‘ක්ලබ් වසන්ත’ට වෙඩිතැබූ වෙඩික්කරුගේ පැටිකිරිය හෙළිවෙයි

‘ක්ලබ් වසන්ත’ට වෙඩිතැබූ වෙඩික්කරුගේ පැටිකිරිය හෙළිවෙයි


‘ක්ලබ් වසන්ත’ට වෙඩිතැබූ වෙඩික්කරුගේ පැටිකිරිය හෙළිවෙයි

(24.08.2024 – 13:43 +0530 – sinhala.adaderana.lk)

‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ හෙවත් ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනෙකු (2) වෙඩිතබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවකු හා ඔහුට ආධාර අනුබල දුන් දෙදෙනා (2) ගැන තවත් තොරතුරු හෙළිවී තිබේ.

ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

දෙහිවල කවුඩාන ප්‍රදේශයේදී ඔවුන් තිදෙනාව (3) අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය පැවසීය.

‘ක්ලබ් වසන්ත’ ඝාතනය කළ ස්ථානයේ තිබී සොයාගත් KPI ලෙස සඳහන් උණ්ඩවලට සමාන KPI ලෙස සඳහන් කළ ජීව උණ්ඩ 12 ක් සැකකරුවන් සතුව තිබී සොයාගත් බවද පොලීසිය පැවසීය.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකුම මීට පෙර ද අත්අඩංගුවට ගෙන තිබුණි.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ හෙවත් ‘ක්ලබ් වසන්ත’ නමැත්තා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය ජූලි මස 08 වනදාය.

ඝාතන සිද්ධියෙන් පසු වෙඩික්කරුවන් දෙදෙනා (2) හා ඝාතනය මෙරට සිට මෙහෙය වූ පුද්ගලයන් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකිවූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ද ඉල්ලා තිබුණි.

එවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රෝහන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීමෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාසය ඊයේ (23) සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට පත් පිරිස අතර ‘ක්ලබ් වසන්ත’ ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවකු වන ‘අජිත් රෝහණ’ නොහොත් ‘චණ්ඩි’ නමැත්තාද සිටින බවය.

ඔහු 31 හැවිරිදි අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

‘චණ්ඩි’ නමැත්තා හිටපු යුද හමුදා සෙබළෙකු වන අතර ඔහු ’14 වන සිංහ රෙජිමේන්තුව’ට අනුයුක්තව සේවය කර තිබේ.

ඔහු මීට පෙරද මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවෙකි.

මේ අතර වෙඩික්කරුවන්ට අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගත් සහ වෙඩික්කරුවන් බස්‍ රථයෙන් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා බව පැවසෙන 29 හැවිරිදි ‘වරුණ ඉන්දික ද සිල්වා’ හෙවත් ‘සංඛ’ නමැති සැකකරු ද ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් බව පොලීසිය පැවසීය.

එමෙන්ම අදාළ සැකකරුවන් දෙදෙනාට (2) දෙහිවල කවුඩාන ප්‍රදේශයේ නවාතැන් පහසුකම් ලබාදුන් 40 හැවිරිදි ‘මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් ඉම්රාන්’ නමැත්තෙක්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම තවත් ටී 56 ජීව උණ්ඩ 165 ක්, මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 77 ක්, විවිධ වර්ගයේ උණ්ඩ 17 ක්, පොයින්ට් 38 වර්ගයේ උණ්ඩ 8 ක්, බෝර 12 වර්ගයේ පතොරම් 4 ක්ද ඔවුන් සතුව තිබී සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ටී 56 වර්ගයේ ගිනි අවියක්, ෂොට්ගන් එකක්, පිස්තෝල මැගසින් 1 ක්, 9MM පතොරම් ගැබ් එකක්, අත් විලංගු 1 ක්, සයිනඩ් කරල් 2 ක් හා ජංගම දුරකථන 03 ක් ද සොයාගත් බවය.

ත්‍රස්ත මර්දන කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතාගේ උපදෙස් මත සැකකරුවන් තිදෙනා (3) රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.

+

සැකකාර වෙඩික්කරු ඇතුළු තිදෙනා (3) රඳවාගෙන ප්‍රශ්න කරයි

(24.08.2024 – 19:55 +0530 – sinhala.adaderana.lk)

‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ හෙවත් ‘ක්ලබ් වසන්ත’ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (23) අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා (3) රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.

ත්‍රස්ත මර්දන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතාගේ උපදෙස් මත සැකකරුවන් තිදෙනා (3) සඳහා ලබාගත් පැය 72 ක රැඳවුම් නියෝග මත ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් (1) වෙඩික්කරුවෙක් සහ වෙඩික්කරුවන්ට ආධාර අනුබල දුන් දෙදෙනෙකි (2).

මේ අතර වෙඩිවැදීමෙන් තුවාල ලැබූ ‘ක්ලබ් වසන්ත’ගේ බිරිඳ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට මීට සතියකට පමණ පෙර රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ හෙවත් ‘ක්ලබ් වසන්ත’ ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කෙරුණේ ජූලි මස 08 වනදාය.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකුම මීට පෙර අත්අඩංගුවට ගැණුනි.

+++++++++

24-08-2024

+


ව්‍යාපාරිකයන් රවටා හිඟ බදු මුදල් එකතු කරන පිරිසක් ගැන දැනුම්දීමක්

(23.08.2024 – 21:32 +0530 – sinhala.adaderana.lk)

දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනික පිරිසක් මුදල් එක් රැස් කරමින් සිටින බවට වාර්තා වී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වෙත ගොස් අයවිය යුතු බදු සඳහා වූ මුදල් මෙලෙස පුද්ගල කණ්ඩායමක් විසින් එක් රැස් කරන බවට පැමිණිලි ලැබී ඇති බවය.

බදු වර්ගවලට අදාළ බදු මුදල් රැස් කිරීමේදි දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු ගෙවන්නන් වෙත ගොස් දේශීය අදායම් කොමසාරිස් ජනරාල් නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් වලට පමණක් බදු මුදල් තැන්පත් කිරීමට උපදෙස් දෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ හැර වෙනත් කිසිදු අවස්ථාවක මුදල් හෝ චෙක්පත් එකතු කිරීමක් සිදු නොවන බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

මේ හේතුවෙන් වංචනික පුද්ගලයන් වෙත මුදල් ලබා නොදන ලෙස හා ඔවුන් නීතියේ රැහැනට හසු කර දෙන ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

තවද දැනටමත් එවැනි වංචනිකයන්ට හසුවී ඇත්නම් අදාළ පොලිස් ස්ථාන වෙත පැමිණිලි කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් දැනුම් දී ඇත ෴


වෛද්‍ය උපදෙස් නොතකා ගිය මාරක ගමන

(24.08.2024 – 09:55 +0530 – sinhala.adaderana.lk)

අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් ඉඟිනියාගල පොලිස් බල ප්‍රදේශයේ දේවාලහිඳ ප්‍රදේශයේදී අනතුරට ලක්විය.

ඒ රියදුරුට ඇතිවූ හෘදයාබාධයක් නිසා බස් රථය පාරෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙනි.

පසුව මඟීන් කඩිනමින් රියදුරු ඉඟිනියාගල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් රියදුරු මියගොස් සිටි බව පොලීසිය පවසයි.

ඊයේ (23) රාත්‍රි 07:00 ට පමණ අම්පාර ඩිපෝවෙන් කොළඹ බලා එම බස් රථය පිටත්වී තිබේ.

රියදුරුට ඇතිවූ යම් අසනිප තත්වයක් නිසා ඔහු බස් රථය ඉඟිනියාගල මහා විදුහල අසල නවත්වා එම ස්ථානයේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ගොස් ප්‍රතිකාර ගෙන නැවත කොළඹ බලා පිටත්ව තිබේ.

ඔහුගේ අසනීප තත්ත්වය බැරෑරුම් බැවින් මෙම ගමන නොයන ලෙසට වෛද්‍යවරයා උපදෙස් දී ඇතත්, වෙනත් රියදුරෙක් නැති බව පවසමින් ඔහු කොළඹ බලා බස් රථය ධාවනය කර ඇත.

කෙසේ වෙතත් වෛද්‍යවරයා හමුවී සැතපුම් 10 යන්නට පෙර බස් රථයේ රියදුරා නැවත අසනීප වී බස් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මඟීන් 40 ක් පමණ සිටි ඇති වුවත්, එක් මඟියෙක් පමණක් සුළු තුවාල ලබා තිබේ.

මියගොස් ඇති බස් රථ රියදුරා 49 හැවිරිදි මංජුල ප්‍රසන්න නැමැති පරගහකැලේ පදිංචි දෙදරු පියෙකි.

++++++++

+


දුම්රිය ප්‍රවේශපත්‍රය ඩිජිටල් වෙයි

(23.08.2024 – 19:46 +0530 – sinhala.adaderana.lk)

මෙරට ප්‍රථම වරට දුම්රිය මගීන්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත් නිකුත් කිරීමට https://www.pravesha.lk/ ලෙස නව වෙබ් අඩවියක් හඳුන්වාදීමට රජය කටයුතු කර තිබේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ පවසන්නේ කෙටි දුර ගමන් ගන්නා දුම්රිය මගීන්ට සිය ජංගම දුරකථනය භාවිතයෙන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මේ තුළින් මිලදී ගත හැකි බවය.

මෙහි පළමු (1) අදියරේදී වාර ප්‍රවේශපත්‍ර හිමියන් ඇතුළත් නොවන නමුත් ඉදිරියේදී වාර ප්‍රවේශපත්‍ර හිමියන් සඳහාද නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

+


‘වෙන්න ජනාධිපති’ලාගේ ‘චූන්-පාන්’ දේශපාලනය වෙනුවට දුර දකින දේශපාලන නායකත්වයක ප්‍රායෝගික භාවිතාව ! (24.08.2024)

+


මරදානේදී දුම්රියක් පීලි පනියි

(25.08.2024 – 07:26 +0530 – sinhala.adaderana.lk)

මරදාන දුම්රිය ස්ථානයේදී අද (25) උදෑසන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

ඉන්ධන දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති අතර මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට ද දැඩි හානි සිදුව තිබේ.


සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත්ගේ අනුරාධපුර ජන රැලිය

(25.08.2024 – 16:16 +0530 – sinhala.adaderana.lk)

සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ අනුරාධපුර ජන රැලිය මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ, අනුරාධපුරයේ කඩ පනහ පරිශ්‍රයේදී ය.

එහි සජීවි විකාශය :

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *