ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්


ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

(11.09.2024 – 10:11 +0530 – hirunews.lk/sinhala)

මෙවර 5 ශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව ලබන 15 වනදා එම විභාගය පවත්වා අවසන් වන තෙක් එම තහනම ක්‍රියාත්මකයි.

එමෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර ලබා දෙන බවට පෝස්ටර්, බැනර් අත්පත්‍රිකා ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළග තබා ගැනීම ද තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ ෴


රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින පහක් වැඩට නාවොත් සේවය හැර යාමේ නිවේදන

(11.09.2024 – ada.lk)

රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5 කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5 ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් මේ පිළිබඳ දැනුම් දී තිබේ.

රාජ්‍ය නිලධාරීන් නොදන්වා සේවයට වාර්තා නොකිරීම මත ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට වසරකට වැඩි කාලයක් ගතවන බවට නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගත් බව අදාළ චක්‍රලේඛයේ සඳහන්ය. යම් නිලධාරියෙකු වෙත සේවය හැරයාමේ නිවේදනයක් නිකුත් කළ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමක් සිදුකරන්නේ නම් එය රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටි රීතිහි 216 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

යම් නිලධාරියෙකු විසින් තනතුර අතහැර යාමේ නිවේදනයකට අදාළව ස්ව කැමැත්තෙන් ඉදිරිපත් කරනු ලබන නිදහසට කරුණු දැක්වීම සම්බන්ධයෙන් අදාළ විනය බලධරයා විසින් දෙනු ලබන තීරණය නිලධාරියා වෙත ලිඛිතව දැන්විය යුතු බවද අදාළ චක්‍රලේඛයේ සඳහන්ය.

මේ අතර දීපව්‍යාප්ත සේවාවන්හි විශේෂ ශ්‍රේණියට ඉදිරියේදී උසස් වීම් ලබන නිලධාරීන් අදාළ තනතුරට පත්වීමේ ලිපිය ලද දින සිට වැඩකරන දින 22 ක කාලයක් තුළ නව තනතුරේ වැඩ භාර ගැනීම කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

එලෙස රාජකාරී සඳහා මාසයක් තුළ වාර්තා නොකරන නිලධාරීන්ගේ විශේෂ ශ්‍රේණියේ උසස් වීම් අවලංගු වූවා සේ සැලකිය යුතු බවද රාජ්‍ය සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙයි ෴


රු. කෝටි 5000 ක් වංචාකර චීනයට යැවීම ගැන චීන විමර්ශකයන් විමර්ශන අරඹයි

(11.09.2024 – ada.lk)

අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000 කට අධික මුදලක් වංචා කර චීනයට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීනයෙන් මෙරටට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කළ බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ඊයේ (10) දැනුම් දුන්නේය.

මුදල් වංචාවට යොදාගත් පරිගණක විසිපහක් සම්බන්ධයෙන් විමර්ශන කරන බවද රහස් පොලිසිය වැඩිදුරටත් දැනුම් දුන්නේය.

චීන ජාතකයින් ඇතුළු විදෙස් සැකකරුවන් 37 දෙනකු මීගමුවේ හෝටලයක් තුළ පවත්වාගෙන ගිය අන්තර්ජාලය හරහා මුදල් වංචා කර චීනයට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැනුම් දුන් රහස් පොලිසිය මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් කරන විමර්ශන සඳහා සහාය දෙන ලෙස විදෙස් විශේෂඥ පොලිස් කණ්ඩායම් මගින් කළ ඉල්ලීමට අනුව මෙම විශේෂ පොලිස් කණ්ඩායම විමර්ශන සඳහා සහාය දක්වන බව දැනුම් දුන්නේය.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චීන ජාතිකයින් 37 දෙනා ඇතුළු සැකකරුවන්ට මේ වනවිට අධිකරණය මගින් ඇප නියම කර ඇති අතර පැමිණිල්ල ඔක්තෝබර් 24 වැනිදා කැඳවීමට නියමිතය ෴


රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගෙන් ප්‍රකාශයක් ගනියි

(09.09.2024 – ada.lk)

ඔස්ට්‍රේලියාවේ පදිංචියට යාම සඳහා වීසා ඇතුළු අවශ්‍ය කටයුතු සිදුකර දෙන බවට පොරොන්දුවී රුපියල් ලක්‍ෂ තිහක (30) මුදලක් වංචා කළ බවට පෝරුතොට පදිංචි ‘සහාබ්දින් පාතුම්මා සබ්‍රාන්’ නමැතියක විසින් සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව සිටි ‘රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු’ අද (09) දින මිගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන් බව පොලීසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලින් හෙළිදරව්වූ තොරතුරු මත අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවූ රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු බව කියන වයික්කාලේ පදිංචි ‘රොසාන් සේනානායක’ සහ කොච්චිකඩේ පදිංචි ‘මොහොමඩ් අලි’ නමැත්තන් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා විසින් ලක්‍ෂ 10 බැගින්වූ පුද්ගල ඇප මත මුදාහරිනු ලැබීය.

මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ වංචා කළ මුදලින් රුපියල් ලක්‍ෂ 15 ක් සම්බන්ධීකරණ නිලධාරියා විසින් සහ රුපියල් 50,000 ක් තැරැව්කරු විසින් පැමිණිලිකාරියට ගෙවනු ලැබීමෙන් අනතුරුවය. පැමිණිලිකාරිය විමර්ශනයේදී ලබාදී ඇති තොරතුරු අනුව ‘මොහොමඩ්’ නමැත්තා විසින් රාජ්‍ය අමාත්‍යවරයා මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට යා හැකි බව පවසා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් හඳුන්වාදීම සිදුකර තිබේ.

ඉන්පසු පැමිණිලිකාරිය විසින් සම්බන්ධිකරණ ලේකම්වරයා ලබාදුන් ඔහුගේ සහ අමාත්‍යවරයාගේ නමින් ඇති බැංකු ගිණුම් දෙකකට (2) මෙම වසරේ ජනවාරි මස 05 දා සහ 22 දා රුපියල් ලක්‍ෂ දොළහක් (12) සහ රුපියල් හාරලක්ෂ අනූපන්දහසක (4,95,000) මුදලක් තැන්පත් කර ඇති අතර, අතරමැදියා අතට රුපියල් ලක්‍ෂ දොළහක (12) මුදලක් ලබාදී තිබේ. අමාත්‍යවරයා විදේශ ගතවන දිනයේදී ඔහු සමග ප්‍රභූ පර්යන්තයෙන් ගුවන්තොටුපොළට ඇතුළු වන ලෙස මෙම කාන්තාවට උපදෙස් ලබාදී ඇත. නියමිත දිනයේදී මෙම කාන්තාව ඥාතීන් සමග ගුවන්තොටුපොළට පැමිණ තිබෙන අතර තමාගේ පිටුපසින් පැමිණෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

කෙසේ වෙතත් ලේඛනවල ගැටලුවක් හේතුවෙන් මෙම කාන්තාවට ගුවන්යානය වෙත ගමන්කිරීමට ආගමන විගමන නිලධාරීන් විසින් අවසර ලබාදී නොමැති බවද විමර්ශන වලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි. පොරොන්දුවූ පරිදි ඔස්ට්‍රේලියාවට යාමට අවස්ථාව ලබානොදුන් නිසා තමාගෙන් ලබාගත් මුදල් ආපසු ගෙවන ලෙස සැකකරුවන් ගෙන් සිදු කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වින්දිත කාන්තාව විසින් මීගමුව කොට්ඨාසයේ වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක් සිදු කර ඇත.

සම්බන්ධීකරණ නිලධාරියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තම ගිනුමට තැන්පත් කළ රුපියල් ලක්‍ෂ 15 ක මුදල තමන් විසින් රාජ්‍ය අමාත්‍යවරයාට ලබා දුන් බව ප්‍රකාශකර ඇතැයිද පොලීසිය පවසයි. මිගමුව කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාසයේ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ සහ සැරයන් 2366 මනෝජ් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි ෴

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු

+


ලොවක් ඉදිරියේ ශ්‍රී ලාංකීය නාමයට අභිමානය ගෙනා ‘නෙත්මි අහිංසා’ගේ කඳුළු කතාව

(11.09.2024 – 21:55 +0530 – hirunews.lk/sinhala)

මෙරට ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබු ක්‍රීඩිකාවන් අතර මල්ලවපොර ක්‍රීඩිකා ‘නෙත්මි අහිංසා’ මෑතකාලීනව කැපී පෙනෙන ක්‍රීඩිකාවක්.

දහසකුත් එකක් දුක් කම්කටොලු මැදින් ජගත් කෙලිබිමේදී ජයකෙහෙළි නැංවූ නෙත්මි අහිංසා ගැන අප මේ සටහන තබන්නේ ඇය වෙනුවෙන් රටක් ඉටු කළ යුතු, යුතුකම් පිලිබඳව යළි සිහිපත් කිරීම උදෙසායි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර වෙල්පල්ල ග්‍රාමයේ දිවිගෙන නෙත්මි අහිංසා දරුවන් හතර දෙනකු (4) ගෙන් යුත් පවුලේ දෙවැනියා (2) යි.

කුඩා කාලයේ සිටම ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නට නෙත්මි උත්සහ ගත්ත ද, පවුලේ ආර්ථික දුෂ්කරතාවන් ඇයගේ ක්‍රීඩා දිවියට බාධා එල්ල කළේ වරක් දෙවරක් නොවේ.

වෘත්තියෙන් පෙදරේරුවෙකු වන නෙත්මිගේ පියා ලබන සොච්චම් වැටුපෙන් සිය පවුලේ ජීවිතය ගැටගසා ගන්නට දිවා රෑ නොබලා වෙහෙසෙද්දී නෙත්මි අහිංසාගේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද යන්නත් ඔවුන්ට මහමෙරක් තරම් බරක් වුණා.

නමුත් දෛවයට සරදම් කරනවා වෙනුවට ක්‍රීඩාවෙන් ලොවක් ජය ගන්නට අපිරිමිත කැපවීමෙන් සහ වෙහෙස මහන්සියෙන් කටයුතු කළ නෙත්මිගේ ක්‍රීඩා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වන්නේ ඇයගේ වත්මන් පුහුණුකරු වන ‘සුරංග පුෂ්පකුමාර’ හමුවීමයි.

අඟහිඟකම් සමග පොර බදමින් නිසි පෝෂණයක් හෝ පහසුකමක් නොමැතිව වුවත් ඇය මල්ලවපොර ක්‍රීඩාවට කැපවන්නේ අනාගත අපේක්ෂාවන් පිලිබඳ නොපසුබස්නා උත්සාහයෙන් පමණක් සන්නද්ධවයි.

වැසි කාලයට ජලයෙන් යටවන තැනක ඉරුණු මෙට්ට මත පුහුණුවීම් කළ නමුත්, මෙරට මල්ලවපොර ක්‍රීඩා ඉතිහාසය වෙනස් කරන්නට මේ දිරිය දියණියට 2022 වසරේදී හැකියාව ලැබුණා.

ඒ ‘පොදු රද මඬුලු ක්‍රීඩා උළෙලක’ මල්ලවපොර ඉසව්වේ පළමු පදක්කම ලක්මාතාවගේ ගෙල පළඳවමින්.

එම ජයග්‍රහයෙන් පසු නෙත්මිට අත හිත දෙන්නට ඇතැමුන් ඉදිරිපත් වුව ද ඒ සියල්ල අද වනවිට කඩවුණු පොරොන්දු බවට පත්ව ඇති අයුරුයි මේ.

කෙසේ නමුත් ‘පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම’ දිනා දෙවසරක් (2) ගතවන තැන ‘ලෝක ශූරතා කනිෂ්ඨ මල්ලවපොර පදක්කමක්’ ද නෙත්මි අහිංසා මෙරටට දිනා දුන්නේ මේ අසම්පූර්ණ ස්ථානයේ සිට කළ පුහුණුවීම්වල ශක්තියෙන්.

ජයග්‍රහණයකින් පසු නින්දෙන් අවදිවන මෙරට ක්‍රීඩා බලධාරීන් කඩිමුඩියේ සකසන ක්‍රීඩා සැලසුම්වලට නෙත්මි වැනි දිරිය දියණියන් මගහැරෙන්නේ ඇයි දැයි ගැටලුවක්.

ක්‍රීඩාවේ මහපුටු රත්කරන ඒ බලධාරීන් දැන් වත් නෙත්මි වැනි දිරිමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි අවධානය යොමු නොකළහොත් ජාත්‍යන්තර ක්‍රීඩා තරු බිහි කිරීම මෙන්ම සමාජයට බරක් නොමැති අනාගත පරපුරක් බිහිකිරීමත් සිහිනයක් පමණක්ම වනු ඇති.

+


ඡන්ද කොළේ ආවේ නැත්නම් මෙහෙම කරන්න

(11.09.2024 – 18:23 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින තුන (3) ඇතුලත යම් අයෙකුට හිම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබී ඇත්නම් එය තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

ඒ අනූව ලබන (14) වැනිදා වන විට යම් කෙනෙකුට හිමි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණේනම් හැඳුනුම්පත රැගෙන නියමිත තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාවය තහවුරු කර සිය ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමට හැකි බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ.

මැතිවරණය පැවැත්වෙන දින තෙක්ම ඡන්ද දායකයින්ට මේ අවස්ථාව හිමිවන බවද පැවසුවා.

මේ වන තෙක් මැතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10 කට අධික ප්‍රමාණයක් බෙදා හැර අවසන්කර තිබෙන බව පැවසෙනවා.

සෙසු ඡන්ද දැන්වීම් පත්‍රිකා ඉදිරි දින කිහිපය තුළ බෙදා හැරීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පවසන්නේ.

ඒ අනූව එම බෙදාහැරීමේ කටයුතු 14 වනදා වනවිට නිම කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ නිල ඡන්ද පත්‍රිකාවලින් 80% ක් මේ වනවිටත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමුකර ඇති බව‍යි.

ඒවා විශේෂ ආරක්ෂාවක් යටතේ ගබඩා කර තිබෙන අතර, මේ සතිය අවසන් වනවිට නිල ඡන්ද ප්‍රතිකා මුද්‍රණය අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි රජයේ මුද්‍රණාලය පවසන්නේ ෴


සූර් පිට මගී බස්‍ රථය පැදවූ රියැදුරු අල්ලයි

(11.09.2024 – 16:47 +0530 – hirunews.lk/sinhala)

අධික ලෙස මත්වතුර පානය කර සුඛෝපභෝගී බස් රථයක් පැදවූ රියදුරෙකු බස් රථය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරණ සිට කොළඹ දක්වා මගීන් ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථයක රියදුරෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි බොරලැස්ගමුව පොලිසිය පවසන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර, අළුගොල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි (34) හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා මත්වතුර පානය කොට සුඛෝපභෝගී බස් රථයකින් මගීන් පටවාගෙන ඊයේ (10) රාත්‍රී 07 පමණ හොරණ බස් නැවතුම්පොළෙන් පිටත් වී තිබෙනවා.

බස් රථය පිළියන්දල දෙසට යමින් සිටියදී එහි රියදුරු බීමතින් රිය පදවන බවට මගීන්ට අනාවරණය වී තිබෙනවා.

ඒ බව බොරලැස්ගමුව පොලිසිය වෙත දන්වා ඇත්තේ ඒ අනූවයි.

ඉන් පසුව‍යි බොරලැස්ගමුව පොලිසිය ඉදිරිපිට හදිසි මාර්ග බාධකයක් යොදවා බස් රථ පරීක්ෂා කර එහි රියදුරු බීමතින් සිටින බවට තහවුරු කරගෙන අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී බස් රථයේ සිටි මගීන්ට මුදල් ගෙවා වෙනත් බස් රථයකට නංවා රියදුරු සහ බස් රථය අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.

පසුව සිදුකළ ‘ඇල්කොලයිසර්’ පරීක්ෂාවේදී රියදුරු බීමතින් සිට ඇති බවට අනාවරණය වූ බව පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් රියදුරු අද (11) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ඔන්ලයිඔන් ක්‍රමයට විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම් හරහා රුපියල් මිලියන 10 ක ඉතිරියක්

(11.09.2024 – 16:19 +0530 – hirunews.lk/sinhala)

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මෙවර මාර්ගගත ක්‍රමයට සිදු කිරීම නිසා රජයට රුපියල් මිලියන දහයක (10) පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම සඳහා මින් පෙර රුපියල් මිලියන 13.5 ක් වැය වූ අතර මෙවර ඒ සඳහා වැය වූයේ රුපියල් මිලියන 3.5 ක මුදලක් වන අතර ඒ අනුව රුපියල් මිලියන 10 ක මුදලක් රජයට ඉතිරි කරගැනීමට හැකි වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ශික්ෂණලාභීන් බඳවාගැනීම සඳහා මීට පෙර වසර එකහමාරත් දෙකත් (1½ – 2) අතර කාලයක් ගත වූ බවත් මෙවර මාස 04 ක් වැනි ඉතා කෙටිකලක් තුළ එම බඳවාගැනීම් කාර්යක්ෂම ව සිදු කළ හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.

අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ‍අමාත්‍යවරයා කියා සිටියේ විද්‍යාපීඨ 19 ම ඒකාබද්ධ කර ‘අධ්‍යාපන විශ්වවිද්‍යාලය’ පිහිටු‍වීමේ අවසන් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *