ට්‍රැක්ටරය පෙරළීමෙන් අතුරුදන්ව ඇත්තේ පාසල් සිසුන් 06 ක් – රියදුරු සහ සහායකයාත් තවම සොයාගෙන නැහැ

ට්‍රැක්ටරය පෙරළීමෙන් අතුරුදන්ව ඇත්තේ පාසල් සිසුන් 06 ක් – රියදුරු සහ සහායකයාත් තවම සොයාගෙන නැහැ


ට්‍රැක්ටරය පෙරළීමෙන් අතුරුදන්ව ඇත්තේ පාසල් සිසුන් 06 ක් – රියදුරු සහ සහායකයාත් තවම සොයාගෙන නැහැ

(26.11.2024 – 21:52 +0530 – hirunews.lk/sinhala)

කාර්තිව් පොලිස් බල ප්‍රදේශයේ කාවඩි පල්ලිය ප්‍රදේශයේදී පාලමක් මතින් ගිය ට්‍රැක්ටරයක් පෙරළීමෙන් සිදු වූ අනතුරට මුහුණ දී ඇත්තේ පාසල් සිසුන් පිරිසක් බවට තොරතුරු වාර්තා වෙනවා.

එම අවස්ථාවේ 11 දෙනෙක් එහි ගමන්කර ඇති බව සඳහන්.

සිසුන් 06 දෙනෙක් එහිදී අතුරුදන් වූ අතර 05 දෙනෙක් නිරුපද්‍රිතව බේරාගත් බවයි හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී කාර්තිව් පොලිසිය පැවසුවේ.

එමෙන්ම ට්‍රැක්ටර් රථයේ රියැදුරු සහ රිය සහයකත් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අවුරුදු 12 ත් 16 ත් අතර වයසේ පසුවන දරුවන් මෙම අනතුරට මුහුණදී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.

+

27.11.2024 09:30 AM

+


ඒකනම් පුදුම වාසනාවක් (අස්ගිරිය, මහනුවර) (පෙර පින් කල අය)

+


හදිසි ආපදා දැනුම් දෙන්න පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක 4 ක්

(26.11.2024 – 23:34 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණය හේතුවෙන් වන ඕනෑම ආපදාවක් දැනුම්දීමට සහ සම්බන්ධීකරණය කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක 4 ක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව පහත දුරකථන අංකවලින් එම තොරතුරු දැනුම්දිය හැකියි :

  • 011 202 7148
  • 011 247 2757
  • 011 243 0912
  • 011 201 3051

එමෙන්ම disaster.ops@police.gov.lk විද්‍යුත් තැපෑලෙන් එම මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමේ අවස්ථාව තිබෙනවා.

මෙම විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ පොලිස් මූලස්ථානය තුළයි ෴


අයහපත් කාලගුණය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ගුවන් ගමන් 6 ක් හරවා යවයි

(26.11.2024 – 21:35 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ගුවන් ගමන් 6 ක් හරවා යවා තිබෙනවා.

ගුවන් යානා තුනක් (3) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට හරවා යවා ඇති බවයි සඳහන් වෙන්නේ.

එමෙන්ම අනෙක් ගුවන් යානා තුන (3) ඉන්දියාවේ ත්‍රිවන්ද්‍රම් (තිරුවනන්තපුරම්) වෙත හරවා යවා ඇති බවයි ‘හිරු ගුවන්තොටුපළ වාර්තාකරු’ සඳහන්කර සිටියේ ෴


සොබාදහමින් පාලකයන්ගේ සිංහ නාද සුනඛ කෙදිරිලි බවට පත් කළ හැටි (27.11.2024)

+


අම්පාර ට්‍රැක්ටර් අනතුරෙන් අතුරුදන් වූ එක් (1) සිසුවෙකුගේ සිරුර හමුවෙයි

(27.11.2024 – 11:16 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – මාවඩ්ඩිපල්ලි ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරලී අතුරුදන් සිසුන් 06 දෙනාගෙන් එක් (01) සිසුවෙකුගේ මෘත දේහයක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නීතීඥ නිහාල් තල්දූව සඳහන් කරනවා.

මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ මේ මොහොතේ ආපදා තත්ත්වය පිළිබඳව දැනුම්දෙන මාධ්‍ය සාකච්චාවේදීයි.

අනතුරු සිදු වන අවස්ථාවේ ට්‍රැක්ටර් රථයේ 13 දෙනෙකු ගමන් කර තිබෙනවා.

අදාළ ට්‍රැක්ටර් රථය අම්පාර – මාවඩ්ඩිපල්ලිය පාලම මතින් ධාවනය කිරීමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ සහයකයා ද සොයා ගැනීමට හැකිව තිබුණේ නැහැ.

මේ අතර පවතින වැසි තත්ත්වය හමුවේ කැළණි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය 48 තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට සුලු ගංවතුර තත්ත්වයන් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩු‍වෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල සිටින ජනතාව දැඩි අවදානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. [අදාල නිවේදනය]

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමග නෝටන්බ්‍රිඡ් – විමලසුරේන්ද්‍ර ජලාශය මෙන්ම ඉහළ කොත්මලේ ජලාශය වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.

එසේම, කාසල්රී සහ මවුස්සකැලේ ජලාශවල ජල මට්ටම ද ඉහළ යමින් පවතින බවයි ජලාශ භාර ඉන්ජිනේරුවරුන් ප්‍රකාශ කළේ.

ඉහළ කොත්මල ජලාශයේ වාන් දොරටු 03 ක් අද (27) අලු‍යම සිට විවෘත කෙරුණා.

තවදුරටත් අධික වැසි ඇද හැලු‍ණහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වන බැවින් ජලාශයට පහළින් කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන්ට සැලකිලිමත් වන ලෙස දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය දැනුම් දෙනවා. ඒ හේතුවෙන් සෙන්ක්ලේයා සහ ඩෙවෝන් දිය ඇලිවල ජල ධාරිතාව ද ඉහළ ගොස් ඇති බව සදහන්.

මේ අතර, අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අද (27) දිනයේද ධාවනය වන්නේ නැහැ.

එසේම කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය ගමන්වාර කිහිපයක් නානු ඔය දුම්රිය ස්ථානය දක්වා තවදුරටත් සීමා කර තිබෙනවා.

මේ අතර අයහපත් කාලගුණය සමග , උතුරුමැද පළාතේ සියලු‍ මුස්ලිම් සහ දෙමළ පාසල් අද (27) සිට ලබන සිකුරාදා දක්වා වසා තැබිමට පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණය කරනු ලැබුවා.

මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවයි කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ ෴

+++++++++

මෙම ප්‍රදේශවලින් වහාම ඉවත් වෙන්න – පොලීසියෙන් දැනුම්දීමක්

(27.11.2024 – 11:32 +0530 – sinhala.adaderana.lk)

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3 ක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

අද (27) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දුව මහතා කියා සිටියේ, අදාළ ප්‍රදේශවල ජනතාව තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වහාම එම ස්ථානයන්ගෙන් ඉවත් විය යුතු බවය.

“මධ්‍යම කඳුකර ප්‍රදේශයට වැසි ලැබෙමින් පවතිනවා. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර සහ බටහිර බෑවුම්වලට වැසි ඇතිවෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා නුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මැදදුම්බර, ගඟවටකෝරළය, උඩුදුම්බර, දොළුව, යටිනුවර, උඩපළාත, පාතහේවාහැට, දෙල්තොට, පාතදුම්බර කියන මේ ප්‍රදේශ සඳහා ඉවත්වීම සඳහා ‘රතු නිවේදන’ නිකුත්කර තිබෙනවා. යම්කිසි ආකාරයකට කඳු නායයාම් තියෙන නිසා.

ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, අඹගමුව, අඹගමුව කෝරළේ, රත්තොට, නාවුල සහ උකුවෙල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වළපනේ ප්‍රදේශයට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ ප්‍රදේශවල නායයෑම අවදානමක් තියෙන නිසා එයින් ඉවත් වෙන්න කටයුතු කරන්න.”

මේ අතර නොසිලිකිළිමත්ව කටයුතු නොකරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මාර්ගය ජලයෙන් යටවී ඇත්නම් ඒ හරහා ගමන් නොකරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

“නිවෙස්වල තියෙන විවිධ දේවල් ජලයේ ගසාගෙන යන්න පුළුවන්. ඒවා ගන්න උත්සාහ කරන්න එපා. සමහර විට ඔබගේ ජීවිතය ඒ තුළ අහිමිවෙන්න පුළුවන්. ජලයේ ක්‍රීඩා කරන්න එපා. දරුවන් ගැන දෙමාපියන් සැලකිළිමත් වෙන්න. ඔබගේ නිවෙස් ආපදාවලට ලක්වෙලා නම් ආරක්ෂිත කඳවුරුවලට යන්න. නිවෙස්වල ආරක්ෂාවට උපරිම කටයුතු කරනවා. ඩ්‍රෝන කැමරා මඟින් ඉහළින් ගිහින් සොර සතුරන් ගෙන් ආරක්ෂා කරගන්න හැකි සෑම කටයුත්තක්ම සිදුකරනවා. මෙහිදී වැදගත් වන්නේ ඔබගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමයි. මධ්‍යම කඳුකරයේ ‘රතු නිවේදන’ තියෙන තැන්වලින් කරුණාකරලා ඉවත් වෙන්න. කඳුකරයේ විශාල තෙතමනයක් තියෙනවා. අවධානම් කියන ප්‍රදේශවලින් ඉවත් වෙන්න. කඳුකර ප්‍රදේශවල යන වාහන පාර අයිනට ගන්න එපා. බස්රථ රියදුරන් අවධානය යොමු කරන්න මාර්ගයේ ඉස්සර කිරීමේ දී.”

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව දැනුම් දීමට හෝ සහාය ලබා ගැනීමට දෙමළ භාෂාව කතාකරන ජනතාව වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. පොලීසිය සඳහන් කළේ, 107 යන දුරකථන අංකය දෙමළ භාෂාව කතාකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති බවය.

(தமிழ் பேசும் மக்கள் தற்போது நிலவும் சீரற்ற காலநிலை குறித்து தெரிவிக்க அல்லது உதவி பெறுவதற்காக விசேட தொலைபேசி இலக்கம் அறிமுகப்படுத்தப்பட்டுள்ளது. தமிழ் பேசும் மக்களுக்காக 107 என்ற தொலைபேசி இலக்கம் ஏற்படுத்தப்பட்டுள்ளதாக பொலிஸார் குறிப்பிட்டுள்ளனர்.)

+

+


අපිට සැකයක් – රට පාවාදීලද ඡන්ද ගත්තේ කියලා – අක්මීමන දයාරතන හිමි කියන කතා (27.11.2024)

+


උසස් පෙළ විභාගය ගැන තීරණය 29 දායින් පසුව

(27.11.2024 – 16:26 +0530 – sinhala.adaderana.lk)

පවතින අධික වැසි හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙන උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳ තීරණයක් එළැඹෙන 29 වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද (27) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ආරක්ෂක ලේකම්වරයා,

“උසස්පෙළ විභාගය දැනට තිබෙන කාලගුණ තත්ත්වය නිසා තාවකාලිකව නැවතිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 29 වැනිදායින් පසු කාලගුණ තත්ත්වයන් පිළිබඳ නැවත විශ්ලේෂණය කර, අවශ්‍යකරන සුදුසු වාතාවරණය සැකසුනු පසුව නැවත උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට. ඒ කාලවකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් යථා කාලයේදී නිකුත් කරනු ලබයි”.

පවතින අධික වැසි හේතුවෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය දින 3 කට තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (26) තීරණය කළේය.

ඒ අනුව අද (27), හෙට (28) සහ 29 යන තෙදින උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පැවසීය.

එමෙන්ම නැවත විභාගය 30 වනදා නියමිත කාලසටහනේ සිට ක්‍රියාත්මක වන බවත්, අත්හිට දින තුනට (3) අදාළ විෂයන් දෙසැම්බර් මස 21, 22 හා 23 දිනවල පැවැත්වෙන බවද හෙතෙම පැවසීය ෴


27-11-2024
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *