කටුනායක ගුවන්තොටුපොළේ සිට නව සුඛෝපභෝගී බස් සේවාවක්

කටුනායක ගුවන්තොටුපොළේ සිට නව සුඛෝපභෝගී බස් සේවාවක්


කටුනායක ගුවන්තොටුපොළේ සිට නව සුඛෝපභෝගී බස් සේවාවක්

(15.08.2024 – 15:56 +0530 – sinhala.adaderana.lk)

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (15) ආරම්භ කළේය.

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් මෙරට තුළ සංචාරය සඳහා ප්‍රවාහන සේවා ආයතනයක පහසුකම් ලබා නොගන්නේ නම්, ඔවුන් ගුවන්තොටුපොළේ සිට කිලෝ මීටර් 2 ක් පමණ දුරින් පිහිටි ඇවරිවත්ත බස් නැවතුම්පොළ වෙත පැමිණිය යුතුය.

ඒ අනුව ගුවන්තොටුපොළෙන් පිටත් වන මෙම බස් රථ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ අතරමැද නැවැත්වීමකින් තොරව ගමනාන්තය කරා පිවිසෙයි.

මෙම නව බස් සේවාව සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම, ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය සහ පෞද්ගලික බස් රථ සමාගමක් ඒකාබද්ධව ක්‍රියාත්මක වේ.

සුඛෝපභෝගී විශාල ප්‍රමාණයේ බස් රථ 10 ක් මෙම බස් රථ සේවාව සඳහා යොදවා ඇති අතර, එක් ගමන් වාරයක් සදහා රුපියල් 3,000ක මුදලක් එක් මගියෙකුගෙන් අය කිරීමට කටයුතු යොදා ඇත.

+

ගුවන්තොටුපොළේ නව AC බස් සේවයට විරෝධයක්

(15.08.2024 – 19:10 +0530 – sinhala.adaderana.lk)

කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා ක්‍රියාත්මක වන පරිදි අද (15) උදෑසන ආරම්භ කළ නව සුඛෝපභෝගී බස් රථ සේවාවට විරෝධය පළකරමින් ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සුඛෝපභෝගී බස් රථ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ.

මෙහිදී එම බස් රථ සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා පවසා සිටියේ, ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති කාලසීමාවක නව රැකියා සඳහා පත්වීම් ලබාදීමට නොහැකි සේම නව බස් රථ සඳහා ද එම නිර්දේශ ඒ ආකාරයටම බලපවත්වන බවයි.

තම සංගමයේ සුඛෝපභෝගී බස් රථ 71 ක් ලියාපදිංචි කර තිබුණත්, ඉන් බස් රථ 42 ක් දිනකට ධාවනය නොවන බවත් පැවසූ ඉන්දික ගුණසේකර මහතා පෙන්වා දුන්නේ ලියාපදිංචි බස් රථයක් මාසයක් තුළ දී ධාවනයෙහි යෙදෙන්නේ දින 10 ක් පමණක් බවයි.

එමෙන්ම තම සංගමයේ බස් රථ ද මීට පෙර කටුනායක ගුවන්තොටුපොළෙන් ගමන් ආරම්භ කළ බවත්, පසුව ආරක්ෂක හේතූන් සහ වෙනත් දේශපාලනික බලපෑම් මත ඇවරිවත්ත නගරයේ සිට තම ගමන්වාර ආරම්භ කිරීමට සිදුවූ බවත් පෙන්වා දුන්නේය.

එනිසා මෙම අනීතික බස් රථ ධාවනය බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා විසින් නැති අවශ්‍යතාවක් පෙන්වා, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශයත්, ජාතික ගමනාගමන කොමිසම ලවා ආරම්භ කර ඇති බව පැවසීය.

මෙවැනි සැබෑ අවශ්‍යතාවක් පවතින්නේ නම් දැනට තම සංගමයේ ලියාපදිංචි, දිනකට ධාවනයෙන් ඉවත් වන බස් රථ 42 ඒ සඳහා යොදාගත හැකි බව පෙන්වා දුන්නේය.

එමෙන්ම තමන් මෙම ගමනාන්ත සඳහා එක් මගියෙකුගෙන් අය කරන්නේ රුපියල් 300 ක් වැනි මුදලක් වුවත්, නව බස් රථ සේවාවෙන් එක් මගියෙකුගෙන් රුපියල් 3,000 ක මුදලක් අය කරන බවද පෙන්වා දුන්නේය.

තම බස් රථ සංගමය මේ වනවිට මෙම ගැටලුව ජනාධිපතිවරයා ඇතුළු සහ මෙම ක්ෂේත්‍රයේ බලධාරීන් වෙත යොමු කර ඇති බවත්, මෙම ගැටලුවට කඩිනම් විසඳුම් නොලැබුණහොත් තම වර්ජනය හෙට (16) දිනය වනවිට මීගමුව මාර්ගය දක්වා ක්‍රියාත්මක කරන බවට අනාවරණය කළේය ෴


මැතිවරණ සමයේදී නොකළ යුතු දේ

(15.08.2024 – 14:32 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරණයට අදාළව පක්ෂ අපේක්ෂකයන් සහ ආධාරකරුවන් සිදු නොකළ යුතු ක්‍රියාවන් පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ කොමිෂන් කාර්යාලයේදී අද (15) අපේක්ෂකයින්ව දැනුම්වත් කෙරිණි.

ඒ අනුව මෙකී නිතීවිරෝධී ක්‍රියා, වැරදි, දූෂණ ක්‍රියා සිදුකිරීම, විධාන උල්ලංඝනය කිරීම පිළිබඳ දඬුවම ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිළිව දක්වා ඇතැයි ද මෙහි ඇතැම් වැරදි සඳහා දඬුවම තේරි පත්වීම අහිමි වීම සහ ප්‍රජා අයිතිය අහිමි වීම බව මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා එහිදී පැවසීය.

ඒ අනුව එකී කරුණු පහත පරිදි වෙයි :

අපේක්ෂකයෙකු අගතියට පත් කිරීම

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ වූ පනතේ 74 වන වගන්තිය යටතේ නාමයෝජනා දින සිට ඡන්ද විමසීම අවසන් වන දින තෙක් අපේක්ෂකයෙකු තෝරා පත්කර ගැනීමේ ඉඩකඩ වැඩි කිරීම සඳහා හෝ තවත් අපේක්ෂකයෙකු අගතියට පත් කිරීම සඳහා ප්‍රචාරක පත්‍රිකා සහ අනෙකුත් දෑ ප්‍රදර්ශනය කිරීම, බෙදා හැරීම නොකළ යුතු වෙයි.

සියලුම අපේක්ෂකයින්ගේ අවධානය මේ සම්බන්ධව යොමුකර ඇති අතර මේ සඳහා වූ නීතිමය කටයුතු සිදු කිරීම සඳහා පොලිස්පතිවරයා වෙත අදාළ උපදෙස් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දී තිබේ.

ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීම

ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් හෝ වෙනත් ප්‍රචාරක ඡායාරූප හෝ එවැනි චිත්‍ර ඡන්ද සලකුණු, ධජ හා පතාක යනාදිය ප්‍රචාරණය කළ හැක්කේ රැස්වීමක් පවත්වන දිනයක දී එම ස්ථානය අසල හෝ එම ස්ථානයේ විධිමත් ලෙස අවසර ලබා ගත් නිවේදිත ඡන්ද කාර්යාලවල නිශ්චිත සීමා කිරීමකට යටත්ව පමණි.

ශබ්ද විකාශන භාවිතය

මැතිවරණය සඳහා වූ කාලය තුළදී අපේක්ෂකයින් සඳහා ප්‍රචාරණ කටයුතු සිදුකිරීමට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ හැකි අතර, එම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ හැක්කේ පොලීසියේ නිසි අවසරය මත පමණි.

අල්ලස් හෝ දූෂණ ක්‍රියා සහ බලපෑම්

යම්කිසි අපේක්ෂකයෙකු සඳහා ඡන්දය ප්‍රකාශය කිරීමට යම් යම් දෑ ලබාදීම අල්ලස් ලබා දීමක් සේ සැලකෙයි.

ඒ අනුව, ඡන්දය ලබාගැනීම සඳහා සංග්‍රහ කිරීම්, අල්ලස් ලබා දීම්, අයුතු බලපෑම් දූෂණ ක්‍රියාවන් සේ සලකයි.

තවද ආගමික වැඩසටහන් හෝ පූජනීය ස්ථානවල පැවැත්වෙන වැඩසටහන් හරහා පක්ෂ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම නොකළ යුතුය. එකී ප්‍රවර්ධනයන් අයුතු බලපෑම් යටතට පත්වෙයි.

රාජ්‍ය සේවා ක්‍රියාකාරිත්වය සහ රාජ්‍ය දේපොළ භාවිතය

මැතිවරණ කාලසීමාව තුළදී රජයේ අමාත්‍යංශ මෙන්ම රජයේ දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා, බැංකු, මණ්ඩල ආදී ව්‍යවස්ථාපීත ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ද රාජ්‍ය ආයතන සේ සැලකේ.

මෙකී රාජ්‍ය ආයතනවල දේපොළ ජනාධිපතිවරණයේ දී පක්ෂ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම අගතියට පත් කිරීම සඳහා භාවිත කිරීම සපුරා තහනම් ය.

එමෙන්ම දේශපාලන අයිතිවාසිකම් අහිමි කිසිදු නිලධාරියෙකුට ජනාධිපතිවරණයට අදාළ ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලන ක්‍රියාවක නිරත විය නොහැකි වෙයි.

තවද දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය සේවකයින්ට පවා කාර්යාල වේලාවන් තුළ දේශපාලන කටයුතු වල නිරත විය නොහැකි ය.

සෑම රජයේ නිලධාරියෙකු මෙන්ම සේවකයෙකුම මැතිවරණ කොමිෂන් සභාව විසින් ‘2024 ජූලි 26 දිනැතිව නිකුත් කරන ලද 2394/56 දරණ අති විශේෂ ගැසට් පත්‍රය’ මගින් නිකුත් කර තිබෙන විධානවලට යටත් විය යුතු බව ද මැතිවරණ කොමිසම පවසයි.

මෙම විධාන සියලුම රජයේ නිලධාරීන් පිළිපැදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිපි, ගුවන්විදුලි, රූපවාහිනි, පුවත්පත් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබේ.

ජනාධිපතිවරණයෙන් පසු කාලය

ජනාධිපතිවරණය අවසන් වී සතියක් ගතවන තුරු පෙළපාලි පැවැත්වීම තහනම් වනු ඇත.

මෙවැනි නීති විරෝධි පෙළපාලි පැවැත්වීමේ දී එවැනි අවස්ථා වීඩියෝ ගතකර අධිකරණයට වාර්තා කිරීමට ද පොලීසිය ක්‍රියාකිරීමට ඉඩ ඇති බව සඳහන් ය ෴


පිටකොටුවේදී ගණිකාවකට ඇන්දුනු ව්‍යාපාරිකයා අමුතු ‍විදිහට කොල්ලකාලා

(15.08.2024 – gossiplankanews.com)

පිටකොටුව ප්‍රදේශයේදී වීදි ගණිකාවකගේ ඉඟිබිඟියට වසඟ වූ ව්‍යාපාරිකයකු පංචිකාවත්ත ලැගුම්හලකදී පහරකෑමට ලක්ව, සන්තකයේ තිබූ රුපියල් ලක්ෂයකට අධික මුදලක් හා වටිනා ජංගම දුරකතනයක් අහිමි කරගැනීමේ සිද්ධියක් වාර්තා වී ඇතැයි මරදාන පොලිසිය කියයි. 46 හැවිරිදි ව්‍යාපාරිකයකු කරවල තොග මිලදී ගැනීම සඳහා රෑ බෝවෙත්ම පිටකොටුවට පැමිණියේ කරවල තොග මිලදීගෙන උදේම යළි නුවර බලා යාමේ අරමුණිනි.

බස් රථයෙන් බැස පදික මාරුව හරහා යාමේදී ඔහුගේ ශරීරයේ ගෑවී නොගෑවී යන තරමට ගමන් කළ කාන්තාවකගෙන් නාස් පුඩු කඩාගෙන යන තරමට සුවඳ විලවුන් ආග්‍රාහණයක් දැනී ඇති අතර, ව්‍යාපාරිකයා එම කාන්තාව දෙස බැලීමත් සමගම, අඩවන් දෑසින් එම කාන්තාව ව්‍යාපාරිකයා දෙස බලා මඳ සිනහවක් පා, මඳක් ඉදිරියට ගොස් නැවතී, කිසියම් අයකු පැමිණෙන තෙක් රැඳී සිටින තැනැත්තියක සේ අත රැඳි ඔරලෝසුව දෙස බලමින් සිට ඇතැයි පොලිසිය කියයි.

සිත් වසඟ කරන සිනහවක් පෑ එම ආගන්තුක කාන්තාව සමග වචනයක් හෝ නොදොඩා යාමට සිත් නොදී ඇති ව්‍යාපාරිකයා යන ගමන මඳකට අමතක කර, තම අත තිබූ ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා ගන්නා මුවාවෙන් එම තරුණිය දෙස බලමින් සිටියදී, ඇය ද වරෙක ඔහු දෙස බලමින්, තවත් වරෙක අත් ඔරලෝසුව දෙස බලමින් කාලය ගත කරන්නට වී ඇති අතර, විනාඩි දහයක් පහළොවක් අතර කාලයක් ගතවෙද්දී කාන්තාවගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබීමත් සමගම ඇය කලබලයෙන් වටපිට බලමින්, ව්‍යාපාරිකයාට නැවතත් සිනහවකින් සංග්‍රහ කරන්නට වී යයි ව්‍යාපාරිකයාගෙන් අනාවරණය වූ බව පොලිසිය කියයි.

මඳ වේලාවක් ගත වෙද්දී ව්‍යාපාරිකයා එම කාන්තාව අසලටම ළඟා වී, “කොහෙද නංගි මේ රෑ යන්නේ” යැයි විමසා ඇති අතර, “අනේ අයියේ බලන්නකෝ, අපේ අයියා කරපු දේ මට. ගමේ ඉඳන් කොළඹ එන්න කියලා, දැන් එයාට එන්න විදිහක් නැහැලු, අද නයිට් ඩියුටිලු කියලා මට කෝල් දෙනවා. මට තේරෙන්නේ නැහැ මොනවා කරන්න ද කියලා. මට පිස්සු වගේ අයියේ. බයත් හිතෙනවා. මිනිස්සු මුහුණ දිහා බල බලා යනවා.” යැයි තරුණිය පවසා ඇත.

“නංගි, ඔයා කොහෙද නංගි?” යැයි ව්‍යාපාරිකයා විමසා ඇති අතර, “අයියේ මම මාතර. මම කොළඹ එන්නේ අයියා එන්න කිව්වොත් විතරයි. මට මෙහේ එච්චර පුරුදු නෑ අයියේ. අයියා මොකද මෙහෙ ද ජොබ් කරන්නේ.” යනුවෙන් තරුණිය ඇසීමත් සමගම, ව්‍යාපාරිකයා ඔහුගේ තොරතුරු නොසඟවා ආගන්තුක කාන්තාවට පවසා තිබූ බව පොලිසිය කියයි.

“නංගි බය වෙන්න එපා. මටත් ඉන්නවා ඔය වගේ නංගිලා.” යනුවෙන් ව්‍යාපාරිකයා පැවැසීමත් සමග, “අනේ අයියේ දැන් තමයි මට හුස්ම ටිකක් වැටෙන්නේ” යනුවෙන් පවසා, කාන්තාව තව තවත් ව්‍යාපාරිකයා අසලට කිට්ටු වන්නට විය.

“නංගි මේ රෑ ජාමේ ඔයා කොහේවත් යන්න එපා. මමත් අද රෑට හෝටලයක නැවතිලා ඉඳලා තමයි හෙට පාන්දරම බඩු අරගෙන නුවර යන්නේ. කැමැති නම් විතරක් එන්න. හෙට උදේම ගමේ යන්න පුළුවන්. මම පිටකොටුවටම ඇරලවන්නම්. මොකද ඔයා කියන්නේ?” යයි ව්‍යාපාරිකයා පැවැසීමත් සමගම, “කමක් නෑ අයියේ, මගේ වාසනාවකට තමයි ඔයාව හම්බ වුණේ අයියේ. කොහෙද අයියේ යන්නේ.” යැයි ඇය ඇසීමත් සමගම, ඒ ආසන්නයේ නවතා තිබූ ත්‍රිරෝද රථ රියැදුරකු “ආ නෝනා මහත්තයා, මීටර් ටැක්සි, මීටර් ටැක්සි” කියමින් ඔහු අසලම රථය නැවතීමත් සමග “අපි එහෙනම් මේකේ නගිමු” යයි ව්‍යාපාරිකයා යෝජනා කර ඇති අතර, කාන්තාව ද ඊට එකඟ වී ත්‍රිරෝද රථයට ගොඩ වී ඇතැයි පොලිසිය කියයි.

මඳ වේලාවකදී ඔවුන් දෙදෙනාම පංචිකාවත්ත ප්‍රදේශයේ ලැගුම්හලකට පැමිණ ඇති අතර, කාමරයක් වෙන් කරවාගෙන සුළු මොහොතක් ගත වෙද්දී, එම කාමරය වෙත කඩාවැදී ඇති ත්‍රිරෝද රථ රියැදුරු කාන්තාව හා එක්ව ව්‍යාපාරිකයාට පහරදී, ඔහු සතුව තිබූ රුපියල් එක්ලක්ෂ තුන්දහසක මුදලක් සේම ජංගම දුරකතනය ද කොල්ලකා, එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

කරවල තොග මිලදී ගැනීමට පැමිණ අහම්බෙන් හමු වූ ආගන්තුක කාන්තාවට උදව් උපකාර කිරීමට ගිය ව්‍යාපාරිකයා පහර කෑමට ලක්ව, සේසතම අහිමි කරගෙන, පා ගමනින්ම මරදාන පොලිසිය වෙත පැමිණ, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත කුමාර ඇපලකොටුව මහතා හමු වී අදාළ පැමිණිල්ල කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)


දුඹුරු සීනි ජාවාරමක් ගැන තොරතුරු

(15.08.2024 – 21:30 +0530 – sinhala.adaderana.lk)

‘ඉන්දියානු දුඹුරු සීනි’ ලෙස හඳුන්වමින් මෙරට වෙළෙඳපොළේ ක්‍රියාත්මක සීනි ජාවාරමක තොරතුරු හෙළි කරගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සමත්වී තිබේ.

ඒ අනුව ‘ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත දුඹුරු සීනි’ සමග ‘ඉන්දියාවෙන් ආනයනය කරන ලද සුදු සීනි’ මිශ්‍ර කරමින් මෙම දුඹුරු සීනි මෙරට වෙළෙඳපොළට නිකුත් කරන බව හෙළිවී ඇත.

අද (15) ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය කෙරුණි.

අදාළ ව්‍යාපාරිකයා කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට සැක කෙරෙයි.

එම ස්ථානයේ තිබී කිලෝග්‍රෑම් 50 හිස් සීනි ඇසුරුම් 2500 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඒවා තුළ තිබූ සීනි ‘ඉන්දියානු දුඹුරු සීනි’ ලෙස වෙළෙඳපොළ තුළ අලෙවි කර තිබේද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය.

මෙලෙස මිශ්‍ර කරන ලද දුඹුරු සීනි කිලෝවක් රුපියල් 300 ක පමණ මිලකට අලෙවිකර ඇති බවද නිලධාරීන් පවසයි.

සුදු සීනි කිලෝවක් රුපියල් 240 බැගින් සහ රතු සීනි කිලෝවක් රුපියල් 310 බැගින් අදාළ ව්‍යාපාරිකයා මිලදී ගෙන ඇති බවට ද හඳුනාගෙන තිබේ.

මේ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝ 1000 ක් පිටකොටුව ආදුරුප්පු වීදියෙන් සොයාගෙන තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පැවසුවේ ප්‍රසිද්ධ ආහාර ආනයන ආයතනයකට අයත් ගබඩාවක් තුළ මෙම පරිප්පු තොගය වෙළෙඳපොළට යැවීමට දිලීර ඉවත් කරමින් ඇසුරුම් කරමින් තිබූ බවය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *