‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරුවන් සියලුදෙනා යළි රිමාන්ඩ්

‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරුවන් සියලුදෙනා යළි රිමාන්ඩ්


‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරුවන් සියලුදෙනා යළි රිමාන්ඩ්

(05.08.2024 – 16:08 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරිය ද්විත්ව ඝාතනයේ ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 10 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (05) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, අගෝස්තු 20 වැනිදා දක්වා බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුව සහ ඝාතනයට ලක් වූ ‘ක්ලබ් වසන්ත’ නමැත්තාගේ පුත්‍රයා ද නීති කෘත්‍යය සඳහා අද (05) දින අධිකරණ හමුවේ පෙනි සිටියා.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමක් අතරතුර ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය මස 08 වැනිදායි.

මෙම ඝාතන සැලසුම් කිරීම සහ අනුබල දීම යන චෝදනා යටතේ ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සහ කාන්තාවක ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් පසුගිය 22 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී ටැටු ව්‍යාපාරික ‘දුලාන් සංජුල’ නමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් ද කළා.

එදින කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළේ සැකකරුවන් අද (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ අනුව ‘දුලාන් සංජුල’ ඇතුළු සැකකරුවන් 10 දෙනා අද (05) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ආවේ විශේෂ ආරක්ෂාවක් යටතේයි.

බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා,නීතිපති දෙපාර්තමේන්තුව, ඝාතනයට ලක් වූ ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ගේ පුත්‍රයා නීති කෘත්‍යය සඳහා අද (05) අධිකරණ හමුවේ පෙනී සිටීමට නියමිතයි.

++++++++

05-08-2024

+

05-08-2024

+

05-08-2024

+

අතුරුගිරියේ ඝාතකයන් පළා ගිය බස් රථය සොයා ගනී

(07.08.2024 – 11:46 +0530 – hirunews.lk/sinhala)

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයෙන් අනතුරුව ඝාතකයන් පලා ගිය බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී සොයා ගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම බස් රථය සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මෙම ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයේදීයි අද (07) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 36 ක් වන දර්ගා නගරයේ පුද්ගලයෙක්.

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවක් ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+

ක්ලබ් වසන්ත ඝාතනය – ලොකු පැටීගේ මස්සිනා කොටුවෙයි

(07.08.2024 – 14:53 +0530 – sinhala.adaderana.lk)

කල්බ් වසන්ත ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ ඝාතනය මෙහෙයවූ ලොකු පැටීගේ මස්සිනා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලීසියට භාරදී තිබේ.

සැකකරු ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇත්තේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේදී ය.

ඔහු දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු වන අතර වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරුවන්ට කුලී නිවසක් ලබාගැනීම හා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට වෙඩික්කරුවන් දෙදෙනා හා ආයුධ අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන යාමට කුලී වෑන් රථයක් සම්බන්ධ කරදීම ඔහු විසින් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩික්කරුවන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පළායෑමට භාවිත කළ බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබුවේ මෙම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ තොරතුරු මත ය.

ඝාතනය සිදුවූ දිනට පෙර එම බස් රථය ගමන් ගන්නා අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් ද විමර්ශන නිලධාරීන් ට හමුවී තිබුණි.

+


හැම පැත්තෙන්ම මටත් තනතුරුවලට ආරාධනා කරනවා..

(06.08.2024 – 17:30 +0530 – lankacnews.com)

තමන්ට ද එක් එක් ‘අප්පොච්චිලා’ ‘ඇමතිකම්-තාන්නමාන්න’ සඳහා ඇරයුම් එවා ඇති නමුත් තමන් කිසිවිටෙකත් ‘තනතුරු පොදියට- ධන කුට්ටියට’ රස වැටී තම ප්‍රතිපත්ති පාවා දී නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ‘සිටියදීත්- ඉන්පසුවත්’ යුද ජයග්‍රහණයට ‘පෙරත්-ඉන්පසුවත්’ ‘එදත්-අදත්’ තමන් ‘එකම ප්‍රතිපත්තියක්-එකම අරමුණක්-එකම දේශපාලන මතයක්’ වෙනුවෙන් පෙනී සිටි බව වැඩිදුරටත් පැවසූ ඒ මහතා, තමන් දිගු කලක් තිස්සේ නියෝජනය කළ දෑහිතකාමී, දේශහිතෛෂී, ජාතිකවාදී, වාම-ප්‍රගතිශීලි ප්‍රතිපත්ති සමග ඉතාම සමානව ගමන් කළ හැකි අයකු ලෙස විශ්වාස කරන දිලිත් ජයවීර මැතිතුමන් තම කඳවුර මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති බව අවධාරණය කළේය.

බොරැල්ල පිහිටි ‘සර්වජන බලය’ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මෙසේ අවධාරණය කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා :

සර්වජන අපේක්ෂාව

අපේ නියෝජිත සමුළුව අතිසාර්ථක අන්දමින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වූ බව ඔබ දන්නවා. එහිදී අපගේ සාමාජික පක්ෂ සහ ජාතික සංවිධානවල නියෝජිතයන් දහදහස් ගණනකගේ උද්වේගකර ප්‍රතිචාර මැද්දේ අපට පුළුවන්කම ලැබුණා, ‘සර්වජන අපේක්ෂාව’ ජනගත කිරීමට. එහිදී අපි කවුරුත් ඒකමතිකව තීරණය කළා, මව්බිම ජනතා පක්ෂයේ නායක, සර්වජන බලය විධායක සභික, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මැතිතුමන් අපගේ අපේක්ෂකයා හැටියට එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට.

උපායමාර්ගික වැඩපිළිවෙළෙහි දෙවන කෙටුම්පත

මේ රට හමුවී තිබෙන අභියෝග කන්දත් එක්ක බැලුවාම කිසිවකුටත් පොදු ජනතාව සමග සෙල්ලම් කිරීමට අයිතියක් නැහැ. ඒ නිසා අපි හිතනවා, මේ ජනාධිපතිවරණය තීරණාත්මක එකක් කියලා. එම තීරණාත්මක ජනාධිපතිවරණයට, තීරණාත්මක අපේක්ෂකයෙකු සමග තීරණාත්මක වැඩපිළිවෙළක් (උපායමාර්ගික කෙටුම්පතක්) ඉදිරිපත් කිරීමට සර්වජන බලය දේශපාලන එකමුතුව කටයුතු කර තිබෙනවා. ඉහත කී උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත අපි පසුගියදා ජනගත කළා. ඒ පිළිබඳව රට පුරා සංවාදශීලී ජනහමු පැවැත්වූවා. එහිදී ඒ පිළිබඳව මහජනයාගේ අදහස් උදහස් එක්රැස් කර ගනු ලැබුවා. එම මහජන අදහස් යෝජනා ද ඇතුළත් කරමින් සැකැසූ සර්වජන බලය උපායමාර්ගික වැඩපිළිවෙළෙහි දෙවන කෙටුම්පත, එළඹෙන අගෝස්තු 11 වැනිදා කුරුණෑගලදී ජනගත කිරීමට අපි සූදානමින් ඉන්නවා. දෙවන කෙටුම්පත ජනගත කිරීමෙන් පසුව ද අපි ඒ පිළිබඳව රට පුරා සංවාදශීලී ජනහමු පවත්වලා ඊට මහජන අදහස් යෝජනා ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව අපි මෙවර ජනාධිපතිවරණය සඳහා අපගේ උපායමාර්ගික වැඩපිළිවෙළ රට හමුවේ තැබීමට සූදානම්.

ජාතික ව්‍යාපාරය සමග පෙරටම

ඒ වගේම උපායමාර්ගික වැඩපිළිවෙළ කෙටුම්පත් කිරීමට සමගාමීව අපි මේ රටේ ‘ජාතික ව්‍යාපාරය’ සමඟ සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා. ජාතික ව්‍යාපාරය මේ වන විටත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් වෙත ඔවුන්ගේ ස්ථාවරය විමසමින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. මේ පිළිබඳව ජාතික ව්‍යාපාරය සමග ඉදිරියේදී කඩිනමින් සාකච්ඡා කොට අවසන් එකඟතාවකට පැමිණ ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ද අපි බලාපොරොත්තු වෙනවා.

මහින්ද අප්පොච්චිගේ හිස් වන ඔඩොක්කුව

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවූවාට පසුව දැන් ග්‍රහ මාරුවීම් සිදුවෙමින් තිබෙනවා. පොහොට්ටුව දෙස බලන්න. අද එතැන මොකද වෙන්නේ? බැසිල් රාජපක්ෂලා පොහොට්ටුව ගැන හිතලා ළඟ තියාගෙන හිටපු ‘ඇච්චො- බැච්චො’ ටික මහින්ද අප්පොච්චිගේ ඔඩොක්කුව අතහැරලා දැන් රනිල් අප්පොච්චිගේ ඔඩොක්කුවට පනිමින් සිටිනවා. බැසිල් රාජපක්ෂ කිරි පොවපු රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන වැනි මහ පැටව් පවා දැන් අනෙක් පැත්තට පැනලා තිබෙනවා.

තවත් ග්‍රහ මාරු කීපයක්ම

මේ විදියට බැසිල් රාජපක්ෂලා කිරි පොවලා හදපු පොහොට්ටු පැටව් ටික මහින්ද අප්පොච්චිව සම්පූර්ණයෙන් අතහැරලා දාලා රනිල් අප්පොච්චි ළඟට යෑම නිසා අද පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 ක් පමණයි නාමල් රාජපක්ෂ සමඟ ඉතිරි වී සිටින්නේ. එයින් පස්දෙනෙකුම (5) රාජපක්ෂලා. ඒ වගේම රාජපක්ෂ පවුලේ එක් ප්‍රධාන ජ්‍යෙෂ්ඨයෙක් අහනවා, ‘රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන්න මම එන්න ද?’ කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය කියනවා, ‘ඔබ ආවොත් අපේ පාර්ශ්වයට ආයෙත් රාජපක්ෂලා ගෑවුණා වගේ වෙයි. ඒ නිසා ඔබ මධ්‍යස්ථව සිටින බව පෙන්වන්න’ කියලා. ඒ කවුදැයි මාධ්‍යවේදී ඔබ සොයාගත යුතුයි. දැන් එතකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණ සටනට සූදානම් වෙන්නේ රාජපක්ෂලා නැතිවයි. අපට මතකයි විපක්ෂයේ ඇතැමුන් කීවා, ‘ඔය රාජපක්ෂලා සමඟ මධුසමය ගතකරන තෙක් අපි ආණ්ඩුව සමඟ එකතු වෙන්නේ නැහැ’ කියලා. දැන් ඒ අයට තිබුණු බාධාව ඉවත්ව තිබෙන බව පෙනෙනවා. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ තවත් ග්‍රහ මාරු කීපයක්ම සිදුවීමට නියමිතව තිබෙනවා.

එකම ප්‍රතිපත්තියක්! – එකම අරමුණක්!

මේ සියල්ලෙන් පෙනෙන්නේ කුමක්ද? මේ රටේ දේශපාලනය ඉතාමත් තක්කඩි මට්ටමකට ඇදවැටී ඇති බවයි. ඔබ දන්නවා, මම ජනතා විමුක්ති පෙරමුණේ ‘සිටියදීත් ඉන් පසුවත්’ යුද ජයග්‍රහණයට ‘පෙරත් ඉන් පසුවත්’ ‘එදත් අදත්’ ‘එකම ප්‍රතිපත්තියක් – එකම අරමුණක් – එකම දේශපාලන මතයක්’ වෙනුවෙන් පෙනී සිටි බව, කටයුතු කළ බව. අපටත් ඔය එක එක ‘අප්පොච්චිලා’ ඇමතිකම්, තාන්නමාන්න වෙනුවෙන් එක එක ආරාධනා පත්‍ර එවලා තිබෙනවා. නමුත් අපි කිසිවිටෙකත් ඔවුන්ගෙන් ලැබෙන ‘තනතුරු පොදියට-ධන කුට්ටියට’ රහ වැටිලා අපේ ප්‍රතිපත්ති – අරමුණු පාවා දීලා නැහැ. ඒ අනුව තමයි අපි අද අපේ දෑහිතකාමී – දේශහිතෛෂී, ජාතිකවාදී, වාම-ප්‍රගතිශීලි ප්‍රතිපත්ති සමඟ ඉතාමත් සමානව ගමන් කළ හැකි අයෙකු ලෙස විශ්වාස කරන දිලිත් ජයවීර මැතිතුමන් අපේ කඳවුරේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පිළිගනු ලැබුවේ. ඔහුත් සමඟ දෑහිතකාමී -දේශහිතෛෂී බලවේගවල සටන, ජාතිකත්ව කඳවුරෙහි සටන, ප්‍රගතිශීලී-වාම කඳවුරෙහි සටන, නිමා නොවූ ඒ ජයග්‍රහණ ලබා ගැනීමට තිබෙන සටන ඉදිරියට ගෙනයන්න තමයි අපි කැපවී සිටින්නේ.

විමල්ගෙන් සහතිකයක්

දැන් සමහර දේශපාලන පක්ෂ මීටර් 100 දුවන්න තිබුණු තරඟයට මීටර් 2000 ක් විතර දුවලා හති වැටිලා ඉන්නවා. ඔවුන් ඒ මීටර් 2000 ක් දුවනකොට කියපු කතා දැන් ‘අතේ පත්තු වෙලා’ තිබෙනවා. ඔවුන් ‘මොකක්ද මේ සිදුවෙන්නේ?’ කියා අද සිතමින් ඉන්නවා. නමුත් අපි මේ රටට පැහැදිලිව සහතිකයක් දෙනවා. ‘අපි නියෝජනය කළ දේශපාලන ගමනක් ජයග්‍රහණයෙන් තොරව කෙළවර කරලා නැහැ. දිලිත් ජයවීර, සර්වජන බලය, එමගින් මේ රටේ ජාතිකත්ව කඳවුර, වාම-ප්‍රගතිශීලී කඳවුර ජයග්‍රහණය කරවන්න අපි දිවිහිමියෙන් කැපවෙනවා. ඒ ජයග්‍රහණය වෙනුවෙන් සූදානම්ව සිටින්න.

බුදු වදන් අරුත් ගන්වමින්

ඔබ දන්නවා ‘බුදුරජාණන් වහන්සේ රාජ්‍ය පාලනයේ පිරිහීම පිළිබඳවත්, රාජ්‍ය පාලනය පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳවත් දේශනා කොට තිබෙනවා’ කියා. බුදුරජාණන් වහන්සේ දීඝ නිකායේ, කූටදත්ත සූත්‍රය දේශනා කරමින් දෙසා වදාළා ‘පාලකයකු සතු විය යුතු ප්‍රධාන ලක්ෂණ තුනක් තිබෙනවා’ කියා. පළමුවැන්න, බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව, දෙවැන්න ප්‍රඥාවන්ත බව, තෙවැන්න උගත් බව. මේ රටේ පාලකයන් ‘බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව’ පෙන්නුවාට ඔවුන්ට තිබෙන්නේ ‘තමන්ගේ වැඩේ කර ගැනීමේ ඇසූ පිරූ තැන්’ මිසක ‘රටේ ජනතාවට අවශ්‍ය දේ ඉටු කර දීමේ ඇසූ පිරූ තැන්’ නොවෙයි. ප්‍රඥාවන්තයි කියලා පෙන්නුවාට මේ රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දී ඇති ‘කසාය වට්ටෝරුවෙන්’ මුදා ගැනීමේ වැඩපිළිවෙළක් හැදීමේ ප්‍රඥාවන්ත බවක් මේ අයට නැහැ. ඒ වගේම ඔවුන් සැබෑ වියතුන් බවක් ප්‍රකට වන්නෙත් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දීඝ නිකායේ, කූටදත්ත සූත්‍රයෙන් දෙසා වදාළ ඒ ලක්ෂණ ත්‍රිත්වයම සහිත අපේක්ෂකයෙකු අප ඉදිරිපත් කරනු ලැබුවේ. එතුමන් දේශපාලනයට ආගන්තුකයකු නොවෙයි; ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සටන් තුළ ක්‍රියාත්මක වෙමින් ද දේශපාලන වේදිකාවේ තිරය පිටුපස සිටිමින් සක්‍රියව සන්නාම නිර්මාණය කරමින් ද පුළුල් භූමිකාවක් ඉටු කළ අයෙක්. තම සියලු අත්දැකීම් උපයෝගී කරගනිමින් ඔහු මෙරට ජාතිකත්ව කඳවුරෙහි ජයග්‍රහණයට උරදේවි, කියා අපි විශ්වාස කරනවා.

කවුරුන් හෝ සිතාගෙන සිටියා නම්, ‘කොඳු බිඳලා – හතරගාතෙන් ඇදවට්ටලා තිබෙන මේ රටේ ජාතිකවාදී, ප්‍රගතිශීලී වාම කඳවුර යළි නැගිටින්නේ නැහැ, ගොඩගන්න බැහැ, ඔවුන්ගේ කාලය අවසන්’ කියලා ඒක වැරදීමක්. අපි ඔවුන්ට කියනවා, ‘නැහැ මහත්වරුනි, කාලය අවසන් නැහැ, දැන් සුදුසු කාලය එළඹ තිබෙනවා’ කියා” ෴

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්

05-08-2024

+


සුඛෝපභෝගී වාහන 7 ක් රාජසන්තක කරන්න නියෝග

(06.08.2024 – 18:52 +0530 – hirunews.lk/sinhala)

වසර 6 ක් පුරා රේගුවට හොරෙන් ආනයනය කොට රුපියල් කෝටි 25 ක බදු ආදායමක් රටට අහිමි කළ බව කියන රුපියල් කෝටි හතලිහකට (40) අධික වටිනා වාහන 7 ක් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අල්ලස් කොමිසමට අද (06) නියෝග කළා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝග නිකුත් කර ඇත්තේ.

හොර රහසේ ආනයනය කළ වාහන රැසක් මීට පෙරද අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගත් බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

මේවා අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමෙන් නොනැවති අදාළ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගත යුතු බව මහේස්ත්‍රාත්වරයා පැවසුවා.

2018 වසරේ සිට 2024 වසර දක්වා ආනයනය කරන වාහන සඳහා ඉංග්‍රීසි අකුරු තුනක් සහිත ලියාපදිංචි අංකයක් හිමි විය යුතු වනවා.

නමුත් පරිගණක පද්ධතියේ දත්ත මකා තීරෝද රථ මෝටර් සයිකල් ඇතුළු අඩු වටිනාකමින් යුත් වාහන අංක සඳහා මෙම සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කර ඇති බවට‍යි අධිකරණයේදී කරුණු අනාවරණය වුණේ.

බදුල්ල, වාරියපොළ, බලන්ගොඩ, වත්තල, ඇතුළු ප්‍රදේශයවල විවිධ පුද්ගලයින් හත් දෙනෙකුගේ (7) නමට ලියාපදිංචි කර ඇති සුඛෝපභෝගී වාහන මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද නියෝග කොට තිබෙනවා.

මේ ආකාරයට හොරට ආනයනය කර ලියාපදිංචි කළ වාහන 200 කට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් අනාවරණය කරගෙන තිබෙනවා.

මේ අතර 2015 වසරෙන් පසුව 2024 වසර දක්වා තවත් විශාල ප්‍රමාණයක් මෙලෙස ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් අල්ලස් කොමිසම කරුණු දක්වමින් පවසා තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *