බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට මාස දෙකක (2) අනිවාර්ය සිරදඬුවම්

බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට මාස දෙකක (2) අනිවාර්ය සිරදඬුවම්


බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට මාස දෙකක (2) අනිවාර්ය සිරදඬුවම්

(19.03.2026 – hirunews.lk)

බලපත්‍ර නොමැතිව කුඩා ලොරි රථයකින් පෙට්‍රල් ඉන්ධන ලීටර් 65 ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට මාස දෙකක (2) අනිවාර්ය සිරදඬුවම් නියම කිරීමට ගල්කිස්ස අංක (01) මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබෙනවා.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි.

සැකකරු අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම සිරදඬුවම නියම කළ අතර, එමෙන්ම රුපියල් 2,500 ක දඩයක්ද නියම කළ මහේස්ත්‍රාත්වරයා, එම දඩය නොගෙවන්නේ නම් තවත් මාසයක (1) අමතර සිරදඬුවමක් විඳිය යුතු බවටද නියෝග කර තිබෙනවා.

වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව, ඉකුත් 18 වැනිදා වැල්ලවත්ත ගාලු පාරේ රාමක්‍රිෂ්ණ ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එහිදී ලොරි රථයේ තිබූ ලීටර් 20 ප්ලාස්ටික් බුලි 03 ක් සහ ලීටර් 05 ක බුලියක බහා තිබූ පෙට්‍රල් තොගය සිය භාරය ගත් බවයි පොලිසිය සඳහන් කළේ ෴


හාම්පුතාගේ මෝටර් රථය හා බැංකු කාඩ්පත එක්ක අතුරුදන් වූ රියැදුරු මාට්ටු

(19.03.2026 – hirunews.lk)

විශ්‍රාමික බැංකු නිලධාරියෙකුට අයත් රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමකින් යුත් මෝටර් රථය සහ බැංකු කාඩ්පත (ATM) රැගෙන අතුරුදන්ව සිටි රියදුරෙකු මෝටර් රථයද සමග අත්අඩංගුවට ගැනීමට බොරලැස්ගමුව පොලිසිය සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි වාහන බ්‍රෝකර්වරයෙකු බවයි පොලිසිය පවසන්නේ.

පවතින ඉන්ධන හිඟය හේතුවෙන්, බොරලැස්ගමුවේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික බැංකු නිලධාරියා පසුගිය 16 වැනිදා සිය මෝටර් රථයට ඉන්ධන ලබාගෙන එන ලෙස රියදුරාට පවසා ඇති අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට සිය ATM කාඩ්පතද ඔහු රියදුරා වෙත ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, එදිනම පස්වරුවේ කැස්බෑව ප්‍රදේශයේ ඉන්ධන හලකින් රුපියල් 9,000 ක ඉන්ධන ලබාගත් බවට බැංකු නිලධාරියාගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබී ඇති අතර, ඉන් පසුව රියදුරා සහ මෝටර් රථය අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ,.

අනතුරුව, රියදුරාගේ දුරකථනයද ක්‍රියාවිරහිත කර තිබීම නිසා බැංකු නිලධාරියා පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.

බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කර ඇති බවයි.

විශේෂයෙන්ම පාලටුව අධිවේගී පිවිසුමේදී ප්‍රවේශ පත්‍රය සඳහා මුදල් ගෙවා ඇත්තේද අදාළ ATM කාඩ්පත භාවිතා කරමින් බව මෙහිදී හෙළිවී තිබෙනවා.

ඒ අනුව, දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත යොමු කළ පණිවිඩයකට අනුව, හක්මන පොලිසිය විසින් සැකකරු මෝටර් රථයද සමඟ හක්මන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන බොරලැස්ගමුව පොලිසිය වෙත භාර දී ඇති අතර, පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ තමන්ට රථය පැහැර ගැනීමේ චේතනාවක් නොවූ බවත්, බිරිඳගේ ගම් ප්‍රදේශයට යාම සඳහා මෙලෙස රථය රැගෙන ආ බවයි.

බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් මත බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


පොහොට්ටුව CID එකට පැමිණිලි කරයි – අනුරගේ හුණ්ඩුව වගේ නෙවෙයි මහින්දගේ හෙණ්ඩුව (20.03.2026)

+++

මහින්දට පත්තු වුණ රු. මිලියන හැටේ බෝම්බයට උත්තර බදින්න පොහොට්ටුව අදත් මාධ්‍ය කැඳවයි (20.03.2026)

+


අධිවේගී මාර්ගවල ආරක්ෂිත පටි රෙගුලාසි තාවකාලිකව ලිහිල් කෙරේ

(20.03.2026 – hirunews.lk)

නිෂ්පාදකයා විසින් පසුපස මැද අසුන හෝ අනෙකුත් පසුපස අසුන් සඳහා ආරක්ෂිත පටි (Seat Belts) සවිකර නොමැති වාහන සම්බන්ධයෙන් අධිවේගී මාර්ගවල ක්‍රියාත්මක වූ ඇතැම් නීති රෙගුලාසි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක විසින් අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙම සහනය 2026 මාර්තු මස 20 වන දින සිට 2026 ජුනි මස 19 වන දින දක්වා මාස තුනක (3) කාලයක් බලපැවැත්වෙනු ඇති.

ඒ අනුව, 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග මෙහිදී සංශෝධනය කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ සඳහන්.

එම ගැසට් නිවේදනය පහතින් :

Extraordinary Gazette – 2480/22 – 2026-03-19 – Ministry of Transport Highways, Ports and Civil Aviation – Motor Traffic Act (Chapter 203) Motor Traffic (Expressway) Regulation

[Sinhala][English][Tamil] (pdf files)


තොග බෙදාහැරීම් සහ ප්‍රවාහන අංශයේ ඉන්ධන අවශ්‍යතා පිළිබඳ විශේෂ දත්ත රැස්කිරීමක්

(20.03.2026 – hirunews.lk)

ගෝලීය යුදමය වාතාවරණය හමුවේ මෙරට ආහාර බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ නියුතු ප්‍රවාහන සේවා සපයන්නන් මුහුණ දෙන ඉන්ධන ගැටලු හඳුනා ගැනීම සඳහා විශේෂ දත්ත රැස්කිරීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ආහාර බෙදාහැරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ ඉන්ධන බෙදාහැරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී නිවැරදි දත්ත භාවිත කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.

මෙතෙක් කිසිදු රජයේ අමාත්‍යාංශයක හෝ නිල ලේඛනයක ලියාපදිංචි වී නොමැති ප්‍රවාහන සේවා සපයන්නන් පමණක් මෙහිදී දත්ත ඉදිරිපත් කළ යුතු අතර, දැනටමත් ලියාපදිංචි වී ඇති පාර්ශවයන් සුපුරුදු නිල සන්නිවේදන මාර්ග අනුගමනය කළ යුතු බව සඳහන්.

මෙහි ප්‍රධාන අරමුණ ලෙස, ක්ෂේත්‍රයේ සමස්ත ඉන්ධන ඉල්ලුම තක්සේරු කිරීම, මෙහෙයුම් ගැටලු හඳුනා ගැනීම සහ විධිමත් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහන්.

අදාළ තොරතුරු https://forms.gle/EPPu4bciG6onEptT9
යන සබැඳිය ඔස්සේ හෝ ලබා දී ඇති QR කේතය භාවිතයෙන් ගූගල් ආකෘති පත්‍රයක් (Google Form) හරහා ඉදිරිපත් කළ හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

මෙම ආකෘති පත්‍රය පිරවීමෙන් පමණක් ඉන්ධන කෝටාවක් හෝ හිමිකමක් ලබා දීම සහතික නොකරන බවත්, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන මෙම තොරතුරු විධිමත් ලෙස විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) වෙත නිර්දේශ ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍යාංශය අවධාරණය කරනවා ෴


නීතිවිරෝධී ලෙස රැඳී සිටි ඉන්දුනීසියානු ජාතිකයන් 76 ක් මීගමුවේදී අත්අඩංගුවට

(20.03.2026 – hirunews.lk)

නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දුනීසියානු ජාතිකයන් 76 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මෙම පිරිස මීගමුව – පෝරුතොට ප්‍රදේශයේ පිහිටි හෝටලයක රැඳී සිටියදීයි ෴


බහාලුම් රථ සඳහා ඉන්ධන ලබා ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක්

(20.03.2026 – hirunews.lk)

කොළඹ වරායේ පවතින තදබදය අවමකර ගනිමින් රට තුළට පැමිණෙන ආනයනික බහාලුම් ඉතා ඉක්මණින් වරායෙන් පිටතට රැගෙන යාමටත්, රටේ අපනයන ආදායමට බලපෑම් එල්ල නොවන පරිදි අපනයන බහාලුම් නිසි වේලාවට වරායට ගෙන ඒමටත්, භාවිතා කරන කන්ටේනර් රථ සදහා අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමට වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක පියවර ගෙන තිබෙනවා.

විෂමතාවන් ඇති නොවන පරිදි ඉතා නිවැරදිව මෙම ක්‍ෂේත්‍රයේ යෙදෙන කන්ටේනර් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට එම රථ වල QR කේතය සහිතව සියලු දත්ත ඉතා ඉක්මණින් අමාත්‍යාංශයට ලබා දෙන ලෙස බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයාට පසුගියදා දන්වා තිබෙනවා.

ඒ අනුව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කන්ටේනර් රථ 1325 ක දත්ත තොරතුරු අද (20) දින අමාත්‍යාංශයට ලබා දී ඇති බව සඳහන්.

විෂයභාර අමාත්‍යවරයා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ බලධාරීන් සමඟ ද මේ සම්බන්ධව සාකච්ඡා කර ඉක්මන් විසදුම් ලබා දෙන බව ප්‍රකාශ කළ අතර දැනට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව කන්ටේනර් රථ හිමිකරුවන්ගෙන් ලැබෙන තොරතුරු මත එම කෝටා වැඩිකර දීමට ද අදාල පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතයි ෴


හෙල්මට් චණ්ඩියා 27 තෙක් රිමාන්ඩ්

(20.03.2026 – hirunews.lk)

සමාජ මාධ්‍යයේ කැළඹීමක් ඇතිකරමින් පැතිර ගිය වීඩියෝවට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් හෙල්මටයෙන් පහරදුන් පුද්ගලයා ඊයේ (19) අත්අඩංගුවට ගැනීමෙන් පසු අද (20) කුලියාපිටිට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 27 තෙක් රිමාන්ඩ් බාරයට පත්කරන්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝගකර තිබෙනවා.

කුලියාපිටිය පොලිසිය අදාළ සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත්කළ අතර පැමිණිළිකරු මැහුම් 5 ක තුවාල සහිත අයෙකු බැවින් අද (20) දිනයේ අධිකරණයට ඉදිරිපත් වුණේ නෑ.

ඒ හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා සැකකරු 27 තෙක් රිමාන්ඩ් කරමින් බන්ධනාගාරයට නියම කළේ ඉදිරි දිනයේද සැකකරු ආවරණ සහිතව ඉදිරිපත් කරන ලෙසයි.

එසේ රිමාන්ඩ් වූයේ මලිත් දුෂ්‍යන්ත නැමැති 32 හැවිරිදි කුලියාපිටිය දියකලමුල්ල ප්‍රදේශයේ අයෙක්.

සැකකරු ‘දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු’ බවත්, මහාධිකරණයේ විභාගවන නඩු දෙකක් (2) පවතින බවත් පොලිසිය අධිකරණයට කියමින් පැවසූයේ මහාපරිමාන හෙරොයින් නඩු කිහිපයකට වැරදිකරුවෙකු කළ අයෙක් බවයි.

අදාළ පහරදීම කර ඇත්තේද ඉකුත් සඳුදා අධිකරණයේ විභාගවන නඩුවකට සහභාගීවීමෙන් අනතුරුව වූ බවත් ගංජා හෙරොයින් ආදී විෂ මත්ද්‍රව්‍ය භාවිතාකර සිටි බව වෛද්‍ය වාර්තා සනාථකරන බවයි පොලිසිය පවසා සිටියේ ෴


ළිඳක් තුළ දමා සිටි කාන්තාවක් බේරා ගැනේ – මළ සිරුරකුත් ළිං පතුලේ

(20.03.2026 – hirunews.lk)

කොක්කඩිචෝලේ, නෙල්ලිකාඩු ප්‍රදේශයේ කුඹුරු යායක පිහිටි පොදු ළිඳක් තුළ දමා සිටි කාන්තාවක අසාධ්‍ය තත්ත්වයෙන් බේරා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

එම ළිඳ තුළම තිබී තවත් කාන්තා මළ සිරුරක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඊයේ (19) දින කොත්තියාපුලෙයි ප්‍රදේශයේදී සිය දරුවා සමඟ ගමන් කරමින් සිටියදී අතුරුදහන් වූ කාන්තාවක් මෙලෙස බේරාගෙන තිබෙනවා.

අද (20) උදෑසන එම ප්‍රදේශයේ කිරි පට්ටියක් වෙත යමින් සිටි පිරිසකට ළිඳ තුළින් ඇසුණු කෑ ගැසීමක් හේතුවෙන් සිදුකළ පරීක්ෂාවකදී, කරවටක් ජලයේ ගිලී සිටි මෙම කාන්තාව හමුව තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ කොක්කඩිචෝලේ පොලිසිය ඇයව මුදාගෙන මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර පොලිස් විමර්ශන හමුවේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන කාන්තාව පවසා ඇත්තේ තමන්ව ඊයේ (19) දින පැහැරගෙන විත්, දරුණු ලෙස පහර දී මෙම ළිඳට දැමූ බවයි.

ළිඳ තුළ තවත් අයෙකුගේ සිරුරක් පවතින බවට ඇය ලබාදුන් තොරතුර මත පොලිසිය සිදුකළ සෝදිසි කිරීම්වලදී අනෙක් මළ සිරුර සොයාගෙන තිබෙනවා ෴


රු. කෝටි 05 කට අධික ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

(20.03.2026 – hirunews.lk)

රුපියල් කෝටි 05 කට අධික ‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 5 කට අධික තොගයක් මෙරටට රැගෙනවිත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මූතූර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

මොහු මෙම ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත පැමිණ තිබුණා.

ඉන් අනතුරුවයි ඔහු ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබුණේ.

ඒ අනුව, ඔහු රැගෙන ආ ගමන් මලු‍ 02 ක ව්‍යාජ පතුළක් සකස් කර එහි මෙම මත්ද්‍රව්‍ය පැකට් ලෙස අසුරා තිබූ බවයි හිරු ගුවන්තොටුපළ වාර්තාකරු කියා සිටියේ ෴


හංවැල්ල වෙළඳසැලක් තුළ සඟවා තිබූ ඩීසල් ලීටර් 720 ක් පොලීස් භාරයට

(20.03.2026 – 15:51 +0530 – sinhala.adaderana.lk)

හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේ වෙළඳසැලක් තුළ සඟවා තිබූ ඩීසල් ලීටර් 720 කට ආසන්න ප්‍රමාණයක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලීසිය පවසයි.

එම ඩීසල් තොග විකිණීමේ අරමුණින් රැස්කර ඇති බවට අනාවරණය වූ බව ද පොලීසිය සඳහන් කරයි.

අදාළ වෙළදසැල තුළ බූලි කෑන් සහ බැරල් 40 කට ආසන්න ප්‍රමාණයක මෙම ඩීසල් තොගය ගබඩා කර තිබූ බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) හෙට (21) දින හෝමගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

හම්බන්තොට, කටුවැව සල්මල්යාය ප්‍රදේශයේ ඉන්ධන ලීටර් 500 කට ආසන්න තොගයක් රැස්කර තබාගෙන සිටි අයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බව පොලීසිය සඳහන් කරයි.

එහිදී නිවසෙහි සඟවා තිබී ඩීසල් ලීටර් 480 කට වැඩි ප්‍රමාණයක් සහ පෙට්‍රල් ලීටර් 20 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවට සඳහන් වේ.

සැකකරු සහ නඩු භාණ්ඩ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


මහදවල් කඩවත දී සිදුවුන ත්‍රීවීල් සොරකම (20.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *