ඇති කර ඔවුන්ට ස්ථාන මාරුවීම් ලබාදී තම ජාවාරම් කටයුතු දිවයින තුළ බාධාවක් නොමැතිව කරගෙන යාම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හා පාතාල කල්ලි සාමාජිකයන්ගේ අරමුණ බවද ආරක්ෂක අංශ පවසයි ෴
රුපියල් කෝටි 6 ක වත්කම් කොල්ලකෑ 9 ක් අත්අඩංගුවට
(30.11.2024 – 11:01 +0530 – sinhala.adaderana.lk)
අවි පෙන්වා බියගන්වා රුපියල් කෝටි 6 කට අධික වටිනාකමකින් යුත් නිල් මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමකට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත්බව පොලීසිය පැවසීය.
නොවැම්බර් මස 10 වනදා ලග්ගල පොලිස් වසමේදී සිදුවූ කොල්ලකෑමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මාවතගම හා පොල්පිතිගම පොලිස් වසම්වලදී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් විසින් කොල්ලකන ලද රුපියල් කෝටියකට (1) අධික මුදලක්, රන් පවුම් 7 ක් සහ අපරාධය සඳහා භාවිතා කළ සෙල්ලම් පිස්තෝල 2 ක්, පිහියක් සහ වෑන් රථයක්ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර චීවරධාරියෙක්ද සිටින අතර, ඔවුන් අවුරුදු 38 ත් 49 ත් අතර වයස්වල පසුවන වත්තේගම, සපුගස්කන්ද, පොල්පිතිගම, කුරුණෑගල, රත්නපුර හා විල්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි ෴
++++++++
මහ විරු සමරලා කියලා රට කළඹන්න පරණ ෆොටෝ වීඩියෝ දාපු අයට වැඩ වරදියි. කැලුම් ජයසුමන CID අත්අඩංගුවට (01.12.2024)
+
අම්පාරේදී සැඩ පහරට හසුව අතුරුදන් වූ තවත් සිසුවෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ
(30.11.2024 – 17:55 +0530 – sinhala.adaderana.lk)
අම්පාර කාර්තිව් ප්‍රදේශයේ ට්‍රැක්ටර් රථයක් සැඩපහරට හසුව පෙරළීයාම හේතුවෙන් දියේ ගිලී අතුරුදන්වු තවත් පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලිසිය පැවසුවේ නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී අද (30) උදෑසන එම සිසුවාගේ මළ සිරුර සොයාගත් බවය.
පසුගිය 26 වනදා පස්වරුවේ නින්දවුර් ප්‍රදේශයේ සිට සමන්තුරෙයි ප්‍රදේශයට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් පැවති ජල ගැලීම් තත්වය හමුවේ සැඩපහරට හසුව පෙරළී යාමෙන් එහි ගමන් කළ පාසල් සිසුන් 14 දෙනෙකු දියේ ගිලී අනතුරට ලක්ව තිබු අතර ඉන් සිසුන් 08 දෙනෙකු මුදා ගැනීමට හැකි තිබුණි.
සිසුන් 05 දෙනෙකුගේ මළ සිරුරු මීට පෙර සොයාගෙන තිබු අතර ට්‍රැක්ටර් රථ රියදුරු සහ එහි ගමන් කළ තවත් පුද්ගලයෙකුගේ (1) මළ සිරුරක් ද පසුගිය දා සොයාගත් ගැනුණි.
ඒ අනුව අදාල සිද්ධියෙන් මියගිය පාසල් සිසුන් ඇතුළු 08 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබේ ෴
+
අම්පාරේ ට්රැක්ටරය සැඩපහරට හසුවූ හැටි දිවිගලවා ගත් සිසුවෙකු හෙළිකරයි
(30.11.2024 – 21:04 +0530 – sinhala.adaderana.lk)
පසුගිය 26 වැනිදා අම්පාර කාර්තිව් ප්‍රදේශයේ දී ට්‍රැක්ටර් රථයක් සැඩපහරට හසුව පෙරළීයාමෙන් මියගිය පාසල් සිසුන් ඇතුළු 08 දෙනෙකුගේ මළ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.
එලෙස දියේ ගිලී අතුරුදන් වූ තවත් සිසුවෙකුගේ මළ සිරුරක් අද (30) සොයාගත්තේය.
ඒ නාවික හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදීය.
අදාළ අනතුරින් දිවිගලවා ගත් සිසුවෙක් අනතුර සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය :
“මද්රසා පාසලේ ඉඳලා කාර්තිව් වෙනකම් අපි බස් එකේ ආවේ. හවස 03:30 යි වෙලාව. බහින්න ළංවෙද්දි ළඟ ඉන්න අය කිව්වා ට්රැක්ටර්වලින් මිනිස්සු ගෙනියනවා කියලා. අපි 11 දෙනත් ට්‍රැක්ටරයට නැග්ගා. ටික දුරක් යද්දි ට්‍රැක්ටරයේ ඉස්සරහ රෝදය ගංවතුර නිසා පැත්තකට පෙරළුණා. පිටිපස්සේ අය ඔක්කොම වැටුණා වතුරට. ඊට පස්සේ මුළු ට්‍රැක්ටරයම ගිලුණා. එහා පැත්තෙ අයියා කෙනෙක් ඇවිත් දෙන්නෙක්ව ඇදලා ගත්තා. මම එතැනින් ඉස්සරහටම ගහගෙන ගිහින් ළඟ තිබුණ ගහක් අල්ලගත්තා. ඊට පස්සේ ගහට නැග්ගා. බෝට්ටුවක් ළඟට ආවා. මම කෑගැහුවා. ඇහුනේ නැහැ. දෙවැනි පාර රවුමක් ගහලා බෝට්ටුව ආයෙත් එද්දි තමයි මාව දැක්කේ. මාව බෝට්ටුවට දා ගත්තා. මම වෙච්ච දේ කිව්වාම එයාලා ගිහින් බැලුවා. එතකොටත් එක්කෙනෙක් ගහගෙන යනවා. මාව බෝට්ටුවෙන් ගෙනත් දැම්මා.”
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ
(30.11.2024 – 19:10 +0530 – hirunews.lk/sinhala)
ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.
92 පෙට්‍රල් ලීටරයක රුපියල් 311 ක්ව පැවති මිල රුපියල් 2 කින් පහළ දමා ඇති අතර එහි නව මිල 309 ක් වෙනවා.
රුපියල් 283 ක්ව පැවති, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 286 ක්.
එමෙන්ම රුපියල් 183 ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 188 ක් වෙනවා.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක සහ සුපර් ඩීසල් ලීටරයක මිල සංශෝධනය වී නොමැති අතර, ඒ අනුව රුපියල් 371 ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල එලෙසත්, රුපියල් 313 ක්ව පැවැති සුපර් ඩීසල් ලීටරයක මිලත් එලෙසම පවතිනු ඇති.
මීට සමගාමීව ලංකා IOC සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශයට පත් කළ මිල පරාසයන්වලින් ඉන්ධන මිල සංශෝදනය කර තිබෙනවා.
+
අනාරක්ෂිත ඛනිජ කැණීමක් නිසා ජන ජීවිත අනතුරේ
(30.11.2024 – 20:56 +0530 – hirunews.lk/sinhala)
සබරගමුව පළාතේ පල්ලෙබැද්ද – කොස්වැටිය ප්‍රදේශයේ දෝනා ආකාරයට පවත්වාගෙන යන අනාරක්ෂිත ‘කැල්සයිට්’ හා ‘ඩොලමයිට්’ කැනීම් හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.
‘හිරු සී.අයි.ඒ.’ කළ විමර්ශනයේදී හෙළිවූයේ මෙම කැණීම් භූමිය තුල මීට පෙර ජීවිත හානි ද කිහිපයක් සිදුව ඇති බවයි.
රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ පල්ලෙබැද්ද කොස්වැටිය ප්‍රදේශයේ මෙරට සතු තවත් වටිනා ඛණිජ සම්පතක් වු කැල්සයිඩ් හා ඩොලමයිට් නිධියක් අක්කර ගණනාවක් පුරා විහිදී පවතිනවා.
එම ඛනිජ පොළව අභ්‍යන්තරයේ පවතින හෙයින් නිසි ලෙස කැණීම් සිදුකරන්නේ නම් ඊට ඉහළින් ඇති මහා පරිමාණ කළුගල් තීරය ක්‍රමානුකූලව ඉවත් කළ යුතු වනවා.
එහෙත් මිනිස් ජීවිත තඹ සතයකට හෝ මායිම් නොකරන ඇතැම් කැල්සයිට් හා ඩොලමයිට් ව්‍යාපාරිකයන් තම සේවකයන්ව දැඩි අනාරක්ෂිත තත්ත්වයේ ඇති මෙම කලුගල් කුල යට කැණීම් සිදුකිරීමට යොදවා තිබෙනවා.
අතිශය අවදානම් මට්ටමක පවතින මෙම ගුහාව මේ වනවිට ඇත්තේ මෙවැනි ආධාරක කිහිපයක් මත පමණක් වන අතර, මෙම භූගත ගුහාව තුල මාර්ග සාදා බැකෝ, ටිපර් ඇතුළු කර කැණීම් සිදුකරනු ලබනවා.
දැඩි අවදානම් සහිත කැල්සයිට් හා ඩොලමයිට් කැනීම් භූමියට ඉන්ධන රැගෙන ගොස් සිටියදී කළුගල් කොටසක් වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයටද පත්ව තිබෙනවා.
අතිශය අවදානම් තත්ත්වයක් තුළ තවදුරටත් සේවකයින් 30 කට අධික ප්‍රමාණයක් දිනපතා මෙලෙස සේවයේ යොදවා තිබෙනවා.
මෙම අනාවරණයෙන් පසුවත් තව කොතෙක් කලක් සේවක ජීවිත අවධානමේ හෙළමින් මෙම කැල්සයිට් හා ඩොලමයිට් කැනීමට මෙරට වගකිව යුතු බලධාරීන් ඉඩ දෙනවාද?
‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන්.
+
තාත්තගෙ නිර්මාණවලින් අම්මා අපිව ඈත් කළා – ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ දුව මංජුලා මහත්මිය (29.11.2024)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴