අපොස උසස් පෙළ විභාගය යළිත් කල් යයි – දෙසැම්බර් 04 දා බදාදා නැවත ආරම්භවේ
අපොස උසස් පෙළ විභාගය යළිත් කල් යයි – දෙසැම්බර් 04 දා බදාදා නැවත ආරම්භවේ
(28.11.2024 – 10:23 +0530 – hirunews.lk/sinhala)
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අපොස උසස්පෙළ විභාගය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙනවා.
ඒ විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව දින 03 කින් කල් ගිය උසස්පෙළ විභාගය පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ තවත් දින 03 කින් කල් යන බවයි ඔහු පවසා සිටියේ.
උසස් පෙළ විභාගය 26 වැනිදා සිට 29 වැනිදා දක්වා නොපැවැත්වෙන බවයි මීට පෙර දැනුම්දී තිබුණේ.
ඒ අනුව එම කාලය දීර්ඝවන අතර දෙසැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 03 වැනිදා දක්වා මෙම විභාගය නොපැවැත්වෙන අතර ඒ අනුව දින 06 ක නිවාඩු කාලයකින් පසු දෙසැම්බර් 04 දා බදාදා නැවත උසස් පෙළ විභාගය ආරම්භවනු ඇති.
දෙසැම්බර් 04 වැනිදා විභාගය පැවැත්වෙන්නේ එදිනට පැවැත්වීමට නියමිත විෂයන් වෙන අතර උදේ වරුවට පැවැත්වීමට නියමිත රසායනික විද්‍යාව පළමු පත්‍රය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව පළමු පත්‍රය, නාට්‍ය සහ රංගකලාව සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය පළමු ප්‍රශ්න පත්‍ර සහ සවස්වරුවේ දේශපාලන විද්‍යා පළමු ප්‍රශ්නපත්‍ර පැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන්කර සිටියේ.
එමෙන්ම විභාගය නොපැවැත් වූ කාල සීමාවේ තිබූ විෂයන් පහත දිනවලදී පැවැත්වීමට නියමිතයි :
- නොවැම්බර් 27 දා බදාදාට නියමිත වූ විෂයන් දෙසැම්බර් 21 දා සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.
- නොවැම්බර් 28 දා බ්‍රහස්පතින්දාට නියමිත වූ විෂයන් දෙසැම්බර් 23 දා සඳුදා පැවැත්වීමට නියමිතයි.
- නොවැම්බර් 29 දා සිකුරාදාට නියමිත වූ විෂයන් දෙසැම්බර් 27 දා සිකුරාදා පැවැත්වීමට නියමිතයි.
- නොවැම්බර් 30 දා සෙනසුරාදා පැවැත්වීමට නියමිත වූ විෂයන් දෙසැම්බර් 28 දා සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.
- දෙසැම්බර් 02 දා සඳුදා පැවැත්වීමට නියමිත වූ විෂයන් දෙසැම්බර් 30 දා සඳුදා පැවැත්වීමට නියමිතයි.
- දෙසැම්බර් 03 දා අගහරුවාදා පැවැත්වීමට නියමිත වූ විෂයන් දෙසැම්බර් 31 දා අගහරුවාදා පැවැත්වීමට නියමිතයි.
සාමාන්‍ය පොදු පරීක්ෂණය දෙසැම්බර් 07 දා සෙනසුරාදා දින පැවැත්වෙන අතර එදිනට සුදු පැහැයෙන් තිබූ කාලසටහන වෙනුවට නව කාලසටහනක් වෙනස් වර්ණයකින් මුද්‍රණය කර ලබාදීමට කටයුතු කරන බවත් රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත් ඇතුළු මාධ්‍යන්වලින් මේ පිළිබඳව උසස්පෙළ සිසුන් දැනුවත් කරන බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ.
+++++++++
+
+
+
A/L විභාග පැවැත්වීමේදි ඔබට සිදු වූ අසාධාරණයට කළ යුත්තේ කුමක් ද? (28.11.2024)
+
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පැවැත්වීමට නියමිතව තිබූ තවත් විභාගද දෙකක් (2) කල් දමා ඇති බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර පවසනවා.
ඒ අනුව දෙසැම්බර් මස 01 වැනිදා සහ 02 වැනිදා, එනම් ඉදිරි සති අන්තයේ පැවැත්වීමට නියමිත ‘නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය’ සහ ‘ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අදාල විභාග’ මේ අනුව දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි වාර්තා වන්නේ.
එසේම මෙම විභාග පැවැත්වෙන දිනයන් ඉදිරියේදී අදාල අපේක්ෂකයන්ට දැනුම් දෙන බවද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා ෴
මිනුවන්ගොඩ රුපියල් කෝටි හතහමාරේ කොල්ලයේ සැකකරුවෙක් ඩුබායි පැනලා
(28.11.2024 – 13:07 +0530 – sinhala.adaderana.lk)
මිනුවන්ගොඩදී පෞද්ගලික මූල්‍ය ආයතනයකට අයත් රුපියල් කෝටි හතහමාරකට (7½) අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඩුබායි රාජ්‍යයට පළාගොස් තිබේ.

මේ බව අනාවරණ වී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදීය.
ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙකු මිනුවන්ගොඩ පෞද්ගලික බැංකුවක් වෙත මුදල් රැගෙන යන අතරතුර රුපියල් කෝටි හතහමාරකට (7½) අධික මුදලක් රැගෙන පළාගොස් තිබුණේ ඉකුත් නොවැම්බර් 18 වෙනිදාය.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 03 දෙනෙකු අවස්ථා දෙකකදී (2) අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සතුව තිබී රුපියල් 3,55,00,000 කට අධික මුදලක්ද සොයා ගැනුණි.
ඒ අනුව ඊයේ (27) අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් (2) සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ සොරකම් කරන ලද මුදල් අධික ලෙස ගණිකාවන් ඇසුරුකිරීම සඳහා වියදම් කළ බවය.
එසේම, කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවෙකු පසුගිය 23 වැනිදා ඩුබායි රාජ්‍ය වෙත පළාගොස් ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අනාවරණ කරගෙන තිබුණි.
ඔහු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ කොල්ලයෙන් පසු ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවය.
කෙසේ වෙතත්, ‘තරිඳු පෙරේරා’ නැමැති එම සැකකරු යතුරු පැදියකින් මුදල් බෑගයක්ද රැගෙන පලායන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.
+
ඒඩ්ස් ආසාදිතයින් ඉහළට
(28.11.2024 – 08:53 +0530 – sinhala.adaderana.lk)
ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම මෙන්ම නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ‘ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන’ පවසයි.
එම වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරිපේලි මහත්මිය පැවසුවේ, පසුගිය වසර තුළ වාර්තා වූ HIV ආසාදිතයින් අතරින් සියයට 15 ක් වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුණ තරුණියන් බවය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරිපේලි මහත්මිය මෙම අදහස් පළ කළාය.
“පසුගිය වසරේ නව HVI වෛරස ආසාධිත රෝගීන් 694 අපේ රටේ වාර්තා වෙලා තියෙනවා. දත්ත දිහා බලනකොට ඔබට පැහැදිලි HVI වෛරසයේ නව ආසාධිත පුද්ගලයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වෙන බව.
විශේෂයෙන් තරුණ තරුණියන් අතර තිබෙන දත්ත බලනකොටත් නව රෝගීන්ගෙන් 15% ක්ම වයස අවුරුදු 15 ත් 24 ත් අතර නව යෞවන යෞවනියන්. මේ ගැන අපි වැඩිදුරටත් සොයා බැලීමේ දී ඇත්තටම මේකට හේතුව විදියට අපි දකින්නේ ඡංගම දුරකථන ඇතුළු නොයෙකුත් නවීණ තාක්ෂණ ක්‍රම හරහා නව සම්බන්ධතා සහකරුවන් සොයා ගැනීමට යාම. එහෙමත් නැති නම් නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම. යම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැනි කාරණා තරුණ තරුණියන් අතර නව ආසාදිතයින් වැඩිවීමට හේතු වෙනවා.”
+++++++
+
සියදිවි හානි කරගන්නා වැඩි පිරිසක් ‘අයිස් මත්ද්‍රව්‍ය’ වලට ඇබ්බැහිවූවන් බවට අනාවරණයක්
(28.11.2024 – 16:43 +0530 – hirunews.lk/sinhala)
මෙරට සියදිවි හානිකරගන්නා පුද්ගලයින්ගෙන් සැළකිය යුතු ප්‍රමාණයක් ‘මෙතම්ෆෙටමින්’ හෙවත් ‘අයිස් නමැති මත්ද්‍රව්‍යය’ට ඇබ්බැහිවූවන් බවට අනාවරණය වී තිබෙනවා.
පසුගිය මාස 03 ක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහලක සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලට අනුව ගෙල වැළලා ගැනීමෙන් සිදුවූ මරණ 10 ක් වාර්තා වුණා.
ඔවුන් අවුරුදු 16 ත් 65 ත් අතර වයස් සීමාවේ පසුවන අතර, මෙම පුද්ගලයින්ගෙන් 04 දෙනෙකුම අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවටයි අනාවරණය වී ඇත්තේ.
‘මෙතම්ෆෙටමින්’ භාවිතය තුළින් ප්‍රීතිමත් හැඟීම් ඉහළ යාම, අවදියෙන් සිටිය හැකි වීම සහ ශරීර ශක්තිය වැඩි බවක් දැනීම සිදු වනවා.
එමගින් ව්‍යාකූලත්වය, කාංසාව, වේගවත් හෘද ස්පන්දනය, ඇතුළු බරපතල අහිතකර සෞඛ්‍ය බලපෑම් ඇති කළ හැකි බවටයි සෞඛ්‍ය අංශ අනාවරණය කළේ.
මීට අමතරව, නින්ද නොයෑම, මතක ශක්තිය හීන වීමද සිදුවිය හැකියි.
මේ අතර, ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම මෙන්ම නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම හේතුවෙන් නව යෞවනයන් අතර එච්.අයි.වී. වෛරස ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරිපේලි ප්‍රකාශ කළා ෴
අධික වැස්ස නිසා දිවයින පුරා පිහිටි කුඩා වැව් 106 ක් කැඩෙයි
(28.11.2024 – 14:00 +0530 – hirunews.lk/sinhala)
දිවයින පුරා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මෙවර මහ කන්නයේ වගාකළ කුඹුරු බිම් රැසකට හානි සිදුව තිබෙනවා.
අම්පාර දිස්ත්‍රික්කයේ වගාකළ බිම් රැසක් ජල ගැලීම්වලට ලක් වුණේ, අම්පාර ජලාශය සහ කොණ්ඩවටුවාන ජලාශය පිටාර ගැලීම හේතුවෙන්.
අම්පාර ගල්ඔය ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර 35,000 ක් පමණ මෙවර වගා කළ අතර, එම කුඹුරු බිම් රැසකටද ජල ගැලීම්වලින් හානි සිදුවුණා.
අප වාර්තාකරුවන් පැවසුවේ මාකණ්ඩිය, හිමිදුරාව වැනි ජලාශ පිටාර ගැලීම සහ අධික වර්ෂාව හේතුවෙන් මෙම වගා හානි සිදුව ඇති බවයි.
මේ අතර, මහවැලි සී කලාපයේ කුඹුරු බිම් රැසක් ද මෙවර ජල ගැලීම් හේතුවෙන් හානියට ලක්ව තිබෙනවා.
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම සහ කුඩා ඔය පිටාර ගැලීම හේතුවෙන් දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර ප්‍රදේශයේ කුඹුරු බිම් වෙත මෙලෙස වැලි ගොඩ ගසා තිබුණා.
ගොවීන් පවසන්නේ ඇතැම් ස්ථානවල අඩි තුනක් (3) පමණ වැලි පිරී ඇති බවයි.
මෙම ප්‍රදේශයේ කුඹුරු හෙක්ටයාර් 30 කට අධික ප්‍රමාණයක් මෙවර මහ කන්නයේදි වගා කර තිබු අතර, අප වාර්තාකරු පැවසුවේ ඒ අතරින් කුඹුරු හෙක්ටයාර් 20 කට පමණ හානි සිදුව තිබු බවයි.
අලුතින් වගාකළ බිත්තර වී ජල ගැලීම් හේතුවෙන් ගසාගෙන ගොස් ඇති අයුරුද දක්නට ලැබුණා.
අධික වර්ෂාවත් සමඟ අනුරාධපුර බුලංකුලම ප්‍රදේශයේ කුඹුරු අක්කර දෙසීයකට (200) අධික ප්‍රමාණයක් ද ජල ගැලීම්වලට ලක් වුණා.
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ දිවයින පුරා බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට කුඹුරු අක්කර 4800 කට අධික ප්‍රමාණයක් පූර්ණ හානියට ලක්ව ඇති බවට ගණන් බලා ඇති බවයි.
එමෙන්ම, තවත් කුඹුරු අක්කර 3900 කට අධික ප්‍රමාණයකට අර්ධ හානි සිදුව ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
වගා හානි සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැස් කරමින් සිටින බවත්, වගා හානි සිදුවු ගොවීන්ට ඉදිරියේදී සහන සැලසීමට පියවර ගන්නා බවත්, ඔහු පැවසුවා.
මේ අතර, දිවයින පුරා පිහිටි කුඩා වැව් 106 ක්ද අධික වර්ෂාවත් සමඟ කැඩී ගොස් තිබෙනවා.
වවුනියාව නෙදුන්කුලම වැව් බැම්මද අධික වර්ෂාවත් සමඟ කැඩී ගොස් තිබුණා.
අප වාර්තාකරු පැවසුවේ මේ වන විට දිස්ත්‍රික්කයේ කුඩා වැව් 30 ක බැමි කැඩී ගොස් ඇති බවට වාර්තාවන බවයි.
මේ අතර, පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ධීවරයින්ද අද (28) සිය ධීවර කටයුතුවලින් ඉවත්ව සිටියා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද ධීවරයින්ට දැනුම් දුන්නේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවදුරටත් ධීවර කටයුතුවලින් ඉවත්ව සිටින ලෙසයි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴