‘එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාවේ’ වාර්තාව සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනයක් අරඹයි

‘එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාවේ’ වාර්තාව සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනයක් අරඹයි


‘එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාවේ’ වාර්තාව සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනයක් අරඹයි

(11.11.2024 – 20:14 +0530 – hirunews.lk/sinhala)

‘චැනල් 4 නාලිකාවේ’ වාර්තාව සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.

‘එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව වාර්තා වැඩසටහනක් විකාශය කෙරුණා.

එහි අසාද් මවුලානා නැමැත්තා ඇතුළත් වාර්තා චිත්‍රපටය ආන්දෝලනාත්මක පුවතක් වුණා.

එම සිද්ධිය සම්බන්ධයෙනුයි රහස් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන්නේ ෴

+

+


බාල එන්නත් සිද්ධියට පසුගිය රජයේ කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියෝග

(11.11.2024 – 19:01 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට ගෙන්වා බෙදා හැරීම සම්බන්ධයෙන් පසුගිය රජයේ කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.

මේ අතර බාල එන්නත් ගෙන්වූ සිදුවීම සම්බන්ධයෙන් ‘සුදත් ජානක ප්‍රනාන්දු’ නැමැත්තා තවදුරටත් ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාගරගත කරන ලෙසද මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම නියෝග කොට තිබෙනවා.

බන්ධනාගාරය විසින් සැකකරු අධීකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළේ.

මේ සිද්ධිය සම්බ්නධයෙන් එවකට කටයුතු කළ කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශ ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධීකරණයට දැන්වුවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ඇතුළු සැකකරුවන් පිරිසක් මීට පෙර ඇප මත මුදා හැර තිබෙනවා ෴


යුක්තිය ඉල්ලා පෙරටුගාමී පක්ෂයෙන් ජනපතිට ලිපියක්

(11.11.2024 – 22:20 +0530 – hirunews.lk/sinhala)

1988 – 89 වකවානුවේ අත්අඩංගුවට ගෙන ඝාතනය කළ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා පිළිබඳව සහ යුද සමයේ පැහැරගැනීම් සම්බන්ධයෙන් වහා යුක්තිය ඉටු කිරීමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැදිහත් වියයුතු බව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කරනවා.

ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ, අතීතියේ සිදු වූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වහා යුක්තිය ඉටුවිය යුතු බවයි.

ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දන ඉතිහාසයක් පසුකර ඇති මෙරට ජන සමාජයට එම සිදුවීම් ආශ්‍රිත සැබෑ තොරතුරු අනාවරණය කර ගැනීමේ අවශ්‍යතාව මේ වනවිට මතුව ඇති බව, පෙරටුගාමි සමාජවාදී පක්ෂය ජනාධිපතිවරයාට යොමුකළ ලිපියෙන් පෙන්වා දෙනවා.

ලිපියේ දැක්වෙන්නේ, අතීතයේ සිදු වූ පැහැරගැනීම් , අතුරුදන් කිරීම් සහ ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් සොයා බලා වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමට සුදුසුම කාලය එළැඹ ඇති බවයි.

88 – 89 වකවානුවේ අත්අඩංගුවේ සිටියදී ඝාතනය වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු එම පක්ෂයේ නායකයින් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කර යුත්කිය ඉටු කිරීම‍ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට පැවරී ඇති වගකීමක් බව ද පෙන්වා දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය, යුද සමයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් ද පූර්ණ විමර්ශනයක් අවශ්‍ය බව අවධාරණය කරනවා.

එවැනි පූර්ණ විමර්ශනයක් සඳහා අවශ්‍ය සහය දීමට තම පක්ෂය සූදානම් බව ද පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ සඳහන් ෴


මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට එරෙහිව කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

(11.11.2024 – 18:23 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ උතුර පොලිස් අපරාධ කොට්ඨාශය විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴


‘මුවදොර උයන’ මහල් නිවාස සංකීර්ණයේ විදුලි සෝපානය කඩාවැටී 4 කට තුවාල

(11.11.2024 – 17:39 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, ‘මුවදොර උයන’ මහල් නිවාස සංකීර්ණයේ ‘ඩී බ්ලොක්’ පරිශ්‍රයෙහි විදුලි සෝපානයක් කඩාවැටීමෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු සිවුදෙනකු (4) තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව‍යි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසන්නේ.

විදුලි සෝපානය කඩා වැටීමෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයාගේ පාදයට බරපතළ තුවාල සිදුවී ඇති බවයි රෝහල් ආරංචිමාර්ග වාර්තා කරන්නේ.

තුවාලකරු දැනට කොළඹ ජාතික රෝහලේ 72 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.

‘මුවදොර උයන’ නිවාස සංකීර්ණයේ 5 වන මහළේ පිරිසක් විසින් අවට පදිංචිකරුවන්ට කරදකාරී වන අයුරින් ඊයේ (10) දින උපන්දින සාදයක් පවත්වා තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ නිරත වී සිටි පොලිස් සැරයන්වරයකුට මේ ගැන දුරකතන ඇමතුමක් ලැබී තිබෙන බව පැවසෙනවා.

ඒ අනුවයි පොලිස් නිලධාරීන් එම නිවාස සංකීර්ණය සෝදිසි කිරීමට පැමිණ ඇත්තේ.

උපන්දින සාදය පවත්වන නිවෙසට ගොස් එය සමථයකට පත් කර නැවත පිටව යාමේදී 04 වන තට්ටුවේදී පමණ සෝපානය කඩා වැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයේ මහල් නිවාසය අවට සිටි ජනතාව චෝදනා කරන අතර මීට පෙර ද මෙවන් අනතුරුවලට මහල් නිවාස හිමියන් මුහුණ දුන් බව පවසනවා.

මේ සම්බන්ධයෙන් දැනුවත් කළත් එම අනතුර වළක්වාගැනීමට තවමත් අදාල නිළධාරීන්ගෙන් විසදුමක් ලැබී නොමැති බවයි ඔවුන් පවසන්නේ.

වැඩිදුර විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සිදුකරනවා ෴


සිරමැදිරියේ සූදු කෙළීමට ඉඩදුන් ගිරානේගම OIC ඇතුළු තිදෙනෙකු (3) අත්අඩංගුවට

(11.11.2024 – 16:46 +0530 – hirunews.lk/sinhala)

සිර මැදිරියේ සූදූ ක්‍රිඩාවට ඉඩදුන් ස්ථානාධිපති ඇතුලු තිදෙනෙකු (3) අත්අඩංගුවට.

අනුරාධපුර – තලාව ගිරානේගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සැකකරුවන් පිරිසකට පොලිස් සිර මැදිරිය තුළ සූදූ ක්‍රීඩාව කිරීමට අවස්ථාව ලබාදුන් බව කියන සිද්ධියකට අදාළවයි.

ස්ථානාධිපතිවරයාට අමතරව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සාජන්වරයෙකු සහ කොස්තාපල්වරයෙක්.

ප්‍රදේශයේ සූදූ ක්‍රිඩාවේ නිරතවීමේ සිද්ධියකටම අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

කෙසේ වෙතත්, ඔවුන් පොලිස් සිර මැදිරිය තුළ සූදූ ක්‍රිඩාවේ නිරත වන අයුරු කිසියම් පුද්ගලයෙකු වීඩියෝගත කර එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා ෴


ජොන්සටන් ප්‍රනාන්දුගේ වාහන සිද්ධියෙන් හිල්ටන් හෝටලයටත් අධිකරණ නියෝගයක්

(11.11.2024 – 16:36 +0530 – hirunews.lk/sinhala)

ජොන්සටන් ප්‍රනාන්දුට අයත් බව කියන එකලස් කළ බවට චෝදනා ගොනු කර ඇති ප්‍රශ්නගත BMW වර්ගයේ මෝටර් රථය ගාල් කර තිබූ කොළඹ හිල්ටන් හෝටලයේ සීසීටීවී දර්ශන සුරක්ෂිත කර තබන ලෙස එහි කළමණාකාරිත්වයට ඊයේ (11) කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝගයක් නිකුත් කළා.

ඒ මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඊට අදාළ සීසීටීවී දර්ශන විමර්ශනය සදහා සාක්ෂි ලෙස ඉදිරිපත් කිරිමට සූදානම් බැවින් එම සීසීටීවී සාක්ෂි සුරක්ෂිත කර තිබන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම ප්‍රශ්නගත වාහනය අධීකරණ භාරයට ගන්නා ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එහිදී මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ අධිකරණ පරිශ්‍රයේ ඉඩ සීමිත බැවින් එම වාහනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රඳවා තබන ලෙසයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔහුගේ රියදුරන් දෙදෙනෙක් (2) සහ වාහනය එකලස් කළ බව කියන පුද්ගලයෙකුගේ ඥාතියෙක් (1) ඇප මත මුදා හරිනු ලැබුවා.

මේ වාහනය කොළඹ හිලටන් හෝටලයේ රථ ගාලේ නවතා තිබියදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව බාරයට ගෙන විමර්ශන ආරම්භ කරනු ලැබුවා ෴


මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ රුපියල් කෝටි 07 ක කොල්ලයක්

(11.11.2024 – 16:05 +0530 – hirunews.lk/sinhala)

කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වු කල්ලියක් විසින් නිවැසියන් ගැටගසා රුපියල් කෝටි 07 ක් පමණ වටිනා මැණික්, ස්වර්ණාභරණ, මුදල් හා නවීන මෝටර් රථයක් පැහැරගෙන ගොස් තිබෙන බව වාර්තා වනවා.

ලග්ගල, කළුගඟ, දේවාලදෙණිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසක් මෙසේ කොල්ලකා ඇති බවයි ලග්ගල පොලිසිය පවසන්නේ.

කෝටිපති මැණික් ව්‍යාපාරිකයා, බිරිඳ සහ ව්‍යාපාරිකයාගේ පියාගේ දෑත් දෙපා ගැටගසා දමා ඊයේ (10) පස්වරුවේ මෙම කොල්ලය සිදුකර තිබෙන බව පොලිසිය පැවසුවා.

කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට නාදුනන පුද්ගලයින් 05 දෙනෙකු පැමිණි බවට තොරතුරු ලැබී අති බවයි ලග්ගල පොලිසිය පවසන්නේ.

මෙසේ පැහැරගත් මෝටර් රථය ගලේවෙල, තලකිරියාගම ප්‍රදේශයේ මාර්ගයක් අසල අතහැර දමා තිබියදී අද (11) පෙරවරුවේ සොයා ගත් බවයි ‘හිරු ප්‍රවෘත්ති’ වෙත ලග්ගල පොලිසිය කියා සිටියේ.

කළුගඟ ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු වන ‘සුසන්ත ප්‍රදීප් කුමාර’ හෙවත් ‘පොඩි රෝහණ’ නැමැති ව්‍යාපාරිකයාගේ නිවෙසයි මෙසේ කොල්ලකා ඇත්තේ.

ව්‍යාපාරිකයා ඊයේ (10) රාත්‍රියේ නිවස ඉදිරිපිට බුදු මැදුරේ බුදුන් වැඳීම සිදුකරමින් සිට තිබෙනවා.

එහිදී නිවස පිටුපස තාප්පයකින් පැන ආ මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් පස් දෙනෙකු (5) පිස්තෝලයක් හිසට තබා ඔහුගේ දෑත් දෙපා සෙලෝ ටේප්වලින් අලවා තිබෙනවා.

පසුව ඔහු ඔසවාගෙන නිවස ඇතුළට රැගෙන ගොස් සෙසු නිවැසියන ගැට ගසා ඇතැයි පැමිණිල්ලේ සඳහන් ෴

+


සුජීව සේනසිංහගේ ප්‍රශ්නගත සුඛෝපභෝගි ජීප් රථය CID භාරයට ගන්නැයි අධීකරණයෙන් නියෝග

(11.11.2024 – 14:05 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ භාවිත කළ කලු‍ පැහැති ‘වී එයිට්’ වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව ගොනු කළ මෝසමක් අද (11) සලකා බැලූ අවස්ථාවේදී එම නියෝගය සිදු කළ බවයි ‘හිරු අධිකරණ’ වාර්තාකරු කියා සිටියේ.

අදාළ මෝටර් රථය වැඩිදුර පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අධිකරණය මීට පෙර අවසර දී තිබුණේ එම දෙපාර්තම්න්තුව සිදු කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි ෴

+

+


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට මෙහෙමත් පත්‍රිකාව ගන්න පුළුවන්

(11.11.2024 – 12:24 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු පසුගිය 07 වනදා අවසන් වු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම ‍බෙදාදීම් සිදු වුවත් 550,000 ක් නිල ඡන්ද පත්‍රිකා භාරගෙන නොමැති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ නිල ඡන්ද දැන්වීම් පත් නොලැබුණු ඡන්ද හිමියන්ට 2024 නොවැම්බර් මස 14 දින දක්වා කාර්යාල වේලාව තුළ දී ඔවුන් ජන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අසළ ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව තම ගෘහයට අදාළ නිල ඡන්ද දැන්වීම්පත් ලබා ගැනීමට හැකියාව පවතින බවයි.

එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් පහත පියවර අනුගමනය කිරීමෙන් මාර්ගයක ක්‍රමයට ලබා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් පහසුකම් සලසා තිබෙනවා.

ඒ අනුව එහි පහත සඳහන් ආකාරයට නිල ඡන්ද පත්‍රිකාව ලබා ගැනීමට හැකියාව පවතිනවා.

(1) https://eservices.elections.gov.lk යන මැතිවරණ ඉ-සේවා වෙබ් අඩවියට පිවිසෙන්න.

(2) එහි පුරවැසියන් සඳහා වන යොමුවෙන් ‘ඡන්දහිමි ලියාපදිංචි තොරතුරු සෙවුම‍’ යන ඉ-සේවාව වෙත යොමුවෙන්න.

(3) ජාතික හැඳුනුම්පත් අංකය යොදා තොරතුරු සොයන්න.

(4) ඒ අනුසාරයෙන් ලැබෙන තොරතුරු අතරින් මැතිවරණය සඳහා ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු ‘පාර්ලිමේන්තු මැතිවරණය -2024’ වෙත පිවිසෙන්න.

(5) එවිට 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා භාවිතා වන නාමලේඛනයේ ඔබගේ ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු දිස් වේ.

(6) එයට පහළින් ඔබේ ජංගම දුරකථන අංකය ඇතුළත් කර ඡන්ද දැන්වීම් පත්‍රිකාව මුද්‍රණය මඟින් නිල ඡන්ද දැන්වීම පත්‍රය බාගත කර ගැනීම සඳහා යොමුවන්න.

(7) ඒ සමඟම ඔබගේ ජංගම දුරකථනයට කේතයක් (OTP) ලැබෙන අතර, එම කේතය ‘Enter the code’ යනුවෙන් දිස්වන ස්ථානයට ඇතුළත් කර ඔබගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව බාගත කර ගන්න.

එසේම ඡන්ද හිමියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම්පත අනිවාර්ය අවශ්‍යතාවයක් නොවන අතර, 2024 ඡන්දහිමි නාමලේඛනයේ නම් සඳහන් වලංගු හැදුනුම්පතක් සහිත ඕනෑම ජන්ද හිමියෙකුට තමාට වෙන්කර ඇති ඡන්ද පොළ වෙත ගොස් අනන්‍යතාව සනාථ කිරීම ප්‍රමාණවත් බව වැඩිදුරටත් නිවේදනය කරනු ලබයි ෴

2024 පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතුද අද මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ මැතිවරණ ප්‍රචාරක කාර්යාල හෙට (12) වනවිට ඉවත් කළ යුතු බවයි.

මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරට නිරික්ෂකයින් මෙන්ම යුරෝපා සංවිධානය ඇතුලු ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් සහභාගි වනු ඇති ෴


අලුත් පාර්ලිමේන්තුවේ පළමු (1) දවස මෙන්න

(11.11.2024 – 11:10 +0530 – hirunews.lk/sinhala)

දසවැනි (10) පාර්ලිමේන්තුවේ පළමු (1) සභාවාරය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කළ 2024.09.24 දිනැති අංක 2403/13 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසනවා.

දසවැනි (10) පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් ‍‍තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළැඹෙන නොවැම්බර් 14 වැනිදාට යෙදී තිබෙනවා.

එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරයන් 196 ක් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරයන් 29 දෙනෙක්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 225 ක් බවට පත්වනවා.

පාර්ලිමේන්තුවේ පළමු (1) සභාවාරයේ පළමු (1) දිනය ඉතා වැදගත් වන්නේ එදින සිදුකිරීමට නියමිත විශේෂ කටයුතු රැසක් පවතින බැවිනි.

පළමු (1) දිනයේ සභා ගර්භයේ කටයුතුවල ප්‍රධාන වගකීම් පැවරෙනුයේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙතයි.

පළමු (1) දිනයේදී මන්ත්‍රීවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරයන්ට හිමිවනවා.

සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස් වන දිනය හා වෙලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු (1) කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කරනු ලබයි.

අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4, 5 සහ 6 හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කථානායකවරයා ඡන්දයෙන් පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති ‍ඡන්දයෙන් තොරා පත් කර ගැනීම සිදුකරනු ලැබෙන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය වැඩිදුරටත් කියා සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *