දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්


දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

(24.07.2024 – 09:49 +0530 – hirunews.lk/sinhala)

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයකු නම් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාට නියම කළා.

යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන ගෙන් සමන්විත ත්‍රිපුද්ගල (3) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තීන්දු ප්‍රකාශයට පත්කළමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සඳහන් කළේ මෙම පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන් විසින් අධිකරණය හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් තහවුරු කිරීමට සමත් වී තිබෙන බවයි.

ඒ අනුව අදාල පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, කථානායක මහින්ද යාපා අබේවර්ධන, සහ දේශබන්දු තෙන්නකෝන් යන අයට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා.

ඊට අමතරව මෙම පෙත්සම් විභාගය අවසන් වනතෙක් වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම, බලතල ක්‍රියාවේ යෙදවීම, රාජකාරී ඉටු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා.

ඉන් අනතුරුව පෙත්සම් වලට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති හයක් (6) තුළ ගොනු කිරීමට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම් නැවත නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙසත් නියෝග කළා

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

++++++++++

දේශබන්දුට දුන් අධිකරණ නියෝගය මැතිවරණයට බාධාවක් නෑ – පැෆ්රල් රෝහණ

(24.07.2024 – 10:12 +0530 – hirunews.lk/sinhala)

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගය තුළින් මැතිවරණයට කිසිසේත්ම බාධාවක් නොමැති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

‘හිරු නිව්ස්’ කල විමසීමකදී ඔහු පවසා සිටියේ අදාල අධිකරණ තීරණයට අනුව දේශබන්දු තෙන්නකෝන්ට එම ධුරයේ කටයුතු කිරීමට මේ වන විට අවස්ථාව නොලැබෙන නමුත් නව වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරිමට හැකියාව ලැබෙනවා.

ඒ අනුව මැතිවරණය ඉදිරියේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සුදානම් කල හැකි බව රෝහණ හෙට්ටිආරච්චි අප වෙත වැඩිදුරටත් කියා සිටියා ෴

+++++++++

පොලිස්පති දේශබන්දුගේ පත් කිරීමම විකෘතියක් – විපක්ෂනායක සජිත්

(24.07.2024 – 12:40 +0530 – hirunews.lk/sinhala)

ව්‍යවස්ථාදායක සභාවේ තින්දුව කතානායවරයා විකෘති කර ජනාධිපතිට ලියුමකින් දැනුම් දී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේ නඩු විභාගය අවසන් වන තෙක් වර්තමාන පොලිස්පතිවරයාට පොලිස්පති ලෙස කටයුතු කිරීමේ වගකීම අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවට අදාළව අදහස් පල කරමින්.

ව්‍යවස්ථාදායක සභාවේ සිදුවුණ ක්‍රියාදාමය කතානායවරයා විකෘති කර ලිපියක් යොමු කරලා තිබෙන බවත් එම ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවත් මෙම වංචා සහගත ලියුම පදනම් කරගෙන පත් කිරීම සිදුකිරීම් ව්‍යවස්ථා විරෝධි බවත් සජිත් ප්‍රේමදාස මෙහිදී අනාවරණ කර සිටියා.

‘එමෙන්ම ඡන්දය ලබාදීමෙන් වැළකි සිටිම විපක්ෂ වීමක් ලෙස සලකණු ලබන්නේ නම් සභාපතිවරයා වශයෙන් මාගේ තිරක ඡන්දය පක්ෂව ලබාදෙන බව කාරුණිකව දන්වමි’ යනුවෙන් කතානායකවරයා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වන බවත් මෙය සම්පුර්ණයෙන් වැරදි ක්‍රියාවක් බව විපක්ෂනායක පවසනවා.

කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමු අමුවේ උල්ලංඝනය කර ඇති අතර ඒ පිළිබඳව ආණ්ඩුව වහාම පියවරක් ගත යුතු බවත් විපක්ෂනායකවරයා අවධාරණය කළා.

ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම පවත්වා අවසන් වූ පසු එහි තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දීමක් සිදුනොකර ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇති බවත් කතානායකවරයාගේ ලිපිය පදනම් කරගෙන ජනාධිපතිවරයා මෙවැනි පත් කිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව පිළිතුරක් ලබාදිය යුතු බව විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියා ෴

++++++++++

++++++++++

++++++++++

+++++++++

+++++++++

+


‘ක්ලබ් වසන්ත’ ඝාතන කොන්ත්‍රාත්තුව ගැන අලුත්ම හෝඩුවාව

(24.07.2024 – 13:40 +0530 – sinhala.adaderana.lk)

‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත’ ඝාතනය කිරීමෙන් අනතුරුව වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසූ වෑන් රථයේ රියදුරු හා බස් රථයේ රියදුරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත්තේය.

සැකකරුවන් දෙදෙනා අද (24) කඩුවෙල මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත’ හා තවත් අයෙක් වෙඩිතබා ඝාතනය කෙරුණේ පසුගිය 8 වනදාය.

එහිදී ජනප්‍රිය ගායන ශිල්පිනී ‘කේ. සුජීවා’ ඇතුළු සිව්දෙනෙකුට (4) බරපතළ තුවාල සිදුවුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (23) සවස අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඉන් එක් සැකකරුවකු වෙඩික්කරුවන් සහ ඔවුන් පැමිණි මෝටර් රථයේ රියදුරුවරයාට පළායාම සඳහා සහාය වූ අයෙකි.

වෙඩික්කරුවන් දෙදෙනා (2) සහ ඔවුන් පැමිණි කාර් රථයේ රියදුරුවරයා කොරතොට ප්‍රදේශයන් වෑන් රථයකට නංවාගෙන වැලිහිඳ ප්‍රදේශය දක්වා ගොස් එහිදී බස් රථයකට නංවාඇත්තේ ඔහු විසින් බවය පොලීසිය පැවසුවේය.

පසුව වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයට රැගෙන ගොස් සඟවා තිබා ඇත්තේද ඔහු විසිනි.

වැලිහිඳ ප්‍රෙද්ශයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ සැකකරුවන් බස් රථයෙන් දික්වැල්ල ප්‍රදේශය දක්වා කැටුව ගොස් බස් රථය සෙල්ලකතරගම ප්‍රදේශයේ සඟවා තැබූ රියදුරා අත්අඩංගුවට පත් අනෙක් සැකකරුවාය.

36 හැවිරිදි ඔහු අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මෙම ඝාතනය මෙහෙය වූ ඩුබායී හී සැඟව සිටින ‘ලොකු පැටී’ නැමැත්තාගේ ඥාතියෙකි.

‘ලොකු පැටී’ නැමැත්තා සැකකරු සමග අදාළ කාල සීමාව තුළදී වට්ස්ඇප් මඟින් සම්බන්ධවී ඇති අතර ඔහුට ඒ සඳහා ‘ලොකු පැටී’ විසින් රුපියල් 120,000 ක මුදලක් ලබාදී ඇතැයිද අනාවරණ වී තිබේ.

එමෙන්ම 26 හැවිරිදි වෑන් රථයේ රියදුරු මීගම ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්ඳෙක් වන අතර ‘ලොකු පැටී’ විසින් ඔහුට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති බවද පොලීසිය සඳහන් කළේය.

මේ අතර ‘ලොකු පැටී’ නම් අපරාධකරු විසින් ‘ක්ලබ් වසන්ත’ ඝාතනය සඳහා රුපියල් කෝටියක පමණ මුදලක් වියදම් කර ඇති අතර එවැනි මුදලක් වියදම් කර මෙම ඝාතනය සිදුකිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් පොලීසියට අනාවරණ වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරේ.

+

අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩිතබා ‘ක්ලබ් වසන්ත’ නමැත්තා ඇතුළු දෙදෙනකු (2) ඝාතනය කර තවත් සිව් දෙනෙකුට (4) තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ වෑන් රථයේ සහ බස් රථයේ රියදුරන් ලෙස කටයුතු කළ පුද්ගලයන් දෙදෙනා (2) අද (24) අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

අනතුරුව ඔවුන් දෙදෙනාව (2) අගෝස්තු මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් මෙම සැකකරුවන් දෙදෙනා පැය 48 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකළද විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එම ඉල්ලීමට විරෝධය පළ කරන ලදී.

ඒ අනුව කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනා (2) රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය ෴

(24.07.2024 – 22:52 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු 36 හැවිරිදි අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මෙම ඝාතනය මෙහෙයවූ බව පැවසෙන ‘ලොකු පැටී’ගේ ඥාතියෙකු බව මේ වන විට අනාවරණ වී තිබෙනවා.

ඔහු අවස්ථා කිහිපයකදී විදෙස් රටක සිටින ‘ලොකු පැටී’ සමග වට්ස්ඇප් මගින් සම්බන්ධ වී ඇති බව අනාවරණ වී ඇති අතර එම ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

‘ලොකු පැටී’ විසින් ඔහුට රුපියල් 120,000 ක මුදලක් ලබාදී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මේ අතර අදාළ පුද්ගලයාගේ ගිණුමට ‘ලොකු පැටී’ විසින් රුපියල් ලක්ෂ 40 ක්ද බැර කර ඇති අතර අදාළ මුදලින් මතුගම ප්‍රදේශයෙන් බස් රථයක් මිලදී ගෙන ඇත්තේ පසුගිය දා අත්අඩංගුවට ගැණුනු 21 හැවිරිදි තරුණියගේ නමට බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඊට අමතරව අත්අඩංගුවට ගත් 26 හැවිරිදි වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකු වන වෑන් රථ රියදුරුට ද ‘ලොකු පැටී’ විසින් රුපියල් ලක්ෂයක (01) මුදලක් ලබා දී ඇති බව පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් දෙදෙනා (2) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය නියෝග කළේ ඔවුන් ලබන මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ අනුව ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනෙකු (2) ඝාතනය කිරීම සැලසුම් කිරීම සහ අනුබල දීම යන චෝදනාව යටතේ මේ වන විට දස දෙනෙකු (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

++++++++++

‘නයන වාසුල’ වෙඩි කාලා මැරුනේ නැත්නම් මැරෙන්නේ කේ.සුජිවා ගෙන් ගුටි කාලා (23.07.2024)

+


මහානායක හිමිවරුන් බැහැ දකින්න ඥාණසාර හිමි මහනුවරට වඩී | ඥාණසාර හිමි සිරිල් ගාමිණී පියතුමන්ට අමතයි (24.07.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *