අනුරට දුන්නේත් ගෝටාගේ 69 ලක්‍ෂයමයි.. ජනවරමේ අපේක්‍ෂා වෙනුවෙන් කැපවෙනවා.. – විමල් වීරවංශ

අනුරට දුන්නේත් ගෝටාගේ 69 ලක්‍ෂයමයි.. ජනවරමේ අපේක්‍ෂා වෙනුවෙන් කැපවෙනවා.. – විමල් වීරවංශ


අනුරට දුන්නේත් ගෝටාගේ 69 ලක්‍ෂයමයි.. ජනවරමේ අපේක්‍ෂා වෙනුවෙන් කැපවෙනවා.. – විමල් වීරවංශ

(20.11.2024 – 11:20 +0530 – lankacnews.com)

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කර ඇති විශේෂ මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

= ජනවරම නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කම =

ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ලබාගත් ජනවරමේ දිගුවක් ලෙස ජනතාව විසින් එම ජනවරම තවදුරටත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඓතිහාසිකව සුවිශේෂී ජනවරමක් ලබාදී ඇත. එම ජනවරම හිසට බරක් වන බව සහ එය අවභාවිතා නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් සඳහන් කිරීම අපි අගය කරමු. එම ජනවරමට ගරු කරන බව සහ ඊට එරෙහිව ක්‍රියා කිරීමට කටයුතු නොකරන බව මෙන්ම එය ආරක්ෂා කරන බව සහ ආණ්ඩුව ඊට එරෙහිව ක්‍රියාකිරීම වැළැක්වීම අපගේ ඉදිරි දේශපාලන භූමිකාව බව අප විසින් දැනටමත් මහජනයාට දන්වා ඇත.

ඒ අනුව මෙම ජනවරම නිවැරදිව කියවා ගැනීම හෙවත් එය නිර්මාණය කළ ජනතාවගේ හදවත්වල තැන්පත් වී ඇති දීර්ඝ කාලීන අපේක්ෂා පිළිබඳව ආණ්ඩුව මෙන්ම මහජනයා ලෙස අප සැම ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. එදා 2002 දී දෙමළ බෙදුම්වාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබාදී ඊළම නිර්මාණය කිරීමට කෙටි පාරක් කැපීමට දායක වූ රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට මෙන්ම ඉන්පසුව 2004 පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ ජනතා විමුක්ති පෙරමුණේ සියලුම අපේක්ෂකයන්ට ඉහළම මනාප ලබාදුන්නේ අද ආණ්ඩුවේ ජනවරම නිර්මාණය කළ ජනතාවම බව අපගේ කියවා ගැනීම වේ. එදා ජාතික ජන බලවේගයක් තිබුණේ නැත. ඉන්පසුව 2005 දී මහින්ද රාජපක්ෂ බලයට පත්කර යුද්ධය අවසන් කිරීම සඳහා ඡන්දය දුන්නේ එම ජනතාවම නොවේ ද?. බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසුව නැවතත් රට ගොඩනැඟීමට ජනවරම නිර්මාණය කළේ ද ඔවුන්ම ය.

එසේම යුද්ධය අවසන් කිරීමෙන් පසුව උතුරේ සහ දකුණේ ජනතාව අතර ‘මානසික පාලම’ ඉදිකිරීම මගින් බෙදුම්වාදය සහ ජාතිවාදය පරාජය කිරීම වෙනුවට ‘කොන්ක්‍රීට් පාලම්’ ඉදිකර කොමිස් ගැසීමේ බැසිල් රාජපක්ෂ න්‍යාය ප්‍රතික්ෂේප කිරීමේ ජනවරම නිර්මාණය කිරීමට ද එම සුවිශේෂී ජන කණ්ඩායම දායක විය. ඉන් පසුව 2015 – 2019 කාලයේදී නැවත වටයකින් රනිල් වික්‍රමසිංහ පාලනය විසින් නිර්මාණය කළ අර්බුද විසඳීම සඳහා ගෝඨාභය රාජපක්ෂට ලබාදුන් 69 ලක්ෂයක ජනවරම නිර්මාණය කරන්නේ ද අද අනුර දිසානායක ජනාධිපතිවරයාගේ 69 ලක්ෂයක ජනවරමට දායක වූ අතිබහුතරයකි.

එම දීර්ඝ ඉතිහාස කතාව වැදගත් වන්නේ අප රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය සහ ඓතිහාසික සභ්‍යත්ව උරුමය ආරක්ෂා කිරීම සඳහා කැපවෙන සහ නිර්භීතව දේශපාලන තීන්දු ගන්නා ලක්ෂ 60 – 70 ක ඡන්දදායකයන් පිරිසක් සිටින බව පෙන්වාදීම සඳහා ය. ඔවුන් 1977 සිට වර්ධනය වූ ‘පාදඩ ප්‍රභූ දේශපාලන සංස්කෘතියට’ අකැමැති පිරිසකි. මෙවර එම ‘පාදඩ ප්‍රභූන්ට’ ඡන්ද පාවිච්චි නොකළ 60 ලක්ෂයක ජනතාව ද අපගේ ඇගයීමට ලක් වේ. ‘පාදඩ ප්‍රභූන්ට’ එරෙහිව ගොඩනැගෙන විරෝධය තුළ විකල්පය බවට හෙවත් ‘ගැලවුම්කාරයා’ බවට ජාතික ජනබලවේගය පත්වන්නේ සුවිශේෂී ඓතිහාසික සාධකයක් නිසා බව තේරුම්ගැනීම ජනවරම නිවැරැදිව කියවා ගැනීම සඳහා ඉතා වැදගත් වේ. ජාතික ජන බලවේගය තෝරාගැනීම බවට පත්වන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් තම අතීත උරුමය, එනම් මහා කැපකිරීම් තුළින් නිර්මාණය කළ ‘සන්නාමය’ පිළිබඳව ඇති ගෞරවය, ආදරය හා පිළිගැනීම නිසා බව සැඟවිය නොහැක.

ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ නම් වූ සන්නාමයේ ගුණාංග නිර්මාණය කිරීම සඳහා ඓතිහාසිකව යම් භූමිකාවක් ඉටුකළ බලවේගයක් ලෙස, වර්තමාන ආණ්ඩුවේ ජනවරම ආරක්ෂා කිරීමට සහ විවිධ බාහිර බලපෑම් නිසා ආණ්ඩුව ඊට පිටුපා ක්‍රියාකිරීම වැළැක්වීමට වගකීමක් අප වෙත පැවරී ඇත. ඒ අනුව එම සන්නාමය නිර්මාණය කිරීමට, විශේෂයෙන්ම එම ක්‍රියාවලිය තුළ අපගේ මාතෘභූමිය බෙදා වෙන්කිරීම වැළැක්වීමට දිවිපිදූ රෝහණ විජේවීර සහෝදරයා ප්‍රමුඛ දහස් ගණන් වීරෝදාර සගයන්ට සාධාරණය ඉටුකිරීමට ආණ්ඩුවේ පාර්ශ්වවලට සමාන වගකීමක් අපට ද පැවරෙන බව අපගේ විශ්වාසයයි. නුදුරු අනාගතයේ දී ආණ්ඩුවට මුහුණදීමට සිදුවන දේශීය සහ විදේශීය බෙදුම්වාදී බලවේගවල බලපෑම්වලට සහ ගෝලීය භූ දේශපාලන කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාවට උරුම වී ඇති අභියෝගවලට මුහුණදීම පහසු නොවන බව ජනවරම නිර්මාණය කළ ජනතාව ද තේරුම්ගත යුතුය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජාත්‍යන්තර න්‍යාය පත්‍රයකට අනුව දියත් වූ මෙහෙයුමක් මගින් බලයෙන් පහකර ඔහු අත වූ ‘රිලේ බැටන් එක’ රනිල් වික්‍රමසිංහ අතට ලබාදීමෙන් පසුව ඔහු විසින් 2002 දී සකස් කිරීම ආරම්භ කළ ධාවන පථය 2022 – 2024 කාලය තුළ කොන්ක්‍රීට් වැටවල් දමා ශක්තිමත් කරනු ලැබීය. දැන් ‘බැටන් පොල්ල’ ජනතාව විසින් අනුර දිසානායක මහතා අතට ලබාදුන්න ද ඔහු ද දුවමින් සිටින්නේ එම පැරැණි ධාවන පථය තුළමය. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ බලපෑම මත සම්මත කළ අණපනත් සහ ඔවුන් විසින් ස්ථානගත කළ නිලධාරීන් ආදී පවුරු මගින් එම ධාවන පථය තවදුරටත් ආවරණය කර ඇත.

ඒ නිසා එම පථයෙන් එළියට පනිමින් ජනවරමට අදාළ අපේක්‍ෂා ඉටුකිරීම සඳහා ‘ඇතුළතින් තල්ලු කිරීම’ සහ ‘පිටතින් ඇදීම’ යන ක්‍රියාවලි දෙකම එකවිට සිදුවිය යුතු බව අපගේ විශ්වාසය වේ. එහිදී ‘තල්ලු කිරීමේ වගකීම’ ජාතික ජන බලවේගයේ කේන්ද්‍රීය දේශපාලන බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට සහ සාමාජිකයන්ට පැවරෙන අතර, ‘ඇදීමේ භූමිකාව’ ජනවරම නිර්මාණය කළ ජනතාවට මෙන්ම ශ්‍රී ලංකා රාජ්‍යය ආරක්ෂා කිරීමට කැපවන අප ඇතුළු සියලු ජාතික බලවේගවලට පැවරෙන බව අපගේ විශ්වාසයයි. ඊට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ වත්මන් දේශපාලන අභියෝග තුළ ආණ්ඩුව බිඳවැටීම අනිවාර්යෙන්ම රාජ්‍යයේ බිඳවැටීම දක්වා ගමන් කිරීමය.

ජනවරමේ අපේක්ෂා කියවා ගැනීම සහ ඊට අදාළ මහජන සංවාදය දැන් ඉතා වැදගත් වන්නේ ප්‍රධාන කරුණු දෙකක් නිසා බව අපි විශ්වාස කරමු. පළමුවැන්න, ඉහත සඳහන් කළ බරපතළ ආර්ථික සහ ගෝලීය භූ දේශපාලන අභියෝගයන් ය. බෙදුම්වාදී බලවේග විසින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා කරනු ලබන බලපෑම්, ඉන්දියාව සමග රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා 2023 ජූලි 21 දින ඇතිකර ගත් එකඟතාවය අනුව ආර්ථික ඒකාබද්ධකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා ඇති වන බලපෑම, ඉන්දු – පැසිෆික් කලාපයේ යුදමය අවශ්‍යතාව සඳහා ඇති කෙරෙන අමෙරිකානු බලපෑම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇතිකරන බලපෑම් ආදී වශයෙන් වන බහුවිද බලපෑම් ඊට අයත් වේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාවන්ට අනුව සම්මත කළ 2017 විදේශ විනිමය පනත සහ 2023 මහ බැංකු පනත නැවත සංශෝධනය කිරීමට ඉඩ නොදීම ආදිය ඉතා බරපතළ වේ. එම පනත් දෙක නැවත සංශෝධනය කිරීමෙන් තොරව ආර්ථික අර්බුදයෙන් දීර්ඝ කාලීනව ගොඩඒම යනු හුදු සිහිනයක් පමණක් බව අපගේ දේශපාලනික කියවා ගැනීම වේ.

එම පැහැදිලි කිරීමට අදාළ දෙවැනි කාරණය වන්නේ ජනවරම වැරදියට කියවා ගැනීම මගින් පැනවෙන මානසික බාධක ජය ගැනීමය. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව විසින් දෙමළ ජාතිවාදය සහ බෙදුම්වාදයට එරෙහිව නිර්මාණය කළ ජනවරම ඊනියා සිංහල ජාතිවාදය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස කියවා ගැනීමේ වරද ඉතා බරපතළ වේ. ඒ මගින් දෙමළ බෙදුම්වාදීන්ට පාර්ලිමේන්තුවේ ආසන අහිමි කළ සහ ඔවුන්ගේ ජාතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කළ ජනතාවගේ නාමයෙන් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ඉටුකර ගැනීමට අවකාශය සැලසේ. එය වළක්වාගත හැක්කේ උතුරේ සහ දකුණේ ජනතාවගේ අපේක්ෂා හෙවත් ජනවරම නිවැරදිව කියවා ගැනීම මගිනි.

විශේෂයෙන්ම 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම මගින් බෙදුම්වාදීන්ට පොලිස් බලය ලබාදීමෙන් සමාජ ආර්ථික පීඩනයට අමතරව කුල පීඩනයට ද ගොදුරුව සිටින අතිබහුතරයක් දෙමළ ජනතාවට සාධාරණය ඉටුවන්නේ නැත. ඒ මගින් සිදුවන්නේ එම ජනතාව තවදුරටත් පීඩාවට පත්වීම පමණකි. ඔවුන්ගේ පන්තියේ පුද්ගලයකු ජනාධිපති කරවීම මගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ව ආර්ථික සහ කුල පීඩනය ඇතුළු සමාජීය පීඩනයන්ගෙන් ගලවා ගැනීමය. ඒ සඳහා කළ යුතු දේ ලැයිස්තුගත කිරීම ‘රොකට් විද්‍යාවක්’ නොවේ.

එහෙත් රටේ අවාසනාවකට ඒ සියල්ලට අදාළ ‘ප්‍රතිපත්තිමය බෙදීම හෙවත් සංවාදය’ ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදු නොවීය. එය සමාන වන්නේ ජනතාව විසින් ආණ්ඩුවට ‘හිස් චෙක් පතක්’ අත්සන හා දිනය යෙදීමෙන් තොරව බාරදීම වැනි ක්‍රියාවකට ය. දේශපාලන සංවාදය තුළ එම ‘ප්‍රතිපත්තිමය බෙදීම’ ඇති කිරීමට ආණ්ඩුවට විරුද්ධ විපක්ෂය මෙන්ම ආණ්ඩුවට මගපෙන්වන විපක්ෂය ද අසමත් වීම පිළිබඳව අපට ද වරද පැටවෙන බව නිහතමානීව පිළිගනිමු.

නමුත් ඉතිහාසය තුළ පක්ෂයක් ලෙස අප දේශපාලන තීන්දු ගැනීමේ දී පුද්ගලයන් ලෙස අපට ලැබෙන දේ හෝ අප ආණ්ඩුව තුළ නියෝජනය වනවාද, නැත්ද යන්න හෝ සාධකයක් ලෙස සැලකිල්ලට ගෙන නැත. ඒ අනුව අප පාර්ලිමේන්තුව තුළ නියෝජනය නොවීම අපගේ දේශපාලන භූමිකාව ඉටුකිරීම සඳහා බාධකයක් ලෙස නොසලකන බව පොදු මහජනතාවට දන්වා සිටිමු. එසේම ජනවරමේ අපේක්‍ෂා ඉටුකිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් පිටත භූමිකාවට අදාළ ‘ප්‍රතිපත්තිමය බෙදීම හෙවත් සංවාදය’ සඳහා පොදු මහජනතාවට ගෞරවයෙන් ආරාධනා කරමු.

මේ වගට,

විමල් වීරවංශ
නායක,
ජාතික නිදහස් පෙරමුණ.
(දේශපාලන මණ්ඩලය වෙනුවෙන්)
2024-11-20

+++++++

https://drive.google.com/file/d/1TtcdCX8V4H5iRAM4xgzau2r0aSwGPKhc/view

+


මාලිමාවට උතුරේ ඡන්ද ලැබුණු රහස | ආන්දෝලනාත්මක ලිපියක් එළියට | කස්සප හිමි සාක්ෂි එළියට දමයි (18.11.2024)

+


ඇමති කාලෙත් නොමැති කාලෙත් ගම්මා ගම්මම තමයි (19.11.2024)

+


අපිට වැදගත් ළමයි කියන දේ නොවෙයි; අමාත්‍යංශ ලේකම් කියන දේ පමණයි – වත්මන් රජය (20.11.2024)

+

+


රත්මලාන, සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්

(20.11.2024 – lankadeepa.lk)

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ-බ්ලොක් හි දෙවන (2) මහලේ නිවසක අද (20) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් (2) දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව මහනගර සභාව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව කියයි.

අද (20) සවස මෙම ගින්න හටගත් අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් නොසිට ඇති බව පොලීසිය කියයි.

අතර ඔවුන් සියලු දෙනා නිවසින් බැහැරව ගොස් තිබූ බැවින් කිසිවකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැති බවත්, සිදුවූ වහාම මහල් නිවාසවලින් එලියට ගොස්ද තිබූ බැවින් තුවාල කරුවන් නොමැති කියයි.

ගින්නට හේතුව හෝ සිදුවූ අලාභයන් මෙතෙක් ගණනය කර නොමැති අතර, වැඩිදුර පරීක්ෂණ මොරටුව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව හා ගල්කිස්ස මූලස්ථාන පොලීසිය විසින් සිදුකරගන යනු ලබයි ෴


නිවසකට පැන්න කල්ලියක් රු. කෝටි 2 ක් කොල්ලකයි

(20.11.2024 – 21:48 +0530 – sinhala.adaderana.lk)

නිවසකට ඇතුළුවූ කල්ලියක් රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක (2,40,00,000) මුදලක් කොල්ලකා පළාගොස් තිබේ.

මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි අදාළ නිවසේ ස්විට්සර්ලන්තය සිට පැමිණි කාන්තාවක් තනිව ජීවත්වී ඇති අතර ඇයට දැඩි ලෙස පහරදී මුදල් කොල්ලය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මෙම කොල්ලකරුවන් අද (20) උදෑසන එම නිවසේ නාන කාමරයේ කවුළුවේ විදුරුව බිඳ නිවසට ඇතුළුවී ඇති බව හෙළිවී ඇත.

පසුව අල්මාරියක් කඩා එහි තිබූ විදෙස් මුදල්, රත්තරන් ආභරණ සහ මෙරට මුදල් කොල්ලකා තිබේ.

නිවසේ තනිවම සිටි 62 හැවිරිදි කාන්තාවගේ සැමියා සහ දියණිය ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටින අතර ඇයද ස්විට්සර්ලන්තයේ හෙදියක ලෙස සේවය කරමින් සිට විශ්‍රාම ගෙන කෙටි කලකට මෙරටට පැමිණ ඇත.

කාත්තාන්කුඩි පොලීසිය සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් එක්වී පොලිස් නිල සුනඛයින්ව ද යොදාගනිමින් විමර්ශන සිදුකරයි.

+


මිනුවන්ගොඩ රු. කෝටි 7 කොල්ලයේ සැකකරුවෙක් මාට්ටු

(20.11.2024 – 07:25 +0530 – sinhala.adaderana.lk)

ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙකු මිනුවන්ගොඩ දී රුපියල් කෝටි 7 කට අධික මුදල් රැගෙන පළායෑමේ සිදුවීමට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා මිනුවන්ගොඩ පොලීසිය එක්ව සිදුකළ මෙහෙමකින් පසුව අදාළ සැකකරු ඊයේ (19) දහවල් ගම්පහ කඩුවන්ගහ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 420 ක් සොයාගෙන තිබූ අතර සොරකම් කළ මුදලින් රු 31,515,291 ක මුදලක් ද සොයා ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 35 ක් වූ තම්මිට, මාකවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරනු ලබන පෞද්ගලික ආයතනයක සිව්දෙනෙකු (4) ගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් වෑන් රථයකින් ඊයේ (19) උදෑසන මිනුවන්ගොඩ පිහිටි පෞද්ගලික බැංකුවක් වෙත ගොස් තිබුණේ මුදල් සහිත මලු කිහිපයක්ද රැගෙනය.

බැංකුව අසලට පැමිණි පසු රියදුරුවරයා පමණක් වෑන් රථයේ සිටියදී සෙසු පිරිස ඉන් බැස ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

ඒ වනවිට වෑන් රථයේ රුපියල් 7,13,27,296 ක මුදලක් තිබී ඇති අතර රියදුරුවරයා අදාළ මුදලද රැගෙන එම රථයෙන්ම පළාගොස් තිබුණි.

අනතුරුව ඔහු වෑන් රථය ගම්පහ, උග්ගල්ගොඩ ප්‍රදේශයේ අතහැරදමා තවත් පුද්ගලයෙකු සමග යතුරුපැදියකින් පළාගොස් ඇති අතර එය සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.

++++++++

+


ආර්-එම්-වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8 කට නඩු

(19.11.2024 – lankadeepa.lk)

රුපියල් කෝටි පන්සීයකට (500) අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් (200) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කලේ යැයි කියන මහා ජාවාරමට සම්බන්ධ එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් අටදෙනෙකුට (8) එරෙහිව ‘අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම’කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ අද (19) නඩු පැවරීය.

නියෝජ්‍ය කොමසාරිස් බන්දුල ජයසිංහ, පරිගණක වැඩසටහන් සම්පාදක රෝහිත සමරවීර, වාහන පැවරුම් අංශයේ නිලධාරීන් හා ලිපිකරුවන් වන උපුල් ප්‍රියන්ත, හේමන්ත මුත්තුංග, චන්න රෝහිත, ප්‍රියංගනී සිරිමාන්න, වාහන ආනයනකරුවන් වන ටී.බී. ඊරියගම හා නලින්ද මහේෂ් කුමාර යන පුද්ගලයින් සැකකරුවන් කෙරෙමින් මෙම නඩුව පැවරීය.

2015 න් පසුව රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී රථ 2005 පෙර ආනයනය කළ සාමාන්‍ය රථ බවට අඟවමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම, 1999 වසරේ සිට මේ දක්වා ඊට ආධාර අනුබල සැපයීම, අංක තහඩු නිකුත් කිරීම, රථ ආනයනය කිරීම ඇතුළු චෝදනා ඉදිරිපත් කරමින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතෙ අංක 163 සමග කියවෙන 1994 අංක 20 දරණ අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය ප්‍රකාරව වරදවල් සිදු කරමින් දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පැවරීය.

අල්ලස් දූෂණ විමර්ශන කොමිසමේ රහසිගතව බුද්ධි ඒකකය කළ විමර්ශනයක් අනුව මෙම ජාවාරම අනාවරණය කරගෙන ඇති අතර 2015 වසරෙන් පසුව සුඛෝපභෝගී වාහන දෙසීයක් (200) පමණ ආනයනය කර ඇති බව කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

අදාළ වාහන රාජසන්තක කිරීමට අධිකරණය මගින් නියෝග ලබාගත් අල්ලස් කොමිසම පසුගිය සතිය වන විට වාහන විස්සක් (20) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රාජසන්තක කිරීම සඳහා අධිකරණය මගින් රේගු බාරයට පත් කළේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *