‘කොළඹ වෝඩ් පෙදෙසේ’ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ කපා කොටා ඝාතනය කළ සිරුරක්

‘කොළඹ වෝඩ් පෙදෙසේ’ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ කපා කොටා ඝාතනය කළ සිරුරක්


‘කොළඹ වෝඩ් පෙදෙසේ’ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ කපා කොටා ඝාතනය කළ සිරුරක්

(23.07.2024 – 06:43 +0530 – sinhala.adaderana.lk)

‘කොළඹ වෝඩ් පෙදෙසේ’ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

පොලීසිය සඳහන් කළේ එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 33 ක පමණ පුද්ගලයෙකු බවය.

අද (23) අලුයම 01:00 ට පමණ කුරුඳුවත්ත පොලීසියට 119 දුරකථන අංකයට ලද පණිවුඩයක් මත ‘ජාතික දන්ත රෝහල’ අසල දී අදාළ ත්‍රීරෝද රථය සොයා ගෙන තිබුණි.

පසුව අදාළ ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් ‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්’ සිදුකළ සොයා බැලීමේ දී එය මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ බවට අනාවරණය වී තිබේ.

එම පුද්ගලයාගෙන් කරුණු විමසීමේ දී ඔහු පවසා ඇත්තේ, ත්‍රීරෝද රථය තම මස්සිනා වන 33 හැවිරිදි අයෙකුට හයර් දිවීම සඳහා ලබා දී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

+++++++

hirunews.lk/sinhala : මියගිය පුද්ගලයා එහි රියදුරු බවට හඳුනාගෙන ඇති අතර, අතුරුගිරිය ප්‍රදේශයේ තාවකාලික පදිංචිකරුවෙක් වූ ඔහු මිද්දෙනිය ප්‍රදේශයේ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ ෴

+++++++

++++++++

වෝඩ් පෙදෙසේ ඝාතනය කළ පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළි වෙයි

(23.07.2024 – 13:29 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වෝඩ් පෙදෙසේ ජාතික දන්ත රෝහල අසළදී පුද්ගලයෙකු ඝාතනය කිරීම ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකු (2) අතර ඇති වූ ආරවුලක් බවට පොලිසිය සැක කරනවා.

අද (23) අලුයම වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී ඝාතනය කළ පුද්ගල මළ සිරුරක් සොයා ගැනුනේ කුරුදුවත්ත පොලිසියට ලද තොරතුරකට අනුවයි.

තවත් ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය කරුණු අනාවරණ කර ගෙන තිබෙනවා.

තියුණු ආයුධවලින් පහරදී ඝාතනය සිදු කර ඇති අතර සිරුරේ ස්ථාන කිහිපයක කැපුම් තුවාල ද දක්නට ලැබෙන බවයි පොලිසිය සදහන් කළේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක් වන අතර ඔහු අතුරුගිරිය ප්‍රදේශයේ තාවකාලිකව ලැඟුම් ගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා ත්‍රිරෝද රථයේ රියදුරු බවට අනාවරණ වී ඇති අතර ඔහු තවත් රැකියා කිහිපයක නිරත වී ඇති බවටයි හෙලි වී ඇත්තේ.

මිය ගිය පුද්ගලාගේ මස්සිනා විසින් ඔහුට කුලි පදනම මත මෙම ත්‍රී රෝද රථය ලබා දී ඇති බව සදහන්.

පොලිසිය සැක පල කරන්නේ, ත්‍රි රෝද රථ රියදුරන් දෙදෙනෙකු (2) අතර වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවයි.

අදාළ සිරුර සොයා ගන්නා අවස්ථාවේ එය තිබී ඇත්තේ ත්‍රිරෝද රථයේ පිටුපස කොටසේයි ෴

+++++++++

+


අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයකට සැරසෙයි

(23.07.2024 – 09:26 +0530 – sinhala.adaderana.lk)

ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, අද (23) පෙරවරු 8 ට පෙර වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවය.

“අක්ෂි රෝහල තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් මේ වනවිට ඇතිව තිබෙනවා. කිසිසේත්ම ඔහුගේ තනතුරට ගැලපෙන ආකාරයට නෙමෙයි මේ පුද්ගලයා හැසිරෙන්නේ. ඒ නිසා දිගින් දිගටම මේ ගැන දැනුවත් කළා. නමුත් අපිට පේන්නේ නෑ සෞඛ්‍ය ලේකම් ලබාදුන් විධි විධාන හා මාර්ගෝපදේශ බලධාරීන් ක්‍රියාත්මක කරන බවක්. මෙයට විසඳුමක් උදේ 8 වෙද්දි ලබාදුන්නේ නැත්නම් මේ වනවිට තිබෙන තත්ත්වය සමාලෝචනය කර අපිට සිදුවෙනවා වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න.”

++++++++

අක්ෂි රෝහලේ වෛද්‍ය වර්ජනය අවසන්

(23.07.2024 – 10:42 +0530 – sinhala.adaderana.lk)

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් විසින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය මේ වනවිට අවසන් කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කර සිටියේ, ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බැවින් වැඩවර්ජනය අවසන් කළ බවය.

ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් අද (23) උදෑසන 8 සිට අක්ෂි රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනය ආරම්භ කර තිබුණි.

ඒ අනුව අක්ෂි රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙකුත් සියලු ප්‍රතිකාර කටයුතු අඬාල වුණි ෴


ඉඩම් නිලධාරියා අල්ලස් ගනිද්දී මාට්ටු

(23.07.2024 – 07:16 +0530 – sinhala.adaderana.lk)

ඉඩම් ඔප්පුවක් පිළියෙල කිරීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 02 ක අල්ලසක් ලබා ගත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැකිරාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් අල්ලස් නිලධාරීන්ට කර තිබූ පැමිණීල්ලකට අනුව සිදුකළ වැටලීමකදී සැකකාර ඉඩම් නිලධාරීයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පැවසුවේය.

ඉඩම් ඔප්පුවක් සැකසීම සඳහා සැකකාර ඉඩම් නිලධාරියා විසින් කැකිරාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 05 ක අල්ලස් මුදලක් ඉල්ලා තිබූ අතර එයින් රුපියල් ලක්ෂ දෙකක (02) මුදලක් ඊයේ (22) දිනයේ අදාළ ඉඩම් නිලධාරියා විසින් ලබා ගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසම විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 33 හැවිරිදි පොළොන්නරුව, කුසුම්පොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව මහෙස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ ෴


මැර පොලිස් ප්‍රහාරයෙන් රේගු නිලධාරියා රෝහලට

(23.07.2024 – 13:16 +0530 – sinhala.adaderana.lk)

කළුතර වෙරළ සංරක්ෂණ වැඩසටහනකට සහභාගී වූ රේගු නිලධාරියෙකු, සිවිල් ඇඳුමින් සැරසුණ කළුතර දකුණ පොලීසියේ නිලධාරින් සිව්දෙනෙකු (4) විසින් පසුගියදා අත්අඩංගුවට ගැණුනි.

රේගු නිලධාරියා පැවසුවේ, අත්අඩංගුවට ගත් තමන්ට පොලිස් නිලධාරින් පහරදුන් බවය.

පහරකෑමට ලක්වූ රේගු නිලධාරියා මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

රේගු දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරියෙකු වන වීරවර්ණ ප්‍රේමරත්න මහතා පෙරේදා (21) දිනයේදී කළුතර වෙරළේ සංරක්ෂණ කටයුත්තක් නිරීක්ෂණය කිරීමට ගොස් තිබුණි.

එම නිරීක්ෂණයෙන් අනතුරුව සිය නිවස වෙත යාමට සඳහා තමන් කළුතර දුම්රිය ස්ථානයට එන අතරවාරයේදී සිවිල් ඇඳුමින් සැරසුණ පුද්ගලයින් සිව්දෙනෙක් (4) දැඩි ස්වරයෙන් ප්‍රශ්න කරමින් තමාගේ අනන්‍යතාව විමසූ බවය.

නමුත් රේගු නිලධාරියාගේ ජාතික හැඳුනුම්පත දින කිහිපයකට පෙර අස්ථානගතවීම හේතුවෙන් එය ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වී තිබුණි.

එම අවස්ථාවේදී සිවිල් ඇඳුමින් සැරසුණ පුද්ගලයින් රේගු නිලධාරියාට පහර දී තිබුණේ ඔවුන් කළුතර පොලිසියේ නිලධාරින් බව පවසමින්ය.

පොලිස් අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ඔවුන්ගේ හැඳුනුම්පතක්ද රේගු නිලධාරියා විසින් ඉල්ලා සිටි නමුත් ඒ කිසිවක් ඔවුන් රේගු නිලධාරියාට ඉදිරිපත් කර නැත.

අනතුරුව ඔවුන් රේගු නිලධාරියාට මාංචු දමා ත්‍රිරෝද රථයක නංවාගෙන කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත රැගෙනගොස් තිබුණේ, අත්අඩංගුවට ගැනීමට කිසිදු හේතුවක් දැනුම් දීමකින් තොරවය.

කෙසේවෙතත් පොලීසියට රැගෙන ගොස් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව රේගු නිලධාරියා ඇප මත මුදාහැර තිබුණි.

නමුත් පහරකෑමෙන් ඇති වූ සුළු තුවාල හේතුවෙන් රේගු නිලධාරියා මේවන විට කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙසේ පහර කෑමට ලක්වුණේ කළුතර ප්‍රදේශයේම පදිංචි 53 හැවිරිදි දෙදරු පියෙකි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ නීති ප්‍රතිපාදනවලට අනුව හේතු දැක්වීමකින් තොරව සැකකරුවෙකු අත්අඩංගුවට ගත හැකි ද?

එසේම සිවිල් ඇඳුමෙන් සැරසී සිටින ආරක්ෂක නිලධාරින්ට තමාගේ අනන්‍යතාවය තහවුරු නොකර සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගත හැකිද?

මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.

+


23-07-2024

+++++++

21-07-2024

+


මුදල් වංචා කළ ‘ක්‍රිෂ් සමාගමේ’ සභාපතිට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු

(23.07.2024 – 16:00 +0530 – hirunews.lk/sinhala)

‘ක්‍රිෂ්’ ආයතනය මගින් ඉදිකරන නිවාස සංකීරණයේ නිවාස ඒකක දෙකක් (2) ලබා දෙන බව පවසා අමෙරිකානු ඩොලර් ලක්ෂ 15 ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියේ ‘ක්‍රිෂ් සමාගමේ සභාපති ඉන්දීය ජාතික අමිත් කත්‍යාල්’ට වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (23) නියෝග කළාය.

නඩුව කැඳවන අවස්ථාවේදී විවෘත අධීකරණයේ පෙනී නොසිටි ක්‍රිෂ් සමාගමට නොතිසියක් නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

ව්‍යාපාරිකයෙක් වන ‘රාහුල් විජේරත්න’ නැමැති අයෙකු සිදු කළ පුද්ගලික පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළාය.

එක් (1) නිවාස ඒකකයක් සඳහා අමෙරිකානු ඩොලර් ලක්ෂ 4 ක් සහ තවත් නිවාස ඒකකයක් (1) සඳහා අමෙරිකානු ඩොලර් ලක්ෂ 11 ක් මෙලෙස ලබා ගත් බවත්, ගිවිසුම් ප්‍රකාරව එම නිවාස ඒකක නොදුන් බවටත්, සිදු කළ පුද්ගලික පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කර තිබෙනවා.

නඩුව කැඳවූ අවස්ථාවේදී ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කළ ඇප මත මුදා හැර ඇති ‘ජානකී සිරිවර්ධන’ නඩුව කැඳවන අවස්ථාවේදී විවෘත අධීකරණයේ පෙනී සිටියාය.

2018 නොවැම්බර් මස 08 වනදා නිවාස ඒකක දෙකක් (2) ලබා ගැනීමට අමෙරිකානු ඩොලර් ලක්ෂ 15 ක මුදලක් ලබා දී ඇති අතර, එම නිවාස ලබා නොදීමෙන් අනතුරුව සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම නඩුව කැඳවා තිබෙනවා.

නඩුව අදාළව ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, ඉඩම් රෙජිස්ට්‍රාර්, එහි අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතු කළ ‘ජානකී සිරිවර්ධන’, 9 දෙනෙකුගේ සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ඔක්තෝම්බර් 08 වනදා වැඩිදුර වාර්තා සඳහා යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය ෴


“ඇමති ජීවන් අත්අඩංගුවට ගත්තොත් නුවරඑළිය වටලනවා” – වෘත්තීය සමිති

(23.07.2024 – 15:37 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මැයි මස 30 වනදා ‘පීඩෘ වතුයාය’ට අනිසි ලෙස ඇතුල්වී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධව ‘ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන්’ ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ඊයේ (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් තීන්දු කරනු ලැබුවා.

එම තීන්දුවට විරෝධීය පාමින් ‘ලංකා කම්කරු කොංග්‍රසය’ නියෝජනය කරන වතු සේවක එකමුතුව අද (23) වැඩ වර්ජනයක නියලී සිටින බව වතු සේවක වෘත්තිය සමිති නියෝජිතයන් පැවසූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම වැඩ වර්ජනය සිදුවීම සම්බන්ධව ආන්දෝලනයට තුඩු දුන් කැලණි වැලි වතු සමාගමට අයත් ‘පීඩෘ වතුයාය, මාගස්තොට ඉහල වතුයාය, මාගස්තොට පහල වතුයාය, ස්ක්‍රබ් වතුයාය, නේස්බි වතුයායා, මූන්ප්ලේන් වතුයාය’ ඇතුළු වතු හතක (7) වැඩ වර්ජනය ක්‍රියාත්මක වුණා.

වැඩ වර්ජනයට සහයෝගය දක්වමින් තේ දළු නෙලන වෘත්තිකයන්, කිරුම් මිනුම් සිදු කරන වෘත්තිකයන් ඇතුළු සුළු සේවකයන් පන්සියයකට (500) ආසන්න ප්‍රමාණයක් අද (23) සේවයට වාර්තා කර නොමැති බව වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළා.

‘ලංකා කම්කරු කොංග්‍රසයේ සදතැන්න වතුයායේ වෘත්තීය සමිති නායක ගෝවින්ද සාමි’, ‘මගස්තොට පහළ කොටස ලංකා කම්කරු කොංග්‍රසයේ වෘත්තීය සමිති නායක සුරේස් කුමාර්’ ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයින් මෙසේ අදහස් දක්වා තිබෙනවා :

“ජීවත් තොණ්ඩමන් අමාත්‍යවරයා අපේ කෙනෙක් එයා කතා කළේ අපි වෙනුවෙන් අපි වෙනුවෙන් කතා කරපු අමාත්‍යවරයා වෙනුවෙන් එයාව අත්අඩංගුවට විරෝධය පාමින් සංකේත වැඩ වර්ජනයක් කරා මින් ඉදිරියට අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත්තොත් අපි සියලුම වතු සේවකයන් එකතු කරගෙන නුවරඑළිය නගරය වටලලා අමාත්‍යවරයා නිදහස් කරන තුරුම දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා” ෴


සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සැප්තැම්බරයේදී

(23.07.2024 – 15:28 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් ව සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත පවසනවා.

හෝමාගම දී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත පැවසුවේ උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට සියලු දීමනා වැඩි කළ බවයි.

මේ වන විට පුරප්පාඩු සදහා ගුරුවරුන් ලෙස සංවර්ධන නිළධාරීන් විසි තුන් දාහෙන් (23,000) හයදාහකට (6000) පත්වීම් ලබා දී තිබෙන බැවින් ඉතුරු අය සදහා සම්මුඛ පරීක්ෂණක් පවත්වා පත්වීම් ලබා දීමට කටයුතු කිරීමට සැළසුම් කර ඇති බැවින් ඉතා කෙටි කාළයකදී ගුරු පුරප්පාඩු සියල්ල පුරවා අවසන් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *