‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ දෙවැනි (2) වෙඩික්කරු සහ රියදුරු අත්අඩංගුවට

‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ දෙවැනි (2) වෙඩික්කරු සහ රියදුරු අත්අඩංගුවට


‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ දෙවැනි (2) වෙඩික්කරු සහ රියදුරු අත්අඩංගුවට

(28.08.2024 – 23:33 +0530 – hirunews.lk/sinhala)

‘ක්ලබ් වසන්ත’ ඝාතන සිද්ධියට අදාලව තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මෙම ඝාතනයට සම්බන්ධ බව කියන දෙවැනි (2) තුවක්කුකරු සහ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනායි.

පානදුර පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පානදුර පින්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

+++++++++

‘ක්ලබ් වසන්ත’ ඝාතනයට ආධාර අනුබල දුන් බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී ‘අමල් සිල්වා’ අත්අඩංගුවට

(29.08.2024 – 09:37 +0530 – hirunews.lk/sinhala)

‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ හෙවත් ‘ක්ලබ් වසන්ත’ ඝාතනයට සම්බන්ධ දෙවැනි (2) තුවක්කුකරුට සහ මෝටර් රථ රියැදුරුට ආධාර සහ නවාතැන් සැපයීම සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක්වන ‘අමල් සිල්වා’ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මේ අතර, ඊයේ (28) එම ඝාතනයට සම්බන්ධ දෙවැනි (2) තුවක්කුකරු සහ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පානදුර පින්වත්ත ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි ‘තරිඳු මදුසංකද සිල්වා’ නොහොත් ‘බහිරවයා’ නමැත්තෙකු සහ 32 හැවිරිදි ‘සජිත් ශ්‍රියන්ත ද සිල්වා’ නොහොත් ‘පොඩි බළයා’ යන අයයි.

ඔවුන් ගාල්ල අහුංගල්ල සහ ගාල්ල නාගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් පානදුර පින්වත්ත ප්‍රදේශයේ රැදී සිටින බවට පානදුර පොලිසියට ලද තොරතුරක් මත ඔවුන් පින්වත්ත බස්නැවතුම්පලේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් වෙඩිතැබීම සිදු කිරීමෙන් පසු මෝටර් රථයෙන් වෑන් රථයකට මාරු වී කඩවත දක්වා ගමන්කර, දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර දක්වා ගමන්කර ඇති බවට මූලික විමර්ශණවලදී අනාවරණය වී තිබෙනවා ෴


සිංහල නිවේදකයෙක් කසාද බඳින තීරණේට මට ගොඩක් බලපෑම් ආවා – සිංහල ප්‍රවෘත්ති කියන මුස්ලිම් ෆාතිමා (28.08.2024)

+


පාස්පෝට් තදබදය තාවකාලිකව විසඳෙයි

(28.08.2024 – 20:12 +0530 – sinhala.adaderana.lk)

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට දින කිහිපයක් මුළුල්ලේ දිගු පෝලිම් දක්නට ලැබුණි.

දෙපාර්තමේන්තුව සතු හිස් විදෙස් ගමන් බලපත්‍ර සීමිත බැවින් බලපත්‍ර නිකුත් කිරීම සීමාවීමත් සමග මෙම තත්ත්වය නිර්මාණය විය.

කෙසේවෙතත් දිනකට බලපත් 1,000 ක් නිකුත් කිරීමට බලධාරීන් අද (28) සිට පියවර ගත්තේය.

ඒ පැමිණෙන පිළිවෙළ අනුව ගමන් බලපත්‍ර 750 ක් සහ විදෙස් රටවල සිට ඉල්ලුම් කරන අය සඳහා 250 ක් ලෙසය.

නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදෙන තෙක් ඔක්තෝබර් මාසය දක්වා මෙම තත්ත්වය පවතිනු ඇති බැවින් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර අයදුම් කරන ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

මෙවන් පසුබිමක නව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමේ අරමුණෙන් ආගමන විගමන ප්‍රධාන කාර්යාලය අසල රැඳී සිටින පිරිස් ඊයේ (27) රාත්‍රිය ද එම ස්ථානයේම ගත කර තිබුණි.

පසුව පොලීසියේ ද මැදිහත්වීමෙන් මෙලෙස රැඳීසිටින පිරිස් වෙත ටෝකන් අංක ලබාදීමට ඊයේ (27) රාත්‍රියේ පියවර ගෙන තිබුණි.

ඒ අනුව අද දවසේ සේවා ලබාගත් ජනතාව සඳහන් කළේ,

“දින 3 ක් මේ වෙනුවෙන් රස්තියාදු වුණා. ඇත්තමට අද දවස ගැන සතුටුයි. කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. අද හරි පිළිවෙළටම වැඩේ වුණා.”

මෙම ටෝකන් ක්‍රමවේදය අනුව ඉදිරි දින කිහිපයේදී ද නව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන් වේලාවක් වෙන්කර දීම සිදුවෙයි.

ඒ අනුව අප වාර්තාකරුවන් සඳහන් කළේ අද (28) පස්වරුවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අවට විශාල වශයෙන් ජනතාව රැඳීසිටින ආකාරයක් දක්නට නොලැබුණු බවය ෴


ජලභීතිකා මරණ ඉහළ යාමක්

(28.08.2024 – gossiplankanews.com)

ජලභීතිකා රෝගය වැළඳීමෙන් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය වන්නර්පන්නයි ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ (26) මිය ගියාය.

ඇයගේ මරණයත් සමඟ වසරේ මේ දක්වා කාලය තුළ යාපනයේ ජලභීතිකා මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

යාපනය, වන්නර්පන්නයි ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි මහේන්ද්‍රන් ශාන්ති නමැති කාන්තාවක් මෙලෙස මියගොස් තිබේ.

නිවසේ සිටි සුරතල් බල්ලෙකු විසින් ඇය සපා කෑමට ලක්ව ඇති අතර, සති දෙකකට (2) පමණ පසු ඇය රෝගාතුර වී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වෙයි.

අධිකරණ වෛද්‍ය නිලධාරී නාමසිවායම් ප්‍රේම්කුමාර් මහතා යාපනය ශික්ෂණ රෝහලේදී මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී නිගමනය වූයේ ජලභීතිකා බැක්ටීරියාව ශරීරගත වී අභ්‍යන්තර අවයව විනාශ වීම කාන්තාවගේ මරණයට හේතුව බවයි.

යාපනයේ විවිධ ස්ථානවල අයාලේ යන සුනඛයන් 2500 ක් පමණ සැරිසරන අතර, යාපනයේ ජලභීතිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින්නේ ඔවුන් මහමග මිනිසුන් සපා කෑම නිසා බව සෞඛ්‍ය බලධාරීහු පවසති ෴


ඔස්ට්‍රේලියානු හෙද රැකියා පෙන්වා රුපියල් ලක්ෂ 102 ක් වංචා කළැයි හිටපු හෙදිය රිමාන්ඩ්

(27.08.2024 – gossiplankanews.com)

ඔස්ට්‍රේලියාවේ හෙද සේවාවේ රැකියා ලබා දෙන බව පවසා රජයේ රෝහල්වල සේවය කරන හෙදියන් සිව්දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ එකසිය දෙකක (102) පමණ මුදලක් වංචනික ලෙස ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ රජයේ රෝහල්වල හෙද සේවාවේ හිටපු හෙද නිලධාර්නියක සැප්තැම්බර් මස 05 දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කළේ හිටපු හෙද නිලධාරීනියක වන අනුරාධපුර ජයන්ති මාවතේ පදිංචි ටී.ඒ. නිලුකා නිමන්ති ගුණරත්න නැමැත්තියකි. කැකිරාව විජිතපුර ප්‍රදේශයේ පදිංචි තවත් හෙද නිලධාරියෙකු වන කමල්දීන් මහසීර් මොහොම්මදු යන අයද ඔස්ට්‍රේලියාවේ හෙද සේවාවේ රැකියාවකට යවන බව පවසා ඔහුගෙන් ද රුපියල් ලක්ෂ විසිහයක (26) පමණ මුදලක් වංචනිකව ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියකටද අදාළව මෙම සැකකාරිය මේ මස 29 දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද වැඩ බලන මහේස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට තවදුරටත් නියෝග කළාය.

සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය කියා සිටියේ මෙම මූල්‍ය වංචා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙමින් පවතින බවයි. එබැවින් සැකකාරිය රිමාන්ඩ් කරන්නැයිද විශේෂ අපරාධ විමර්ශන අංශය අධිකරණයෙන් අයැද සිටියේය. රජයේ රෝහල්වල සේවය කරන හෙද නිලධාරිනියන් වන එස්.ඒ. ඉසංකා හර්ෂනී, එල්. චන්ද්‍රිකා ප්‍රියදර්ශනී සහ ආර්.කේ. මල්ලිකා ඉරෝෂණී රාජපක්ෂ සහ ජේ.ඒ. තක්ෂිලා සුදර්ශනී යන මහත්මීන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට වෙන් වෙන් වශයෙන් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවා සැකකාර හිටපු හෙද නිලධාරීනිය අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරිණ ෴


සියලු ආගම්වලට සමතැන දෙන්න යන අනුරට කස්සප හිමිගෙන් අවවාදයක් (29.08.2024)

++++++++

අනුර කුමාර අත්අඩංගුවට ගන්නැයි පැමිණිල්ලක්

(29.08.2024 – 15:18 +0530 – hirunews.lk/sinhala)

තොරතුරු වසංකර 2007 වසරේ සිට රාජ්‍ය දේපල අවභාවිතාකරන බවට චෝදනා කරමින් ජාතික ජන බලවේගය පක්ෂ නායක අනුර කුමාර දිසානායක අත් අඩංගුවට ගෙන නීතීය ඉදිරියට ගෙන එන ලෙස ඉල්ලා මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම සංවිධාන වෙනුවෙන් දර්ශන තන්ත්‍රිගේ ඇතුළු පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්.

රජයට අයත් දේපළක් අවුරුදු දාහතක් තිස්සේ අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මුල්කර ගනිමිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇත්තේ.

එහිදී අදහස් ඉදිරිපත්කරමින් දර්ශන තන්ත්‍රිගේ පවසා සිටියේ මෙවැනි අදහසක් :

“අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරා. මේ පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති ධුර අපේක්ෂකයෙක් විසින් රාජ්‍ය දේපළ අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධ පැමිණිල්ලක්. සාමාන්‍යයෙන් මේ පැමිණිල්ල දාද්දිම අපි කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දාපු වහාම ඒ අදාළ චූදිතයාව ප්‍රකාශයක් ගන්න ගෙන්නලා ඒ ප්‍රකාශය අරගෙන ඔහුව අත්අඩංගුවට අරගන්න එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. මේක පොදු දේපළ පනත යටතට ගන්න වරදක්. මේ වරද සිද්ධ කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක ජාතික ජන බලවේගයේ නායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මැතිතුමා.

අපි පහුගිය දවසක අල්ලස් කොමිසමට දූෂණය සම්බන්ධ පැමිණිල්ල කරා. දැන් මෙතන තියෙන්නේ මාදිවෙල නිවාස සංකීර්ණයේ තියෙන රජයට අයත් දේපළක් අවුරුදු දාහතක් තිස්සේ අයථා ලෙස පරිහරණය කිරීමක්. ඒ අයථා ලෙස පරිහරණය කිරීම තමන් පමණක් නෙමෙයි. ඒකට සාක්ෂි සපයන්නේ ඔහුගේම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඔහුගේම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත කියන්නේ මේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ නමින් තියෙන නිවසේ චන්ද්‍රසේකරන් කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙක් තමයි හිටියේ කියලා.

එතකොට මේ දෙකම වරදක්. පළවෙනි එක තමයි තමන්ට කඩවත කිරිල්ලවල ගෙයක් තියාගෙන, සැතපුම් විසිපහේ සීමාව, ඒ කියන්නේ සැතපුම් විසිපහක් කියන්නේ දළ වශයෙන් කිලෝමීටර් හතළිහක්. ඒ සීමාව ඇතුළත තමන්ට ගෙයක් තියාගෙන, රජයට කූට ලේඛන ඉදිරිපත් කරලා, වංචාවක් කරලා, රජයේ දේපළක් සාවද්‍ය ලෙස අවුරුදු දාහතක්, දෙදහස් හතේ පස්වෙනි මාසේ විස්සේ ඉඳන් අවුරුදු දාහතක් පාවිච්චි කරලා තියෙනවා. ඒ පාවිච්චි කරන ගමන් තමන්ගේ නමට ගත්ත දේපලේ රජයේ දේපලේ තියන්න බැරි වෙනත් පුද්ගලයෙක් පදිංචි කරලා තියෙනවා.

ඒක අපි නෙමෙයි සාක්ෂි සපයන්නේ. එතුමාගේ පක්ෂයේ ලාල්කාන්ත මහත්මයා. ඉතින් ඒ නිසා මේ පැමිණිල්ල සම්බන්ධව මේ කාරණාව සම්බන්ධව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල කරා. අර විමල් වීරවංශ මහත්තයා චෝදනා කරනවනේ රතු අලි පැටියයි කියලා අනුර කුමාර දිසානායක මහත්තයාට. දැන් පහුගිය දවස්වල මේ ආණ්ඩුවෙන් සිද්ධ කරපු මහා විශාලම වංචාව තමයි වී එෆ් එස් වංචාව. වී එෆ් එස් වංචාව සම්බන්ධව අපි ගිහිල්ලා පැමිණිලි කරා. හැබැයි අපි දැක්කේ නෑ. ඔවුන්ගේ වසන්ත සමරසිංහ මහත්තයාගේ දූෂණ විරෝධී සංවිධානය නේ. ඒක ගිහින් පැමිණි කරනවා අපි දැක්කෙත් නෑ. අනුර කුමාර දිසානායක මහත්තයට මේ දූෂණය පේනවා අපි දැක්කෙත් නෑ. ඉතින් පොලීසිය භාර ඇමතිතුමා තමයි ඔය වංචාව සම්බන්ධව භාර ඉන්න ඇමතිතුමා. ඒ ගනුදෙනු මේ ගනුදෙනුවලට හිලව් වෙන්නේ වෙන එකක් නෑ කියලත් අපි විශ්වාස කරනවා. ඒත් එක්කම අනුර කුමාර දිසානායක මහත්තයා ඔය ඩීල් සම්බන්ධව කතා කරන ඒවා මේකේ වෙන එකක් නෑ කියලත් අපි විශ්වාස කරනවා. ඒ හින්දා මැතිවරණය කට අගට වෙනකන් තියන් ඉන්න එපා.ඔන්න පැමිණිල්ල දැම්මා. සාමාන්‍යයෙන් ගමේ බබුන් අයියට පැමිණිල්ලක් දාපුවහම සතියක් ඇතුලත ඒ මනුස්සයා ගෙනල්ලා පොලිසියෙන් නීතිය ක්‍රියාත්මක කරන විදිහටම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැමිණිල්ලට ක්‍රියාත්මක වෙයි කියලා හිතනවා. ඉතින් වැරැද්දක් වෙලා තියෙනවා වැරැද්ද පිළිබඳව අපි පෙන්න පෙන්න අතන මෙතන කෑ ගහගෙන යන්නේ නෑ. ඔන්න ෆයිල් එක අපි දාලා තියෙනවා. අනුර කුමාර දිසානායක මහත්තයාට භාරයි කැඳවීමක් ආවත් නාවත්, කලින් ඇවිල්ලා හරි තමන්ගේ පාරිශුද්ධ භාවය ශුද්ධවන්තභාවය මේ ස්ථානයට පෙන්නන්න” ෴


වෛද්‍ය විද්‍යාවට උත්තර නැත – 2024-08-29

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *