අර්ජුන් ඇලෝසියස් දෙස සී.අයි.ඩී.ය නිකං බලා සිටියේ ඇයි? – අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අසයි

අර්ජුන් ඇලෝසියස් දෙස සී.අයි.ඩී.ය නිකං බලා සිටියේ ඇයි? – අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අසයි


අර්ජුන් ඇලෝසියස් දෙස සී.අයි.ඩී.ය නිකං බලා සිටියේ ඇයි? – අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අසයි

(08.11.2024 – mawbima.lk)

පසුගිය හය වැනිදා (06) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාග වූ රුපියල් පන්කෝටි විසිනව ලක්ෂයක (5,29,00,000) මුදලක් වංචා කර සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනාවකට අදාළ නඩුවේදී සැකකාර ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුට එරෙහිව බී වාර්තාවක් හෝ කිසිදු වාර්තාවක් ඉදිරිපත් නොකොට ඔහු නොමැති අවස්ථාවකදී හදිසියේ මෝසමක් මඟින් කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් සිරිවර්ධන මහතාට විවෘත අධිකරණයෙදී ‍දෝෂාරෝපණය කළේය.

නිසි අවස්ථාවේදී ක්‍රියාත්මක නොවී මෙසේ හදිසියේ ඊයේ දින (07) මෝසමක් යොමු කළේ මන්දැයි මහෙස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේ මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණ හමුවේ පවතින නඩුව මෝසමක් මඟින් යළි කැඳවා සැකකාර අර්ජුන් ඇලෝසියස්ගෙන් වැලිකඩ බන්ධනාගාරය තුළදී ප‍්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් සිරිවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදීය.

රුපියල් පන්කෝටි විසි නව ලක්ෂයක (5,29,00,000) මුදලක් වංචා කර සාපරාධී විශ්වාසය කඩ කිරීමේ චෝදනාවකට අදාළ සැකකරු (මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්) පෙරේදා (06) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු සම්බන්ධයෙන් බී වාර්තාවක් හෝ කිසිඳු වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් නොකර නිසි වාචික කරුණු දැක්වීමක් පවා සිදු නොකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුට ඇප ලබා දුන්නාට පසුව (අර්ජුන් ඇලෝසියස්) ඔහු විවෘත අධිකරණයේ නොමැති අවස්ථාවක හදිසියේම ඊයේ (07) දින මෝසමක් මඟින් කරුණු දක්වන්නේ ඇයි දැයි අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්වේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් සිරිවර්ධන මහතාගෙන් විවෘත අධිකරණයේදී ප‍්‍රශ්න කළේය.

ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා මෙසේ ප‍්‍රශ්න කර සිටියේ මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුව මෝසමක් මඟින් යළි කැඳවා සැකකාර අර්ජුන් ඇලෝසියස්ගෙන් වැලිකඩ බන්ධනාගාරය තුළදී ප‍්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් සිරිවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදීය. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් අමතමින් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා තවදුටරත් මෙසේද කීවේය. මෙම සිද්ධියට අදාළ සැකකරු (අර්ජුන් ඇලෝසියස්) පෙරේදා (06) දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප‍්‍රකාශයක් පවා සටහන් කර ගෙන තිබුණේ නැහැ. එමෙන්ම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථා‍වේ බී වාර්තාවක් හෝ කිසිදු වැඩිදුර වර්තාවක් ඉදිරිපත් කළෙත් නැහැ. කිසිදු පැහැදිලි වාචික කරුණු දැක්වීමක් කළෙත් නැහැ. පෙරේදා (06) දින බන්ධනාගාරය මඟින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අධිකරණයට ඕන දෙයක් කර ගන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහේ සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වර්තාවක් මෙන්ම වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් නොකරන මෙන්ම නිසි වාචික කරුණු දැක්වීමක් සිදු නොකරන පසුබිමක අධිකරණය නියෝග ලබා දෙන්නේ කොහාමද? සැකකරුට ඇප දුන්නට පස්සේ සැකකරු අධිකරණයේ නොමැති අවස්ථාවක ඔහු සම්බන්ධයෙන් ඊයේ (07) දින අධිකරණයට කරුණු දක්වනවා.

ඔය කරුණු දැක්වීම කරන්න තිබුණේ පෙරේදා (06) සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නේද? සැකකාර අර්ජුන් ඇලෝසියස් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගැටලු සහගත ක්‍රියා කලාපය දැඩි ලෙස ‍දෝෂදර්ශනයට ලක් කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා ඒ බොහෝ කරුණු අදාළ නඩු පොතේ සටහන් කරන අයුරුද දක්නට ලැබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම දෙබිඩි පිළිවෙත ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා විසින් දැඩි ලෙස ‍දෝෂදර්ශනයට ලක් කළ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් සිරිවර්ධන මහතා අධිකරණයට පවසා සිටියේ සිදු වූ වරදට අධිකරණයෙන් සමාව අයදින බවයි. අනතුරුව යළි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් අමතමින් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා ප‍්‍රකාශ කළේ එහෙම සමාව ඉල්ලා සිටීම තුළින් මෙම බරපතළ කාරණය සුළු කොට තැකිය නොහැකි බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ රජයේ ආයතනයක්. එහෙම ආයතනයක් වගකීමෙන් කටයුතු කරන්නේ මෙලෙසදැයි ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා විමසා සිටියේය. ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා තවදුරටත් මෙසේද කීවේය. පෙරේදා (06) දිනයේ සැකකරු (අර්ජුන් ඇලෝසියස්) බන්ධනාගාරය මඟින් අධිකරණයට ඉදිරිපත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මතයි. එවැනි පසුබිමක සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ බී වාර්තාවක් හෝ කිසිදු වැඩිදුර වාර්තාවක් මෙන්ම නිසි වාචික කරුණ දැක්වීමක් පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු නොකිරීම බරපතළ කාරණයක්.

අනතුරුව සැකකාර අර්ජුන් ඇලෝසියස්ගෙන් වැලිකඩ බන්ධනාගාරය තුළදී ප‍්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙස ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා වැලිකඩ අධිකාරිවරයාට නියෝග කරනු ලැබීය. නොච්චියාගම පී.ඩී.ජී. ඇග්‍රෝ බිස්නස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රසාද් දිලංක මහාතගේ කැබලි බඩ ඉරිගු ලබා ගෙන රුපියල් පන්කෝටි විසිනව ලක්ෂයක් (5,29,00,000) වංචා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවීමෙන් අනතුරුව සැකකාර අර්ජුන් ඇලෝසියස් පෙරේදා (06) බන්ධනාගාරය මඟින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් සිරිවර්ධන සහ පොලිස් පරීක්ෂක අසේල ඉන්ද්‍රජිත් සහ පොලිස් පරීක්ෂක තාරුක යන මහත්වරු පෙනී සිටියහ ෴


කුරුණෑගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ පිරමීඩ ජාවාරමකින් රු. කෝටි 1000 ක් වංචා කළ අඹු සැමි යුවළක් අල්ලයි

(08.11.2024 – ada.lk)

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ පිරමීඩ් මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර, රටින් පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ 08.11.2024 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ‘රණසිංහ ආරච්චිගේ ධම්මික කුමාර රණසිංහ’ නැමැති 52 හැවිරිදි මෙම පුද්ගලයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගහැර පළා ගොස් තිබූ අතර , ඔහු 08.11.2024 දින අලුයම 12:00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්. 189 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණි මොහු පිළිබඳ ලැබී තිබූ තොරතුරු මත කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරී කවුළු වෙත යාමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.

පසුව ඔහු රැගෙන යාමට කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිටි, එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ, මොහුගේ බිරිඳ, ‘ගාල්ලේ වඩුගමගේ සමුද්‍රා සුරංගනී හේමචන්ද්‍ර’ නැමැති 42 හැවිරිදි කාන්තාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

‘ජෙඩ්සීස් බිස්නස් ස්කූල්’ නැමැති පිරමීඩ් මූල්‍ය ආයතනයක් පිහිටුවා ගනිමින් තැන්පත්කරුවන් 2,500 කගෙන් පමණ මෙම මුදල මොවුන් වංචා කර කුරුණෑගල නගර මධ්‍යයේ මහළ් නිවාස සංකීර්ණයක් ඉදි කර පැවතීම, එම ප්‍රදේශයේ විශාල ඉඩම් දෙකක් (2) මිළ දී ගෙන තිබීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු 03 ක මෙම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියකගේ නමින් ගිණුම් 11 ක් පවත්වා ගෙන ගොස් ඇති බව අධිකරණ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

මෙසේ අත් අඩංගුවට ගත් මොවුන් දෙදෙනා 08.11.2024 දින උදෑසන, කොළඹ කොටුව මූල්‍ය සහ වානිජ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා රැගෙන ගොස් තිබේ.

ඊට අමතරව කොළඹ නාරාහේන්පිට ‘නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය’ මගින් ද මොවුන්ට එරෙහිව විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බැවින්, එම කොට්ඨාසය වෙත ද මොවුන් යොමු කිරීමට නියමිතය ෴

+++++++

පිරමීඩ ජාවාරමට අත්අඩංගුවට ගත් යුවළ රිමාන්ඩ්

(08.11.2024 – 15:54 +0530 – sinhala.adaderana.lk)

පිරමිඩ ආකාරයේ සමාගමක් ආරම්භ කර පවත්වාගෙන ගොස් එහි ආයෝජනය කළ රුපියල් මිලියන 1,800 කට වැඩි මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදේශගතව සිට පැමිණි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පොලීසිය විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, මෙම සැකකරු මැලේසියාවේ සැඟව සිට මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බවය.

ඔහුගේ බිරිඳ මෙම සැකකරු රැගෙන යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.

මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් 68 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් තවත් විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය ෴

+++++++

+

+


‘ත්‍රිපෝෂ සමාගම’ අහෝසි කරලා

(07.11.2024 – ada.lk)

‘ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම’ ආහෝසි කිරීමට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග කටයුතු කර ඇති බවත්, මෙලෙස ‘ත්‍රිපෝෂ සමාගම’ අහෝසි කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ වර්තමානයේ ගැටලුවක් මතුව තිබෙන බවත්, ‘ජන අරගල සන්ධානයේ’ මහ මැතිවරණ අපේක්ෂක පුබුදු ජයගොඩ මහතා පැවසීය.

අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් පුබුදු ජයගොඩ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය :

“අනුර දිසානායක ජනාධිපතිවරයා විදිහට පත්වීමත් එක්කම 2024 සැප්තැම්බර් 27 අංක 2403/53 දරන ගැසට් නිවේදනය නිකුත් කළා. මේ ගැසට් නිවේදනයේ 8 පිටුවේ 36 වෙනි වගන්තියට අනුව ආණ්ඩුව තීරණයක් අරගෙන තියනවා ‘සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම’ අහෝසි කරන්න. ඒක නිසා අමාත්‍යාංශ ගැසට් කිරීමේදී ‘ත්‍රිපෝෂ සමාගම’ කිසිදු අමාත්‍යාංශයකටවත් පවරලා නෑ.

අපි දන්නවා ‘ත්‍රිපෝෂ’ නිර්දේශ කරන්නේ අවුරුදු 5 ට අඩු, අඩු බර සහිත දරුවන්ට, නිරක්තියෙන් පෙළෙන ගැබිනි මවුවරුන්ට සහ කිරි දෙන මවුවරුන්ට. එතකොට ‘ත්‍රිපෝෂ’ කියන්නෙ රටේ ජනතාවගේ පෝෂණය පවත්වා ගෙන යන්න අත්‍යවශ්‍ය දෙයක්. 1987 මේ සමාගම පෞද්ගලික දුම්කොළ නිෂ්‍පාදන සමාගමක් සමග ඒකාබද්ධව ආරම්භ කරලා 2011 දි රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරගන්න හේතු වුණෙත් අත්‍යවශ්‍ය මහජන සේවාවක් නිසා.

රජයට පවරගන්න කොට සමාගමේ නිෂ්පාදන ධාරිතාව විදිහට තිබුණෙ රටේ සමස්ත අවශ්‍යතාවයෙන් 70% යි. නමුත් 2016 වෙද්දි අලුත් යන්ත්‍ර සූත්‍ර එක්ක මේ අගය 100% දක්වා වර්ධනය වුණා. මේ වෙද්දි අවශ්‍යතාවයටත් වඩා වැඩි නිෂ්පාදනයක් වෙනවා. ඒ වැඩි නිෂ්පාදනය රජය මැදිහත් වෙලා ‘සුපෝෂ’ නමින් වෙළෙඳ පොළට දානවා. මේ නිෂ්පාදනය වෙළෙඳ පොළට දාලා මාස තුනක් (3) ඇතුළත වෙළෙඳ පොළේ වැඩියෙන්ම අලෙවි වෙන ‘සීරියල් ආහාරය’ වුණේ ‘සුපෝෂ’.

දැනට සමස්ත ‘සීරියල් වෙළෙඳ පොළ’ අවශ්‍යතාවයෙන් 70% ක් සපුරන්නෙ ‘සුපෝෂ’. එතකොට ‘ත්‍රිපෝෂ සමාගම’ රටේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමේ විශාල සේවයක් කරන ගමන් ලොකු ලාභයකුත් රජයට උපයලා දෙනවා. සාමාන්‍යයෙන් ‘ත්‍රිපෝෂ සමාගම’ රාජ්‍ය භාණ්ඩාගාරයට වාර්ෂිකව උපයා දෙන ආදායම රුපියල් මිලියන 500 ක් විතර වෙනවා. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙනම් ඇයි ‘ත්‍රිපෝෂ සමාගම’ අහෝසි කරන සැලසුමක් ක්‍රියාත්මක වෙන්නෙ කියන එකයි” ෴

++++++++

+


පාසල් ළමුන් මග දමා ගිය රියදුරුගේ සහ කොන්දොස්තරගේ වැඩ තහනම්

(06.11.2024 – ada.lk)

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය සදහන් කරයි.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ අලුත්ගම කොළඹ ධාවනය වූ අලුත්ගම ඩිපෝවට අයත් අංක NC 0755 බස් රථයේ සේවය කල රියදුරු සහ කොන්දොස්තරගේ බව එම කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය.

අලුත්ගම, මතුගම සහ කළුතර ඩිපෝවට අයත් බස් රථ කළුතර සහ වාද්දුව අතර රැදී සිටින පාසල් ළමුන් කාලයක පටන්ම නංවාගැනීම ප්‍රතික්ෂේප කරන බවට වත්මන් සභාපති රමාල් සිරිවර්ධන මහතාට ලද තොරතුරක් මත එම ඩිපෝවල අධිකාරි වරුන් පාසල් ළමුන් රැදී සිටින බස් නැවතුම්පොළවල් වල රඳවා බස් රථ නවත්වන ලෙස සභාපති වරයාගේ උපදෙස් පරිදි ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකරු කටයුතු කර තිබේ. එහෙත් එදින පමණක් එම බසය නවත්වා පසුව නැවත නොනවත්වා ධාවනය කිරීමට එම රියදුරන් කටයුතු කර ඇති බවට වාර්තාවූ බව කළුතර ලංගම උසස් නිළධාරියෙක් පැවසීය.

ඒ අනුව ඊයේ (06) නැවත ඩිපෝ අධිකාරි වරුන් මෙන්ම ජංගම පරීක්ෂක වරුන් ද යොදවා පරීක්ෂා කිරීමේදී රියදුරු සහ කොන්දොස්තර එම නිළධාරීන් සමගද බහින්බස් වීමක් සිදුකරගෙන තිබූ බවද සදහන් වේ.

එහිදී බස් රථ රියදුරු “මොකා කීවත් ආයේ නවත්වන්නේ නෑ, පුළුවන් දෙයක් කරන්න” යනුවෙන් පවසා පිටව ගොස් ඇති බවද වාර්තාවේ.

සිද්ධිය ජංගම දුරකථන දර්ශණ සමගින් ලංගම නව සභාපති රමාල් සිරිවර්ධන මහතාට සැලවීමත් සමගින් අදාල රියදුරු සහ කොන්දොස්තර සේවයෙන් පහකිරීමට පියවර ගත්බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය සදහන් කලේය.

පාසල් සිසුන් සහ දෙමව්පියන් විසින් කාලයක පටන් මෙම ගැටළුවට මුහුණපා සිට ඇති අතර, පැවතී පරිපාලන දුර්වලතා හේතුවෙන් රියදුරන් සහ කොන්දොස්තරුන් සිය අභිමතය පරිදි මගීන් නංවාගැනිම සිදුකර ඇති බවත් ලංගම ආරංචි මාර්ග සඳහන් කරයි ෴


සූජීව සේනසිංහගේ සුඛෝපභෝගී රථයක් වැඩිදුර පරික්ෂාව සදහා රජයේ රස පරීක්ෂකට

(08.11.2024 – 13:18 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ භාවිත කළ සුඛෝපභෝගී ජීප් රථයක්, එකලස් කළ එකක් බවට සිදු කරන විමර්ශනයට අදාළව වැඩිදුර පරීක්ෂාව සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (08) අවසර ලබා දුන්නා.

ඒ ඊට අදාළ ඉල්ලීම සිදු කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි.

මේ අතර මෝටර් රථය රුපියල් මිලියන 100 ආසන්න වටිනාකමකින් යුතු බැවින් එය පොලිස් ආරක්ෂාව යටතේ රජයේ රස පරීක්ෂක වෙත තම රියදුරෙකු ලවා රැගෙන යාමට සූජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම ඉල්ලීමටද අධිකරණය අවසර ලබා දෙමින් එය පරීක්ෂා කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කළේ ෴

+


අල්ලස් ගත් විදුහල්පතිනිය (පගා පිනී) රිමාන්ඩ්

(08.11.2024 – 14:41 +0530 – sinhala.adaderana.lk)

තම පාසලේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා දෙමව්පියන්ගෙන් රුපියල් 150,000/-ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාගම, මත්තුමගල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනිය ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය අද (08) දහවල් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවට පමුණුවනු ලැබීය.

අදාළ අල්ලස් මුදල එම දරුවාගේ මවගෙන් සිය කාර්යාලය තුළ ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.

සුදුසුකම් නොමැති නිසා පැමිණිලිකාරියගේ දරුවා පාසලට ඇතුළත් කර ගත නොහැකි බවත් අදාළ අල්ලස් මුදල ලබා දෙන්නේ නම් ඇතුළත් කළ හැකි බවත් සැකකාරිය විසින් ප්‍රකාශ කොට ඇතැයි අල්ලස් කොමිසම අධිකරණය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වුණි.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේ සැකකාරීය සතුව තවත් රුපියල් 260,000 කට ආසන්න මුදලක් තිබී සොයා ගත් බවත් එම මුදල් ඇයට ලැබුණේ කෙසේදැයි වැඩිදුර විමර්ශන සිදුකරන බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී සිටියේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Pyramid sellers, here is another example of corruption and lawlessness in the country. Voting for AKD is beginning to show good result. No doubt Johnny would have blocked this dutiful action by immigration officers, had Batalanda Ranil or phottu people were in power. Kurunegala, a den of super-thieves and conspirators against common people, seems now beginning to get cleaned up, thanks to AKD. Same views on Aloysius case in Anuradhapura. Come on police, do not pretend that you are acting properly, put your back to it. Glad that you have been highly criticized by the magistrate for your incompetence. Do the job properly, if not get out and go wash corrupt politicians and businessman’s dirty laundry.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *