අතවර සිද්ධිය පැමිණිලි කිරීමට පොලිසි ආ දැරියට පොලිසියේදීත් අතවරයක්

අතවර සිද්ධිය පැමිණිලි කිරීමට පොලිසි ආ දැරියට පොලිසියේදීත් අතවරයක්


අතවර සිද්ධිය පැමිණිලි කිරීමට පොලිසි ආ දැරියට පොලිසියේදීත් අතවරයක්

(29.07.2024 – 08:09 +0530 – hirunews.lk/sinhala)

තරුණයකුගේ අතවරයට ලක්වූ බව කියන 14 හැවිරිදි දැරියක එම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ‘කුලියාපිටිය කඳානගෙදර පොලිසියට’ පැමිණි අවස්ථාවේ එහි උප පොලිස් පරීක්ෂකවරයකු පොලිසිය තුළදීම දැරියට අතවර කර තිබෙනවා.

ඒ අනුව, අදාළ උප පොලිස් පරීක්ෂකවරයා ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම දැරිය පැහැරගෙන ගිය තරුණයාට එරෙහිව පැමිණිලි කිරීම සඳහා ඇය තම මවත් සමග කඳානේගෙදර පොලිසියට ඉකුත් 27 පැමිණ තිබෙනවා.

එදින කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අර්ධ වාර්ෂික පරීක්ෂණය සඳහා කඳානගෙදර පොලිසියට පැමිණ තිබේ.

එම අවස්ථාවේ මෙම දැරියගේ කටඋත්තරය සටහන් කරමින් සිටි පොලිස් කාන්තාවක් දැරිය එහි නතර කර මිනිත්තුවකට – දෙකකට වෙනත් අංශයකට ගිය අවස්ථාවේ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා දැරියට අතවරයක් සිදුකර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසනවා.

මෙම සිද්ධිය සැළ වූ විගස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු එහි පැමිණ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සිරමැදිරියට දමා ඇති අතර, උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය ද තහනම් කර තිබෙනවා ෴


බලපත්‍ර නොමැතිව ජංගම දුරකථන අලෙවි කළොත් රුපියල් මිලියනයක දඩයක්

(29.07.2024 – 08:08 +0530 – hirunews.lk/sinhala)

නිසි බලපත්‍ර ලබා නොගෙන දුරකථන අලෙවි කරන ආයතනවලට එරෙහිව පනවා තිබූ දඩ මුදල රුපියල් මිලියනය දක්වා ඉහළ නංවා තිබෙනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ඒ සඳහා මෙතෙක් පැවැතියේ රුපියල් දස දහසක (10,000) දඩ මුදලක් බවයි.

සංශෝධිත විදුලි සංදේශ නියාමන පනත හරහා දඩ මුදල් ඉහළ නැංවීම සිදුකර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට බලපත්‍ර ලබා නොගන්නා වෙළෙඳසැල්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ෴


තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මැතිවරණ කොමිසමෙන් කියයි

(29.07.2024 – 11:16 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීම ලබන මස 05 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසන් සභාව පෙන්වා දෙන්නේ එම අයදුම්පත් එදින හෝ ඊට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමුකළ යුතු බවයි.

ලබන මස 05 වනදාට අයදුම්පත්‍ර තැපැලට භාරදීම සිදුකළද, ඒවා වලංගු නොවන බව එම කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

තැපැල් ඡන්ද හිමි නාමලේඛනය ජූලි මස 26 වැනිදා සිට සියලු දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලවල, සියලුම ප්‍රාදේශීල ලේකම් කාර්‍යාලවල සහ සියලුම ග්‍රාම නිලධාරී කාර්‍යාලවල රාජකාරී වේලාවන් තුලදී ප්‍රදර්ශනය කෙරෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ ෴


විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(29.07.2024 – 11:56 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තමන් තරග කිරීමට බවයි අද (29) අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේ.

+++++++++

+


පොලිස් මැතිවරණ මෙහෙයුම් මැදිරි රට පුරා

(29.07.2024 – 13:42 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට සමගාමීව පොලිස් මැතිවරණ මෙහෙයුම් මැදිරි ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසනවා.

පොලිස් කොට්ඨාස මට්ටමින් සහ පොලිස් ස්ථාන මට්ටමින් මෙම මැතිවරණ මෙහෙයුම් මැදිරි ආරම්භ කොට තිබෙනවා.

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි භාර ගැනීම, පැමිණිලි විමර්ශනය කිරීම මෙන්ම මැතිවරණ නීති කඩ කරන අය ගැන විමර්ශනය මෙම මෙහෙයුම් මැදිරි හරහා සිදුකිරීමට නියමිතයි.

මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ, අසංක කරවිටගේ උපදෙස් මත මෙම ජනාධිපතිවරණ මෙහෙයුම් මැදිරි ස්ථාපිත කළ බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ ෴


නිල ඇඳුමෙන් හෙදියන් ගෙන්නූ මාලිමාවට එරෙහිව පැමිණිල්ලක්

(29.07.2024 – 15:15 +0530 – hirunews.lk/sinhala)

මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවති ජාතික සමස්ත ලංකා හෙද සමුළුවට නිල ඇඳුමින් සැරසුණු හෙදියන් සහභාගී වීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු ජාතික ව්‍යාපාරය (කැෆේ සංවිධානය) පවසනවා.

කැෆේ සංවිධානය විසින් ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ, ජාතික ජන බලවේගය සිදුකළ එම ක්‍රියාව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි.

මහජන බදු මුදල් වැය කර ලබාදෙන නිල ඇඳුම දේශපාලන වැඩසටහන් වෙනුවෙන් යොදාගැනීම, ආයතන සංග්‍රහය අනුව සහ මැතිවරණ නීතිය අනුව වැරදි ක්‍රියාවක් බවයි එම සංවිධානය යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

රටක පුරවැසියන් ලෙස ඕනෑම තැනැත්තකුට සිය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය හා ඕනෑම දේශපාලන අයිතියක් වෙනුවෙන් පෙනී සිටීමට හැකියාව පැවතුනත්, වෘත්තීය නිල ඇඳුමින් සැරසී එම ක්‍රියාමාර්ගවල නිරතවීම රජයේ සේවකයන් ලෙස නීතිවිරෝධී හා සදාචාර විරෝධී බවයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

+

ඊයේ (28) පැවැති සමස්ත ලංකා හෙද සංගමයේ 16 වැනි ජාතික මහා සමුළුවට සහභාගි වූ හෙද නිලධාරින් ඊට සහභාගි වීම සඳහා රාජකාරි නිවාඩු ලබා ගෙන තිබුණා.

ඒ සඳහා වන අනුමැතිය සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (පාලන) I තනතුර දරණ එම්. එල්. එම් අන්වර් අලී විසින් ලබා දී තිබුණා.

මේ අතර එම සමුළුව සඳහා සහභාහි වූ හෙද නිලධාරින් සඳහා ආයතනය සංග්‍රහයේ XXV පරිච්ඡේදයේ 2:1 උප වගන්තිය ප්‍රකාරව දුම්රිය ගමන් බලපත්‍රද නිකුත් කර තිබෙනවා.

+


තුන්මෝදරම සලිත කළ මාරක අනතුර

(29.07.2024 – 17:15 +0530 – hirunews.lk/sinhala)

පුවක්පිටිය, තුන්මෝදර අවිස්සාවේල්ල මාර්ගයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

තුම්මෝදර සිට අවිස්සාවේල්ල දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ‘මිරිස්කුඩු වංගුවේ’දී රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව ඉදිරියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) පැමිණි යතුරුපැදියයේද ගැටී ඇලට පෙරලීයෑමෙන් මෙම අනතුර සිදු වූ බවයි ‘හිරු වාර්තාකරු’ සඳහන්කර සිටියේ.

මෙම අනතුරකින් එක් (1) පොලිස් නිළධාරීයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර, අනෙක් පොලීස් නිලධාරියා, ලොරි රථයේ රියදුරු සහ සහායකයා තුවාල ලබා රෝහල් ගත කළ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

++++++++++

+


ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම වෙනුවෙන් 8000 ක්

(29.07.2024 – 20:47 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම වෙනුවෙන් 8000කට ආසන්න සේවක පිරිසක් යොදා ගැනීමට අපේක්ෂා කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නිල තැපැල් ජන්ද පත්‍රිකා මෙන්ම, කඩිනම් විශේෂිත ලිපි බෙදාහැරිම සදහා විශේෂ වැඩපිලිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ කොළඹ අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් සදහන් කළේ.

මේ අතර, ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ලබන මස 05 වන දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව අද (29) නිවේදනය කළා.

එදිනට පෙර ඒවා නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු අතර එදිනට තැපෑලට භාර දෙනු ලබන අයදුම්පත පිළිනොගන්නා බවයි එම කොමිෂන් සභාව කියා සිටියේ.

මේ අතර, සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර කරුණු 08 කින් සමන්විත ලිපියක් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වෙත යොමු කර තිබෙනවා. ඔහු අදාල ලිපිය යොමුකර ඇත්තේ මැතිවරණ නීතිය සැමට බලාත්මක නොවීම යන්න තේමා කර ගනිමින්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ක්‍රියාත්මක කළ ‘සක්වල වැඩසටහන’ ජනාධිපතිවරණය මුල් කර ගනිමින් නැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව උත්සහ ගත්තද රජයේ මුදල් අවභාවිත කරමින් රජය සිදු කරණ කිසිදු ප්‍රචාරක වැඩසටහනක් නැවැත්වීමට මෙතෙක් ක්‍රියාත්මක නොවීම කණගාටුදායක කරුණක් බව අදාල ලිපියෙන් අවාධරණ කර තිබෙනවා.

මේ අතර පාසැල්වලට ‘සුහුරු පන්ති කාමර’ ලබාදීමේ ‘සක්වළ වැඩසටහන’ට රජය බාධා එල්ල කරන බව පවසමින් ‘සමගි ජන බලවේගය’ මැතිවරණ කොමිසමට අද (29) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

+


සංචාරකයින් කොල්ලකන ‘ත්‍රිකුණාමලය පරෙවි දූපතේ’ පාතාලය

(29.07.2024 – 20:18 +0530 – sinhala.adaderana.lk)

සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයට සැලකියයුත් දායකත්වයක් දක්වන කර්මාන්තයකි.

එවන් පසුබිමක සංචාරකයින්ට අතිශය අමානුශික ආකාරයෙන් සලකන පිරිසක් පිළිබඳව ‘ත්‍රිකුණාමලය පරෙවි දූපතෙන්’ ‘අද දෙරණ උකුස්සා’ට වාර්තාවුණි.

සංචාරක ආකර්ෂණය දිනාගත් මෙරට සුන්දර ස්ථානයක් වන ‘ත්‍රිකුණාමලය පරෙවි දූපත’ට දෛනිකව දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමි‍ණෙයි.

එලෙස පැමිණෙන සංචාරකයින්ට, සංචාරක මඟ පෙන්වන්නන් සහ ‘පරෙවි දූපතේ සංචාරක කාර්ය මණ්ඩලය’ ඉතා අමානුෂික අන්දමින් සලකන බවට ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු අනාවරණ වුණි.‍

විදෙස් රටක සිට නිවාඩුවක් සඳහා මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් විසි දෙනෙකු (20) ගෙන් සමන්විත පිරිසක් පසුගියදා ‘පරෙවි දූපතේ’ සංචාරයක් සඳහා ගොස් තිබූ ඒ සඳහා රුපියල් 90,000 ක මුදලක් ද ‘පරෙවි දූපත් සංචාරක කාර්ය මණ්ඩලය’ විසින් ඔවුන්ගෙන් ලබාගෙන තිබුණි.

එලෙස විශාල මුදලක් අය කළද ඔවුන්ට බෝට්ටු සවාරි, පිහිනුම් ආදී කටයුතු සඳහා ලැබී තිබුණේ තරමක අබලන් තත්ත්වයෙන් යුත් උපකරණයි.

ඉතා අපහසුවෙන් එම උපකරණ භාවිත කළ පිරිස ඒවා නැවත භාරදීමේදී සංචාරක මඟ පෙන්වන්නන් පවසා තිබුණේ රුපියල් 12,000 ක අමතර මුදලක් ගෙවන ලෙසය.

ඒ අදාළ උපකරණවලට අලාභ හානි සිදුකර අබලන් තත්ත්වයට පත්කර ඇතැයි පවසමිනි.

කෙසේවෙතත් සංචාරකයින් එම මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ සංචාරක මඟපෙන්වන්නන් ඇතුළු පිරිසක් පිරිසක් පොලු මුගුරු ද රැගෙන සංචාරකයින්ට ඉතා අමානුෂික ලෙස පහර දී ඇත.

එහිදී සංචාරක කණ්ඩායමේ සිටි කාන්තාවන් පවා පහරකෑමට ලක්ව තිබුණි.

සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට අවැසි කාලයක සංචාරකයින්ට අත්වන ඉරණම මෙයනම් එය කනගාටුවට කරුණකි.

ඒ අනුව බලධාරින් මැදිහත් වී මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා තෙක් ‘අද දෙරණ උකුස්සා’ සීරුවෙනි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *