නවවන (9) විධායක ජනාධිපති ලෙස අනුර හෙට (23) දිවුරුම් දෙයි

නවවන (9) විධායක ජනාධිපති ලෙස අනුර හෙට (23) දිවුරුම් දෙයි


නවවන (9) විධායක ජනාධිපති ලෙස අනුර හෙට (23) දිවුරුම් දෙයි

(22.09.2024 – 00:00 +0530 – lankadeepa.lk)

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුකෙරේ.

පෙරේදා( 21) වැනි දා පැවති ජනාධිපතිවරණයේ දී මහජන ඡන්දයෙන් දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්විය ෴

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.

එමෙන්ම ජනාධිපති ධුරයට අයත් රජයේ වාහන සියල්ලද ඊයේ (21) දිනයේදීම භාරදී ඇති අතර පැජට් පාරේ පිහිටි නිල නිවසින්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්ව ගියේය ෴

++++++++

++++++++

+


සියවස් ගණනක සිහිනය සැබෑවෙනවා.. පුනරුද යුගය අරඹමු..- ජනපති අනුරගෙන් පණිවුඩයක්..

(22.09.2024 – 19:36 +0530 – lankacnews.com)

ජනාධිපතිවරණයෙන් ජයගත් අනුර කුමාර දිසානායක මහතා තම නිල සමාජ ජාල ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත.

එම සටහන මෙසේය :

සියල්ල අවසානයේ සැබෑ වෙමින් ඇත්තේ සියවස් ගණනක් අප දුටු සිහිනයයි. මේ සිහිනය සැබෑ කරගනු පිණිස ඉමහත් දුෂ්කරතා මැද ලක්ෂ සංඛ්‍යාත ඔබ සැම පසුගිය කාලය පුරා දැරූ ප්‍රයත්නය සඵල වී තිබේ. ඒ වෙනුවෙන් මට ඔබට තුති පිදිය නොහැකිය. ඒ, මෙය මගේ නොව අපේ සාමූහික කටයුත්තක් වන නිසාය. මේ ජය අප සැමගේය.

අප පමණක් නොව මේ ජයග්‍රහණය වෙනුවෙන් දස දහස් සංඛ්‍යාත මිනිසුන් තමන්ගේ ලේ, කඳුළු, දහදිය මතු නොව ජීවිත පවා කැප‍ කළහ. අපට පෙර පරම්පරාවෙන් අප අතට පත් වූ යෂ්ටිය තුළ ගැබ්ව ඇත්තේ අපතේ ගොස් නැති ඔවුන්ගේ නිමක් නැති කැපකිරීම්ය. එහි බර අපි හොඳින්ම දනිමු. දශ ලක්ෂ සංඛ්‍යාත ඔබගේ අපේක්ෂාභරිත දෑස් අප දිරිගන්වාලයි. ශ්‍රී ලාංකේය ඉතිහාසය අලුතින් ලිවිය යුතු බවට ඇරයුම් කරයි.

සිහිනය මුළුමනින්ම යථාර්ථයක් බවට පත්කරනු පිණිස මේ බිමට නැවුම් ඇරඹුමක් අවැසිය. සිහල, දමිළ, මුස්ලිමානු අප සියලු දෙනාගේ එක්රැස් වූ සවිය ඇරඹෙන යුගයේ මුල් ගලය. නව පුනරුද යුගය ගොඩනැගෙන්නේ ඒ මතය. එන්න අපි ඒ වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු! ෴


ජනාධිපතිවරයා නිවේදනය කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව (22.09.2024)

++++++++++

බෞද්ධ රටේ රජකමට පත් නිරාගමික මිසදිටුවාට කොපමණ දුරක් යා හැකිවෙයිද ?

++++++++++

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්

(22.09.2024 – lankadeepa.lk)

කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වීමෙන් පසු, ජාතික ජනබල වේගය පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් මෙන්ම ඉන්දියානුවන් වෙනුවෙන් ද මහ කොමසාරිස්වරයා, විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුවේය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත් වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා හමුවීමට පැමිණ ඔහුට පළමුවෙන් සුබ පැතුම් එක් කළ රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ සන්තෝෂ් ජා මහතා වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවතින යහපත් සබඳතා තවත් ශක්තිමක් කර ගැනීමේ අරමුණින්, දෙදෙනා අතරේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි ෴


අගමැති දිනේෂ් ගුණවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(23.09.2024 – 09:13 +0530 – hirunews.lk/sinhala)

නව ජනාධිපති වශයෙන් අනුර කුමාර දිසානායක පත් වීමෙන් පසු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (23) දිනයේදී සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තේරී පත් වූ බැවින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(2)(ආ) වගන්තිය ප්‍රකාරව, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ අග්‍රාමාත්‍ය ධූරයෙන් තමා ඉල්ලා අස්වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ ෴


අභිනව ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ දිවුරුම් දීම | 2024-09-23

+

+


නුගේගොඩ නීතිඥවරියගේ බෙල්ල කපා ඇවිත් බෙන්තර ගඟට පනින්න හැදූ අනියම් පෙම්වතා මාට්ටු

(23.09.2024 – dinamina.lk)

නුගේගොඩ පැඟිරිවත්ත පාරේ නි‍වෙසක පදිංචි නීතිඥවරියකගේ ගෙල තියුණු ආයුධයකින් කපා පලාගොස් බෙන්තර ගඟට පැන දිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයකු බෙන්තර පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හක්මන, පුහුල්වැල්ල, ගැටවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි රියැදුරකු බව ද පොලිසිය කියයි.

මෙම පුද්ගලයා 21 දා උදෑසන මන්නයක් රැගෙන නීතිඥවරියගේ නි‍වෙසට ගොස් ඇයගේ ගෙලෙහි දකුණු පසට පහර දී බරපතළ තුවාල සිදුකොට ඝාතනය කර පලා ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබුණි.

පසුව සැකකරු එම ස්ථානයෙන් පලාගොස් බෙන්තර ප්‍රදේශයේ පිහිටි ගඟට පැන දිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේදී ඒ බව දුටු පුද්ගලයකු වහාම යාබද පොලිස් මුරපොළට දන්වා දිවි නසා ගැනීම වළකා තිබේ.

මොහු දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ දහවල් 12:20 පමණය.

පසුව පොලිස් භාරයට ගත් පුද්ගලයා දැඩි මානසික ව්‍යාකූලත්වයකින් හැසිරීම නිසා ඔහු අලුත්ගම පොලිස් ස්ථානයට භාරදී ඇති අතර එහිදී සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු මනුෂ්‍ය ඝාතනයක් සිදුකොට මෙසේ පලා විත් සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පැවැසේ.

සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදි ඔහු පන්නිපිටිය ප්‍රදේශයේ තාවකාලික නි‍වෙසක පදිංචිව හිඳිමින් මිරිහාන ප්‍රදේශයේ නීතිඥවරියකගේ රියැදුරෙකු ලෙස කලක සිට සේවය කර ඇති බවත්, ඒ කාලය තුළදී ඇය සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් එම සම්බන්ධතාවය නැවැත්වීම නිසා උරණ වී මන්නයක් රැගෙන 21 දා උදෑසන නීතිඥවරියගේ නි‍වෙසට ගොස් මුළුතැන්ගෙයිදී ඇයගේ ගෙලට පහර දී ඝාතනය කොට පලා ආ බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මිරිහාන මූලස්ථාන පොලිසියට භාරදී තිබේ.

ඝාතනය සඳහා භාවිත කළ මන්නය කාන්තාව වැටී සිටි ස්ථානයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ නුගේගොඩ, පැඟිරිවත්ත පාරේ අංක 103/05/6, හි පදිංචි පැඟිරිවත්ත පාර, නුගේගොඩ, ‘මුතු ආතර්ගේ ජයනි ලක්මිණී ද සිල්වා’ (35) නමැති නීතිඥවරියක බව පොලිසිය කියයි.

සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය ද සිදු කරන ලදී.

මෙම සැකකරු හා පැවැති අනියම් සම්බන්ධතාවය මීට මාස කිහිපයකට පෙර නැවැත්වීම හේතුවෙන් අවස්ථා කිහිපයකදී සැකකරු මරණකාරියට තර්ජනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මිරිහාන පොලිසියේ පැමිණිලි කොට අධිකරණයෙන් දඬුවම් පවා නියම කොට ඇතැයිද පැවැසේ.

අත්අඩංගුවට ගත් සැකකරු 22 දා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ පවත්වති ෴


ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර ගැටලුවට අධ්‍යාපන ලොක්කෙක් CID අත්අඩංගුවට

(23.09.2024 – 11:38 +0530 – sinhala.adaderana.lk)

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3 ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂකවරා අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 57 හැවිරිදි අයෙකු බව සඳහන්ය.

ඔහු විසින් අදාළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටකර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මේ අතර පසුගිය දා ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකර වට්ස්ඇප් මාර්ගයෙන් බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර රත්මලේ තිස්ස විදුහලේ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපතිවරයා, නිරීක්ෂක සහ එහි සේවය කළ තවත් ගුරුවරයෙකුගේ වැඩ තහනම් කිරීමට නිර්දේශ ඉදිරිපත් වී තිබුණි.

උතුරුමැද පළාත් විභාග කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලබාදුන් වාර්තාවෙන් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සුදුසුයැයි අනුමත කර පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත යොමුකර ඇති බව වාර්තා විය.

මේ අතර මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට තහවුරු වුවහොත් එම විභාගය නැවත පැවැත්වීමේ හැකියාව පවතින බව, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසන්නීය.

පසුගිය 20 වනදා කොළඹ පැවති ප්‍රවෘත්ති සාක්ච්ඡාවකදී ඇය ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන තෙක් විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා පවත්වනු ලැබූ 2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2,849 කදී දූ දරුවන් 323,7879 ක් පෙනී සිටියේය.

කෙසේවෙතත්, විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවූ බවට අනාවරණ වීමත් සමඟ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූ අතර, පසුගිය දින කිහිපයේදීම මව්පියන් විභාග දෙපාර්මේන්තුව ඉදිරිපිට ඇතුළු ප්‍රදේශ රැසකදී විරෝධතාවල නිරත වූයේ සිය දරුවන්ට සාධාරණය ඉල්ලමිනි.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ ෴

+

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටකළ බවට සැක කෙරෙන නිලධාරියා රිමාන්ඩ්

(23.09.2024 – 17:32 +0530 – sinhala.adaderana.lk)

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3 ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා ඔක්තොම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාර කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරු අද (23) කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔහු ඔක්තෝබර් මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3 ක් උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් ආදර්ශ ප්‍රශ්න පත්‍රයකට ඇතුළත් කර විභාගයට පෙර දින වට්ස්ඇප් හරහා මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ රහස්‍ය තොරතුරු බාහිරට ලබාදීමේ චෝදනා මත ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අදාළ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

කුරුණෑගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් මෙම සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචි 57 හැවිරිදි අයෙකු බවට අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කරයි

(23.09.2024 – 12:45 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කර තිබෙනවා.

සංවර්ධන ආර්ථිකය පිළිබඳ ආචාර්ය උපාධියක් හිමිකර තිබෙන නන්දික සනත් කුමානායක ව්‍යුහාත්මක පරිවර්ථනය සහ දිළිඳුකම පිටුදැකීම පිළිබඳ විශේෂඥයෙක්.

ඔහු ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නවීකරණ ක්‍රියාවලිය පිළිබඳ උපදේශකවරයෙකු ලෙසද සේවය කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *