2009 වසරට පෙර නිකුත් කර ඇති බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කෙරේ

2009 වසරට පෙර නිකුත් කර ඇති බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කෙරේ


2009 වසරට පෙර නිකුත් කර ඇති බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කෙරේ

(20.08.2024 – 09:17 +0530 – hirunews.lk/sinhala)

2009 වසරට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුනක (3) කාලය තුළ අවලංගු කිරීමට මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

පැරණි රියදුරු බලපත්‍ර සියල්ලම භාවිතයෙන් ඉවත් කිරීම යටතේ, මෙම තීරණය ගත් බවයි මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළේ.

එමෙන්ම පසුගිය කාලයේ මුද්‍රණය කරගත නොහැකිව ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර ලක්ෂ තුනක (3) ප්‍රමාණයක් ද ඉදිරි මාස කිහිපය ඇතුළත මුද්‍රණය කර අවසන් කරන බව ද ඔහු ප්‍රකාශ කළා ෴

+++++++

කල්ඉකුත්වීමේ දිනයක් නොමැති බර වාහන රියදුරු බලපත්‍ර ලක්‍ෂ 11 ක් අවලංගු කරයි

(20.08.2024 – lankadeepa.lk)

කල්ඉකුත්වීමේ දිනයක් නොමැති බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කර නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ලබන වසරේ (2025) ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (20) පැවසීය.

එම රියදුරු බලපත්‍ර ගැනීම සඳහා සාධාරකණ කාලයක් දෙන බවත් නව රියදුරු බලපත්‍රය ගැනීමට පැරණි රියදුරු බලපත්‍රය සහ වෛද්‍ය සහතිකය පමණක් ප්‍රමාණවත් බවත් වීරසිංහ මහතා කීය.

කල්ඉකුත්වීමේ දිනය සඳහන් නොමැති බර වාහන රියදුරු බලපත්‍ර ලක්‍ෂ 11 ක් පමණ සහ සාමන්‍ය රියදුරු බලපත්‍ර ලක්‍ෂ 12 කට ආසන්න ප්‍රමාණයක් ඇති බව කී අනුරුද්ධ වීරසිංහ මහතා කල්ඉකුත්වන දිනයක් සඳහන්ව නොමැති රියදුරු බලපත්‍රයකට නව රියදුරු බලපත්‍රයක් ගැනීමට මාස හයක (6) පමණ කාලයක් දීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

රියදුරු බලපත්‍ර කාඩ් මුද්‍රණය කිරීමට නොහැකිව තිබූ ලක්‍ෂ අටක (8) පමණ ප්‍රමාණය මේ වන විට මුද්‍රණය කර අවසන් කරමින් සිටින බවත් එම ප්‍රමාණය ඉදිරි මාස තුනක (3) පමණ කාලය තුළ සම්පූර්ණයෙන්ම අවසන් කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය ෴


‘පොඩි පැටී’ ස්විට්සර්ලන්තයේදී අත්තඩංගුවට…

(20.08.2024 – 12:40 +0530 – lankacnews.com)

ස්විට්සර්ලන්තයේදී අත්තඩංගුවට ගැනුණු පාතාල කල්ලි සාමාජික ‘පොඩි පැටී’ දිවයිනට රැගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය පවසයි.

ඔහුගේ ඇගිලි සලකුණු පරීක්ෂාවක් සඳහා සහාය ලබා දෙන ලෙසට එලෙස බලධාරීන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇතිබව පොලිසිය පවසයි.

එම කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ‘පොඩි පැටී’ දිවයිනට රැගෙන ඒමට රාජත්‍රාංත්‍රික ලෙස කටයුතු කිරීමට අදාළ රාජ්‍ය ආයතන වෙත දැනුම් දෙන පොලිසිය පවසයි.

‘පොඩි පැටී’ නැමැත්තා බෙරරූස් රාජ්‍යයේදී පසුගියදා අත්තඩංගුවට ගැනිණි.

මේ අතර අපරාධ වල නිරත වෙමින් විවිධ රටවල සැගව සිටින පාතාල නායකයින්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඇතුළු අපරාධකරුවන් 168 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලබා ගෙන ඇතිබව පොලිසිය පවසයි.

එම අපරාධකරුවන්ගෙන් වැඩි පිරිසක් ඩුබායි රාජ්‍යයේ සැගවසිටින බව පොලිසිය පවසයි.

නාගොඩ සුමන උදයන්ත


මව්කිරි හිරවීමෙන් මාස තුනක දැරියක් ජීවිතක්ෂයට

(20.08.2024 – 08:09 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ මුරුසවිල් ප්‍රදේශයේ මාස තුනක (3) දැරියක් මව්කිරි හිරවීමෙන් ඊයේ (19) මියගොස් තිබෙනවා.

මව විසින් එම දැරියට මව්කිරි ලබා දෙමින් සිටියදී දැරිය එක්වරම සිහිසුන් වී ඇතැයි වාර්තා වෙනවා.

වහාම ඇයව චාවකච්චේරී රෝහල වෙත රැගෙන ගොස් ඇති නමුත්, රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය චාවකච්චේරී රෝහලේදී සිදු කිරීමට නියමිතයි.

කොඩිකාමම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා ෴


කටුනායක ගුවන්තොටුපළේ සුඛෝපභෝගී බස් සේවය නවත්වයි

(20.08.2024 – 14:15 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය ට සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පසුගියදා ආරම්භ කළ සුඛෝපභෝගී බස් සේවාව අත්හිටුවා තිබෙනවා.

එම සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ් කොට දින 4 කට පසුවයි මෙසේ තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇත්තේ.

මෙම බස් රථ සේවය ආරමභ කළ පසුව පාර්ෂව කිහිපයක් ඊට විරෝධය පළකර තිබුණා.

ඒ අතර ගුවන් තොටුපොළ – කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය පෙරමුණ ගෙන සිටියා.

පසුව ඔවුන් බස් රථ වර්ජනයක් ආරම්භ කිරීමටද පියවර ගත් බවයි කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසන්නේ.

මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ ධාවන සංගම් ද එක්ව සිටියා.

මේ අතර ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයට සහ මැතිවරණය කොමසාරිස් කාර්යාලය වෙත ගොස් සිය විරෝධතා ප්‍රකාශ කර තිබුණා.

මේ කරුණු මත සුඛෝපභෝගී බස් රථ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ ෴


නවීන බස් රථ 4 කට ගිනි තබයි

(20.08.2024 – 16:46 +0530 – hirunews.lk/sinhala)

නවීන බස් රථ 4 කට එකම ස්ථානයකදී ගිනිතබා ඇතැයි වාර්තා වනවා.

අලුත්වැඩියා කටයුත්තක් සඳහා රැගෙනවිත් ගරාජයක නවත්වා තිබූ බස් රථ 4 ක් මෙසේ ගිනි තබා තිබෙන බවයි වෙන්නප්පුව පොලිසිය පවසන්නේ.

අද (20) අලුයම මෙම ගිනි තැබීම සිදුකර තිබෙන බවද පොලිසිය පවසනවා.

වෙන්නප්පුව, වැව පාරේ පිහිටි වාහන අලුත්වැඩියා කරන ස්ථානයකදී සිදුවීම වාර්තා වී තිබෙන අතර ගිනිගැනීමෙන් එක් බස් රථයක් සම්පූර්ණයෙන්ම විනාශවී තිබෙනවා.

මේ අතර අනෙක් බස් රථ තුනත් (3) ගිනිගැනීමට ලක්ව විනාශ වී තිබෙන බවයි පැවසෙන්නේ.

අසල තිබූ CCTV කැමරාවක් පරීක්ෂා කිරීමේදී කිසියම් පුද්ගලයෙක් පැමිණ බස් රථවලට ගිනිතබා පලායන අයුරු සටහන්ව ඇතැයි පැවසෙනවා.

එක් බස් රථයක් සම්බන්ධයෙන් පැවති ආරවුලක් මත එම බස්‍ රථයට යම් කෙනෙකු ගිනිතබා තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බවයි වෙන්නප්පුව පොලිසිය හිරු නිවුස් වෙත පැවසුවේ.

ඒ ආසන්නයේම නවත්වා තැබූ සෙසු බස් රථවලට පසුව ගින්න පැතිරී තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර පොලීසිය පවසන්නේ ගින්නෙන් රුපියල් කෝටි 3 ක පමණ හානියක් සිදුව තිබෙන බවයි ෴


බෞද්ධ ධර්මාචාර්ය විභාගය කල් යයි

(20.08.2024 – 17:04 +0530 – hirunews.lk/sinhala)

අගෝස්තු 24, 25 සහ 31 පැවැත්වීමට නියමිතව තිබූ බෞද්ධ ධර්මාචාර්ය විභාගය, ඔක්තෝබර් 19, 20 සහ 31 දිනවලට කල් දමා තිබෙනවා ෴


ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවෙන් නිකුත් කරයි

(20.08.2024 – 20:57 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ලොව දිගෙන් වැඩිම මුද්දරය නිකුත් කර තිබෙනවා.

ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර සහිත එම මුද්දරය දිගින් මිලි මීටර් 205 ක් බවටයි වාර්තා වෙන්නේ.

එම මුද්දරය මීට කෙටි වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිරිනමා ඇති බවද සඳහන් ෴

+


ඇසළ පෙරහර ගමන් ගනිද්දී ගුවනට යැවූ ඩ්‍රෝන දෙකක් (2) බිමට හෙළයි

(20.08.2024 – 18:35 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර වීදී සංචාරය කළ ඊයේ (20) රාත්‍රියේ, ශ්‍රී දළදා මාලිගාවට ඉහළින් ‘ඩ්‍රෝන කැමරාවක්’ යොමුකර ඡායාරූප ගැනීමට උත්සහ කළ පුද්ගලයෙකු මහනුවර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ඩ්‍රෝන කැමරාව නිරීක්ෂණය වීමෙන් පසු ‘ඩ්‍රෝන ජෑමරයක්’ යොදා ගනිමින් එය පහත හෙළීමට‍යි ගුවන් හමුදාව කටයුතු කර ඇත්තේ.

පසුව ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි කිරීමකින් පසු එම ‘ඩ්‍රෝන කැමරාව’ දළදා මැදුරට නුදුරින් පිහිටි හෝටල් පරිශ්‍රයක තිබී සොයා ගෙන තිබෙනවා.

එම ස්ථානයෙන් සැකකටයුතු ලෙස ගමන් ගත් මෝටර් රථයක් පිළිබඳ, ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් විසින් මහනුවර පොලීසියට කළ දැනුම් දීමකින් අනතුරුවයි අදාළ මෝටර් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත්තේ.

මහනුවර ප්‍රදේශයේ පදිංචි අදාල සැකකරු 47 හැවිරිදි ඡායාරූප ශිල්පියෙකු බවත්, ඡායාරූප ලබා ගැනීමේ අරමුණින් මෙම ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කර තිබෙන බවත් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

මේ අතර තුන්වන රන්දෝලි පෙරහර පැවැත්වුණු දිනයේත් මහනුවර වැව රවුමේ සිට තරුණයින් දෙදෙනෙකු (2) ‘ඩ්‍රෝන කැමරාවක්’ පෙරහර සීමාවට යොමු කර තිබිය දී ගුවන් හමුදා නිලධාරීන් විසින් එය බිම හෙළා සැකපිට අදාළ තරුණයින් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙනවා ෴


හිටපු ජනපති මෛත්‍රී රුපියල් මිලියන 100 ක පාස්කු වන්දිය ගෙවා අවසන් කරයි

(20.08.2024 – 22:17 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පාස්කු නඩුවේදී නියෝග කළ වන්දිය සම්පූර්නයෙන්ම ගෙවා නිමකළ බව ඔහුගේ නීතීඥයින් පවසනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් ගෙවන ලෙසයි අධිකරණයෙන් නියෝග කරනු ලැබුවේ.

ඒ අනුව, කොටස් වශයෙන් ගෙවීම් සිදුකළ මෙම වන්දි මුදල පසුගිය අගෝස්තු 16 වනදා සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ බවයි ඔහුගේ නීතීඥයින් සඳහන් කළේ ෴


රෝගීන් තිදෙනෙක් (3) නඩු මගට

(20.08.2024 – 18:29 +0530 – sinhala.adaderana.lk)

ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමක් සිදු කිරීමෙන් පසුව රෝහලින් ලබා දුන් ඖෂධ භාවිත කිරීම හේතුවෙන් ඇස් පෙනීම අහිමි වූ බව පවසමින් වන්දි ඉල්ලා පුරවැසියන් තිදෙනෙකු (3) විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු ගොනුකර තිබේ.

කඳපොළ ප්‍රදේශයේ පදිංචි එම්. රාජරත්නම් ඇතුළු තිදෙනෙකු (3) විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත.

පැමිණිකරුවන් ඉල්ලා ඇත්තේ තමන්ට සිදුවූ හනිය වෙනුවෙන් එවක සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු වගඋත්තරකරුවන් ගෙන් රුපියල් කෝටි 10 බැගින් වන්දි ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසටය.

එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, එම අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු 11 දෙනෙකු නම් කර තිබේ ෴

+

20-08-2024

+

20-08-2024

මුදල් ආරවුලකට පවුලක්ම විනාශ කළ පුද්ගලයෙක්

(21.08.2024 – 07:47 +0530 – sinhala.adaderana.lk)

නැන්දම්මාව ඝාතනය කර බිරිඳට සහ දියණියට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (20) සවස් කාලයේ දී ගලපිටමඩ පොලිස් වසමේ ලෙවන්ගම ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු කාන්තාවක් ඝාතනය කර තවත් කාන්තාවන් දෙදෙනෙකුට (2) තුවාල සිදුකර ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවය.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 55 ක් වූ අතලවත්ත, ලෙවන්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මුදල් ආරවුලක් මත සැකකරු බිරිඳ හා බිරිඳගේ මව සමග බහින්බස් වීමක් ඇති කරගෙන තිබේ.

පසුව බිරිඳගේ මවට ගලකින් පහරදී හිසට බරපතළ තුවාල සිදුකර ඇති අතර, තුවාලකාරියව කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

බිරිඳ සහ දියණියට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇතැයි ද පොලිස් විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් 44 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ගලපිටමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

(21.08.2024 – 08:02 +0530 – sinhala.adaderana.lk)

පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකවරයෙකු (39) සහ කොස්තාපල්වරයෙකු (32) පිළියන්දල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හෙරොයින් කිලෝග්‍රෑම් 01 ක් සන්තකයේ තබාගෙන සිටියදීයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *