ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සැප රියක් ලියාපදිංචි කිරීමේ සිද්ධියට අදාළ RMV නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු පස් දෙනාට (5) ඇප

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සැප රියක් ලියාපදිංචි කිරීමේ සිද්ධියට අදාළ RMV නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු පස් දෙනාට (5) ඇප


ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සැප රියක් ලියාපදිංචි කිරීමේ සිද්ධියට අදාළ RMV නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු පස් දෙනාට (5) ඇප

(29.11.2024 – 15:05 +0530 – hirunews.lk/sinhala)

රේගු බදු නිසි පරිදි නොගෙවා ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර සුඛෝපභෝගී මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු පස් දෙනෙකු (5) හා අදාළ වාහනයේ හිමිකරු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව එක් එක් සැකකරු රුපියල් මිලියනය (1) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ අවසරයකින් තොරව සැකකරුවන්ට විදේශගත විය නොහැකි බවටත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ, 2015 වසරේ අදාළ වාහනය ලියාපදිංචි කර ඇති බව සඳහන් කළත් එය සත්‍ය වශයෙන්ම ලියාපදිංචි කර තිබෙන්නේ 2019 වසරේ බවයි.

ඊට අදාළ අංක තහඩු නිකුත් කර තිබෙන්නේ 2019 වසරේ යැයි පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය, මෙම වාහනයට අදාළ අංකයට වාහන දෙකක් (2) ලියාපදිංචි කර තිබෙන බව සඳහන් කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇය ඉල්ලා සිටියා.

මෙහිදී විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන්ගේ ප්‍රකාශ ලබා ගැනීමකින් තොරව හා චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමකින් තොරව සිය සේවා දායකයින්ට එරෙහිව මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කිරීම යුක්ති සහගත නොවන බව සඳහන් කළා.

අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව ඔවුන් අධිකරණය හමුවට පැමිණ තිබෙන බවත් ඔවුන් ඇප මත මුදාහරින ලෙසත් විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, විමර්ශනවලට බලපෑම් නොකිරීමේ කොන්දේසියට යටත්ව සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියෝග කරන බවත් සඳහන් කළා.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය පෙබරවාරි මස 21 වැනිදා ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් අල්ලස් කොමිසමට නියෝග කළා ෴

+


ස්ටේශමේ නැති, ත්‍රීවීල් පාක් එකේ ඇති | දුම්රියේ ටිකට් බුකින් වංචාව මෙන්න (29.11.2024)

+


ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනියි

(29.11.2024 – news.navy.lk)

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර සිදු කෙරුණු සාර්ථක බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් වශයෙන්, ‘අයිස් මත්ද්‍රව්‍ය’ (Crystal Methamphetamine) විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් සහ එම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් මෙරට බහුදින යාත්‍රාවක් (01) සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් 2024 නොවැම්බර් මස 24 සහ 25 යන දිනයන්හීදී ඉන්දීය නාවික හමුදාව මඟින්, ඉන්දීය මුහුදු සීමාවේදි අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

එම ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගය, බහුදින ධීවර යාත්‍රා සහ සැකකරුවන් අද දින (2024 නොවැම්බර් 29) ශ්‍රී ලංකා නාවික නෞකා ගජභාහු නෞකාව වෙත ඉන්දීය නාවික හමුදාව විසින් භාර දීමට කටයුතු කෙරුණු අතර, නාවික හමුදාව විසින් එම අයිස් මත්‍ද්‍රව්‍ය තොගය, බහුදින ධිවර යාත්‍රා සහ සැක කරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන ඒමට ඉදිරි කටයුතු සිදු කෙරෙමින් පවති ෴

+++++++

+


ලග්ගල රුපියල් කෝටි හයේ (06) මැණික් කොල්ලයට 09 ක් අත්අඩංගුවට

(30.11.2024 – 10:39 +0530 – hirunews.lk/sinhala)

ලග්ගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි 06 කට අධික නිල් මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (29) මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාවතගම සහ පොල්පිතිගම ප්‍රදේශවලදීයි.

එහිදී ඔවුන් සතුව තිබූ රුපියල් කෝටියකට (01) අධික මුදලක්, රන් පවුම් 07 ක්, අපරාධය සදහා යොදගත් සෙල්ලම් පිස්තෝල දෙකක් (02) සහ පිහියක් (01) මෙන්ම වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අවුරුදු 38 ත් 49 ත් අතර, වයස්වල පසුවන මොවුන් වත්තේගම, සපුගස්කන්ද, පොල්පිතිගම, කුරුණෑගල, රත්නපුරය සහ විල්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන්.

ගිනිඅවි පෙන්වා බියගන්වා පසුගිය 10 වනදා මෙම කොල්ලය සිදුව තිබෙනවා ෴


බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්

(30.11.2024 – 10:43 +0530 – hirunews.lk/sinhala)

2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30.11.2024) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

ඒ අනුව, එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, මාර්ගගත ක්‍රමයට පමණක් ආදායම් බදු වාර්තා ලබා ගන්නා බවත්, ඒ සඳහා තාක්ෂණික සහාය ලබා දීමට එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ප්‍රාදේශීය හා නගර කාර්යාල සාමාන්‍ය රාජකාරී දිනයක් මෙන් අද (30) දින විවෘතව පවතින බවයි.

එමෙන්ම, ආදායම් බදු ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ජාවත්ත කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති ලංකා බැංකු ශාඛාව ද අද (30) දිනයේ විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා ෴


මෙරට ප්‍රථම වරට නෞකාවෙන් නෞකාවකට ද්‍රව භාණ්ඩ හුවමාරු කරයි

(30.11.2024 – 09:48 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට වරාය මගින් පළමු වරට නෞකාවෙන් නෞකාවකට ද්‍රව භාණ්ඩ හුවමාරුව ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, සිංගප්පූරු සමාගමක් වන ‘ෂිප්ලෝඩ් මැරිටයිම්’ සමග එක්ව ‘ලාෆ් ගෑස් සමාගමේ’ නෞකාවකට ද්‍රව පෙට්‍රෝලියම් වායූ හුවමාරුව සිදු කර ඇති බවයි එම වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඒ අනුව, ද්‍රව පෙට්‍රෝලියම් වායූ මෙට්‍රික් ටොන් 3,170 ක් ‘ලාෆ් සමාගම’ට අයත් නෞකාව වෙත යොමු කර තිබෙනවා.

මෙම තත්වය හමුවේ මෙරට පවතින ‘ලාෆ් ගෑස්’ හිගය කඩිනමින් මගහැරුණු ඇති බවයි වාර්තා වන්නේ ෴


වන අලි ප්‍රහාරයකින් ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට

(30.11.2024 – 07:36 +0530 – hirunews.lk/sinhala)

වන අලියෙකු පහර දීම නිසා මැදවච්චිය පූනෑව නාවික හමුදා කදවුරේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ඊයේ (29) රාත්‍රියේ මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ එම කදවුරේ ප්‍රවාහන අංශය බාර සිටි ලුතිනන් කමාන්ඩර් ජේ.ඒ.එම්.සී. ජයකොඩි නැමති නිලධාරියායි.

රාත්‍රී 10:30 ට පමණ වන අලියා පහර දීමෙන් පසුව බරපතල තුවාල ලැබූ මෙම නිලධාරියාව වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම නිලධාරියා නිට්ටඹුව මාතලාන ප්‍රදේශයේ පදිංචි අයෙක්.

පූනෑව පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද සඳහන් ෴


කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා – නීතිපති අධිකරණයට කියයි

(29.11.2024 – 21:49 +0530 – sinhala.adaderana.lk)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා ව්‍යාජ කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර ඇති බව නීතිපතිවරයා අද (29) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට කියා සිටියේ, අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් එවක කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශ ඔස්සේ මේ බව තහවුරු වන බවය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළ නීති කෘත්‍යය මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවිය.

එහිදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෙම නඩුවේ පළමු (1) සැකකරු වන ‘සුදත් ජනක ප්‍රනාන්දු’ සහ ඇප මත මුදාහැර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රමුඛ සෙසු සැකකරුවන් 10 දෙනා ද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් එවක කැබිනට් මණ්ඩල සාමාජිකයින්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගත් ප්‍රකාශවල සම්පිණ්ඩන වාර්තාවක් රජයේ නියෝජ්‍ය ජනරාල්වරිය අධිකරණයට ඉදිරිපත් කළාය.

“ස්වාමිනි, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිය ප්‍රකාශයෙන් කියා තිබෙනවා, කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමේදී එහි ඇතුළත් කරුණු තහවුරු කළ හැකි ලේඛන ඉදිරිපත් කිරීම අමාත්‍යාංශ ලේකම්වරයාගේ වගකීම කියලා. ඒ වගේම අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබඳ අමාත්‍යවරයා සෑහිමකට පත්වෙනවා නම් පමණක් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවටත්. එවැනි පසුබිමකයි ස්වාමිනි ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින්, අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ සඳහන් නොකර මෙය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කර තිබෙන්නේ.

ඒ වගේම ස්වාමිනි අප, හිටපු අමාත්‍යවරුන්ගෙන් විමසීමක් කළා කුමන පදනමකින්ද මෙම කැබිනට් පත්‍රිකාවට අවසර දුන්නේ කියලා. ඔවුන් සියලුදෙනා පොදුවේ කියූ කරුණක් තමයි එම හදිසි ඖෂධ මිලදීගැනීමට අවසර නොදුනහොත් සතියකින් මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩාවැටිය හැකි බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වූ බැවින්, ඊට අවසර දුන් බව. එසේම අවශ්‍ය ඖෂධ මොනවාද යන්න හෝ කැබිනට් පත්‍රිකාවේ සඳහන් නොවු පසුබිමක හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කරන්නේ සත්‍ය කරුණු බව අමාත්‍ය මණ්ඩලය විශ්වාස කළ බවද ඔවුන් සිය ප්‍රකාශවලින් කියා තිබෙනවා.

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රකාශයේ සඳහන් වනවා, අදාළ ඖෂධ මිලදී ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සිදුකරන බව හෝ ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගන්නා බව දැන සිටියානම් කිසිසේත්ම ඊට අවසර නොදෙන බව. එබැවින් මෙම කරුණු මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම තුළ කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩකර ඇති බව පැහැදිලි වෙනවා “

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රශ්නගත ඖෂධ සැපයූ සැපයුම්කරු දෙසැම්බර් 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර, නීතිකෘත්‍ය පෙබරවාරි 21 වැනිදා යළි කැඳවීමට නියමිතව තිබේ.

මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථන බිල වූ රුපියල් 230,000 කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකරන බවට චෝදනා කොට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු සුජිත් නිශ්ශංක ඉදිරියේ විභාගයට ගැනුණි.

එහිදී අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනුණු අතර නඩු විභාගය යළි පෙබරවාරි 18 වැනිදා පැවැත්වීමට නියමිතයි.

+


E7 සහ E8 වීසා ජාවාරමක් උකුස්සු ඇසට… – සම්මන්ත්‍රණ තියන්න බෑ අනුමැතියක් නැතුව (29.11.2024)

+


පාස්කු ප්‍රහාරයේ සැගවුනු තිත්ත ඇත්ත ගැන ඇසිය යුතුම කථාව – පැහැර ගත් බලය පරාජය නොකලා නම් පාස්කු දිනක් නෑ (29.11.2024)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත කළ සම්පුර්ණ කථාව.

++++++++

පාස්කු ප්‍රහාරය ගැන ගවේශණය කළ ‘ශෙහාන් මාලක’ගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව (30.11.2024)

+


ගණිකාවෝ 30 ක් සල්ලි දීලා ගත්තා | රු. කෝටි 7 කොල්ලයෙන් කෝටියක් ගත්ත ජනප්‍රිය ගායකයාගේ මල්ලි රටින් පනී (30.11.2024)

+


ශ්‍රීලංකන් ගොඩගන්න NPP රජයට මුල්ම ඩොලර් මිලියන 25 දෙන්න මම සූදානම්! (30.11.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *