කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ල නිසා ලොකු අවදානමක් – මහෙස්ත්‍රාත් අධිකරණයෙන් රිට් ආඥාවක්
කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ල නිසා ලොකු අවදානමක් – මහෙස්ත්‍රාත් අධිකරණයෙන් රිට් ආඥාවක්
(13.11.2024 – 20:29 +0530 – sinhala.adaderana.lk)
කිසිවක් පහළට වැටීම හරහා මහජනතාවට පීඩාවක් ඇති නොවන සේ කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ල පවත්වාගෙන යා යුතු බවට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (13) රිට් ආඥාවක් නිකුත් කළේය.
ක්‍රිෂ් ගොඩනැගිල්ල හිමිකාර සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට එම ආඥාව නිකුත්කළේය.
විදේශීය ආයෝජනයක් ලෙස 2015 දී ඉදිකිරීම් ආරම්භ වූ මෙම ගොඩනැගිල්ල කොළඹ කොටුවේ පිහිටි උසම ගොඩනැගිල්ල වෙයි.
පසුගිය කොවිඩ් කාලසීමාවේ මෙහි ඉදිකිරීම් නතර වූ අතර පසුව මෙරට පැවති ආර්ථික කඩාවැටීමත් සමග එහි ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නතර කර දැමුණි.
මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් නවතා දැමීමත් සමග මේ වනවිට එහි දිරාගිය ඇතැම් කොටස් බිමට ඇද වැටෙමින් පවතියි.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සිදුවූ එවැනි අනතුරකින් මෝටර් රථයකට දැඩි අලාභහානි සිදුවිය.
මෙවන් පසුබිමක අදාළ ගොඩනැගිල්ලෙහි පවතින අනාරක්ෂිතභාවය පිළිබඳ පොලීසිය විසින් අධිකරණයට කරුණූ වාර්තාකර ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඉදිරියේ අද (13) කැඳවනු ලැබීය.
ඒ සඳහා කොටුව පොලීසියේ දැනුම්දීම මත නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීයෙකු, කොටස් කඩාවැටී හානි සිදුවූ මෝටර් රථයේ හිමිකරු, එය නවතා තිබූ රථගාලේ හිමිකරු සහ වෙළෙඳසැල් හිමියෙකු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ක්‍රිෂ් ගොඩනැගිල්ල වෙනුවෙන් එහි ඉදිකිරීම් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක් අධිකරණය හමුවේ පෙනීසිටියේය.
මෙහිදී දෙපාර්ශවයේ කරුණූ සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය රිට් ආඥාවක් නිතුක් කරමින් නියෝග කළේ කිසිදු ද්‍රව්‍යයක් පහළට වැටීම හරහා මහජනතාවට පීඩාවක් ඇති නොවන සේ ක්‍රිෂ් ගොඩනැගිල්ල පවත්වාගෙන යා යුතු බවය.
එසේම පහතට වැටෙන සහ වැටීමට ආසන්න දිරාගිය කැබලි ඇත්නම් එවා ඉවත්කළ යුතු බවත් ගොඩනැගිල්ලේ යම් දෙයක් පහළට වැටීමෙන් මහජනතාවට සිදුවිය හැකි පීඩා වැළැක්වීමට සුදුසු වැඩපිළිවෙළක් යෙදිය යුතු බවට ද එම අධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන් ය.
අනතුරුදායක ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතාව පවසන්නේ කඩිනමින් මෙම යකඩ කොටස් පහළට වැටීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවය.
+
පොලිස් ත්‍යාග මුදල් සොරා කෑ පොලිස් හෙරගේ වැඩ තහනම්
(13.11.2024 – lankadeepa.lk)
රථවාහන නිලධාරීන්ට ත්‍යාග මුදල් ලෙස ගෙවීමට තිබූ රුපියල් 192,400 ක මුදලක් නිලධාරින්ට නොගෙවා ව්‍යාජ සටහන් හා අත්සන් යොදා වංචා කළ බව කියන මීගමුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනියගේ වැඩ තහනම් කළ බව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ වැඩ තහනමට ලක්වී ඇත්තේ මීගමුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ කාන්තා පොලිස් පරීක්ෂිකාවකි.
ඉකුත් 2023 වසරට අදාලව මීගමුව පොලිසියේ රථවාහන නිලධාරීන්ට දෙසැම්බර් මාසයේ ගෙවීමට තිබූ රථවාහන ත්‍යාග මුදල් මෙම නිලධාරිනිය විසින් නොගෙවා ව්‍යාජ සටහන් සහ අත්සන් යොදා එම මුදල් වංචාකර ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වීඇති බව පොලිසිය පවසයි.
ඒ සම්බන්ධයෙන් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය මගින් සිදුකළ විමර්ශනවලදී ඇය එම මුදල් වංචා සහගතව ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.
එම විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් එම නිලධාරිනියගේ වැඩ ඊයේ (12) සිට තහනම් කිරීමට කටයුතු කළ බව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි ෴
හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම්
(13.11.2024 – lankadeepa.lk)
පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීමට තුඩුදුන් හෙයින් මෙවර එලෙස නොකරන්නැයි මැතිවරණ කොමිසම ඉල්ලා සිටී.
මැතිවරණ කොමිසම මෙසේද පවසයි :
තවත් හොර ඩිෆෙන්ඩරයක් – අධිබල යතුරුපැදියක් මහනුවරින් සොයා ගනී
(13.11.2024 – lankadeepa.lk)
නියම චැසි අංකය වෙනස්කොට ව්‍යාජ චැසි අංකයක් යොදා ව්‍යාජ වාහන අංකයක් සවිකොට තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ ව්‍යාජ අංකයක් සවිකොට භාවිතා කළ අධිබල යතුරුපැදියක් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ඩිෆෙන්ඩර් රථය අස්ගිරිය ප්‍රදේශයෙන්ද යතුරුපැදිය කටුකැලේ ප්‍රදේශයෙන්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථය රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු එම වාහනය නිෂ්පාදනය කිරීමේදී කර්මාන්ත ශාලාවෙන් යොදන චැසි අංකය වෙනස් කොට වෙනත් චැසි අංකයක් තෙරපා (යොදා) ඇති බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් වාර්තාකොට තිබෙන බව පොලිසිය කියයි.
ඒ අනුව එම ඩිෆෙන්ඩර් රථය භාවිතා කළ බව කියන මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ ධම්මසිද්ධි මාවතේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
මහනුවර කටුකැලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාජ අංක තහඩු සවිකල අධිබල යතුරුපැදිය සම්බන්ධයෙන්ද පුළුල් විමර්ශන ආරම්භ වී ඇති අතර එම යතුරුපැදිය අශ්ව බල 650 ක යතුරුපැදියක් බව පවසන පොලිසිය ඊට අශ්ව බල 250 අංක තහඩු යොදාගෙන භාවිතා කොට ඇති බව පොලීසිය කියයි.
එම යතුරුපැදියේ හිමිකරු මේ වන විට විදේශගතව ඇති බව පවසන පොලිසිය එම යතුරුපැදිය රජයේ රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය ෴
රට යවන තැන වංචා හොයන්න විගණනයට තොරතුරු දෙයි
(13.11.2024 – lankadeepa.lk)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15 කට අදාලව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඇතැම් දේශපාලඥයින් සිය ඥාතීන් කාර්යාංශයේ රඳවා තබමින් මුදල් වංචා කළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ද කාර්යාංශයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.
පසුගිය රජය සමයේ අනීතික අයුරින් E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් කළද දකුණු කොරියා තානාපති කාර්යාලයේ දැනුම් දීම පරිදි එම රැකියා ලබාදීම නතර කළ බවත්, ඒ අනුව නිකුත් කරන ලද වීසා අවලංගු වන බවත් සභාපතිවරයා කීය.
දකුණු කොරියාවේ රැකියා ලබාදන බව පවසා මුදල් වංචා කිරීම සම්බන්ධව පැමිණිලි රාශියක් ලැබී ඇතැයි කී සභාපතිවරයා ඒ වෙනුවෙන් ඉදිරියේදී නීති ක්‍රියාමාර් ගන්නා බව සභාපතිවරයා සඳහන් කළේය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව පැවසීය ෴
2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
නිශ්පාදන ක්ෂේත්රයට අදාල රැකියා සඳහා 4384 දෙනෙකුද, ධීවර ක්ෂේත්රය සඳහා 721 දෙනෙකුද, ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා 14 දෙනෙකුද පිටව ගොස් තිබේ.
මොවුන් අතරින් තරුණයින් 3984 දෙනකු පළමු වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය පිරිස වන අතර, තවත් 719 දෙනකු දකුණු කොරියාවේ සේවය කර දිවයිනට පැමිණ යළිත් එරට සේවය සඳහා පිටව ගිය පිරිස (Re-entry) වේ. එසේම තවත් 417 දෙනෙකු Computer Base Test (CBT) ක්‍රමයට දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ. තරුණියන් 102 දෙනකුද මෙම කාල සීමාව තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.
දකුණු කොරියාවේ කෙටි කාලීන E-8 වීසා කාණ්ඩයේ රැකියා වෙනුවට ඉහළ වැටුප් හිමිවන E-9 වීසා කාණ්ඩයේ රැකියා සඳහා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමට ඉදිරියේදී දකුණු කොරියානු රජයේ බලධාරීන් සමග සාකච්ඡා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහත පැවසීය ෴
හිමිනමට පහරදී නිරුවත් කර කප්පම් ගත් තරුණයන් දෙකක් (2) මාට්ටු
(13.11.2024 – lankadeepa.lk)
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් තුන්ලක්ෂ හතලිස් තුන්දාහක (3,43,000) මුදලක් බලහත්කාරයෙන් කප්පං ලබාගත් කියන සැකකරුවන් දෙදෙනකු (2) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 23 හා 29 යන වයසේ පසුවන්නන් බව කොට්ටාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
සැකකරුවන් දෙදෙනා (2) සතුව තිබූ, යතුරුපැදියක්, කප්පම් බලෙන් ගැනීමට භාවිතා කළ ජංගම සිම් කාඩ් පතක්, මුදල් ගෙන්වා ගැනීමට භාවිතා කරන ලද බැංකු ගිණුම් පොත, මෙහිදී අත්අඩංගුවට ගත් බව ද විමර්ශන අංශය සඳහන් කරයි.
දුරකථන අංකයක් භාවිතා කරමින් ෆේස්බුක් හරහා මිතුරුවී තවත් මිතුරකු සමග 2013 වසරේ දිනකදි, අදාළ විහාරස්ථානයට පැමිණ විහාරාධිපති ස්වාමීන් වහන්සේට පහරදී, මරණ තර්ජනය කර, උන්වහන්සේ නිරුවත් කර ඡායාරූප හා දර්ශන ලබාගෙන ඒවා ප්‍රදර්ශනය කරන බව පවසමින්, වරින් වර රුපියල් තුන් ලක්ෂ හතළිස් තුන්දාහක (3,43,000) මුදලක් මෙලෙස, සැකකරුවන් දෙදෙනා (2) බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවද මූලික තොරතුරුවලින් අනාවරණය වී ඇති බව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ උසස් නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේය ෴
මහනුවර සැප වාහන හිමිකරු පොලිසිය මඟහරි
(12.11.2024 – lankadeepa.lk)
රුපියල් කෝටි ගණනක් වටිනා වාහන දෙකක් (2) නීති විරෝධී ආකාරයෙන් තබා ගෙන සිටි බව කියන මහනුවර ප්‍රදේශයේ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකුට රටින් පිටවීම තහනම් කරමින් මහනුවර මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද (12) තහනම් නියෝගයක් නිකුත් කළාය.
නීති විරෝධී වාහන සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට පොලිසියට පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදී සැකකරුට දැනුම් දුන්නත් ඔහු පොලිසිය මඟහරින බවත් ඔහු විදේශ ගතවීමට හැකියාවක් ඇති බවත් කියමින් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය අදාළ තහනම් නියෝගයක් නිකුත් කළාය.
විදේශ ගමන් වළකාලමින් මෙලෙස තහනම් නියෝගයක් නිකුත් කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකු බව කියන ‘දොන් ඉසුරු ප්‍රදීප් සද්ධාතිස්ස සේරම්’ නමැත්තකුටය.
සිද්ධියට අදාළ විමර්ශන අධිකරණයට වාර්තා කළ මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා මහනුවර අනිවත්ත වටරවුම් පාරේ නිවසක ගරාජයක් තුළ සැකකටයුතු වාහන දෙකක් (2) ගාල් කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කළ විමර්ශනයේදී පසුගිය ඔක්තෝබර් 20 වැනිදා කළ වැටලීමකදී නිවසේ ගරාජයේ සැක කටයුතු සඟවා තිබියදී බී.එම්.ඩබ්ලිව්. රේසිං වර්ගයේ නවීන මෝටර් රථයක් සහ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයක් සොයා ගත් බව දැනුම් දුන්නේය.
අදාළ මෝටර් රථ රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය මෙරට එකලස් කරන ලද වාහනයක් බවටද මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයේ චැසි අංකය සූරා දමා ඇති බවටද රජයේ රස පරීක්ෂකවරයා වාර්තා කොට ඇතැයි දැනුම් දුන් තිලක් සමරනායක මහතා අදාළ ජීප් රථය රජයට අයත් හෝ සොරකම් කළ එකක් බවට පොලිසිය සැකයක් මතුව ඇතැයිද දැනුම් දුන්නේය.
එම වාහන සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට පොලිසියට පැමිණෙන ලෙස අවස්ථා ගණනාවකදී අදාළ සැකකරුට දැනුම් දුන්නත් ඔහු පොලිසියට නොපැමිණ පොලිසිය මඟහැරීමට පටන්ගත් බවත් ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට අවස්ථා ගණනාවකදී පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසට ගියත් ඔහු නිවසේ නොමැති බව නිවැසියන් ප්‍රකාශ කළ බවද දැනුම් දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා සැකකරු විදේශ ගතවීමට හැකියාවක් ඇති හෙයින් සැකකරුට විදේශගත වීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය ෴
මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සීසාමින් සිටි අයෙක් අකුණු සැර වැදී මරුට
(13.11.2024 – lankadeepa.lk)
වර්ෂාවත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමකින් මැදවච්චිය ප්‍රදේශයේ කුඹුරක සීසාමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.
අද (13) සවස 05:30 ට පමණ සිදුව ඇති අකුණු සැර වැදීමකින් මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ මැදවච්චිය දිවුල්වැව කුඹුරු යායේ කුඹුරක සීසාමින් සිටි පුද්ගලයකු බව පොලිසිය කියයි
සිද්දියෙන් මිය ගොස් ඇත්තේ මැදවච්චිය කුලික්කඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 47 ක් වන අප්පුහාමි මුදියන්සේලාගේ ලක්මල් ජයකොඩි නමැති අයෙකි.
කුඹුරේ සීසාමින් සිටියදී අකුණු සැරට ලක්වීමෙන් බරපතළ තත්වයේ සිටි එම පුද්ගලයා කඩිනමින් ප්‍රතිකාර සඳහා මැදවච්චිය රෝහලට ඇතුළත් කළද බරපතළ තත්වයේ සිටි ඔහු රෝහල් ගතකරන අවස්ථාවේ මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
මැදවච්චිය පොලිසිය මේ වනවිට සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴
උඩරට දුම්රිය ධාවනය යථාතත්වයට
(13.11.2024 – lankadeepa.lk)
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න සහ පට්ටිපොළ ප්‍රදේශයේ දී පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනය අද (13) පස්වරුවේ සිට යලි යථාතත්වයට පත් කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
පවතින වර්ෂාවත් සමඟ අද (13) පස්වරුවේ උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය – ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගල්පර්වත කඩා වැටී තිබූ අතර පට්ටිපොළ ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට පස්කදු කඩා වැටීමෙන් මෙසේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබිණ .
දුම්රිය සේවකයන් විසින් දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ ගල්පර්වත පස්කදු ඉවත් කර මේ වනවිටත් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව – බදුල්ල අතර දුම්රිය ධාවනය යථාතත්වයට පත් කර තිබෙන බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴