ඔන්ලයින් ජාවාරමේ නිරත වූ ලාංකිකයන් – රුපියල් කෝටි 30 ක් වංචා කරලා
ඔන්ලයින් ජාවාරමේ නිරත වූ ලාංකිකයන් – රුපියල් කෝටි 30 ක් වංචා කරලා
(09.11.2024 – 19:33 +0530 – sinhala.adaderana.lk)
අන්තර්ජාලය හරහා මුදල් වංචාකිරීමේ ජාවාරමක සුලමුල අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ.
ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එහි ප්‍රධානීන් දෙදෙනෙකු (2) ඇතුළු පුද්ගලයන් 59 දෙනෙකු ද ඊයේ (08) කොළඹදී අත්අඩංගුවට ගනු ලැබීය.
විදේශීය ජාතිකයන් ඉලක්ක කර එම ජාවාරම සිදුකර ඇති අතර දැනට රුපියල් කෝටි 30 ක පමණ මුදලක් ඔවුන් වංචා කර ඇති බවද පොලීසිය පැවසීය.
මෙරට කොරියානු තානාපති කාර්යාලයෙන් පසුගිය බ්‍රහස්පතින්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණේ කොරියානුවෙකුගෙන් මෙරට පිහිටි ‘වේව්ටෙක්’ නම් ආයතනයක් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කර ඇති බවය.
අවස්ථා කිහිපයකදී ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජනය කිරීමට බව පවසමින් අමෙරිකානු ඩොලර් මිලියනයක පමණ මුදලක් අදාළ කොරියනු ජාතිකයාගෙන් ලබාගෙන ඇති අතර පසුව එම මුදල් ලබාදීම පැහැරහැර ඇති බවද එම පැමිණිල්ලේ සඳහන් ව තිබේ.
ඒ අනුව අදාළ ආයතනය හැව්ලොක් පාරේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක පවත්වාගෙන යන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අනාවරණය කරගනු ලැබීය.
එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ස්ථානයේ ඊයේ (08) පස්වරුවේ වටලා ලාංකිකයන් 57 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ඒ අතර ගර්භණී කතුන් දෙදෙනෙකු (2) ඇතුළු කාන්තාවන් 23 න් දෙනෙකු සිටි බවත් පොලීසිය සඳහන් කළේය.
පොලීසිය පැවසුවේ ඔවුන් සියලුදෙනාටම භාෂා කිහිපයක් හැසිරවීමේ හැකියාව පවතින බවත් ඇතැම් පිරිස් භාෂා 5 කට අධික පිරිසක් හැසිරවීමේ හැකියාවකින්ද යුතු අය බවය.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව නීතීඥරියක් වන මෙහි අධ්යක්ෂවරියක සහ කළමනාකරුවකු ද විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය.
එමෙන්ම අදාළ ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 90 ක පමණ මුදලකට කුලී පදනම මත ලබාගෙන ඇති බවද විමර්ශනවලදී හෙළිව තිබේ.
තමන්ව තොරතුරු තාක්ෂණ රැකියා බව පවසමින් රැකියාවට බඳවාගත්ත ද ජපන්, කොරියන් සහ ජර්මන් භාෂා හැසිරවීමට ඇති හැකියාව පමණක් මෙහිදී පරීක්ෂා කළ බව ද සැකකරුවන් පිරිස පොලීසිය හමුවේ පවසා තිබේ.
එම ජාවාරම සිදුකළ අදාළ සුපිරි නිවාස සංකීර්ණයේ 40 වෙනි මහළ විවිධ කොටස්වලට බෙදා තමන්ව විවිධ කොටස්වලට දමා අනෙක් පුද්ගලයන් සමග සබඳතා නොපවත්වන ලෙස දැනුම්දී ඇති බව සැකකරුවන් එහිදී පවසා ඇත.
මෙරට තුළ අයෝජනය සඳහා විදේශිකයන් සම්බන්ධ කරගැනීම වෙනුවෙන් රුපියල් පනස්දහසක (50,000) වැටුපට අමතරව කොමිස් මුදලක් ලබාදුන් බව සැකකරුවන් පවසා තිබේ.
ඒ අනුව රුපියල් ලක්ෂ එකහමාරේ (1,50,000) සිට රුපියල් ලක්ෂ 6 (6,00,000) දක්වා ඇතැම් පිරිස් වැටුප් ලබාගෙන තිබේ.
කෙසේවෙතත් ඔවුන් මෙම ජාවාරම සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් දැන සිට නොමැත.
ඔවුන්ව සේවා මුර ක්‍රමයට සේවයට කැඳවා ඇති අතර මෙහිදී විදේශිකයන් ආයෝජනය කරන මුදල්වලට කුමක් සිදුවන්නේ ද යන්න පිළිබඳව ද ඔවුන් කිසිවක් දැන සිට නොමැත.
සියලු ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරුවන් පිරිස අද (09) දහවල් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළවත් නොමැති ආරක්ෂාවක් අදාළ ස්ථානය තුළ පැවැති බවය.
විමර්ශන නිලධාරීන් එම ස්ථානයට ඇතුළු වනවිටම එහි පැවැති පරිගණක පද්ධතිය අක්‍රීය කර ඇති අතර විදේශිකයන් ගෙන් මුදල් ආයෝජන ලබාගැනීම සඳහා සකසන ලද ව්‍යාජ ලේඛනද අදාළ පරිගණක තුළ තිබී සොයාගත් බව විමර්ශන නිලධාරීන් පැවසීය.
‘වේව්ටෙක්’ නම් මෙම ආයතනය ‘සමාගම් මැදුරේ’ ලියාපදිංචි කර ඇති බවත් මෙම වංචාව පිළිබඳව තානාපති කාර්යාලයේ නිලධාරීන් පවා වික්ශිප්ත වූ බවත් ඔවුන් පෙන්වාදුනි.
මෙහි අධ්‍යක්ෂවරිය හා කළමණාකාරවරිය සුඛෝපභෝගී දිවිපෙවතක් ගෙවා ඇති අතර මුදල් වංචා මගින් ලැබෙන මුදල්වලට කුමක් සිදුකරන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති බවද විමර්ශකයන් පැවසීය.
මොවුන් දෙදෙනා (2) විසින් සංවිධානාත්මකව තවත් මෙවැනිම ආයතන තුනක් (3) පවත්වාගෙන යන අතර ඊයේ (08) දිනයේදී මෙම ස්ථානය වැටලීමත් සමග අනෙක් ආයතන සියල්ලේ උපාංගද ඉවත් කර වසා දැමීමට කටයුතු කර එහි සේවකයන්ට ද සේවයට වාර්තා නොකරන ලෙස දැනුම්දී ඇති බවද විමර්ශකයන් ප්‍රකාශ කළේය.
සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, මෙහි සිටින ඇතැම් සේවකයන් මේවන තෙක් සිය පළමු වැටුපවත් ලබාගෙන නොමැති නවකයන් බවත් බහුතරයක් දෙනා වයස අවුරුදු 25 ට අඩු පුද්ගලයන් බවත් සලකා ඇප ලබාදෙන ලෙසයි.
සියලු කරුණු සලකා බැලූ අධිකරණය අදාළ ආයතනයේ අධ්‍යක්ෂවරිය හා කළමනාකරු එළැඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ලෙස නියෝග කළේය.
සෙසු පිරිස රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමටද නියෝග කර තිබේ.
+
‘ට්‍රම්ප් ඝාතන සැලසුම්කරු’ ආරුගම්බේ සිද්ධියටත් සම්බන්ධ බවට තොරතුරු
(09.11.2024 – 16:46 +0530 – sinhala.adaderana.lk)
අමෙරිකාවේ නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ ඝාතනය කිරීමට සැලසුම් කළ ‘ෆර්හාද් ශකේරි’ නම් පුද්ගලයා ශ්‍රී ලංකාවේදී ඊශ්‍රායල් ජාතිකයින් ඝාතනය කිරීමට ද සැලසුම් කර ඇති බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අද (09) නිවේදනය කළේය.
ඒ, ‘කාර්ලිස්ල් රිවේරා’ නමැති 49 හැවිරිදි පුද්ගලයෙකු නිව්යොර්ක් නුවර බෲක්ලින් හිදී සහ ‘ජොනත් ලෝඩ්හෝල්ට’ නම් 36 හැවිරිදි පුද්ගලයෙකු නිව්යෝර්ක් හි ස්ටැටන් දූපතේදී අත්අඩංගුවට ගැනීමත් සමඟය.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දෙදෙනා (2) විසින් මෙම තොරතුරු අනාවරණ කර ඇති බව එම නිවේදනයේ දැක්වෙන බව සඳහන් ය.
කෙසේ වෙතත්, ‘ජනපති ට්‍රම්ප්’ සහ ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් ජාතිකයින්ට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති 51 හැවිරිදි ඉරාන ජාතික ‘ෆර්හාද් ශකේරි’ නමැති පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අමෙරිකාව විශ්වාසය පළකරන්නේ ඔහු මේ වන විට ඉරානයේ රැඳී සිටින බවය.
කෙසේ වෙතත් ඔවුන් තිදෙනාටම (3) එරෙහිව මේ වන විට එරට අධිකරණය හමුවේ අපරාධ චෝදනා ගොනුකර තිබේ.
අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ‘ට්‍රම්ප්’ ජනාධිපතිවරණය පරාජය වනු ඇතැයි කුමන්ත්රණකරුවන්ගේ විශ්වාසය වී ඇති බවත් මැතිවරණයෙන් පසුව ඔහු වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවය.
ඒ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ නියෝජිතයෙකුගේ මෙහෙයවීමෙනි.
අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව ඇත්තේ නිව්යෝර්ක් නුවර වාසය කරන යුදෙව් අමෙරිකානු ජාතිකයින් දෙදෙනකු (2) ඉලක්ක කරන ලෙසට ‘ශකේරි’ට උපදෙස් ලැබී ඇති අතර එක් (1) අයෙකුට ඩොලර් ලක්ෂ 5 බැගින් වූ මුදලක් ලබාදෙන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය පොරොන්දු වී ඇති බවය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කිරීමත් ‘ශකේරී’ වෙත පැවරී තිබූ බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වී තිබේ.
සරණාගතයෙකු ලෙස කුඩා වියේදීම අමෙරිකාවට පැමිණ ඇති ‘ශකේරී’ 2008 දී අමෙරිකාවෙන් පිටුවහල් කර ඇත්තේ සොරකමක් සම්බන්ධයෙන් වසර 14 ක සිරදඩුවම් කාලයකින් පසුවය.
අමරිකානු අධිකරණය දෙපාර්තමේන්තුව අද (09) නිකුත් කළ මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් බී.බී.සී., අල්ජසීරා ඇතුළු ලොව ප්‍රධාන පෙළේ ප්රවෘත්ති ආයතන මෙම පුවත කෙරෙයි අවධානය යොමුකර තිබේ.
ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. නාලිකාව වාර්තා කළේ, ‘ට්‍රම්ප් ඝාතනය සැලසුමේ’ චෝදනා එල්ල වී ඇති ඉරාන ජාතික ‘ශකේරී’ නමැති පුද්ගලයා 2019 වසරේදී ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන තිබූ බවය.
හොරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන පසුව ඔහු නිදහස් කර ඇති බවද එන්.ඩී.ටී.වී. නාලිකාව වාර්තා කළේය.
මේ වනවිට ‘ශකේරි’, ‘ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය’ වෙනුවෙන් ඝාතන සිදුකිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු අපරාධ සිදුකරන්නේ අමෙරිකාවේ දී සිරගතව සිටි කාලයේ දී ඇති කරගත් අපරාධ ජාලය භාවිතයෙන් බව සඳහන් වෙයි.
කෙසේ වුවද ‘ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණය’ පිටුපස ඉරානය සිටින බවට එල්ලවන චෝදනා පිළිබඳව ඉරානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.
+
ලංකාවෙන් ලෝක වෙළදපොලට යන පළමු වාහනය ! I Elektrateq ETX Review (09.11.2024)
+
ව්‍යාජ ඩොලර් සමග හෝටල් ගණකාධිකාරී අත්අඩංගුවට
(10.11.2024 – 17:23 +0530 – hirunews.lk/sinhala)
සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු ඇමරිකන් ඩොලර් හොර නෝට්ටු තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිගම, මිරිස්ස සංචාරක හෝටලයක ගණකාධිකාරීවරයකු මෙසේ ඇමරිකන් ඩොලර් 100 හොර නෝට්ටු 28 ක් සමග සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවයි මාතර අපරාධ කොට්ඨාසය පවසන්නේ.
මාතර පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කර ඇත්තේ ෴
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 550,000 ක් තැපෑලේ ගොඩගැසිලා
(10.11.2024 – 16:54 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තු මහමැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමෙන් පසුව තවත් ඡන්ද දැන්වීම් පත්‍රිකා 550,000 ක් තැපැල් කාර්යාවල ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය ඔක්තෝබර් 27 වනදා සිට මේ මස 07 වනදා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඡන්ද දායකයින්ගේ නිවෙස්වලට තැපැල් මගින් බෙදාහැරීමට කටයුතු කළා.
කෙසේ වෙතත් අද (10) වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 550,000 ක් තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් දෙදෙනෙකු (2) මියයයි
(10.11.2024 – 12:48 +0530 – hirunews.lk/sinhala)
අම්බලන්ගොඩ – ඌරවත්ත ප්‍රදේශයේදී අද (10) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවකට සහ පිරිමි පුද්ගලයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
වෙඩි තැබීම සිදු කළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴
ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ – ඌරවත්ත ප්‍රදේශයේදී අද (10) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් අඹුසැමි යුවලක් ජීවිත්ෂයට පත්වුණා.
පොලිසිය සදහන් කළේ මාදම්පාගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සහ 46 හැවිරිදි අඹුසැමි යුවලක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඔවුන් විසින් අසල්වැසියන්ට එරෙහිව පොලිසියට කරන ලද පැමිණිල්ලක් ඉවත්කරගැනීමට පොලිස් ස්ථානයට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.
ඔවුන් දෙදෙනා (2) යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින්. ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර මෙම අඹු-සැමි යුවලට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතිනවා.
එමෙන්ම අදාළ කාන්තාවගේ සොහොයුරාදා මීට මාස කිහිපයකට ඉහතදී ඝාතනය කර ඇති බවටයි වාර්තා වන්නේ ෴
රුපියල් කෝටි 4 ක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු කටුනායක දී අත්අඩංගුවට
(10.11.2024 – 09:59 +0530 – hirunews.lk/sinhala)
රුපියල් කෝටි 4 ක් වටිනා ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (09) රාත්‍රියේ තායිලන්තයේ සිට මෙරටට පැමිණි අදාළ ගුවන් මගියාගේ ගමන් මලුවල තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සදහන් කළේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 5 ක් පමණ වන බව සදහන්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴
සරම්ප, රුබෙල්ලා එන්නත් ලබාදීමට නිවාස 90,000 ක්, ආයතන 2000 ක වැඩි ප්‍රමාණයක් ආවරණය කෙරේ
(10.11.2024 – 07:49 +0530 – hirunews.lk/sinhala)
විශේෂ සරම්ප, රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතිය ක්‍රියාත්මක වු පසු ගිය දින 5 තුළ සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය නිවාස 90,000 ක් සහ ආයතන 2000 කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.
ලේකම්වරයා මේ බව පැවසුවේ වයස අවුරුදු 20 ත් 30 අතර සරම්ප එන්නත් ලබා නොගත් සහ එක් (1) එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති බවට හදුනාගත් තරුණ තරුණියන් හට සරම්ප එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල අද දින (09) ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම ප්‍රාදේශීය රෝහලේ ක්‍රියාත්මක සරමිප එන්නත් සායන මස්ධ්යස්ථානය සහ කොළඹ 5 කිරුළ මාතෘ නිවාසයයේ සායන මධ්‍යස්ථානය තුල ක්‍රියාත්මක සරමිප එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදලේ (යුනිසෙෆ්) මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් ද එක්ව සිටියහ.
මෙම විශේෂ එන්නත්කරණ වැඩපිළිවෙල දිස්ත්‍රික්ක 12 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 206 ක ඉදිරි සෙනසුරාදා දින 4 ක් තුළ ද ක්‍රියාත්මකයි.
සරම්ප එන්නත ලබාගෙන නොමැති වයස අවුරුදු 09 සිට 15 දක්වා දරුවන් වෙත ද මෙහි දී සරම්ප එන්නත ලබාගත හැකිය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඩ්, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ හසිත තිසේරා, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල රැසක් එක්ව සිටියහ ෴
මහ මැතිවරණයට සියලුම විශ්වවිද්‍යාල වසා තැබේ
(09.11.2024 – 18:45 +0530 – hirunews.lk/sinhala)
පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාල වසා තැබෙනවා.
2024 මහ මැතිවරණය හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාල නොවැම්බර් 13 සහ 14 යන දිනවල වසා තැබෙන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසන්නේ ෴
ඡන්දයේ සියළු ප්රචාරක කටයුතු සඳුදා (11) මධ්‍යම රාත්‍රී 12 ට අවසන්
(09.11.2024 – 17:58 +0530 – hirunews.lk/sinhala)
මහ මැතිවරණයේ නිහඬ කාලය ලබන සඳුදා මධ්‍යම රාත්‍රී 12 ට ආරම්භ වනවා.
නිහඬ කාලය ආරම්භ වීමෙන් පසුව කිසිදු ප්රචාරක කටයුත්තක් කළ නොහැකි බවත් එම කාලයේදී ප්රචාරක කටයුතු කරන සියලු අපේක්ෂකයන් සහ ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට උපදෙස් දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
නිහඬ කාලයේ දී ඡන්ද ප්රචාරක කටයුතු සඳහා ගෙන්ගෙට යෑම හා පෙළපාළි පැවැත්වීම නීති විරෝධී කටයුත්තක් බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා.
මේ වන විට පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 1,794 ක් ලැබී තිබෙනවා.
ඒ අතර අපරාධ ගණයට වැටෙන පැමිණිලි 51 ක් ලැබී ඇති බව සඳහන් ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴