කෙහෙළියගේ පුතාට අයිති ගෙවල් දෙකකට (2) අධිකරණයෙන් තහනමක්

කෙහෙළියගේ පුතාට අයිති ගෙවල් දෙකකට (2) අධිකරණයෙන් තහනමක්


කෙහෙළියගේ පුතාට අයිති ගෙවල් දෙකකට (2) අධිකරණයෙන් තහනමක්

(19.09.2024 – 11:47 +0530 – hirunews.lk/sinhala)

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ‘රමිත් රඹුක්වැල්ල’ට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් (2) පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කළා.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ රමිත් රඹුක්වැල්ල විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවාස දෙකක් රුපියල් මිලියන 80 සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවත්, ඊට අදාළව එම දේපළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, එම කොමිසම අද (19) අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාල දේපල ලබන දෙසැම්බර් මස 19 වනදා දක්වා තහනම් කරමින් නියෝගයක් නිකුත් කළා ෴


ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් පැහැදිලි කිරීමක්

(19.09.2024 – 10:59 +0530 – hirunews.lk/sinhala)

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි දැනට ක්‍රියාත්මක ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති සියලුම ඡන්ද කාර්යාල ඉවත් කිරීම අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

ඒ අනුව, අද (19) මධ්‍යම රාත්‍රියේ සිට විවෘතව තැබිය හැකිවන්නේ සෑම දිස්ත්‍රික්කයට එක් (1) ප්‍රධාන කාර්යාලයක් සහ සෑම පැරණි ආසනයක් සඳහා එක් (1) කාර්යාලයක් පමණක් බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

මීට පෙර පිහිටුවා තිබූ අනෙකුත් සියලුම කාර්යාල අදාළ අපේක්ෂකයන් විසින් ඉවත් කර ගත යුතු බවත්, ඔවුන් එසේ ඉවත් කර නොගතහොත් පොලිසිය මගින් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවත්, ඔහු පවසනවා.

සභාපතිවරයා මේ බව පවසා සිටියේ අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ජනාධිපතිවරණය පිලිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එමෙන්ම ඡන්දය ප්‍රකාශ කරන මධ්‍යස්ථාන තුළ සහ ඒ අවට මැතිවරණ නීති කඩ කරන්නන්ට එරෙහිව දඩුවම් ලබාදෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ අතර, ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 04:15 ට පමණ ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, ගණන් කිරීම අවසානයේ අදාළ ප්‍රථිපල ලැබුණු පසු ඒවා මාධ්‍යට ලබා දීමට සියලු කටයුතු සකස් කර ඇති බවත්, ඔහු පවසනවා.

එමෙන්ම නිල ප්‍රථිපලය ලැබෙනතෙක් නිල නොවන ප්‍රථිපල නිකුත් කිරීමෙන් වැලකි සිටින ලෙසට ද ඔහු සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

මේ අතර, ජනාධිපතිවරණය සඳහා නිවැරදිව තම මනාපයක් සළකුණු කළ යුතු ආකාරය ද ඔහු එහිදී පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව, මෙවර ජනාධිපතිවරණයේදී එක් (1) අපේක්ෂකයකුට තම ඡන්දයත් අනතුරුව තවත් අපේක්ෂකයන් දෙදෙනකුට (2) දෙවන (2) හා තුන්වන (3) මනාපත් ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමට හැකියාව ඇති අතර, එක් අපේක්ෂක‍යෙකුට පමණක් ඡන්දය ලකුණු කිරීමට හැකියාව ද තිබෙනවා.

එහිදී තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නම් එම අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියෙන් ඇති කොටසේ ‘1’ ඉලක්කම ලකුණු කළ යුතු බව සඳහන්.

අනතුරුව අංක ‘2’ හා ‘3’ ඉලක්කම් සලකුණු කර තමන් කැමති වෙනත් අපේක්ෂකයන්ට දෙවන (2) හා තෙවන (3) මනාප දැක්විය හැකි බව ඔහු සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එක් අපේක්ෂකයෙකුට පමණක් සිය ඡන්දය ලකුණු කළ හැකියි.

ඉහත සඳහන් ආකාරයට හැර ඡන්දදායකයාගේ ඡන්දය දීමේ චේතනාව ඡන්ද පත්‍රිකාව මත කරනු ලැබූ යම් සලකුණකින් පැහැදිලිව පෙනෙන විට (උදාහරණයක් ලෙස ‘X’ පමණක් ලකුණු කර ඇති විට) එය අපේක්ෂකයාට ලබාදුන් ඡන්දයක් ලෙස සලකනු ලබන බව මීට පෙර මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සඳහන්.

එහිදී ප්‍රතික්ෂේප වනු ලබන මනාප ලෙස සළකනු ලබන්නේ,

  1. කිසිම අපේක්ෂකයකුට ඡන්දය සලකුණු කර නොමැති විට;
  2. එක් අපේක්‍ෂකයකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කර ඇති විට;
  3. එක් අපේක්‍ෂකයකුට ‘1’ හා තවත් අයෙකුට ‘X’ (කතිරය) සලකුණු කර ඇති විට;
  4. දෙවැනි (2) මනාපය හෝ තුන්වැනි (3) මනාපය පමණක් සලකුණු කර ඇති විට;
  5. ඡන්දදායකයා වන ඔබව හඳුනාගත හැකි ආකාරයේ යමක් ලියා ඇත්නම් හෝ ඇඳ ඇති විට;
  6. ‘1 ‘හැර වෙනත් සලකුණක් සමඟ ‘2’ සහ ‘3’ මනාප සලකුණු කර ඇති විට;
  7. 1, 2, 3 ට වඩා ඡන්දය සහ මනාප සලකුණු කර ඇති විට; යි ෴

රජයේ සියලුම පාසල් හෙට (20) වැසෙයි

(19.09.2024 – 10:06 +0530 – hirunews.lk/sinhala)

රජයේ සියලුම පාසල් හෙට (20) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා ෴


පහේ ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පත්‍ර අවුල ගැන අවසන් තීන්දුව CID සහ දෙපාර්තමේන්තු පරීක්ෂණවලින් පසු

(19.09.2024 – 20:09 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ඉරිදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලු‍‍ව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ, එම පරීක්ෂණ අවසන් වූ වහාම ඊට අදාළව තීරණයක් ගැනීමට නියමිත බවයි.

විභාගයට පෙනීසිටි දරුවන්ගේ දෙමාපියන් පිරිසක් ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පැමිණිල්ලක්ද ඉදිරිපත් කරනු ලැබුවේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින්.

ශිෂ්‍යත්ව විභාගයට පෙර ඇතැම් ප්‍රදේශවල සාකච්ඡා කර ඇතැයි පැවසෙන ආදර්ශ ප්‍රශ්න පත්‍රය සහ විභාග ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ප්‍රශ්නවල සමානකමක් පැවතීම හේතුවෙන් ප්‍රශ්න තුනක් ඉවත් කිරීමට විභාග කොමසාරිස්වරයා පෙරේදා පියවර ගත්තා.

ඒ අනුව, සිය දරුවන්ට ඉන් අසාධාරණයක් සිදුවන හෙයින් ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙස ඉල්ලා ගුරුවරුන් සහ දෙමාපියන් ඊයේ (18) දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතාවල ද නිරත වුණා ෴


ඡන්දයට ගෙදර යන්න ප්‍රමාණවත් බස් නැතැයි ජනතාවගෙන් චෝදනා

(19.09.2024 – 20:33 +0530 – hirunews.lk/sinhala)

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ 2024 ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 2 කටත් අඩු කාලයක්.

ජනාධිපතිවරණය වෙනුවෙන් වූ අවසන් ප්‍රචාරණ රැලි ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ අවසන් වුණු අතර මේ වනවිට ක්‍රියාත්මක වන්නේ නිහඬ කාලයයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි ඡන්දදායකයින් 1,71,41,354 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් වෙනුවෙන් දිවයින පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 13,421 ක්.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර ඉන් එක් අපේක්ෂකයෙකු ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් මෙවර ජනපති සටනට එක්ව සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 38 ක් බවට පත්වුණා.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා ද දිවයින පුරා ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1713 ක් පිහිටුවා ඇත්තේ පරිශ්‍රයන් 49 කදීයි.

මේ අනුව එම ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධයස්ථානයන්හී සූදානම් කිරීමේ කටයුතුවල අවසන් අදියර ද අද (19) සිදුකෙරුණා.

මේ අතර ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගැනෙන බැවින් ඒ සඳහා පෙර සූදානම් කටයුතු සිදුකිරීම සඳහා හෙට (20) දිනයේ දිවයින පුරා සියලු‍ පාසැල් වසා තැබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ එළැඹෙන 23 වැනි සඳුදා පාසැල් නැවත ආරම්භ කරන බවයි.

මේ අතර ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 වන දින දිනයන් හි සියලු‍ම සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ අද (19) කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළා.

එමෙන්ම දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි.

ඒ සඳහා පොලිස් නිලධාරීන් 63,000 කට වැඩි පිරිසක්, යුද හමුදා නිලධාරීන් 3000 ක් වැඩි පිරිසක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 2500 ක් පමණ ද යොදවා තිබෙනවා.

මේ අතර නිල ජන්ද දැන්වීම් පත්‍රිකා හිමිකරුවන්ට ලබා නොදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ද තැපැල් දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නවසීයයක (900) පමණ ප්‍රමාණයක් නිසි පරිදි බෙදා නොහැරීමේ සිද්ධියක් කළුතර – පයාගල ඈතගම බටහිර සහ නැගෙනහිර ග්‍රාම නිළධාරි වසම් දෙකෙන් (2) වාර්තා වුණා.

ලිපි බෙදාහැරීමේ නිලධාරීයා විසින් නිසි පරිදි එම බෙදා හැරීමේ කටයුතු සිදු කර නොමැති බවටයි ගම්වාසීන් චෝදනා කරන්නේ.

කෙසේ වෙතත් සිද්ධිය අදාළ ලිපි බෙදාහැරීමේ නිලධාරීයාගේ සේවය අත්හිටුවා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ සඳහන් කළා.

එසේම පුත්තලම ප්‍රදේශයේ ව්‍යාපාරීක ස්ථානයක තිබී ඡන්ද දැන්වීම් පත්‍රිකා 148 ක් සොයා ගෙන තිබුණා.

අදාල ලිපි බෙදාහැරීමේ නිලධාරීයාගේ සේවය ද අත්හිටුවා ඇති බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා කියා සිටියේ.

මේ අතර මැතිවරණ රාජකාරී සඳහා සහභාගීවන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිළධාරීන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය 2 ක් යොදවා තිබෙනවා.

ඒ අනුව කොළඹ කොටුවෙන් අද (19) සහ අනිද්දා (21) කන්කසන්තුරය දක්වා එක් දුම්රියක් උදෑසන 9 ට පිටත්ව යාමට නියමිතයි.

එමෙන්ම හෙට (20) සහ ලබන 22 වනදා කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා දහවල් 12 ට දුම්රියක් පිටත්ව යනු ඇති.

එමෙන්ම ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අතිරේක බස් රථ සේවා අද (19) සහ හෙට (20) ක්‍රියාත්මක කෙරෙන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් කොළඹ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සදහන් කළේ.

කෙසේ වෙතත් යොදාවා ඇති බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවටයි මගී ජනතාව චෝදනා කළේ ෴

++++++++

+

+

+


ඇමති ටිරාන් පොලිසියට කළ නියෝගය

(19.09.2024 – 21:23 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ දිනය තුළ කිසියම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති වන්නේ නම් උපරිම බලය යොදා එය පටන්ගත් තැනම මැඩපවත්වන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, සූම් තාක්ෂණය ඔස්සේ පොලිස් ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදීයි.

ස්වාධීන හා නිදහස් ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

මැතිවරණ දිනයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ඡන්ද මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය පූර්ණ සහාය මැතිවරණ කොමිසමට ලබාදීමට කටයුතු කරන ලෙස එහිදී ජනාධිපතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට නියෝග කර තිබෙනවා.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ, දෛනික ජන ජීවිත අඩාල නොවන පරිදි රට තුළ සහ ආරක්ෂාව පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.

මේ අතර, මැතිවරණ දිනය තුළ කිසියම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති වන්නේ නම් උපරිම බලය යොදා එය පටන්ගත් තැනම මැඩපවත්වීමට කටයුතු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ කිසිදු ප්‍රචණ්ඩක්‍රියාවක් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසයි.

මේ අතර, දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිත ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් 80,000 කට අධික පිරිසක් රාජකාරි කටයුතු සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා ෴

+++++++++

+


මිහින්තලා හිමිට ආ ජීවිත තර්ජනය

(19.09.2024 – 22:09 +0530 – hirunews.lk/sinhala)

තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් සිය ආරක්ෂාව තහවුරු කරන ලෙස මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීයි.

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් සහ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ එම හිමිවරුන්ට එරෙහිව එල්ලවී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

එහිදී උන්වහන්සේ තමන්ට එල්ලවී ඇති තර්ජනාත්මක හඬපට මාධ්‍යට ඉදිරිපත් කිරීමටද කටයුතු කළා.

+++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *